‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් එළියට
(20.02.2025 – 13:13 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘ගනේමුල්ලේ සංජීව’ වෙඩිතබා ඝාතන කිරීම ඩුබායිහි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් මත රුපියල් කෝටි එක හමාරක (1,50,00,000) කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ ‘සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි’ හෙවත් ‘කොමාන්ඩෝ සමිඳු’ නමැති පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පලායාමට සැලසුම් කර සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.
සැකකරු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති අතර, ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.
මෙරට සංවිධානාත්මක අපරාධ සිද්ධි රැසකට සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධකම් පැවැත්වූ ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ලේ සංජීව’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිරි අංක 05 තුළදී ‘නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන’ පැමිණි පුද්ගලයෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ බරපතල තත්ත්වයෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ සෝදිසියකට ලක්කළ අතර, වෙඩික්කරු අධිකරණ භූමියට පැමිණෙන ආකාරය සහ වෙඩි තැබීම සිදුකර පළායන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
මෙම ඝාතනය සඳහා වෙඩික්කරුට සහය පළ කළ ‘නීතිඥවරියක් ලෙස වෙස්වලාගත්’ කාන්තාවක් පිළිබඳව ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
මේ අතර වෙඩි තැබීම සිදුකර වෑන් රථයකින් පළායමින් සිටි වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු ‘සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි’ හෙවත් ‘කමාන්ඩෝ සමිඳු’ නමැති 28 හැවිරිදි අයෙක්.
කෙසේ වෙතත් මෙම සැකකරු අන්වර්ථ නම් රැසකින් පෙනී සිටිමින් මෙම ඝාතනය ඇතුළු ඝාතන 6 ක් සිදුකර ඇති බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මොහු ‘යුධ හමුදාවේ කමාන්ඩෝ බළකායෙන්’ පළාගිය සෙබළෙකු බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ ‘සමීර දිල්ශාන්’ හෙවත් ‘කමාන්ඩෝ සමිඳු’ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.
මහරගම – දඹහේන පාරේ ලිපිනයක පදිංචි මෙම සැකකරු පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීඹට පොලිසිය සමත්වී තිබෙනවා.
‘සමීර දිල්ෂාන්’ හෙවත් ‘කොමාන්ඩෝ සමිඳු’ නමැති මෙම වෙඩික්කරුට ‘ගනේමුල්ලේ සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව’ ලබා දී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින ‘කෙසෙල්බද්දර පද්මේ’ නැමැත්තා විසින් බවටයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ රුපියල් කෝටි එක හමාරක (1,50,00,000) මුදලකටයි.
එම මුදලින් වෙඩික්කරුට මෙතෙක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් (2,00,000) පමණක් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකළ මෙම පුද්ගලයා සහ ඔහුට සහය දුන් බව පැවසෙන කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිටයි.
වෙඩිතැබීමෙන් පසු දෙදෙනා (2) මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පළාගොස් තිබෙනවා.
එලෙස පළාගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු ‘පොලිස් විශේෂ කාර්ය බළකායේ’ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ‘ව්‍යාජ ලෙස සැකසූ නීතීඥ හැඳුනුම්පත’ යි.
එය පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ඉදිරිපත් කරන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තොරතුරු වාර්තාවනවා.
එම පුද්ගලයා ද ‘කෙසෙල්බද්දර පද්මේ’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර ‘ගනේමුල්ලේ සංජීව’ට වෙඩි ප්‍රහාරය එල්ලකළ වෙඩික්කරු වන ‘සමීර දිල්ශාන්’ හෙවත් ‘කොමාන්ඩෝ සමිඳු’ට සහය දුන්, ‘නීතිඥවරියක් ලෙස වෙස් වලාගත් කාන්තාව’ සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.
වෙඩික්කරු අධිකරණ භූමියට පැමිණෙන CCTV දර්ශනවල එම කාන්තාව ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ ඔස්සේ පොලිස් කණ්ඩායම් 5 ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
+
‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කර පළා ගිය අයුරු සැකකරු පාපොච්චාරණය කරයි
(20.02.2025 – 13:50 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා තමන්ට ගිනි අවිය ලබා දුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණ ඇති බව ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු ප්‍රකාශ කර තිබෙනවා.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම (2) මරදාන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන වෙනම ගමන් කළ බවද වෙඩික්කරු පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අධිකරණ මැදිරිය තුළ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ, දැනට ඩුබායි හී සැගව සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මන්දුනි පත්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පත්මේ’ නැමැත්තා බව, දැනට සිදු කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනය මෙරට සිට සැළසුම් කර ඇත්තේ, වෙඩික්කරුට ගිනිඅවිය සැපයු නීතිඥවරියක් ලෙසින් අධිකරණයට පැමිණි ‘පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ’ නැමති මීගමුව – කටුවැල්ලේගම – ජය මාවත ප්‍ර දේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාව බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයෙන් පසු මෙම කාන්තාව පළා ගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
ඒ සදහා ඇයගේ ඡායාරූප කිහිපයක් ද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අදාළ කාන්තාව 995892480V යන හැදුනුම්පතෙන් පෙනීසිට ඇති අතර P 0127950 යන විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිතා කරමින් විදෙස් ගතවීමට ඉඩකඩ ඇති බැවින් මේ වනවිට ගුවන්තොටුපළ බළධාරීන් ද දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
ඒ අනුව මෙම තැනැත්තිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක හෝ කොළඹ අපරාධ කොට්ඨසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව 071 859 1727 හෝ 071 859 1735 යන අංක වෙත තොරතුරු ලබා දිය හැකි.
අදාළ කාන්තාව පිළිබඳ තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයන් පිරිනැමීමටයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇත්තේ. තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරිමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.
දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර ඇති බවද වාර්තා වනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට මෙම ඝාතනය සදහා රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) මුදලක් ලබා දීමට පොරොන්දු වූ බවයි.
ඝාතනය පෙර ඉන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් තමන්ට ලැබුණු බවටද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගත් පසුව තමන් ‘මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්’ නමින් හදුන්වා තිබුණත් ඔහුගේ සැබෑ නම එය නොවන බවටයි දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
28 හැවිරිදි මොහු ‘සමිඳු දිල්ශාන් පියුමංග කදනාරච්චි’ වන මහරගම – දඔහේන පාරේ පදිංචිකරුවෙක්.
මීට අමතරව සැකකරු අවස්ථා කිහිපයකදී හැදුනුම්පත් කිහිපයක් සකස් කර ඇති අතර ඊට නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන බවට සකසන ලද හැදුනුම්පතක් ද අයත්.
එම ‘ව්‍යජ නීතිඥ හැදුනුම්පත’ සකසා ඇත්තේ ‘සංජීව ඝාතනය’ සදහාම බවට පොලිසිය සැක පළ කරනවා.
සැකකරු ඊයේ (19) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද ඉදිරිපත් කර ඇත්තේ අදාළ නීතීඥ හැදුනුම්පතයි. තමන් නීතිඥයෙකු බවට පවසා එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නොමග යැවීමට ද උත්සහ කර තිබෙනවා.
මුහුදු මාර්ගයෙන් පලා යෑමට සැළසුම් කර තිබියදී ඊයේ (19) පස්වරුවේ පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි මාර්ග බාධක යොදා සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.
ඔහු වෑන් රථයකින් පලා යමින් සිටි අතර එහිදී වෑන් රථය පැදවූ රියදුරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ රියදුරා මොරගහහේන පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහුද මෙහෙයවා ඇත්තේ, ඩුබායි හී සිටින ‘කෙහෙල්බද්දර පත්මේ’ විසින්.
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ වෙඩික්කරු කමාන්ඩෝ බලකායේ මූලික පුහුණුව පමණක් ලබා පසුව ඉන් ඉවත් වී ඇති බවට ද අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරු පසුව මුදල් කොන්ත්‍රාත් මත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මත පුද්ගල ඝාතන සිදු කර තිබෙනවා.
ඒ අනුව මොහු පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බවටයි අනාවරණය වී ඇත්තේ.
නීතීඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි මොහු අලුත්කඬේ අංක 5 මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලදී ‘ගනේමුල්ල සංජීව’ට ඊයේ (19) වෙඩි තබා පළා ගොස් තිබුණා.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය ද අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසල වැටී තිබියදී සොයා ගැනුණා.
එම ගිනි අවිය සැකකාර කාන්තාව විසින් රැගෙන විත් ඇත්තේ නීතිඥවරුන් භාවිතා කරන ‘අපරාධ නඩු විධාන සංග්‍රහයේ’ පිටු ගිනි අවියක හැඩයට කපා ඉවත් කර ඒ තුළ සූක්ෂම ලෙස සගවා බවටයි අනාවරණය වූයේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ, තමන් සහ තමන්ට ගිනිඅවිය ලබාදුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණි බවයි.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම (2) මරදන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන වෙනම ගමන් කළ බවද වෙඩික්කරු පාපොච්චාරණය කර තිබෙනවා ෴
‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ වෙඩික්කරුට පළා යෑමට උදව් කළ රියැදුරුගේ තොරතුරු එළියට
(20.02.2025 – 15:18 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සිදුකළ වෙඩික්කරුට පළා යෑමට උදව් කළ බව කියන රියැදුරු පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් සිදුකළා.
ඒ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නම ‘මහේෂ් සම්පත් ප්‍රියදර්ශන’ බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ඔහුගේ වයස අවුරුදු 44 ක් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
දැනට වාර්තාවෙන පරිදි වෙඩික්කරු පුත්තලමට ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴
සංජීව ඝාතනයේ සැකකරුගේ නම ‘ෂෙරිෆ්ඩීන්’ කියා බොරු කියලා.. ඇත්ත ෂෙරිෆ්ඩීන්ගේ ඥාතීන්ගෙන් මෝසමක්
(20.02.2025 – 17:03 +0530 – hirunews.lk/sinhala)
පාතාල කල්ලි නායකයෙකු බව කියන ‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුගේ නම ‘මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන්’ ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
‘මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන්’ යන අයගේ සොහොදරයකු විසින් මෙම මෝසම ගොනු කළා.
මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා කියා සිටියේ ‘ගනේමුල්ල සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ‘මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන්’ නොවන බවයි.
‘මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන්’ සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව පුද්ගලයින් දෙදෙනකු (2) බවයි.
මේ හේතුවෙන් ‘මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන්’ යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා ෴
‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට – නීතිඥ වෙසින් සිටි සැකකාරිය සමග හාදකමකුත් තිබිලා
(20.02.2025 – 17:40 +0530 – hirunews.lk/sinhala)
අපරාධ කල්ලි නායක ‘ගණේමුල්ල සංජීව’ නැමත්තාට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කර ඇති බව කියන මෙම සැකකරු වයස අවුරුදු 25 ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ සැකකාර පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැඟව සිටින සැකකාරියක වන ‘පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ’ යන අය සමග යම් හාද කමක් පවත්වා ඇති අතර ඇය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා ෴
‘ගණේමුල්ල සංජීව’ට වෙඩි තැබූ අධිකරණ මැදිරියේ විත්ති කූඩුවෙන් අද (20) සොයාගත් දේ (20.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴