ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට


ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

(12.01.2023 – 22:27 +0530 – sinhala.adaderana.lk)

ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි.

ඒ අනුව එම සිද්ධියට අදාළව මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණි ෴


සඳගල සොරාගැනීමේ සිද්ධියට ප්‍රා.ස. මන්ත්‍රී රිමාන්ඩ්

(12.01.2023 – 19:31 +0530 – sinhala.adaderana.lk)

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ‘සඳගල’ සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ‘සාලිය පෙරේරා’ හා තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිව් (4) දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ‘දුෂාන්ත’ නම් අයෙක් කෑගල්ලේදී පළමුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිෆෙන්ඩර් රථයක් ද සමගිනි.

සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයෙන් කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

පසුව ‘ප්‍රසාද් සංජීව’ නම් සැකකරුවකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ආනාවරණ වී ඇත්තේ, කුණ්ඩසාලේ, මහවල නම් ප්‍රදේශයේ පිහිටි ‘රොෂාන් කඳනගේ’ නම් පුද්ගලයෙකුගේ නිවසට සඳගල රැගෙන ගිය බවය.

එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ‘සාලිය පෙරේරා’ සඳගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිට කුණ්ඩසාලේ, මහවල ප්‍රදේශයට රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

කෙසේවෙතත් ‘රොෂාන් කඳනගේ’ නම් පුද්ගලයා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා (2) ඊයේ (11) දිනයේදී තෙල්දෙණිය අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා (2) ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර සැකකරුවන් සඳගල රැගෙන යාම සඳහා භාවිත කළ බූම් ට්‍රක් රථය, ටිපර් රථය හා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගෙන තිබේ. 

නමුත් මේ වන තෙක් සඳගල සොයා ගැනීමට හැකිවී නොමැත. 

+


‘අයිස් හා හෙරොයින්’ සමග ‘නිලූ’ අත්අඩංගුවට

(12.01.2023 – 13:27 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘නිලූ’ නැමැති කාන්තාවකි.

ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520 ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202 ක්, විද්‍යුත් තරාදියක්, බැංකු පොත් තුනක් (3) පොලිස් භාරයට ගෙන තිබේ.

එම සැකකාරිය ‘හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය’ට සම්බන්ධ ඩුබායි රටේ සැඟවී සිටින ‘ලලිත් කන්නංගර’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සැකකාරිය ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

++++++++

+


ඩොලර් හොයන්න පිටරට පැටවෙන – අපේ කෙසෙල් (12.01.2023)

+


වනඅලි තර්ජන හේතුවෙන් වැසීගිය පාසලක්… (12.01.2023)

+


ATM කුටියේ අමතක වූ මුදල අයිතිකරුටම භාරදුන් හමුදා සෙබළාගේ මනුෂ්‍යත්වය… (12.01.2023)

+


තෝමස් පික්කෙට් ප්‍රමුඛ විද්වතුන් 182 දෙනාගේ වාර්තාව මගින් අර්බුදය විසඳීමට මග පෙන්වීමක් දෙනවා, ඒත් ඔවුන් සම්පූර්ණ ඇත්ත කියන්නේ නැහැ – ජාතික සංවිධාන කියයි

(12.01.2023 – 12:44 +0530 – lankaleadnews.com)

නිදහස් ජනතා ස්නධානය එළිදැක්වීමේ අවස්ථාවේදී උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සදහන් කළ තෝමස් පික්කෙට් ප්‍රමුඛ විද්වතුන් 182 දෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයට අදාල වාර්තාව පිළිබදව ‘ලංකා ලීඩ්’ ‘ජාතික සංවිධාන’වල මතය විමසන ලදී.

මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ විග්‍රහය,

“විමල් වීරවංශ මහතා විසින් එම වාර්තාව හුවා දක්වමින් අදහස් දැක්වීම ඉතා විටිනවා. ඒ වගේම අප රටේ ජනමාධ්‍ය ඒ පිළිබදව අවධානය යොමු නොකිරීම පිළිබඳ චෝදනාව ද ඉතා සාධාරණයි. එම වාර්ථාව මගින් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර මගින් අපවැනි රටවලට සිදුවන අනර්ථය පෙන්වා දෙමින් එම තත්ත්වය නිවැරදි කළයුතු බවට අවධාරණය කර තිබෙනවා. ඒ වගේම එම බැදුම්කර අයිතිකරුවන් වැඩි ලාභය සදහා අධික පොලියකට බැදුම්කර ලබාගත්තා නම් එය ආපසු නොගෙවීමේ අනතුර ද බාරගත යුතු බවද ඔවුන් කියනවා.

එහෙත් එම වාර්තාවේ යම් කරුණු වැරදියි. උදාහරණයක් ලෙස රටේ විදේශ විනිමය පිටරටට ගලායාම සහ ඒවා අයුතු ලෙස පිටරට රඳවා ගැනීමේ ප්‍රශ්නය මූලික වශයෙන් ඇතිවන්නේ රවි කරුණානායක සහ රනිල් වික්‍රමසිංහ යුගලය විසින් 2017 දී සම්මත කළ විදේශ විනිමය පනත නිසා. නමුත් වාර්තාවේ සදහන් වන්නේ වසර 15 ක සිට පවතින තත්ත්වයක් පිළිබදව. එම නීතිය සංශෝධනය කිරීම අර්බුදය විසදීමේ මූලික පූර්ව කොන්දේසියක් බව එම විද්වතුන් කියන්නේ නැහැ. ඒත් ඒ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ගේ අදහසක් ලෙස කියනවා.

ඊට අමතරව රුපියල අවප්‍රමාණය වීම ගැන කියනවා. ඒත් ඉන්දියාවේ බලපෑම මත මිලින්ද මොරගොඩගේ සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ උපදෙස් මත රුපියල නිදහසේ පා කිරීම සදහා මාර්තු 07 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මූල්‍ය මණ්ඩලයට සිදුකළ බලපෑම නිසා සිදුවූ විනාශයේ තරම මෙම විද්වතුන් කියන්නේ නැහැ. ඒ වගේම විදේශ විනිමය අර්බුදයට මූලික හේතුව වන 1977 සිට නඩත්තු කරන ආර්ථික මොඩලය නිසා වෙළෙද හිගය වර්ධනය වීම පිළිබදව සහ ආර්ථික මොඩලය වෙනස් කළ යුතු බව ඔවුන් කියන්නේ නැහැ. තවද 2015 – 2019 කාලයේදී ස්වෛරී බැදුම්කර ඩොලර් මිලියන 12,000 ක් නිකුත් කිරීම අර්බුදයේ ප්‍රධාන හේතුවක් බව විශේෂඥයන් අවධාරණය කරන්නේ නැහැ.”


කුමන්ත්‍රණ හෙළිකරන, ඓතිහාසික පාස්කු තීන්දුව! හැබැයි මේකෙන් නැගෙනවා ලොකු ප්‍රශ්නයක්! (12.01.2023)

+


ඉහළ වැටුපකට එංගලන්තයට යවන බව පවසමින් මිනිසුන් රවටා රුපියල් කෝටි දෙකකට (2) විදපු අනුරාධපුරේ ‘හොර සාදු’

(12.01.2023 – divaina.lk)

= අනුරාධපුරේ චීවරධාරියකුට එරෙහිව විරෝධතාවක් =

අනුරාධපුර පූජා නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් ඉහළ වැටුපකට පුද්ගලයන් එංගලන්තයට යවන බවට පවසමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල මිනිසුන් රවටා රුපියල් කෝටි දෙකකට (2,00,00,000) වැඩි මුදලක් වංචා කර සැඟව සිටින, චීවරධාරියකුට එරෙහිව විරෝධය පළ කරමින් පිරිසක් පෙරේදා (10 දා) අනුරාධපුර වට වන්දනා පාරේ, පිහිටි එම බෞද්ධ මධ්‍යස්ථානය අසලට රැස්ව සිටියහ.

‘බලංගොඩ අනුරුද්ධ’ නමින් පෙනී සිටින එම ජාවාරම්කාර චීවරධාරියා සම්බන්ධයෙන් මේ වනවිට අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බවත්, එම චීවරධාරියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් සැඟව සිටින බව එම පිරිස් පැවසූහ.

අනුරාධපුර පූජා නගරයේ වට වන්දනා මාර්ගයේ පිහිටි මෙම බෞද්ධ මධ්‍යස්ථානයට එප්පාවල, මාතර, මිරිහාන වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිසක් පෙරේදා (10) පැමිණ සිටි අතර එහිදී එම බෞද්ධ මධ්‍යස්ථානයේ රැඳී සිටි තවත් තරුණ හිමිනමක් සහ පැමිණ සිටි පිරිස අතර උණුසුම්කාරී වචන හුවමාරුවක්ද ඇති විණි.

රජය සමග ඉහළ සබඳතාවක් ඇති බව කියන සැකකාර චීවරධාරියාගේ බෞද්ධ මධ්‍යස්ථානය ආසන්නයේ ඉදි කෙරෙන හෝටලයක් බවට කියන සුවිසල් ගොඩනැඟිල්ලක් නාවික හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර තිබෙන බව ඔවුහු පැවසූහ.

රට රැකියා ලබා ගැනීම සඳහා මෙම සැකකාර චීවරධාරියා හට මුදල් ලබා දුන් අය අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ ඥාති පුත්‍රයකු ඇතුළු නම් හෙළි කිරීමට අකමැති ප්‍රබල අය රැසක් සිටින බවත් තවත් සමහරු පොලිසියට පැමිණිලි නොදා සිටින බවත් රැස්ව සිටි පිරිස මාධ්‍ය හමුවේ අනාවරණය කළහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නම හෙළි නොකළ හිමිනමක් මෙසේ පැවසූහ :

“වසර හයකට (6) ආසන්න කාලයක ඉඳලා මේ බලංගොඩ අනුරුද්ධ හිමියන් සමග සමීපව සිටියා. කිසිම සැක සහිත බවක් තේරුනේ නැහැ. එම නිසා මමත් විශාල මුදලක් ලබා දුන්නා. දැන් ඒ සල්ලි අරන් මේ හිමිනම පැනලා ගිහිල්ලා. මේ අහිංසක මිනිස්සු ගොඩක් තමන්ගේ දේපල උගසට තියලා රට රැකියාවකට යන්න සල්ලි ලබා දීලයි තියෙන්නේ. රජයෙන් ඉල්ලන්නේ ප්‍රථමයෙන් මේ හිමිනමට රටින් පැනලා යන්න ඉඩ දෙන්න එපා කියලයි.”

මාතර සිට මෙම ස්ථානයට පැමිණ සිටි නිලූකා සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය :

“මගේ මහත්තයා නාවික හමුදාවේ. මෙතන ඉදි කරලා තිබෙන හෝටලයේ වැඩට යොදවල තිබුණා. එතකොට තමයි හාමුදුරුවෝ හිතවත් වෙලා තිබුණේ. මාසෙකට රුපියල් ලක්ෂ 20 ක පමණ වැටුපකට රට යවන්න්න පුළුවන් කියලා හාමුදුරුවෝ කියපු නිසා, දැඩි විශ්වාසයක් ඇති වෙලා ගේ සහ ඉඩම රත්තරන් බඩු ඔක්කොම බැංකුවට උකස් කරා රට යන්න. දැන් මාසෙකට රුපියල් පනස් දාහක් (50,000) විතර ගෙවන්න වෙලා තියෙනවා. සල්ලි නෑ – කිසිම වත්කමක්ම නෑ වාරික වත් ගෙවන්න. දරුවා ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලකුණු අසූවක් අනූවක් ගත්ත ළමයා දැන් ගන්නෙ ලකුණු තිහක් විතර, උගන්වන්න පොත් පත් අරන් දෙන්න වත් විදියක් නැහැ.”

එළිය දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රිකා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය :

“මගේ අතේ මේ තියෙන්නෙ සිවුරක් දාගත්ත ඒ වංචාකාරයාගේ ෆොටෝ එක. මේක මාධ්‍යයේ පෙන්නන්න හිතුනෙ තවත් කවුරු හරි මොහුට රැවටෙන්න අවස්ථාවක් තියෙන නිසයි. පිටරට යනව නම් පිළිගත්ත ඒජන්සියක් හරහා යන්න. අපි වැටුණු වලේ ඔයාලා වැටෙන්න එපා. මේ චීවරධාරියාගේ රියැදුරා දවසක් අපේ පුතා බස් හෝල්ට් එකේ ඉන්නකොට රවටා ගෙන පන්සලට ඇවිල්ලා තමයි රට යන අදහස ඔලුවට දාලා තිබුනේ. දැන් අපේ රුපියල් ලක්ෂ පහළොවකට (15,00,000) විතර ආසන්න මුදලක් අරන් හාමුදුරුවෝ පැනලා ගිහින්.”

~ මිහින්තලේ රංග චතූ


‘අලි පොත’ට හොර ලියවිලි හැදුවාට වනජීවියේ හිටපු නි.අධ්‍යක්ෂට වසර පහ (5) බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

(13.01.2023 – dinamina.lk)

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමඟ යවමින් වන අලි පැටවකු කූට ලේඛන සකසා වන අලි පොතේ ලියාපදිංචි කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ලිපිකාරිනිය හා තවත් අයකුට වසර පහ (5) බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණය ඊයේ (12) නියම කළේය. එම දඬුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 20,000 සහ 10,000 බැගින් එක් චූදිතයකුට රුපියල් 70,000 ක දඩයක් ද අධිකරණය නියම කළේය.

චුදිතයන් රජයේ සේවකයන්ව සිටිමින් දරන ලද නිල තත්ත්වයන් සලකා බලා මෙම දඬුවම් නියම කරන බව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීන්දුව නිකුත් කරමින් සඳහන් කළේය.

වන අලියා සන්තකයේ තබාගත්තේයැයි කියන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, දෙපාර්තමේන්තුවේ වන අලි ලියාපදිංචි කිරීමේ අලි පොත භාරව සිටි ලිපිකාරිනි ප්‍රියංකා සංජීවනී හා වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි පත්මසිරි යන විත්තිකරුවන්ට මෙම දඬුවම් නියම කෙරිණි.

පළමු (1) සහ තුන්වෙනි (3) විත්තිකරුවන් එක් එක් චෝදනාවන්ට වසර පහ (5) සහ එක (1) බැගින් වසර 12 ක සිර දඬුවමක්ද දෙවන (2) චුදිතට වසර තුන (3) සහ එක (1) බැගින් වසර අටක (8) සිර දඬුවම්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර පහකින් (5) එක්වර ගෙවී යා යුතු බවද නියම කළේය.

නියම කරන ලද දඩ මුදල්, සිර දඬුවම් කාලය අතරතුර ඕනෑම අවස්ථාවක ගෙවිය හැකි බවත් එම දඩ නොගෙවන්නේ නම් වසර 3 බැගින් ලිහිල් සිර දඬුවම් දිය යුතු බවද නියෝග කළේය. එම ලිහිල් සිර දඬුවම බරපතළ සිර දඬුවම් කාලය අවසන් වූ පසු ආරම්භ විය යුතු බවද සඳහන් කළේය.

2008 නොවැම්බර් 06 දින හා 2015 මැයි 18 දින කාලය අතරතුර වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නොමඟ යවමින් වන අලියකුට කූට ලේඛන සකසා ලියාපදිංචි කිරීම ඇතුළු අධිචෝදනා 18 ක් යටතේ නීතිපතිවරයා 2019 වසරේ මේ නඩුව පැවරීය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දීර්ඝ නඩු විභාගයකින් පසු ඔප්පු වී ඇති වරදකාරිත්වය විත්තිකරුවන් සිදු කර ඇත්තේ සමස්ත පරිසර පද්ධතියටම වන බවයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් පරිදි උපරිම දඬුවම් දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ සිව් වැනි (4) විත්තිකරු ලෙස නම් කර සිටි අලි පැටියකු සන්තකයේ තබාගත්තේයැයි චෝදනා ලද තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *