ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට

ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට

*********************************************

ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට

(16.05.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මෙම සතිය තුළදී මෙරටට ගෑස් රැගත් නෞකා දෙකක් (2) ළඟා වීමට නියමිතව තිබෙනවා.

ඉන් එක් නෞකාවක් අද (16) දින දිවයිනට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙටි්‍රක් ටොන් 3700 ක් අඩංගු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

එමෙන්ම තවත් නෞකාවක් 19 වනදා මෙරටට ළඟා වීමට නියමිතයි. ලිට්‍රෝ ආයතනය පසුගිය සතියේ දැනුම දුන්නේ ගෘහස්ථ ගෑස් තොග නොමැති බැවින් ජනතාවට පෝලිම් වල රැදී සිටීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් සටහනක් තබමින් කියා සිටියේ ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදුකර ඇති අතර, එය කඩිනමින් ගොඩබා බෙදාහැරීමට කටයුතු කරන බවයි.

මේ අතර අද (16) සිට යළිත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (15) මෙරටට ළඟා වූ ඩීසල් නෞකාවේ අඩංගු ඩීසල් ද අද (16) සිට බෙදා හැරීම ආරම්භ කරන බවයි එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ.

+

මීගමුවේ සුඛෝපභෝගී හෝටල් කොල්ල කෑ සැකකරුවන් ඇල්ලීමට පොලිස් විමර්ශන කණ්ඩායම්

(16.05.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ග්‍රෑන්ඩීසා, ඇවෙන්ද්‍රා, බේ ෆෙරෝන්ට යන සුඛෝපභෝගී හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන සහ ගිනි තබන ලද නිවාසවලින් මංකොල්ල කන ලද දේපොළ සොයාගැනීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මැයි 09 වැනි දින රට පුරා සිදු වූ කලහකාරී තත්ත්වය තුළදියි මෙලෙස අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ ඔවුන්ට අයත් දේපළ ගිනිබත් කිරීමට විරෝධතාකරුවන් ක්‍රියා කළේ.

මීගමුව කොට්ඨාසයේ දූෂණ සහ වංචා විමර්ශන අංශය විසින් ඇවේන්ද්‍රා හෝටලයෙන් මංකොල්ල කා කටානේ අක්කර 50 ප්‍රදේශයේ කාමරයක් තුළ සඟවා තිබූ ගෘහ භාණ්ඩ තොගයක් එම හොරබඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුවන් මීගමුව කොට්ඨාසයේ දූෂණ සහ වංචා විමර්ශන අංශය විසින් විශාල දේපොළ ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, මුදලින් රුපියල් ලක්ෂ 13 ක්, අමරිකානු ඩොලර් 1500 ක් මෙන්ම දෙස්-විදෙස් මත්පැන් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

+

තරුණ නීතීඥ සංගමයට ප්‍රශ්නයක් ?

(16.05.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර සාමකාමීව විරෝධතාවයේ නිරතවූ පිරිසට පහරදුන් කණ්ඩායම පමණක් මේ දක්වා අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමය පවසනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවල පසුගියදා ඇතිවූ නොසන්සුන්තාව හමුවේ ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා කරමින් ඊයේ (15) වනවිට 230 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි විධායක කමිටු සාමාජික නීතීඥ නුවන් බෝපගේ සඳහන් කළේ.

+

අපරාධ වැළැක්වීමේ ජංගම මුර සංචාර දැඩි කරන්නැයි පොලිස්පතිගෙන් දැනුම්දීමක්

(16.05.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

රට තුළ නීතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

විවිධ අපරාධවල නිරතවීම සඳහා පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර, ඊට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ෴

+

යුරෝ 50,000 ක් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

(16.05.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමයට ළඟ තබාගෙන සිටි විදෙස් මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ජාවාරම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මතයි අදාළ සැකකරු අත් අඩංගුවට ගැනුණේ.

මෙම මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 18.69 ක් පමණ වනවා.

මෙම මුදල් ප්‍ර‍කට ආදායමින් කොටසක් නොවන බවට සැකකළ හැකි මුදල් විශුද්ධීකරණය කිරීමේ වරදට ගැනෙන අතර අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාර කෙරුණා.

+

දුම්රිය ධාවනය හෙට (17) සිට සාමාන්‍ය පරිදි

(16.05.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

හෙට (17) සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අද (16) දිනයේත් ඊයේ (15) දිනයේ මෙන්ම දුම්රිය ගමන් වාර 125 ක් ක්‍රියාත්මක කරන බවයි.

ඊට අමතරව දුර ගමන් සේවා දුම්රිය අතරින් මඩකලපුව බලා ගමන් කරන දුම්රිය අද (16) පෙරවරු 06:05 ට ධාවනය කළ අතර, රාත්‍රි හතට (7) මඩකලපුව බලා යන දුම්රිය ගමන් වාරය ද ක්‍රියාත්මකයි ෴

+

උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

(16.05.2022 – 09:23 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන සහ කඩිගමුව අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට යළි බාධා එල්ල වී තිබෙනවා.

අද (16) උදෑසන මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් පේරාදෙණියේ සිට කඩිගමුව දක්වාත් සීමා වී තිබෙනවා.

පෙරේදා (14) දිනයේදී ද ඉන්ධන ප්‍රවාහන දුම්රියක් රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර පීලිපැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා ෴

+

බස් ධාවනය 15% ත් 20% අතර ප්‍රමාණයකට පහළ බැහැලා

(16.05.2022 – 09:23 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රටපුරා පවතින බරපතල ඉන්ධන හිගය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවාවන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් දිනපතා ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව මේ වන විට සියයට පහළොවත් විස්සත් (15-20) අතර ප්‍රමාණයක් දක්වා අඩු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය දින තුන (3) පුරාම දිවයිනේ බොහොමයක් ඉන්ධනහල් වලට ඩීසල් නොලැබී යාම හේතුවෙන් අද (16) දිනයේ දී එම ප්‍රමාණය තවත් පහළ යනු ඇති බවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වයට බලධාරීන් එක් වී නිසි පිළියමක් ලබා නොදුනහොත් රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කර්මාන්තශාලා සහ අනිකුත් සියලුම ක්‍රියාකාරකම් වලට මේ හරහා බරපතල බලපෑමක් එල්ල වන බවයි.

මේ අතර ඊයේ (15) දිනයේදි ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු තවත් ඩීසල් තොග රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වුණා.

එම නෞකාවේ ඇති ඩීසල් තොග ගොඩබෑම අද (16) දිනය තුළ දී සිදු කෙරෙන බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින් සියල්ල වෙසක් පොහොය දිනය හේතුවෙන් නිවාඩු ලබා සිටීම නිසා තෙල් ප්‍රවාහන කටයුතු කිසිවක් සිදු වූයේ නැහැ.

මේ හේතුවෙන් ඊයේ (15) දිනය සහ අද (16) දිනය පුරා ඉන්ධනහල් ඉදිරිපිට ඉතා දිගු පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.

+

අගමැති රනිල් මරදානේ කහබත් බෙදයි

(16.05.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස මරදාන ප්‍රදේශයේ පැවති වෙසක් බත් දන්සලකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

එහිදී පැමිණ සිටි පිරිසට කහබත් බෙදා දෙමින් ඔවුන් සමග කතා බහ කරමින් ටික වේලාවක් අග්‍රාමාත්‍යවරයා එහි රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මෙවර වෙසක් සමය එළඹෙත්ම රට පුරා සාමකාමී වාතාවරණයක් දක්නට ලැබුණු ද වෙනදා නගරවලට එක් රොක් වන පිරිස් මෙවර දක්නට ලැබුණේ නැහැ.

ප්‍රවාහන දුෂ්කරතා සහ උග්‍ර ඉන්ධන හිඟය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ ෴

+

ගොවි ප්‍රජාව මුලා කළ ව්‍යාජ කෘෂි රසායනික ජාවාරම

(16.05.2022 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය පොලීසිය විසින් එම ප්‍රදේශයේදීමයි.

මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන් මුලා කරමින් ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර පදික වේදිකාවේ අලෙවි කරමින් සිටින බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) නුවරඑළිය – කඳපොළ සහ රාගල යන ප්‍රදේශවල සැකකරුවන් බවත්, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ප්‍රධාන සැකකරු මෙම ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තවත් පුද්ගලයන් ලවා අධික මිලකට අලෙවි කරන බවටත් සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් අවස්ථාවේ ව්‍යාජ කෘෂි රසායනික දියර සහ කෘමි නාශක දියර බෝතල් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණා.

මොවුන් ඊයේ (15) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බැඳුම්කර ඇපයක් මත මුදාහැරුණා.

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ සහ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සහයෝගය මත සැකකරුවන් හෙට (17) දිනයේ දී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+

බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

(16.05.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 03 තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවට දැනුම් දෙනවා.

ඊයේ (15) දිනයේදී ඩීසල් තොග රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර ඉන්දීය ණය පහසුකම යටතේ තවත් නෞකා 03 ක් ඉදිරි සති 02 තුළදී දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ට්විටර් සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ.

ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීම් 1190 ක් සිදුකිරීමට පවතින බැවින් ඒවා අවසන් වන තුරු ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

+

මැයි 09 කලහකාරී සිද්ධියට සම්බන්ධ තවත් 159 ක් පොලිස් දැලට

(16.05.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදු වූ කලහකාරී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 398 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මේ වනවිට වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාව 756 ක් බවයි.

මේ අතර ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන ඇතුළු තවත් සංවිධාන කිහිපයක නියෝජිතයින් පොලිස් මූලස්ථානයට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ අදාළ පහරදීම් වැලැක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශ දෙකේ රාජකාරියේ නිරතව සිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින්ට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු බවයි.

මේ අතර, ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී අරගලකරුවන්ට පහරදීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන් 78 දෙනෙකුගේ ඡායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඡායාරූප නිකුත් කර ඇත්තේ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමට මහජන සහය පැතීමේ අරමුණින්.

මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ (15) රාත්‍රී කාලයේත් ගාලුමුවදොර ජනතා විරෝධතා භූමියේ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වුණා.

එම අරගල භූමිය අද 38 වන දිනට ක්‍රියාත්මක වන අතර, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාව ද තවදුරටත් ක්‍රියාත්මකයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *