27.05.2015
= ‘‘ ‘ගෙදරටම නාකිවෙන ගෑණි’ කියලා මේකි මට කිව්වා. ඒ වචන ටික මගේ හදවතේ මහා වේදනාවක් ඇති කළා. හදවත ඇතුළේ ඒ වචන නිතර රැව් පිළිරැව් දුන්නා. මම ලස්සන ගෑනියෙක් නෙවෙයි. මාව බලන්න ආපු පිරිමි මට කැමැති වුණේ නෑ. ඒ මගේ කරුමෙ වෙන්න ඇති. පෙර කරපු අකුසලයක විපාක වෙන්න ඇති. ඒත් මේ එක හැළියේ උයා පිහාගෙන කන, එක වහල යට එකට ජීවත්වෙන එකියක් මේ විදියට කනට ඇහෙන්නම කීවම කොයි තරම් වේදනාවක් ඇති වෙනවද? ඒ වේදනාවෙන් ඒ වෛරයෙන්මයි මම මැරුණේ. මම මේකිගෙන් පළිගන්නවා” යි නෑනා කෙනකුගේ ශරීරයට රිංගාගෙන සිටි ප්‍රේතියක් කියයි =
තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශ්වයටම හෝ වරදක්, පාඩුවක්, හිංසාවක්, දුකක්, කරදරයක් කිරීමේ චේතනාවෙන් සිත, කය, වචනය යන තුන් දොරින් යමක් සිතයිද, කරයිද, කියයිද එය පාපයකි. අකුසලයකි. වචනයෙන් සිදුවන මුසාවාද, පිසුනාවාචා, පරුෂාවාචා, සම්පප්‍රලාපා යන අකුසල හතරද සුළු පටු යැයි නොසිතිය යුතුය. සමහරුන්ගේ සමහර වචන අසන්නාගේ හදවත පසාරු කරගෙන විෂ පෙවූ හී පහරක් වැනි වේදනාවක් ඇති කරයි. එය අසන්නාගේ චිත්ත සන්තානය දූෂණය කරයි. ඒ හේතුවේ ඵලය වශයෙන් අසන්නා තුළ අකැමැත්ත, අමනාපය, තරහව, වෛරය, ක්‍රෝධය, පළිගැනීම ඇති කරයි. එය දිගින් දිගට යන කර්ම විපාකයක් ලෙස සසර ගමන දිග් කරයි. දුක් දෙයි.
පන්නල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ දීපිකා හැට එක් හැවිරිදි කාන්තාවකි. ඇයට දරුවන් නැත. ඇගේ දණහිස් ඉදිමී ඇත. හිටිහැටියේ දෑත දෙපය ඇඹරී ගොස් මහත් වේදනාවක් විඳියි. එවිට ඇය කොරෙකු මෙන් දඟලයි. කෑ ගසයි.
එනිසා ඇයව ඇතුල්කෝට්ටේ ගුප්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබිණි. එහිදී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට දීපිකා ප්‍රලය වී කෑ ගසන්නටත් හූ කියන්නටත් දඟලන්නටත් වූවාය. නටන්නටත් වූවාය. ඇය අධික රුධිර පීඩනය සඳහාද වෛද්‍ය ප්‍රතිකාර ලබන්නියක නිසා වෙහෙස නොකොට ප්‍රකෘති සිහියට පත් කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි නියම කළේය.
බෝධි පූජා අවසන් කොට නැවැත පැමිණි දිනයේද දීපිකා ප්‍රලය වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”
“මම පුෂ්පා” යි භූතාත්මය කීවාය.
“කවුද මේ පුෂ්පා කියන්නෙ?”
“මම මේකිගෙ නෑනා.”
“ඇයි මේ අයට කරදර කරන්නේ?.”
“මුන්ගෙ ජීවිත අවුල් කරලා මේකිව මරන්න.”
“ඇයි ඔය තරම් වෛරයක්?.”
“මම අවිවාහකවමයි ජීවත් වුණේ. මුන්ට උදව් පදව් කරගෙන. ගෙදර වැඩ කරගෙන හිටියා. දවසක් මේකි මගේ මල්ලිත් එක්ක කාමරේ ඉඳගෙන ගෙදරටම නාකි වෙන ගෑනි කියලා කතා වෙනවා මට ඇහුණා. ඒ වචනෙ කනට ඇහුණාම මට පිහියෙන් ඇන්නා වගේ වුණා. එදා තමයි මගේ වෛරය පටන් ගත්තේ.”
“ඒ කොයි කාලෙද?”
“ඒ මීට අවුරුදු තිහකට කලින්. එතකොට මට වයස අවුරුදු තිස් පහයි.”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ මම අම්මත් එක්ක වෙනම උයාගෙන කන්න හිටියා. අම්මා මළාට පස්සෙ මම අවුරුදු විස්සක් තනියම වෙනම උයාගෙන කෑවා.”
“ඉතින් ඔය සුළු වචනයකටද ඔය තරම් වෛර කළේ?”
“ඒක සුළු වචනයක්ද? මම අවිවාහකව ඉන්දැද්දි මමමයි මුන්ගේ මඟුලට උදව් කළෙත්. ඉතින් එහෙම කරපු මට ඔහොම කියන්න හොඳද? මම පළිගන්නවා.”
“ඇයි තමුන් විවාහ නූනේ?”
“මහත්තයා මම කැතයි කියලා මාව බඳින්න කවුරුවත් කැමැති වුණේ නෑ. මේකිගෙ දුෂ්ට වචනය ඇහුණු දා ඉඳලම මම වෛර කළා. මුන් හොඳින් පවුල් කනවා දැක්කාම ඉරිසියා හිතුණා. කාමරේ ඇතුළට වෙලා දෙන්නා හිකි හිකි ගාලා හිනාවෙනකොට මට හිතුණේ ඒ මට තමයි හිනා වෙන්නේ කියලා. මම ජීවත්ව ඉන්දැද්දි මුන්ව මකබෑවෙලා යන්න කියලා විනයක් කළා. ඒ විනේ හරි ගියෙත් නෑ. ඌත් හොර කට්ටඬියෙක්. මාව රවටලා සල්ලි ගත්තා. ඌට හොඳක් සිද්ධ වෙන්නෙත් නෑ.”
“තමුන් ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නැද්ද?”
“ඇයි නැත්තෙ? පන්සලේ ප්‍රධාන දායිකාව මම. හතර පෝයටම සිල් ගත්තා. උපාසිකා සමිතියේ සභාපති මම.”
“ඇත්තටම ඔබට දුක හිතුණෙ මේ දීපිකාගෙ වචනයටද? විවාහයක් වෙලා පවුල් කන්න බැරිවුණාටද?”
“ම්… ම්…. මුන් හොඳට සමගියෙන් පවුල් කනකොට ඉරිසියා හිතුණා. මුන් සතුටෙන් ඉන්නවා දකින්න කැමැති වුණේ නෑ.”
“තමුන්ගෙ හිතට ඇයි සතුටක් නොදැනුණේ”
“මම දන්නෙ නැහැ මහත්තයා. කරුමෙ තමයි?.”
“කරුමෙ? ආ… පූරුවෙ කරුමෙ නේද? පෙර කරන ලද කර්මයකට විපාක විඳින්න සිදුවුණා නේද? උපාසිකා සමිතියේ සභාපති නම් බණ දහම් දන්නවා ඇති නේද? පෙර භවයක අනුන්ගේ පවුලක් අවුල් කරලා ඇති. ඒ විපාකයට මේ භවයේ පිරිමියෙක් කැමැති වුණේ නෑ. එහෙමත් ඉඳගෙන දැනුත් මේ පවුල් අවුල් කරනවා. පෙර අකුසල කර්ම නිසා කැත වෙලා විරූපී වෙලා උපන්නා. පිරිමි කැමැති වුණේ නෑ. පවුල් ජීවිතයක් ගෙවන්න බැරි වුණා. ඒ අකුසල විපාක ගෙව්වා මදිවාට අනුන්ට ඉරිසියා කරලා පෙරේතියක් වෙලා ඉපදිලා දැන් දුක් විඳිනවා. අනුන්ට කරදර කරලා තවත් පව් කරනවා. අනාගතේටත් කැත වෙලා උපදිනවා. විවාහ වෙන්න බැරි තැනට කටයුතු කර ගන්නවා. ඉදිරියටත් දුක් විඳින්න වෙනවා. උපාසිකා සමිතියේ සභාපති නම් මේවා තේරෙනවා ඇතිනෙ” යි ගවේෂකවරයා කියන විට ප්‍රේතිය අඬන්නට වූවාය.
“අනේ මහත්තයා මම දැන් මොකක්ද කරන්න ඕනෑ? මට තේරෙන්නෙ නෑ” යි ප්‍රේතිය අඬමින් කීවාය.
“පළමුවෙන්ම මේ අයට කරන ඉරිසියාව නතර කරන්න. මම මේ කියන්නෙ තමුන්ගෙ යහපතටමයි. හැබැයි නෑනාව දකින දකින මොහොතක් ගාණෙ ඉරිසියා හිතෙන එක නවත්තන්න අපට බෑ. ඒක ඔබේ පුරුද්ද. ඒකට කරන්න තියෙන හොඳම දෙය තමයි මේ අයව අතහැරලා මේ අය පවුල් කනවා නොපෙනෙන තැනකට යන එක. සිද්ධස්ථානයකට යන එක” යැයි ගවේෂකවරයා කීවේය.
“ම්… ම්…. ඔව් මහත්තයා මේ හැතිරි ළඟ ඉඳලා වැඩක් නෑ. මම පන්සලේ බෝධිය ළඟට යනවා” යි ප්‍රේතිය කීවාය.
“බොහොම හොඳයි. මම මේ මල්ලිට කියන්නම් පන්සලේ හාමුදුරුවන්ට සාංඝික දානයක් පූජා කර තමුන්ට පින් අනුමෝදන් කරන්න කියලා. ඒ පින් අනුමෝදන් වෙලා ලස්සන සුරංගනාවියක් වෙලා උපදින්න අධිෂ්ඨාන කරන්න.”
“හොඳයි මහත්මයා. මම බෝධින් වහන්සේ ළඟට යනවා” යි ප්‍රේතිය නික්ම ගියාය.
ගවේෂකවරයා පවුලේ අයටත්, නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.
මතුගම
මහින්ද විජේතිලක
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )