07. බේබිට ආදරේ වැඩි නිසා ඇඟට වැහුණු මියගිය මෙහෙකාරිය

27.05.2015

මේ ලෝකය කාම ලෝකයකි. දේපළ, වස්තු, සම්පත් කෙරෙහි මෙන්ම පුද්ගලයන් කෙරෙහිද මිනිස් මනස ඇලීම ස්වභාවිකය. මේ තණ්හාව නිසාම ලෝකයේ පැවැත්මද දිගින් දිගට පවතී. මේ සියල්ල අනිත්‍යය, දුක්ඛය, ආත්මය යැයි සිතන්නන් ඉතාමත්ම විරළය. මෙසේ සියල්ල නිසරු බව පොතපතින් හා ගුරුවරුන්ගෙන් දැන ඉගෙන සිටින්නෝ සිටිති. එහෙත් එය මෙනෙහි කොටගෙන අවබෝධ කොටගත්තන් ඉතා විරළය.

ඇතැම් කෙනෙක් තව කෙනකුගේ රූප සෝභාවට ප්‍රසන්න බවට ඇලෙති. තව කෙනෙක් ගතිගුණවලට ඇලෙති. මේ කැමැත්තද වැඩි වූ තැන උපාදාන වූ තැන එයද දුකට හේතු වෙයි.

මලිති රාජගිරිය ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුණියකි. ඇයට අඩි පහක් පමණ උස කළු පැහැති පුද්ගලයකුගේ ඡායාවක් නිවෙස තුළ එහා මෙහා ගමන් කරන හැටි පෙනෙන්නට විය. ඇය නිදන කල ඇගේ ඇඳ ළඟ සිටින අයුරු පෙනෙන්නට විය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඇය දැන් ඒ ඉගෙනුමද අතහැර දමා ඇත. ඇය දත් මදින්නේ නැත, නාන්නේ නැත. එළි පහළියට එන්නට බියක් දක්වයි. ඇඳ යට සැඟවී සිටී. රෙදි රාක්කවලට මුවා වී සැඟවී සිටී. මලමුත්‍ර ඇඳුම්වල තවරාගෙන දුර්ගන්ධයෙන් යුක්තව ජීවත් වෙයි. තරුණයකු දුටු විට කෑ ගසා අඬන්නට පටන් ගනී. කෑම පිඟාන එකවර අනා කාගෙන කාගෙන යයි. නිවෙසේ සේවිකාවෝ පවා ඇයට බියක් දක්වති.

මෙම රෝගී තත්ත්වයෙන් ඇය මුදා ගන්නට මනෝ වෛද්‍යවරුන් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කළත් එයින් සුවයක් ලබාගත නොහැකි විය.

“මව්බිම” පත්‍රයේ “මළවුන්ගේ හෝරාව” විශේෂාංගය කියැවූ ඇගේ මවුපියෝ ඒ ගැන සාකච්ඡා කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය ගෙන ගියහ. ඒ වන විටත් ඇය කෙරෙන් හඩු ගඳ වහනය වෙමින් පැවතිණි. ආධ්‍යාත්මීය ගවේශක කසුන් නාගොඩවිතාන මහතා වෙත ඇය ඉදිරිපත් කළ ඇගේ මවුපියෝ දියණියගේ විකෘතිතාව පැහැදිලි කළහ.

නාගොඩවිතාන මහතා මලිති වෙත ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට ඇය සිහිසුන්ව වැටුණාය. ඇය සිහි ගන්වා ගමේ පන්සලේදී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

මෙසේ බෝධි පූජා පවත්වන විට ඇය ප්‍රකෘති තත්ත්වයට පත් වූවාය. මුහුණ සෝදන්නට, දත් මදින්නට, නාන්නට පටන් ගත්තාය. පිළිවෙළකට ආහාර ගන්නට පටන් ගත්තාය. ඇය සම්පූර්ණයෙන් පිරිසුදුව ප්‍රසන්න තත්ත්වයට පත් වූවාය. එහෙත් ඇස් යට කළු පැහැය පමණක් ඉතිරිව තිබිණි.

දෙවැනි දිනයේ ගවේෂකවරයා ඉදිරියේදී ඇය ප්‍රලය වූවාය. අඬන්නට ගත්තාය. ඇගේ ඇඬිල්ල නතර නොවන විට ඇයට බලකිරීමක් නොකොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් ලැබිණි.

ඊළඟට පැමිණි දිනයේද ඇය ආවිශ්ට වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”

“මම පුන්නවතී.”

“පුන්නවතී කියන්නේ කවුද?”

“මම මේ ගෙදර වැඩ කරපු කෙනෙක්. මම මේ බේබිට ආදරෙයි. මට බේබිව දාලා යන්න බෑ. අනේ මට යන්න නම් කියන්න එපා” යැයි කියා නැවතත් අඬන්නට වූවාය.

“අඬන්න එපා අපි උදවු කරන්නම්. දැන් කතා කරන්න”

“පුන්නවතීගෙ ගම කොහෙද?”

“හැටන්වල තේ වත්තක.”

“වයස කීයද?”

“මැරෙනකොට වයස අවුරුදු විසි හතරයි.”

“මොනවා වෙලාද මැරුණේ?”

“දැනට අවුරුදු පහකට කලින් මම නිවාඩු ඉල්ලගෙන ගෙදර ගියා. ගෙදර එනකොට මම ආපු බස් එක පෙරළුණා. ඒකෙන් තමයි මැරුණේ.”

“ඉතින් ඇයි මේ ළමයට කරදර කරන්නේ?”

“මම කරදර කරන්නේ නෑ. මම බේබිට ආදරෙයි. බේබිත් මට ආදරෙයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක කාමරේ. බේබි ඇඳ උඩ නිදා ගත්තා. මම පැදුරක් එළාගෙන බිම නිදා ගත්තා. යාළුකමට තමයි බේබි හොයාගෙන ආවේ” යි අඬන්නට වූවාය. “අනේ මාව පන්නන්න එපා. මම බේබිට ආදරෙයි. මට යන්න බෑ” යි අඬන්නට වූවාය.

තවත් දින හතක් බෝධිපූජා පවත්වා පුන්නවතීට පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.

එසේ බෝධි පූජා පවත්වනට විට රාත්‍රියට නිවෙසේ වළං පිඟන් සෙලවෙන ශබ්ද ඇසෙන්න විය.

සතියකට පසු නැවත පැමිණි විටද මලිති ප්‍රලය වූවාය.

“කවුද මේ?”

“මම පුන්නවතී.”

“කවුද මේ ගෙදර රෑට වළං පිඟන් සොලවන්නේ?”

“ඒ මම.”

“ඇයි එහෙම කරන්නේ?”

“අනිත් වැඩකාරයන් බය කරලා පන්නගන්න. තව වැඩකාරයෝ මොකටද? මම හිටියාම මදැයි”

“තමුන් වළං, පිඟන් හොලවමින් මොනවාද කරන්නේ?”

“මම උයනවා.”

“කෑම උයන්නේ මොටද?”

“කෑම උයන්නේ කන්නනේ?”

“තමුන් මැරිලනෙ. කෑම උයන්න පුළුවන්ද?”

“පුළුවන්.”

“කාටද ඒ කෑම?”

“මම ඒවා බේබිට කවනවා.”

“තමුන් ඔය කරන්නේ බරපතළ වරදක්. දැන් බේබි ලෙඩෙක් වෙලා. අධ්‍යාපනය කඩාකප්පල් වෙලා. ජීවිතය අවුල් වෙලා. තමුන් කවදද මේ ගෙදරට ආවේ.”

“දැන් හුඟාක් කල්. ඒත් බේබිගෙ ඇඟට රිංගන්න බැරි වුණා.”

“ඒ මොකද?”

“මහත්තයා හැම මිනිහෙකුගෙම ශරීරය වටේ රැස් වළල්ලක් තියෙනවා. ඒක නිසා අපට ඇඟට රිංගන්න බෑ. දවසක් රෑ බේබි ඇඬුවා. බේබි අඬනකොට ඒ රැස් වළල්ල දුර්වල වුණා. අන්න එතකොට මම රිංග ගත්තා.”

“ඇයි බේබි ඇඬුවේ?”

“බේබි එක්ක යාළුවෙලා හිටිය පිරිමි ළමයා තරහ වෙලා. ඒකයි ඇඬුවේ.”

“තරහ වුණේ මොකද කියලා පුන්නවතී දන්නවාද?”

“නෑ. ඒ මහත්තයා නිතර ගෙදරට එනවා. නෝනයි මහත්තයයි ඒකට කැමතියි. ඒ දෙන්නා ගෙදර ඉන්න වෙලාවටත් එනවා. ගෙදර බේබි ඉන්න වෙලාවටත් එනවා. ඒ වෙලාවට මම කාමරයට යන්නේ නෑ. හිටිහැටියේ ඒ මහත්තයා නෑවිත් ඇරියා. ඒකයි බේබි ඇඬුවේ.” ප්‍රේතිය කීවාය.

“හොඳයි දැන් පුන්නවතී කල්පනා කරන්න පුන්නවතී බේබිට ආදරේ වුණාට බේබි පුන්නවතීට ආදරේ නෑ. බේබි ආදරේ කොල්ලෙකුට. ඒ නිසා පුන්නවතී බේබිට ආදරේ කරලා වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ බේබි ලෙඩ වෙන එක විතරයි. මම මේ අයට කියලා දානයක් දීලා පුන්නවතීට පින් දෙන්න කියන්නම්.”

“පින් මොකටද මහත්තයා.”

“දානයක් දීලා ඒකෙන් විඳින සතුට, ඒ පින්කමේ ශාන්තිය බෙදා දෙනවා. ඒ පින අනුමෝදන් වුණාම ඒ පින සතුටෙන් බාර ගත්තාම ඔය ප්‍රේත භාවයෙන් ඉහළට යන්න පුළුවන්” යැයි ගවේෂකවරයා පැහැදිලි කළේය.

“හොඳයි මහත්තයා.”

අනාථ නිවාසයකට දානයක් දී ඔවුහු මේ පැරැණි සේවිකාවට පින් අනුමෝදන් කොට නැවත පැමිණියහ.

එදින ඇය නැවත ආවිශ්ට කොට කරුණු පැහැදිලි කොට කැලණියට යැවීය.

ඉන්පසු තරුණිය ඉදිරියේම මවුපිය දෙදෙනාට අවවාද කළේය.

“බලන්න අද සමාජයේ අම්මලා, තාත්තලා ළමයින්ට බයේ සීමාව ඉක්මවලා නිදහස දෙනවා. අද ළමයි දියුණුයි. සමාජ ක්‍රමය මෙහෙම තමයි කියලා ගෑනු ළමයින්ට කොල්ලන්ව ගෙදරට ගෙන්න ගන්න දෙනවා. ඉන්ටර්නෙට් එකෙන්, ෆේස්බුක්වලින් ළමයි වැඩිහිටියන්ගෙ හැම දෙයක්ම ඉගෙනගෙන. කොල්ලා එක්ක ඇවිදින්න යනවා. හෝටල් කාමරවලට රිංගනවා. ගෙදරට ගෙන්න ගන්නවා. අම්මලා තාත්තලා මෝඩකමට ඔහේ ඉඩ දෙනවා. අන්තිමේ ගෑනු ළමයි අමාරුවේ වැටෙනවා.”

“අපේ විශ්ව ප්‍රාණි පදනමෙන් සමීක්ෂණයක් කළා පවුල් සියයක් තෝරාගෙන. අවුරුදු විස්සේ තිහේ ළමයි හරිම වෙනස්. බුදුන්ට මලක් පූජා කරන්නේ නෑ. අපි හැම දේම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. දේශපාලන වශයෙන් වෛර ඇති කරගෙන. ජාතික වශයෙන් පිරිහිලා. සිරිත් විරිත් ගුණධර්ම දන්නේ නෑ. ආර්ථිකය පිරිහිලා. පවුල් සියයකින් 10 ක්ම දුරකතනවලට මාසයකට රුපියල් 6,000-10,000 අතර ගණනක් වියදම් කරනවා. ලයිට් බිල් වැඩිවෙලා. අහංකාර මානයෙන් ගෙදරට විලාසිතා, සුඛෝපභෝගී භාණ්ඩ ගෙනෙනවා. හැබැයි පාවිච්චි කරන්න වෙලාවක් නෑ. හැම පවුලකම රෝගීන්. බෙහෙත්වලට මාසෙකට රුපියල් 3,000 ට වඩා වියදම් කරනවා. ඉඟුරු කොත්තමල්ලි ටිකත් බොන්නෙ නෑ. 40% ක්ම අල්පේච්ඡ නෑ. ලද දෙයින් සතුටුවෙන්නෙ නෑ. හඹාගෙන යනවා. සල්ලි තියෙනවා. ළමයි ඉන්නවා. මේ දෙකොටසම අයාලේ යනවා. ඉතුරු 60% අර අයගෙ තත්ත්වයට එන්න බැරිව පීඩා විඳිනවා. දුක් විඳිනවා. මේ අය මරණයෙන් පසු උපතක් ගැන හිතන්නේ නෑ. ආගම දහම පිළිපදින්නේ නෑ. වැඩ වැරදුණාම දෙයියන් බුදුන් හොයාගෙන යනවා. තමන්ගේ වරදින් අමාරුවේ වැටුණ, ඉගෙන ගන්න බැරිව රක්ෂාවක් නැති, ලෙඩ දුක් හැදුණ දුවට පුතාට රස්සාවල් ඉල්ලලා ලෙඩ සනීප කරදෙන්න කියලා බෝගස් යට දෙයියන්ගෙන් ඉල්ල ඉල්ලා පහන් දල්වනවා. ආගමක් දහමක් නොදන්න එවුන් දිහා දෙවියෝ බලන්නේ නෑ. දෙවියෝ ආශීර්වාද කරන්නේ නෑ. මේක අපේ රටට, ජාතියට සිදු වෙච්ච ඵන්නැහියක්. අපේ සංස්කෘතිය, ගති පැවතුම් අතහැරලා බටහිර පන්නයට ජීවත්වෙන්න ගිය මෝඩයෝ අන්තිමට දුක් විඳිනවා.

මවුපියන්ට කොන්දක් නැති වුණාම ළමයි අයාලේ යනවා. හැඳි නොගා උයන කිරිහොද්ද වගේ දඬුවම් නොකර හදන ළමයි රටට, ජාතියට නෙවෙයි මවුපියන්ටවත් වැඩක් නෑ” යි නාගොඩ විතාන මහතා දේශනයක් දුන්නේය.

මහින්ද විජේතිලක

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )