රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි

රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි

*********************************************

රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි

(01.11.2021 – 23:38 +0530 – lankadeepa.lk)

පෞද්ගලික බැංකුවක ඒ.ටි.එම්. යන්ත්‍රවලට මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු රුපියල් 6,74,19,700 (හය කෝටි හැත්තැහතර ලක්ෂ දහනවදහස් හත්සියයක්) මුදලක් රැගෙන එම වෑන් රථයෙන් පලායමින් සිටියදී නුවරඑළිය බදුල්ල පාර රේන්දපොල හංදිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා සෙබළෙකි.

කොළඹ සිට හැටන් දක්වා පෞද්ගලික බැංකුවක ඒ.ටි.එම්. යන්ත්‍රවලට මුදල් දැමීම සඳහා සේප්පුවක බහා මුදල් රැගෙන යමින් සිටි වෑන් රථය හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට නවතා එම බැංකුවේ යන්ත්‍රයට මුදල් දැමීම සඳහා අනෙකුත් නිලධාරීන් වෑන් රථයෙන් බැස ගොස් සිටියදී රියදුරු ලෙස සිටි හමුදා සෙබලා මුදල් රැගෙන පලායන බවට පොලිසියට දන්වා ඇත.

සිද්ධිය සැලවූ සැනින් අවට පොලිසිය මෙන්ම මිහිපිලිපාන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සියලුම මාර්ග ආවරණ වන පරිදි විශේෂ මුර කපොලු යොදා මුදල් රැගෙන පලායමින් සිටි හිටපු හමුදා සෙබලා නුවරඑළිය බදුල්ල පාර අඹේවෙල රේන්දපොල හංදිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුදල් තොගය සහ සැකකරු කැප්පෙටිපොළ පොලිසිය වෙත බාරදීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මිහිපිලිපාන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක අයි. එම්. ජේ. හේරත් මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් තැන්පත් කිරීම සඳහා මහනුවර සිට ආයතනයේ නිලධාරියෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ රියදුරා පැමිණ ඇති අතර ඒ. ටී. එම්. යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට ආරක්ෂක නිලධාරියා සහ ආයතනයේ නිලධාරියා වෑන් රථයෙන් බැසීමෙන් පසු රියදුරු වෑන් රථය පදවාගෙන පලා ගොස් තිබෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර රියදුරා පසුපස ලුහුබැඳ ගොසිනුයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරු හා මුදල් සමග වෑන් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලීසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ, මීපිළිමාන කඳුවුරේ නිලධාරියෙක් පැවසුවා.

අද (02) දා මුදල් පැහැර ගැනීමට අදාළ සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

******************************************

හවුල්කාර පක්ෂ ගැන විනය පරීක්ෂණයක් සිදුකළ යුතුයි – විදුලිබල ඇමති

(01.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ ආණ්ඩුව සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ගයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව රජයේ හවුල්කාර පක්ෂ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන හවුල්කාර පක්ෂ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද (01) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින්.

******************************************

කාලගුණ ඛේදවාචකයක් වැළැක්වීමට, ලෝක නායකයින් අවසන් උත්සාහයක

(01.11.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ අර්බුදය ගෝලීය ඛේදවාචකයක් බවට පත්වීම වැළැක්වීම සඳහා අවසන් බලාපොරොත්තුව සලකුණු කරන ජගත් සමුළුව සඳහා රටවල් 120 කට වැඩි සංඛ්‍යාවක නායකයන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරට දැන් රැස්ව සිටිනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් වසරක් කල් තැබුණු ‘ග්ලාස්ගෝ කෝප් 26’ සමුළුවේදී ලෝක නායකයන් වසර 2100 වන විට මිහිතලයේ උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 කට සීමා කිරීමට ගත හැකි පියවර සලකා බලනු ඇති.

දැනට පවතින වාතාවරණය අනුව එය සෙල්සියස් අංශක 2.7 ක වෙනසක් විය හැකි අතර එවැන්නක් කාලගුණ ඛේදවාචකයකට හේතු වනු ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

කාලගුණ වෙනසේ බලපෑමට මුහුණදීම සදහා ඌන සංවර්ධිත රටවල්, මෙහිදී ඩොලර් බිලියන 100 ක වාර්ෂික අරමුදලක් ස්ථාපිත කරන ලෙස ධනවත් රාජ්‍යයන් වෙතින් ඉල්ලා සිටීමට ද නියමිතයි.

******************************************

මිහිඳු නිවහන ව්‍යාපෘතිය යටතේ නව නිවාස වෙනුවෙන් දීමනා චෙක්පත් ප්‍රදානය කෙරේ

(01.11.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජා කළ මව්පියන්ට උපහාර වශයෙන් නිවාස ඉදිකර දීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කළ මිහිඳු නිවහන ව්‍යාපෘතිය යටතේ නව නිවාස වෙනුවෙන් දීමනා චෙක්පත් ප්‍රදානය අද සිදුකෙරුණා.

ඒ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් ඇතුළු තෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්.

මිහිඳු නිවහන වැඩසටහන යටතේ ගම්පොල – ජයමාලපුර ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම අද පෙරවරුවේදී සිදුකෙරුණා.

ඉන් අනතුරුව මහනුවර, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් තෝරාගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේගේ මව්පියන් 165 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම අස්ගිරි මහා පිරිවෙන් විහාරස්ථානයේදී සිදුකෙරුණා.

එම අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය මෙන්ම චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

******************************************

රුහුණු කතරගම මහා දේවාලයේ පවුම් 38 ක රන් තැටියක් අතුරුදහන්

(01.11.2021 – 22:37 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38 ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළා.

පවුම් 38 ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.

මීට සති දෙකකට (2) පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා.

පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ (31) කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය ෴

******************************************

විදෙස් මත්පැන් සපිරි ‘හැලොවින්’ සාදය

(01.11.2021 – 19:27 +0530 – sinhala.adaderana.lk)

ෆේස්බුක් හරහා කඳාන ප්‍රදේශයේ සංවිධාන කළ ‘හැලොවින්’ සාදයක නීතිවිරෝධී අයුරින් විදෙස් මත්පැන් අලෙවි කරන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව ‘උකුස්සා’ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමග එහි ගියේ, එම නීතිවිරෝධී ක්‍රියාව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාය.

අප එහි යනවිටත් එම ස්ථානයේ සාදය පැවැත්වෙමින් තිබිණි.

මෙහි නීතිවිරෝධී අයුරින් විදෙස් මත්පැන් අලෙවි කරන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව සුරාබදු නිලධාරීන් එම ස්ථානය වටලනු ලැබිණි.

එහි සිටි පිරිසක් සුරාබදු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයකි.

අනතුරුව සුරාබදු නිලධාරීන් විසින් විදෙස් මත්පැන් බෝතල් සමග පුද්ගලයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මොවුන් සතුව විදෙස් මත්පැන් අලෙවිය සඳහා බලපත්‍රයක් නොමැති බවය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි ෴

******************************************

ගැහැණුන්ගේ හැටහතර මායම් වලට අහු උනේ නැති මම ගෝඨාභයට අහු උනා (02.11.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

අමරසර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *