පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක්

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක්

*********************************************

පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරම – ‘අද දෙරණ උකුස්සා’ හෙළිදරව්වක්

(03.09.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල රජයේ දැඩි නියාමනයක් යටතේ මෙරටට ගෙන්වන සහ භාවිත කෙරෙන පසුබිමක ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල කූඨ ලෙස අලෙවිකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට ‘අද දෙරණ උකුස්සා’ට අද (03) හැකි විය.

කොවිඩ් ආසාදිතයෙකු තහවුරු කරගැනීම සඳහා කඩිනම් ක්‍රමවේදය ලෙස ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණය හඳුන්වයි.

ඒ සඳහා භාවිත කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරලත් ආයතන දෙකක් (2) පමණි.

එලෙස ගෙන්වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය ලත්, ප්‍රමිතිගත ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයි.

එම පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වූ පසු රජයේ රෝහල්වලට සහ පෞද්ගලික රෝහල්වලට ලබාදීම සිදු කෙරේ.

එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු අවසරයක් ලබා නොගත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල පිටකොටුව ප්‍රදේශයේ කිසියම් පිරිසක් අලෙවිකරන බවට තොරතුරක් ‘අද දෙරණ උකුස්සා’ට ලැබුණි.

ඒ අනුව උපාය දූතයෙකු ලවා අප එය තහවුරු කරගත්තේය.

(දුරකථන හඬ පටය)

හලෝ..
හලෝ ගුඩ් මෝර්නිං.. මම….ගාමන්ට් එකෙන් කතාකරන්නේ…
ඇත්තටම දැන් අපේ ඉන්නවා…ළමයි තිහක් විතර එක්කෙනෙකුට පොසිටිවු වුනා…
රැපිඩ් එකක්වත් කරගන්න විදියක් නැතිව ඉන්නෙ….
මට දැන් අපේ සර් කිවුවා පුළුවන්නම් කතා කරලා කිට් ටිකක් ගෙන්න ගන්න පුළුවන්ද කියලා.
එහෙම කරනවනම් කොහොමද පුළුවන් වෙන්නේ අපිට..

අපිට තර්ටි වගේ ගන්න පුළුවන්ද?
පුළුවන් සර් එක්දාස් නවසිය පනහක් (1950) විතර වෙනවා එකක්. බොක්ස් එකට පනහක් (50) වෙනවා
අද වුනත් ගන්න පුළුවන්ද…අද වුනත් පුළුවන්…

මම කොහෙටද එන්න ඕන?

කොළඹ මේන් ස්ට්‍රීට් නේ?
නැත්නම් ඩිලිවර් කරගන්න පුළුවන්.

එතකොට ඔක්කොම ‘පේමන්ට්’ එක කීයක්ද මම කරන්න ඕන මේ 30 ටම?

විනාඩියක් ඉන්න.
58,500 ක් වෙනවා.

ආ… රයිට්.

ඊයේ මිලටම දුන්නා 20 ක් විතර.

අපේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාට කියලා කරගන්න පුළුවන් එහෙම නැතුව ඔයාලා advice කරනවාද?

මම ඔයාට ‘නොර්මල් මෙසේජ්’ එකක් දානන්ම් ‘ප්‍රයිස්’ එක.

ඒකේ youtube link එකක් තියෙනවා ඒ link එකෙන් හරියටම කියලා දෙනවා.

මම එතකොට තව පැයකින් එකහමාරකින් විතර ඔතනට එව්වොත් හරිද?

ආ…. හරි හරි

ඔයාද එන්නේ?

ඔව් මම එන්නේ.

ආහ්..හරි thank you very much.

ඔහු ලබා දුන් එම තොරතුරුවලට අනුව අප අද (03) දහවල් පිටකොටුවේ කෙලින් වීදියට ළඟා විය.

ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් ‘අද දෙරණ උකුස්සා’ උපායශීලීව ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල මිලදී ගන්නේ මෙම ජාවාරම තහවුරු කර ගැනීමේ අරමුණිනි.

මින් නොනැවතුණු ‘උකුස්සා’ මෙම ජාවාරම යළි තහවුරු කරගැනීම සඳහා තවත් උපාය දූතයෙකු මෙම නීති විරෝධී ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා යොමු කරවනු ලබනවා.

+————-

හෙලෝ.

ඔව් සර්.

මම එනගමන් ආයිත් ඔයාගෙන් 10 ක් ගන්න පුළුවන් ද?

බොහෝදුරට මම එන්නේ නැහැ.

ආහ්… හා. හා කවුද එන්නේ?

මම එක්කෙනෙක් එවන්නම්.

මම තව ටිකකින් … විනාඩි 20 කින් විතර.

ඔව් විනාඩි 20 කින් විතර මෙතනට ආවොත් මම දෙන්නම්.

ආහ්… හරි හරි.

ඒ අනුව යළි පිටකොටුව ප්‍රදේශය වෙත යන ‘අද දෙරණ උකුස්සා’ මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දීමට පියවර ගත්තේය.

දැඩි කොවිඩ් වසංගතයක් මැද, ජන ජීවිදය දැඩි අවදානමේ හෙළමින් කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති මෙවන් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල පිටකොටුවේ මෙලෙස අලෙවිවන්නේ කෙසේද?

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයක මිල 1146 ක මුදලකට රසායනාගාර සහ රෝහල් වෙත සැපයීමට අනුමතකර ඇති පසුබිමක එම පිළිගත් ක්‍රමවේදවලින් බැහැරව රුපියල් 1,950 ක් වැනි ඉහළ මුදලකට සෞඛ්‍ය අංශවල අනුමැතිය පවා නොමැති මෙම පුද්ගලයින් විසින් අලෙවි කරයි.

++++++++++++++++

අක්කයි, මල්ලියි නිවස තුළ මියගිහින්

(03.09.2021 – 18:00 +0530 – sinhala.adaderana.lk)

පූගොඩ, යකඹේ ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි දෙදෙනෙකුගේ දේහයන් අද (03) සොයාගෙන තිබේ.

මියගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ පැවසීය.

43 හැවිරිදි අවිවාහක සහෝදරිය ඇඟලුම් සේවිකාවක් වශයෙන් සහ ඇයගේ 38 හැවිරිදි සොහොයුරා ත්‍රිරෝද රථ රියදුරෙක්ද ලෙසද සේවය කර තිබුණි.

ඔවුන් දෙදෙනා ඊයේ (02) රාත්‍රීයේ උදරයේ අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නින්දට ගොස් තිබුණු බව ඔවුන්ගේ ඥාතියෙක් සඳහන් කළේය.

එම ඥාතියා ඖෂධ රැගෙන අද (03) උදෑසන එම නිවෙසට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා බිම වැටී මියගොස් සිටි අයුරු දැක අදාළ අංශ දැනුවත් කර තිබේ.

පසුව මෘත දේහ වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් බවය.

+++++++++++++++

මෙරට ආසාදිතයින් 450,000 ඉක්මවයි – මරණ 10,000 ආසන්නයේ

(04.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 450,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද 10,000 සීමාවට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි විසි දෙක (22,00,00,000) ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (02) සිදු වූ බවට ඊයේ (03) තහවුරු කරන ලද මරණ 202 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 9806 ක් ලෙසයි.

මිය ගිය 202 ගෙන් 155 දෙනෙකු ම වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනවා.

මීට අමතර ව වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 42 ක් ද කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (03) මෙරටින් නව ආසාදිතයින් 3644 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 4,51,401 ක් ලෙස යි.

නව ආසාදිතයින් සියලු දෙනා ‘අලුත් අවුරුදු කොවිඩි පොකුරේ’ ආසාදිතයින් වෙනවා.

ඒ අනුව සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 61,429 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,80,166 ක්.

දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟ, ජනතාව ඒ පිළිබඳ ව අවධානය යොමු කොට හැකිතාක් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගත යුතු බව යි.

පවතින තත්ත්වයත් සමඟ කිසියම් අයෙකු පීඩනයකින් සිටින්නේ නම් ඒ සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා උපදෙස් ලබාගැනීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇති බව යි ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනයේ ලේකම්, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, මනෝ වෛද්‍ය විශේෂඥ චාමර විජේසිංහ මහතා කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ලියාපදිංචි නොකළ සීනි සහ වී තොග සොයා තවදුරටත් මෙහෙයුම්

(03.09.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk)

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් රජය අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් ඊයේ (02) රාත්‍රියේ නිකුත් කළේය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව ප්‍රකාශිත මිල ගණන්වලට වඩා වැඩි මිලට සීනි සහ සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවය.

ගබඩාවල රඳවා ඇති සීනි තොග පිළිබඳ ‘අද දෙරණ උකුස්සා’ කළ අනාවරණයෙන් පසු රජය හදිසි නීති රෙගුලාසි බලාත්මක කළ අතර ඒ අනුව ගබඩාවල රඳවා තැබූ ලියාපදිංචි නොකළ සීනි තොග රජය භාරයටගැනීම ඉකුත් බදාදා ආරම්භ කෙරිණි.

අදාළ රෙගුලාසිවලට ලියාපදිංචි නොකළ වී තොග ද රජය භාරයට ගැනීමට ඊයේ (02) සිට පියවර ගැනුණි.

මේ අතර නව ගැසට් නිවේදන නිකුත්කිරීමත් සමග අද (03) දිනයේදී ඇතැම් ස්ථානවල පාලන මිලට සීනි අලෙවිය සිදුකෙරෙන ආකාරය දැකගත හැකිවූ බව අප වාර්තාකරුවන් පැවසීය.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවතිනි.

මේ අතර බේකරි කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරිකයින්ටත් නියමිත පරිදි තොග නොලැබිමෙන් අපහසුතාවට පත්ව සිටී.

සහල් සඳහා පාලන මිලක් හඳුන්වා දීමත් සමගම කොළඹ කොටුවේ සමහර තොග වෙළෙඳසැල් සහල් තොග නැවත සැපයුම්කරුවන් වෙත හරවා යවන බවට සටහන්කර තිබෙන අයුරු දක්නට ලැබුණි.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අදත් (03) වී ගබඩා නිරීක්ෂණය කළේය.

ඒ අනුව නිලධාරීන් අද (03) ගියේ පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර පිහිටි මහා පරිමාණ වී හා සහල් මෝලකටය.

නිලධාරීන් එම පරිශ්‍රයට ඇතුළත් වුණත් මාධ්‍යයට එහි යාමට අවසර හිමි නොවුණි.

******************************************

මොකක්ද මේ ‘රතු දත්ත ලැයිස්තුව’ ?

(03.09.2021 – 14:20 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳව ‘රතු දත්ත ලැයිස්තු’ දෙක අද (03) පෙරවරුවේ පරිසර අමාත්‍යංශයේ දී එළිදක්වනු ලැබීය.

ඒ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණ ක්‍රමවේදය සම්බන්ධව සූම් තාක්ෂණය ඔස්සේ අදහස් පළකළේය.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්. ඒ.ආර්. ආර්. රූපසිංහ මහතා විසින් ‘රතු දත්ත ලැයිස්තු’ දෙක අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදෙනු ලැබීය.

රතු ලැයිස්තු දෙකක් වන, i-2020 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළීබඳ රතු දත්ත ලැයිස්තුව සහ ii-2020 ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලැයිස්තුව අද (03) දින එළිදක්වනු ලැබීය.

මේ වනවිට පක්ෂීන්, ක්ෂීරපායීන්, උරගයින්, උභයජීවින්, සමනල්ලු, බත්කූරන්, කුහුඹුවන්, මීමැස්සන්, මකුළුවන්, මිරිදිය කකුළුවන්, හා ගොඩබිම වෙසෙන බෙල්ලන් යන විශේෂ 11 ක් සම්බන්ධව රතු දත්ත ලැයිස්තු සැකසීම අවසන් වෙමින් තිබේ.

  1. වෘක්ෂ ලතා පිලිබඳ 2020 ජාතික රතු දත්ත ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ ශාඛවල රතු දත්ත ලැයිස්තුව කියන්නේ දේශීය ශාඛවල සංරක්ෂණ තත්ත්වය පමණක් නොව එම තර්ජන හා වඳවීමේ අවදානම අවමකිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගවල දර්ශකයකි.

මෙම වාර්තාව සකස් කිරීමට මෙරට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙන්ම ජාතික උද්භිද උද්‍යාණ දෙපාර්තමේන්තුවේ ශාඛාගාරයේ තාක්ෂණික හා උපදේශක කණ්ඩායම දායකත්වය දී තිබේ.

මෙම වාර්තාවට ශ්‍රී ලංකාවේ ශාඛ විශේෂවල විශේෂයෙන් සපුෂ්ප ශාඛ හා පර්ණාංග ශාඛවල ජාතික සංරක්ෂණ තත්ත්වය ඇතුළත් වෙයි.

මෙම වාර්තාව අනුව ජාතික රතු ලැයිස්තුවට ශාඛ කුළ 186 ක සපුෂ්ප ශාඛ විශේෂ 3,087 ක් ඇගයීමට ලක්කර තිබේ.

2012 වාර්තාවට ඇතුළත් නොකළ එහෙත් මෙවර වාර්තාවට ශාඛ විශේෂ 64 ක් ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. 2012 ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ නව විශේෂ 10 ක් තවදුරටත් රතු ලැයිස්තුවට අන්තර් ගත වෙනවා.

2012 වාර්තාව මගින් අප රටෙන් වඳ වී ගිය ලෙස සැළකූ ශාඛ වර්ග 05 කින් තුනක්ම තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශාඛ විශේෂ දෙකක් (2) තවදුරටත් වඳ වී ගිය ශාඛ ලෙස සැළකෙනවා.

  1. ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ තර්ජිත තත්ත්වය ගැන 2020 රතු ලැයිස්තුව

මෙරට මත්ස්‍ය විශේෂ 97 ක් මෙම වාර්තාව යටතේ ඇගයිමට ලක් කර තිබේ.

ඉන් විශේෂ 61 ක් ශ්‍රී ලංකාවට රටට ආවේණික බව හඳුනාගෙන ඇත.

මෙරටට ආවේණික විශේෂ 12 ක් දැඩි තර්ජිත ලෙස රතු ලැයිස්තු ගත කර ඇති බව පරිසර අමාත්‍යංශය පැවසීය.

******************************************

(04.09.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන සහල් මෝල් හතරක් පරීක්ෂාවට ලක් කර, එම මෝල් සතු සහල් තොග පිළිබඳ ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වාර්තාවක් ලබාගෙන තිබෙනවා.

නිපුන, අරලිය, ලක් සහ ‘නිව් රත්න’ යන සහල් මෝල් ඊයේ (03) මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇති බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්.ඩී. එස්.පී. නිවුන්හැල්ල මහතා ඇතුළු පිරිසක් එක් ව තිබෙනවා.

සහල් මෝල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ තොග මිල ගණන් පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීමටත්, පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියන් එහි දී එකඟතාව පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම, තමන් සතු වී තොග කඩිනමින් සහල් බවට පත් කොට රජය මගින් නියම කර ඇති පාලන මිල යටතේ වෙළඳපොලට අඛණ්ඩ ව සැපයීමට පියවර ගන්නා බව ද සහල් මෝල් හිමියන් එහි දී ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *