11.03.2015
මේ ලෝකයේ නිර්මාණයද විස්මිතය. අපූරුය. විචිත්‍රය. එහෙත් මේ සියල්ල ඇතිවීම, පැවැතීම, නැතිවීම යන ස්වභාවයන්ගෙන් යුක්තය. මේ ක්‍රියාකාරීත්වය ඉපැරැණි අතීතයේ සෘෂිවරු බ්‍රහ්ම-විෂ්ණු-මහේෂ්වර යැයි පුද්ගලවාචීව නම් කළහ. බ්‍රහ්මයන්ට ස්ත්‍රී පුරුෂ බවක් නැත. ඔවුහු රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලාභීහුය. ලෝක විනාශයෙන් පසු නැවැත ලෝකය ගොඩනැඟෙන විට ආභස්සර ලෝකයේ වසන බ්‍රහ්මයෙක් අලුත් (පෘථිවි) ලෝකයට පැමිණේ. ඒ සමඟ තවත් අයද පැමිණෙති.
දීර්ඝායුෂ්ක වූ මේ බ්‍රහ්ම සංකල්පීය මිනිසා (ආදම්-ආදිමයා) ස්ත්‍රී පුරුෂ බවෙන් යුත්ත නොවීය. පසුකාලීනව තණ්හාව, ලෝභය, ආශාව හා ආදරය නිසා ස්ත්‍රී පුරුෂ තත්ත්වවලට පත්වූහ. විෂ්ණු ලෝකයේ පැවැත්මයි. ජලය, ගහ කොළ ආදී නිල් පැහැය සංකේතවත් වූ ලෝකය පවත්වාගෙන යන කරුණා, මෛත්‍රි ගුණයෙන් යුක්ත විශ්ව ශක්තියයි. ඊශ්වර ශක්තිය සියල්ලේ විනාශය ඇති කරයි. මේ විශ්ව ශක්තීන් පුද්ගලවාචීව දේවත්වයෙන් සැලැකේ. පුද්ගලයකු වුවද, නොවුවද, පුද්ගලයකුට කළ නොහැකි බොහෝ දේ කිරීමේ ශක්තිය මේ දේවත්වයට ඇත. කිසිම ආකාරයකින් සුළු කොට තැකිය නොහැකිය. අතීතයේ මේ සංකල්ප දැරූ ධ්‍යානලාභී උතුමෝද මේ නමින්ම ඉපිද ලෝක සත්ත්වයාටත්, ලෝකයාටත් බලපෑම් කරති. ඉන් පසුව බිහිවූ පත්තිනි (මාතෘත්වය), සරස්වතී (අධ්‍යාපනය, කලාව) ශ්‍රී ලක්ෂ්මී (ධනය) ආදී දේවත්වයද එසේමය.
යටිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රත්නසිරි ව්‍යාපාරිකයෙකි. හතළිස් තුන් හැවිරිදි ඔහු විවාහකයෙකි. තුන් දරු පියෙකි. ඔහුගේ නිවෙසේ නොපෙනෙන කෙනෙක් හිටි හැටියේ බඩු මුට්ටු පොළොවේ ගසා හානි කරයි. පවුලේ අඬදබර ඇති කරයි. දැනට මේ ප්‍රශ්නය අවුරුදු තුනක සිටම පවතී. ඔහු පදිංචි වත්තේ ඉඩම් කොටස් කීපයක තවත් පවුල් පහක් ජීවත් වෙයි. රත්නසිරිගේ පවුලේ මවුපියෝද එහිම වෙනම නිවෙසක පදිංචිව සිටිති. මෙසේ බඩු පොළොවේ ගසා කඩා බිඳ දැමීමේ තත්ත්වය මේ හැම නිවෙසකම පවතී. මේ තත්ත්වය වළක්වා ගැනීමට විවිධ පිළියම් කළත් ඔහුට කිසිදු සහනයක් ලැබුණේ නැත.
අවසානයේ ‘මව්බිම’ පත්‍රයේ ‘සැණකෙළිය’ අතිරේකයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන රත්නසිරි බිරියත් දරු තිදෙනාත් සමඟ පැමිණියහ.
ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා පළමු ගවේෂණයේදී ශක්ති කිරණ එල්ල කරන විට රත්නසිරිගේ ශරීරය පැද්දෙන්නට විය. ඊට අමතරව ඔහුගේ දෑසින් කඳුළු රූරා වැටෙන්නට විය. ඉන් එහා දෙයක් එදින සිදු නොවුණු බැවින් ඔවුන්ට ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.
සති තුනකට පසු රත්නසිරි පවුලේ අය සමඟ නැවැත පැමිණියේය. එදින ශක්ති කිරණ එල්ල කරන විට රත්නසිරි ‘හූ’ කියමින් කෑ ගසන්නටත් ඉතා දරදඬු ආකාරයෙන් හැසිරෙන්නටත් විය. ඉන් පසු බිම වැටී නාසයෙන් සෙම පිට කරන්නට විය. ඒත් සමඟම ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනාද එසේම බිම වැටී සෙම පිට කරන්නට වූහ.
මේ පස් දෙනාගේ ශරීරවලට බලපෑම් කොට හිරිහැර කරන භූත බලවේගය වළක්වා තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.
ඒ සතියේ රත්නසිරිගේ නිවෙස තුළ පැවැති සද්ද බද්ද බඩුමුට්ටු පොළොවේ ගැසීම් තවත් උග්‍ර විය. ජනෙල් වීදුරු පවා බිඳ දමා තිබිණි.
ඊළඟට පැමිණි දිනයේ රත්නසිරි ප්‍රලය විය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”
“මම සුදු අප්පු.”
“කවුද සුදු අප්පු කියන්නෙ?”
“මේ දේවාලයේ කපු මහත්තයා.”
“මොන දේවාලයේද?”
“පත්තිනි දේවාලයේ.”
“කොහෙද ඔය පත්තිනි දේවාලය තියෙන්නේ?”
“ඒක දැන් කඩා වැටිලා.”
“කඩා වැටිලා නම් දේවාලයක් කොයින්ද?”
“මහත්තයා මේ දේවාලය මගේ. මටයි අයිති. මගේ තාත්තලගෙ නොසැලකිල්ල නිසා කඩා වැටුණු දේවාලය ආයෙත් ගොඩනැඟුවේ නැහැ. දේවාලයේ අත්තිවාරම් ගල් ටිකත් ගලවලා ඉඩම සුද්ද කරලා එළවළු වැව්වා. ඊට පස්සෙ ගෙවල් හදලා පදිංචි වුණා. දේවාලෙ තිබුණ කාලෙ මඩු මංගල්ලෙට අං ඇදීම කළෙත් මෙතැන. මේ වැඩවලට මගේ හිතට කේන්ති යනවා. මම මුන්ට රිද්දනවා.”
“තමන් මේ රත්නසිරිගෙ කවුද?”
“සීයා.”
“රත්නසිරිගෙ තාත්තගෙ තාත්තද?”
“නැහැ. ඒ සීයගෙ සහෝදරයා. මම ඒ කාලෙ දේවාලය භාර කපු මහත්තයා.”
“ඇයි මේ රත්නසිරිට කරදර කරන්නේ?”
“මූට විතරක් නොවෙයි ගෙවල් පහේ හයේම අයට මම කරදර කරනවා. මගේ දේවාල භූමියේ ගෙවල් හදාගෙන පදිංචි වුණාට මම තරහයි.”
“දැන් ඉතින් දේවාලයක් නැහැනේ.” යි නාගොඩවිතාන මහතා භූතාත්මයේ ස්ථාවරය වෙනස් කරන්ට උත්සාහ කළේය.
“මහත්තයා එහෙම හිතන්න එපා. දේවාල භූමිවලින් රශ්මියක් පිටවෙනවා. මුන්ට ඔය ඉඩමෙන් අයින් වෙන්න කියන්න.”යි භූතාත්මය කීවේය.
“හොඳයි මේ අය ඉවත් නූනොත්?”
“අයින් නූනොත් විනාශ කරනවා.”
“තමන් මැරිලත් දැන් අවුරුදු සීයක් විතර වෙනවා. ඇයි මෙච්චර කල් විනාශ කරන්න බැරි වුණේ?”
“මහත්තයා මම පත්තිනි මෑණියන්ගෙන් වරමක් ගත් කෙනෙක්. ඒ උත්තමාවී මිනී මරන්න කැමැති නැහැ. ඒකයි මුන්ව විනාශ නොකර ගෙවල්වල කරදර ඇති කළේ.”
“ඔබතුමා දේව මෑණියන්ගෙන් වරම් ගත් එක හැබෑව. දේව මෑණියෝ හරිම කරුණාවන්තයි. මතු බුදු බව පතන කෙනෙක්. උන්වහන්සේ ළඟ වෛර, පළිගැනීම් නැහැ. දේව මෑණියන්ගෙන් වරම් ගත්ත දේව ගැතියාත් එහෙම වෙන්න එපායැ. එහෙම නේද? දේව මෑණියන් වගේම කාරුණික වෙන්න ඕනෑ. ඔබතුමා කපු මහත්තයා වශයෙන් ජීවත්ව ඉන්දැද්දි මොනවද කළේ?”
“දේවාලයට එන අයට උදව් කළා. ආශීර්වාද කළා.”
“ඒ දේවාලයට මොකද වුණේ?”
“දිරාපත් වෙලා කඩා වැටුණා.”
“ඔබතුමාගෙ ශරීරයට මොකද වුණේ?”
“මම මැරුණාම ඒකත් පසට යට කළාම දිරලා ගියා.”
“ඇයි එහෙම වුණේ?”
“ඒක ලෝකෙ හැටිනෙ මහත්මයා.”
“දේවාලෙ දිරලා ගියා. කපු මහත්තයාගෙ ශරීරයත් කුණුවෙලා දිරලා ගියා. ඉතින් ඔය දැන් මා එක්ක කතා කරන්නේ කවුද?”
“ඒ මම නෙ.”
“කවුද මම කියන්නෙ? කපු මහත්තයා මැරුණනම් ඉතින් දැනුත් කපු මහත්තයාමද?”
“ම්…ම්…ම්… මට තේරෙන්නෙ නෑ.”
“දැන් ඔබ කපු මහත්තයා නෙවෙයි. ලෝකයේ පවතින ධර්මතාව සියල්ල ක්ෂණයක් නිසා වෙනස් වෙන එක. දැන් ඔබ වෙනත් ක්ෂුද්‍ර ජීවියෙක්. මැරෙන වෙලාවෙ දේවාලයට ආසාවෙන් මැරුණු නිසා ඔබ ඒ භූමියෙම ඒ හිටපු තැනම හිතින් අල්ලාගෙන මැරුණා. හිටියෙ මනුස්ස ආත්මයක. දැන් ඊටත් වඩා පහළ භාවයක ඉපදිලා. ඇයි ඔබ දේව මෑණියන් වගේ ඉහළ තැනක උපදින්න බැරිවුණේ? තණ්හාව, ආසාව නිසා. ඔය තත්ත්වයෙන් මිදෙන්න කල්පනා කරන්න. දේව මෑණියන්ගෙන් වරම් අරගෙන මේ මොනවද කරන්නෙ? ගෙවල්වල බඩුමුට්ටු පොළොවේ ගහලා කඩා බිඳ දමනවා. ඔබ ජීවත්ව හිටිය කාලයේ හිටපු අයත් දැන් මැරිලා. දේවාලයත් කඩා වැටිලා. ඔබ තවම දේවාලය ගැන හිත හිතා මිනිසුන්ට හිරිහැර කරනවා. මෙහෙම කළොත් මේ ගැන ඔබේ දේව මෑණියන්ට පැමිණිලි කරන්න සිද්ධ වෙනවා. ‘ඔබවහන්සේ ලෝක සත්ත්වයාට කරුණාවෙන් අපරිමිත මාතෘ සෙනෙහසින් කටයුතු කරනවා. බුදු බව පතා පෙරුම් පුරනවා. මෙන්න ගෝලයා මිනිසුන්ට හිරිහැර කරනවා’ කියා පැමිණිලි කරන්න සිද්ධ වෙනවා.”
“අනේ එපා… එපා… එහෙම නම් කරන්න එපා.”
“එහෙම නම් මම කියන දේ කරනවාද?”
“මම මොනවද කරන්න ඕනෑ?”
“අපි මහා සංඝරත්නය වඩම්මවලා අට පිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා සුදු අප්පු කපුමහත්තයාගෙ නමින් පැන් වඩලා පින් අනුමෝදන් කරන්නම්. මේ ඉඩමේ ගෙවල්වල පදිංචි හැමෝම එකතුවෙලා එහෙම පින් දෙනවාට සුදු අප්පු කැමැතියිද?”
“කැමැතියි කැමැතියි.”
“සුදු අප්පු විතරද ඔතැන ඉන්නෙ?”
“නෑ අපි පස් දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් ප්‍රබලයි.”
“එතකොට දුබල කවුද?”
“උන්ගෙ නම් මතක නෑ.”
“හොඳයි ඒ අයටත් කියන්න සුදු අප්පු වෙනුවෙන් දෙන දානයේ පින් අනුමෝදන් වෙන්න කියන්න. ඒ අයගෙ නම් ගම් නොදන්න නිසා නම සඳහන් කරන්න බැරි වුණත් පොදුවේ පින් දෙන කොට ‘සාදු’ කියා පින් අනුමෝදන් වෙන්න කියන්න.”
“හොඳයි මම කියන්නම්.”
ඒ අනුව රත්නසිරිගේ පවුලේ සියල්ලෝ ඉඩමේ පදිංචි අනෙක් අයත් සහභාගි කැරගෙන භික්ෂුන් වහන්සේ විසි නමක් නිවෙසට වඩම්මා නියම කළ පරිදි සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කළහ.
රත්නසිරි ඊට පසු නැවැත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේය. එදිනද ප්‍රලය වූයේය. ගවේෂක නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.
“කොහොමද සුදු අප්පු?”
“දානය හොඳයි මහත්මයා. දානෙන් පස්සෙ පින් අනුමෝදන් කරනකොට මට සළුවක් ලැබුණා.”
“දැන් දිව්‍යාත්මයකට යන්න නේද ඕනෑ?”
“ඔව්.”
“දේවාලය?”
“හ–… හ–… හා දේවාලයක් නැහැනෙ මහත්තයා එතැන. මට දේවාලය එපා.”
“හොඳයි එහෙම නම් නවගමුවට යන්න.”
“හොඳයි හොඳයි කැමැතියි.”
ඉඩමේ ගෙවල්වල පදිංචි අයටද දන්වා පූජා වට්ටි පහක් ගෙන්වා භූතාත්ම ඒ පූජාවට්ටිවලට සම්බන්ධ කොට නවගමුවට යැව්වේය ෴
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )