පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය


පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සමාජගතවූ පසු ඇරඹුණු අරගලය

(14.04.2023 – 20:37 +0530 – sinhala.adaderana.lk)

තිස් (30) වසරක් මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කර එළඹෙන මැයි මාසයට වසර 14 ක් සැපිරෙයි.

හිත් පිත් නැති නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් සිහිනය සැබෑ කරගැනීමට එදා බලහත්කාරයෙන් බඳවා ගත් ළමා සොල්දාදුවන් අද දැඩි ජීවන අරගලයක නිරතවී සිටී.

දෙමළ ප්‍රජාවටත් අමතකවූ ඒ පිරිස සොයා යමින් ‘අද දෙරණ’ සිදුකළ විශේෂ ගවේෂණයක නිරත වුණි.

1975 ජූලි 27 වනදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයත් සමග උතුරු නැගෙනහිර යුද්ධයක සෙවනැලි මුල්වරට ඇඳුණු අතර 1983 දී එය මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගන්නා යුද්ධයක් බවට පරිවර්තනය වුණි.

කෙසේවෙතත් කොටි නායක ප්‍රභාකරන් දැරූ ඒ නින්දිත උත්සාහය පරාජය කරමින් 2009 මැයි මස 18 වනදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර දැමීමට ශ්‍රී ලංකා ආරක්ෂක‍ අංශවලට හැකි වුණි.

නොමඟ ගොස්සිටි කොටි සාමාජිකයින් එතැන් සිට උතුරු නැගෙනහිර පළාත් තුළ ස්ථාපිත පුනරුත්ථාපන මධ්‍යස්ථාන 24 කදී පුනරුත්ථාපනය කිරීමට පියවර ගැනුණේ යුද හමුදාවේ අධීක්ෂණය යටතේය.

පුනරුත්ථාපනය නිමවී දැන් වසර 13 කි. ඒ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අද ජීවන තත්ත්වය කෙසේද ?

ඔවුන් සොයා ‘අද දෙරණ’ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංචාරයක නිරතවුණි.

එහිදී අපට පුනරුත්ථාපනය නොලැබූ, එහෙත් දැන් සමාජගතවී සිටින හිටපු කොටි සාමාජිකයින් 5 දෙනෙකු ද හමුවිය.

යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත්වූ ඔවුන් අද ජීවිතය ගැටගසාගැනීමට දරන්නේ අපමණ වෙහෙසකි.

1996 වසරේදී 12 හැවිරිදි වියේ පසුවූ කන්දසාමී නාගේෂ්වරී මඩකලපුවේ සිටියදී එදා බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවාගෙන තිබූ අතර බෝම්බයකින් පාදයක්ද අහිමි වූ පසු ඇය යළි නිවෙස වෙත පැමිණ ඇත්තේ 23 හැවිරිදි වියේදීය.

කන්දසාමී නාගේෂ්වරී :

“ගමට එද්දී මගේ කවුරුත් ඉතුරු වෙලා හිටියේ නැහැ. පස්සේ මට වඩා අවුරුදු 19 ක් වැඩිමල් පුද්ගලයෙක් එක්ක මම විවාහ වුණා. එයාගේ කලින් බිරිඳ මියගිහින් හිටියේ. එයාට ඒ වෙද්දිත් ගැහැණු ළමයින්ම 5 දෙනෙක් හිටියා. පස්සේ අපිටත් පුතෙක් ලැබුණා. මහත්තයා කළේ ධීවර රස්සාව. කොහොමහරි දැන් එයාට වයස අවුරුදු 58 ක්. එයාට අසනීපයි. ඒ නිසා රස්සාවක් කරගන්න බැහැ. රජයෙන් මට ලැබෙන රුපියල් 5,000 ආබාධිත දීමනාවෙන් තමයි අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ.”

තවදුරටත් මඩකලපුවේ සංචාරය කළ අපට කරවඩ්ඩේ ප්‍රදේශයේදී සෙල්වරාසා සුරේෂ් හමුවිය.

2005 දී 17 හැවිරිදි වියේ පසුවූ සුරේෂ්වත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවා ගෙන තිබුණේ ඔහු පාසල් යන අතරතුර පැහැරගෙන යාමෙන් පසුවය.

පුනරුත්ථාපනය ලබා සමාජගතවී සිටින බොහෝ දෙනකුගේ අද ජීවන තත්ත්වය ද සතුටුදායක නැත.

ඔවුන්ද බහුතරය මුහුණපා සිටින්නේ අතපය හතර හොඳට තිබෙන අනෙකුත් දිළිඳු ජනතාව මුහුණ පා සිටින ගැටලුවලටමය.

ඔවුන්ට අත්වැලක් සපයන්නට දෙමළ ඩයස්පෝරාව හෝ ඔවුන්ගේ ඡන්දවලින්ම බලයට පැමිණෙන දෙමළ දේශපාලනඥයින් හෝ දැන්වත් මැදිහත් විය යුතු නොවේද ?

+


වර්තමානයේ ‘කැවුම්’ ගැන හෙළිදරව්වක්

(14.04.2023 – 19:42 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන පුද්ගල මරණ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නූතන ආහාර රටාවන්ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය රවීන්ද්‍ර විතානආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අතීතයේ ශ්‍රී ලාංකිකයා අලුත් අවුරුදු රසකැවිලි සක්සකළ පරිද්දෙන්ම වර්තමානයෙත් කැවිලි සකස් කරන්නේ නම් ඒවා ඉතා සෞඛ්‍යට හිතකර වන බවය.

මෙම අදහස් පළ කෙරුණේ ‘අද දෙරණ රීබිල්ඩ් ශ්‍රී ලංකා’ වැඩසටහනේදීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය රවීන්ද්‍ර විතානආරච්චි මහතා :

“කැවුම් කියන්නේ කුලකයක්. කේක් වගේ. බටර් කේක්, චොකලට් කේක් වගේ. කෝට්ටේ යුගය වෙනකම් කැවුම් වර්ග 35 ක් වගේ තිබිලා තියෙනවා. අද ඉතුරු වෙලා තියෙන්නේ වර්ග 15 ක් විතර. ඒකත් පුරාණයේ කාපු කැවුම් නෙමෙයි දැන් කන්නේ.”

“මුල් යුගයේදී හාල් පිටි, කුරක්කන් පිටි භාවිත කළා. දැන් තිරිඟු පිටි හා හාල් පිටි භාවිත කරනවා. පැණිකාරක විදිහට දැන් භාවිත කරන්නේ සීනි. අතීතියේ කිතුල් පැණි, තල් පැණි, පොල් පැණි, මී පැණි.”

“අතීතයේ භාවිත කළ අමුද්‍රව්‍ය නෙමෙයි දැන් භාවිත කරන්නේ. පෙනුම කැවුම් වුණාට අන්තර්ගතය කැවුම් නෙමෙයි.”

“කිතුල් පැණිවලින් හදන කැවුමකින් දියවැඩියා රෝගියෙකුට කරන බලපෑම අවමයි. ඒකට සීනි දැම්මම වෙනස් වෙනවා.”

“ලංකාවේ WHO එක 1996 දී කියනවා.. 2000 දී දියවැඩියා රෝගීන් ගණන 2.9 ක් වෙයි කියලා. 2000 දී කියනවා 2025 දී ඒ ගණන 3.6 ක් වෙයි කියලා. අද 2023 දී දියවැඩියා රෝගීන් කීයක් ඇතිද?.”

“මහාචාර්ය කටුලන්දට අනුව ඒ අගය 40% ත් 60% ත් අතර. උපකල්පනය කළා මෙන් 15 ගුණයක් වැඩිවෙලා.”

+


ධාවනයවෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගින්නක්

(14.04.2023 – 16:56 +0530 – sinhala.adaderana.lk)

අදට (14) යෙදී තිබෙන අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබේ.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ ගින්නෙන් ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවය.

රාගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් අගලවත්ත ප්‍රදේශයට නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

පුද්ගලයින් 04 දෙනෙකුගෙන් යුත් පවුලක් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේම ගින්න ඇතිවී තිබේ.

ගින්නෙන් එහි ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන් රථයෙන් පැන දිවි බේරාගෙන තිබුණි.

+


What Makes you any different to our current politicians? TALK WITH SUDHATHTHA (15.04.2023)

+


ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡාවට පැරිස් සමාජය සූදානමින්

(15.04.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, ප්‍රංශය සහ ජපාන මුදල් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් විසින් කමිටුවක් පිහිටුවීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැරිස් සමාජය පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම සාධාරණ බෙදාගැනීම, විනිවිදභාවය සහ ප්‍රතිකාර සංසන්ධනාත්මක බව සහතික කිරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමටයි පැරිස් සමාජය අදහස් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් ඩොලර් බිලියන 12 කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සිය පළමු (1) ප්‍රතිසංවිධාන යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

+


මුම්බායි ගුවන්තොටුපලේ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනකු (2) අත්අඩංගුවට

(15.04.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා අවසර පත්‍රය හුවමාරු කර ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනෙකු (2) මුම්බායි පොලීසිය විසින් ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන්ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වැසිකිලියක දී ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන්බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර අංකය ද ව්‍යාජ එකක් බවටයි ෴


කැස්බෑ පැටවුන් 15,000 ක් සාගරයට මුදාහැරෙයි

(15.04.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ සිට මේ දක්වා කැස්බෑ පැටවුන් 15,019 දෙනෙකු සාගරයට මුදාහැර ඇති බව නාවික හමුදාව පවසනවා.

එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙලෙස කැස්බෑ පැටවුන් සාගරයට මුදාහැර ඇති බවයි.

පසුගිය 11 වැනිදා ද කැස්බෑ පැටවුන් 97 දෙනෙකු සාගරයට මුදාහළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස සැළකෙන කැස්බෑවන් සංරක්ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම සඳහායි මෙම වැඩසටහන නාවික හමුදාව ආරම්භ කර ඇත්තේ ෴


ග්‍රාම නිලධාරින්ගෙන් ඉල්ලීමක්

(15.04.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

වසර 10 කට වරක් සිදුකරන ජන හා නිවාස සංගණනය සඳහා තම නිලධාරින් යොදවා ගන්නා ලෙසට ‘ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය’ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.

එම කටයුත්ත තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත රාජකාරියක් වන බැවින් තම නිලධාරින්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඒ සදහා වෙනත් නිලධාරින් යොදා නොගත යුතු බවයි එම සංගමයේ සභාපති කමල් කිත්සිරි කියා සිටියේ ෴


බිත්තර ලක්ෂ 10 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට

(15.04.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කරන ලද හතරවන (4) බිත්තර තොගය රැගත් නෞකාව දිවයිනට ළගාවී තිබෙනවා.

බිත්තර ලක්ෂ 10 ක් රැගත් මෙම නෞකාව ඊයේ (14) රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වූ බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ දක්වා බිත්තර ලක්ෂ 40 ක් දිවයිනට රැගෙනවිත් ඇති අතර, ඉදිරියේදීත් තවත් බිත්තර තොග ආනයනය කිරීමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *