සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි

සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි

*********************************************

සෞඛ්‍ය නිර්දේශවලට අනුකුල නොවන සහ ඇඳිරි නීතිය කඩන අයට නීතිය දැඩිවෙයි

(17.09.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම මෙම අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වෙත මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී ඇත්තේ ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධාන වගකීමක් බවයි.

දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අළුයම 04:00 දක්වා දීර්ඝ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බවයි මෙම කමිටු රැස්වීමේදී අනාවරණය කෙරුණේ.

දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටි අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ එහිදී දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි.

සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්නට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර ඔවුන් පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවයි.

දැනට වයස අවුරුදු 15–19 අතර වයස් කාණ්ඩයේ සියලුදෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය කමිටුව සඳහන් කළා.

ඒ අනුව මෙරට වයස අවුරුදු 15–19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලුදෙනා එන්නත්කරණය කඩිනමින් අවසන් කිරීමටත්, රෝහල් තුළදී පමණක් එම එන්නත් ලබාදීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළා.

විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමටයි ඔහු මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

තරුණ තරුණියන් එන්නත්කරණයේ දී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තුවන තත්ත්වයක් දක්නට ලැබෙන අතර විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර සියලු එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලුදෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පෙන්වා දී තිබෙනවා.

සංකූලතා සහිත පශ්චාත් කොවිඩ් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් මර්දන කමිටු රැස්වීමට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියාසිටියේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුව ද මේ වසරේ පළමු (1) සහ දෙවන (2) කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බවයි.

ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ඔහු ස්තූතිය පළ කළා.

ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර සියලු ආර්ථික මධ්‍යස්ථාන ආඛණ්ඩව විවෘතව තැබීමට ද දැනුම් දී තිබෙනවා.

සිසුන් 200ට අඩු ග්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද අද සාකච්ඡවේ දී විශේෂ අවධානය යොමු කෙරුණා.

එහිදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද පැහැදිළි කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

++++++++++++++++++

(17.09.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.

කෙසේ වෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කරන බවට පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර ඒ අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණා.

නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවක මෙලෙස මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබීම සම්බන්ධයෙන් අප සුරාබඳු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සදහා අවසර ලබාදී නොමැති බවයි.

එලෙස විවෘත කර ඇති මත්පැන් අලෙවිසැල් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බව ද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

කෙසේවෙතත් විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් පසුගියදා (12) අවසර ලබාදෙනු ලැබුවා.

ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරටට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවතා ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

දිගු කාලයකට පසුව විවෘත කිරීමේදී මත්පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශි වීම සහ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.

+++++++++++++++++

(17.09.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

‘කළු දිලීරය’ට අමතරව තවත් ‘ඇස්පජිලස්’ නම් දිලීරයක් වැළඳුණු කොරෝනා ආසාදිතයන් 700 කට වැඩි පිරිසක් මෙරටින් වාර්තාවී තිබෙනවා.

‘කොවිඩ් ඇසෝසියේටඩ් පැල්මනරි ඇස්පජිලස්’ නමින් හඳුන්වන මෙම දිලීර තත්වය පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදි ඇය කියා සිටියේ කළු දිලීරය වැළඳුණු කොරෝනා ආසාදිතයන් මේ දක්වා වාර්තාවී ඇත්තේ 12 දෙනෙකු පමණක් බවයි ෴

+++++++++++++++++++

(17.09.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා දේශීය ආයුර්වේද ක්‍රම භාවිතයෙන් ප්‍රතිකාර කිරීමේ නව අතරමැදි මධ්‍යස්ථානයක් ලග්ගල හරිත නගරයේදී අද (17) ආරම්භ වුණා.

මධ්‍යම පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඉදිකෙරුණු මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව පුද්ගලයින් 76 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් සලසා දී තිබෙනවා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1278 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,99,972 ක් ලෙසටයි ෴

+++++++++++++++++++

වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම්

(17.09.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

රජයේ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරුන් තමා හමුවී මේ පිළිබඳ දැනුම්දී ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එවැනි ආකාරයේ තර්ජනය කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම දඬුවම් දෙන බව ද ඔහු සඳහන් කළා.

ගුරුවරුන් වැඩි පිරිසක් වර්ජනයට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොව වෙනත් පුද්ගලයන්ගේ බල කිරීම මත වන අතර දරුවන්ට ආදරේ කරන වැදගත් ගුරුවරුන් බහුතරයක් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කළහොත් දුරකථන අංක 118 හෝ 119 අමතා පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය සරත් වීරසේකර මහතා ඉල්ලීමක් කරනවා.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට තවමත් වාර විභාග පවත්වා නොමැති අතර සෞන්දර්ය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වානොමැතිවීම හේතුවෙන් ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි ද සඳහන් කළා.

වර්ජනවල නිරත වෙමින් මෙලෙස දූ දරුවන්ගේ අනාගතය අඳුරු නොකරන ලෙසටයි ගුරුවරුන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඉල්ලීමක් ද කළේ.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග පැවති සාකච්ඡාව අතරතුර දී වෘත්තිය සංගම් නියෝජිතයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් වෘත්තීය අරගලය ඉදිරියට ගෙන යන බවයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (17) දින 68 ක්.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා ඉකුත් අගෝස්තු මස 30 වනදා කැබිනට් මණ්ඩලය අනුමත කළා.

+++++++++++++++

(17.09.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 121 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 121 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,938 ක් ලෙසටයි.

මෙම මරණ 121 අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) පිරිමි අයෙක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 28 ක් තහවුරු වී ඇති අතර පිරිමි 16 ක් සහ කාන්තාවන් 12 ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 92 ක් ඊයේ තහවුරු කළ මරණ 121 අතර වනවා. ඒ කාන්තාවන් 47 ක් සහ පිරිමි 45 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 4,99,972ක් හඳුනාගෙන ඇති අතර ඉන් 58,258 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,29,776 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *