රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

*********************************************

රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

(05.08.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි.

මේ හේතුව නිසා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර මහ රෝහල සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කරන්නේ මේ වන විටත් රෝහලට දරාගත නොහැකි මට්ටමට රෝගීන් පැමිණෙමින් සිටින බවයි.

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් සඳහා වාට්ටු තුනක් (3) වෙන් කර ඇති අතර මේ වන විටත් එම වාට්ටු සියල්ල පිරී ඉතිරී ගොස් තිබෙනවා.

වැඩබලන අධ්‍යක්ෂ වරයාට අනුව ඊයේ (04) දින තුළ පමණක් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකසිය හතලිහක් (140).

මේ අතර රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩී.ඒ. රොද්‍රිගෝ මහතා ඊයේ (04) සවස රෝහල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රත්නපුර රෝහලේ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝහල් තුළ මෙලෙස සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ කිහිපයක් පමණයි.

දශක තුනක් (3) පුරා පැවති එල්ටීටීඊ යුද සමයේ පවා කිසිදු අවස්ථාවක මෙරට රෝහල් පද්ධතිය තුළ මෙලෙස හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුනේ නැහැ.

2004 වසරේ රට මුහුණ පෑ බරපතලම ස්වභාවික ව්‍යසනය වන සුනාමි තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර රෝහල් තුළ සෞඛ්‍යමය හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය මතුවන ආපදාමය තත්ත්වයන් අනුව මෙලෙස හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි ෴

+++++++++++++++++++++

(05.08.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 82 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,700 සීමාව ඉක්මවා ගියා.

එය දැක්වුණේ 4,727 ක් ලෙසයි. නව ආසාදිතයන් 2,561 දෙනෙකු ඊයේ (04) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 3,18,755 ක් ලෙසයි.

නව ආසාදිතයන්ගෙන් 2,543 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 29,586 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,84,522 ක්.

මේ අතර තුන්වන (3) කොරෝනා රැල්ලෙන් ආසාදිතයන් වාර්තාවීම තවමත් වැඩි වශයෙන් සිදුවනවා.

ඒ හේතුවෙන් රෝහල්වල ධාරිතාවද මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ඊශ්‍රායලය හා ජර්මනිය විසින් ආරම්භ කර ඇති කොරෝනා තුන්වන (3) මාත්‍රාව ලබාදීමේ වැඩ සටහන් ලබන සැප්තැම්බර් අවසානය දක්වා අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.

ඒ, ලොව පුරා ධනවත් රටවල් විසින් තම වැසියන්ට කොරෝනා එන්නත් ලබා දුන්නද දිළිදු රටවල්වල වැසියන් සියයට 1.5 ක් ප්‍රමාණයකටවත් එන්නත් ලබාදීමට නොහැකිවීම හේතුවෙන්.

මේ නිසා තුන්වන (3) මාත්‍රාවක් ලබාදීම අත්හිටුවා ඒවා දිළිඳු රටවල එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමුකරන ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ඉල්ලීමක් කළේ ෴

++++++++++++++++++++

(05.08.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,97,349 කට ඊයේ (04) එන්නත් ලබාදී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 50,893 දෙනෙකුට ඊයේ ලබාදී ඇති බවයි.

එමෙන්ම පුද්ගලයන් 30,499 දෙනෙකුට එම එන්නතේ පළමු (1) මාත්‍රාවද ඊයේ (04) ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 97,966 කට සහ එහි දෙවන (2) මාත්‍රාව 11,058 කට ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,308 කට සහ මොඩර්නා පළමු (1) මාත්‍රාව 5,625 දෙනෙකුටද ලබාදී තිබෙනවා.

++++++++++++++++++++

(05.08.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

රෝහල්වල ධාරිතාවද ඉක්මවා යන පරිදි කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් දෙකක (2) හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර රැඳවියන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (05) ආරම්භ කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහාද කොවිඩ් මර්දන එන්නත්කරණය අද (05) සිට යළි ආරම්භ කෙරුණා.

ගෙවුණු දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,561 දෙනෙකු අලුතින් වාර්තා වූ අතර ඉන් 2,543 ක් අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයන්.

සෙසු 18 දෙනා හඳුනාගැණුනේ විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 318,755 දක්වා ඉහළ ගියා.

මේ වන විට පුද්ගලයන් 284,522 ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ තවදුරටත් ආසාදිතයන් 29,586 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

දෛනික ආසාදිතයන් 2500 ඉක්මවමින් වාර්තා වන මෙම තත්ත්වය හමුවේ මෙරට රෝහල් ධාරිතාවද ඉක්මවා යාමේ අවදානමක්ද හටගෙන තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේ දක්නට ඇති තත්ත්වයයි මේ.

රෝහල් ධාරිතාව ඉක්මවා යන පසුබිමක රත්නපුර මහ රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේද හදිසි තත්ත්ව ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව රෝගී සත්කාරක සේවාවන් විශේෂ ක්‍රමවේදයකට අනුව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 82 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) වාර්තා කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727 ක් ලෙස ඉහළ ගියා.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 41 ක් සහ පිරිමි පුද්ගලයින් 41 ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් ඒ අතර වනවා.

වැඩිහිටියන් එන්නත්කරණ කිරීමේ අවශ්‍යතාව හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාදීම මධ්‍යස්ථාන 5 කදී අද (05) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, IDH රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ විහාරමහා දේවි උද්‍යානයේදී.

මේ අතර ‘දියත උයන’ සහ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ 24 පැය පුරා ක්‍රියාත්මක ඇස්ට්‍රාසෙනිකා දෙවන (2) මාත්‍රාව ලබාදීමේ එන්නත්කරණ වැඩසටහනද අදත් (05) ක්‍රියාත්මකයි.

මේ අතර බන්ධනාගාර රැඳවියන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඊයේ (04) දිනය වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු (1) මාත්‍රාව 30,499 කට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයන් 50,893 කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතෙහි පළමු (1) මාත්‍රාව ඊයේ (04) ලබාගත් පුද්ගලයන් ගණන 97,966 ක් වන අතර එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයන් ගණන 11,058 ක්.

ඊට අමතරව ඊයේ (04) දිනය තුළ ෆයිසර් එන්නතෙහි පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 1,308 කටත්, මොඩර්නා එන්නතෙහි පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 5,620 කටත් ලබාදී තිබෙනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා කටයුතු කරන ගුරුවරයෙකු පිළිබඳ වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සෞඛ්‍ය උපදෙස් අනුව සිය මෝටර් රථය සකසාගත් මෙම ගුරුවරයා ආරක්ෂිත ඇඳුම්වලින්ද සැරසී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත මෙම සත්කාරය සිදුකරනු ලබනවා.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිපදවූ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක 2 ක් ගුවන්හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වෙත ඊයේ (04) භාරදෙනු ලැබුවා.

මේ අතර කොවිඩ් වසංගතයෙන් මියගොස් ඇති සියලුදෙනාට පිං අනුමෝදන් කිරීමේ පුණ්‍යකර්මයක් උතුරු මැද පළාත් මාර්ගස්ථ සේවා අධිකාරියේදී පැවැත්වුණා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ දැනුම්දීමක් මත ආසන ධාරිතාව ඉක්මවමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සොයා සිදුකෙරෙන පොලිස් මෙහෙයුම් අදත් (05) ක්‍රියාත්මකයි.

++++++++++++++++++++

(05.08.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (04) හදුනාගැනුනු නව ආසාදිතයන් 2,561 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 393 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 388 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 382 ක්.

අනතුරුව වැඩිම ආසාදිතයන් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 250 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මහනුවරින් ආසාදිතයන් 200 ක් සහ මොණරාගලින් ආසාදිතයන් 116 දෙනෙකුද ඊයේ (04) දිනයේ වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++

(05.08.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ සියලු දෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළකරමින් අද (05) පෙරවරුවේ දිවයිනේ සියලු රෝහල් කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වුණා.

පරිපූරක, අතුරු වෛද්‍ය සහ හෙද සේවාවන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටි අතර රෝහල්වල රෝගී සත්කාරක සේවාවන්ට එමගින් දැඩි බලපෑමක් එල්ල වුණා.

අද (05) පෙරවරු 07 සිට දහවල් 11 දක්වා දිවයින පුරා රෝහල් 600 ක පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූ බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

අද (05) පෙරවරුවේ රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

බලපිටිය මූලික රෝහලට ගිලන් රථමගින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයින් දෙදෙනකු (2) රෝහල විසින් භාර නොගැනීම නිසා අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වනවා.

මේ වන විටත් ඔවුන් රැදී සිටින්නේ හදිසි සේවා ගිලන් රථ තුළයි.

මේ අතර වර්ජනය හේතුවෙන් අද (05) ජාතික රෝහලේ සිදුකිරීමට නියමිතව තිබූ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනටද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ දිවයිනපුරා රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බවයි ෴

@@@@@@@@@@@@@@@

(05.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකයට සංචාරක කර්මාන්තය දැඩි පිටිවහලක් සපයන බව අතහැර දැමිය නොහැකි සත්‍යයක්.

ඒ අතරිනුත් මෙරට වනජීවී කලාප ආශ්‍රිතව සිදුකෙරෙන සංචාරක කර්මාන්තයට මුළු ලෝකයෙන්ම ඇත්තේ දැඩි ඉල්ලුමක්.

රටේ ප්‍රධාන ජාතික වනෝද්‍යයානයන් වන යාල, විල්පත්තු ආදියට හිමිවන්නේ දැඩි සංචාරක ආකර්ශනයක්.

ඊට හේතු වන්නේ එම වනෝද්‍යයාන ද්විත්ව ය ආශ්‍රිතව වාසය කරන දැඩි දිවි ගහනයයි.

වනජීවී අණ පනත් හරහා දැඩි සංරක්ෂිත සත්ත්වයකු ලෙස සැලකෙන ‘පැන්තෙරා කොටියා’ හෙවත් ‘දිවියා’ අපි වඩාත් උවමනාවෙන් රැක බලා ගත යුතු වන්නේ මෙම සත්ව කොට්ඨාශය හරහා පමණක් මෙරට ආර්ථිකයට ලැබෙන ඇදහිය නොහැකි ශක්තිය හේතුවෙන්.

වනජීවී දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ මෙරට සංචාරක කර්මාන්තය කූටප්‍රාප්තියට පැමිණි 2019 වර්ෂයේ දී පමණක් යාල ජාතික වනෝද්‍යානය අවට සංචාරක කර්මාන්තය හරහා මෙරට ආර්ථිකයට රුපියල් දහනව කෝටි හැත්තෑ ලක්ෂ තිස් හතර දහස් නවසිය තුනක් (19,70,34,903) උපයා දී ඇති බවයි.

කෙසේ වෙතත් 2020 වසරේ අප්‍රේල් මස එල්ල කෙරුණු පාස්කු ප්‍රහාරයත් ඉන්පසු මුළු ලොවම වෙළාගත් කොරෝනා වසංගතයක් හේතුවෙන් සමස්තයක් ලෙස මෙරට පමණක් නොව ලෝක සංචාරක කර්මාන්තයට ද එල්ල වූයේ ප්‍රබල ප්‍රහාරයක්.

නමුත් මෙම සියලු බාධක ජයගෙන නැවත හිස ඔසවන්නට වැර දරන මෙරට ආර්ථිකය පණගන්වන ප්‍රධාන ජීවනාලිය වන්නේ සංචාරක කර්මාන්තයයි.

එබැවින් මෙරට වනගහනය තුළ සැරිසරනා දිවියන් රැකබලා ගැනීම අප සියල්ල ගේ වගකීමක් වන්නේ ඒ හරහා මෙරට ආර්ථිකයට ලැබෙන තල්ලුව ද සුළුපටු නොවන නිසාවෙන්.

******************************************

‘ටීනියා’ රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවන්නැයි උපදෙස්

(05.08.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොරෝනා වසංගතය සමඟ ඍජු සම්බන්ධතාවක් නොමැති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මිනිසුන්, සතුන් සහ පසෙහි ඇති දිලීර විශේෂයක් නිසා මෙම චර්ම රෝගය ඇතිවන අතර, නියපොතු, හිස කෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ එය වැඩෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සම කැසීම, රතු පැහැ ලප හටගැනීම, දහදිය වැඩි වශයෙන් හටගන්නා ස්ථානවල මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් පවතින අතර, ඕනෑම වයස් කාණ්ඩයකට එය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

සම පිරිසිඳුව හා තෙත් බවින් තොරව පවත්වාගැනීම, ඇඳුම් ඇතුලු දෑ හවුලේ පරිහරණයෙන් වැළකීම, සිරුරට සිර නොවන ඇඳුම් භාවිතය, සුරතල් සතුන් අනවශ්‍ය ලෙස සිරුරට ළං කර නොගැනීම හරහා මෙම රෝගයෙන් වැළකිය හැකියි විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ.

මෙය රෝගය නිට්ටාවට සුවකළ හැකි බැවින් රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසට චර්ම රෝග විශේෂඥවරුන් ඉල්ලා සිටිනවා ෴

******************************************

(05.08.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ‘පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය’ ඇතුලු කාන්තා සංවිධාන පහකින් (5) යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, එම කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදියි.

මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපතිනි රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදාළ යෝජනා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඊයේ (04) ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

(05.08.2021 – 12:15 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) සවස පිටකෝට්ටේ මංසන්ධියේ දී සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් කෝට්ටේ නගරාධිපති අයි.වී. ප්‍රේමලාල් ට පහරදීමක් සිදුවී තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදු කළ මෙම පහරදීම හේතුවෙන් කෝට්ටේ නගරාධිපතිගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තාවන්නේ.

පහර කෑ නගරාධිපති මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් දහතුනක් (13) ගසා ඇති බවටයි වාර්තා වන්නේ.

පහරදීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලිසිය විසින් සිදුකරනවා.

++++++++

******************************************

(05.08.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් ඊයේ (04) පැවැත්වූ විරෝධතා රථ පෙළපාලිය අවසානයේදී අත්අඩංගුවට ගත් 44 දෙනා අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වරාය පොලිසියේ රඳවා සිටි විරෝධතාකරුවගේ සුවදුක් විමසීමට පැමිණි විපක්ෂ නායකවරයාට පොලිස් ස්ථානය තුළට යාමට අවසර ලබා නොදීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

වසර ගණනාවක් තිස්සේ පවතින වැටුප් ගැටලුවට නිසි විසඳමක් නොලැබීමට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (04) මාර්ග 4 ක් ඔස්සේ විරෝධතා රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියා.

එම පෙළපාලි පැමිණියේ නුවර පාර, මීගමුව හයිලෙවල් පාර සහ ගාලුපාර ඔස්සේයි.

ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගිය අතර එම අවස්ථාවේදී විරෝධතා සඳහා සහභාගී වූ 44 දෙනෙකු වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, මහා මාර්ගයේ රැඳී සිටිමින් අයුතු ලෙස අවහිර කිරීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිසගේ සුව දුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද (05) වරාය පොලිස් ස්ථානය වෙත පැමිණියා.

කෙසේ වෙතත් එහිදී පොලිස් ස්ථානය තුළට යාමට විපක්ෂ නායකවරයාට අවසර හිමිවුණේ නැහැ.

එහිදී හටගත්තේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර ගුරු – විදුහල්පතිවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද (05) ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

එමෙන්ම වැටුප් විෂමතා ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (04) මහනුවර සිට කොළඹ දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කළා.

ඊයේ (04) පස්වරුවේ එම විරෝධතා පාගමන කඩුගන්නාව ප්‍රදේශයෙන් නතර කෙරුණේ මධ්‍යම පළාත සහ සබරගමුව පළාත් අතර සංචරණය කිරීමට අවසර නොමැතිවීමේ ගැටලුව හේතුවෙන්.

අද (05) මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා විරෝධතා පාගමන ගමන් කිරීමට නියමිතව තිබූ අතර, එය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි කෑගල්ල පොලීසිය ඊයේ (04) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණත් එය ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සිටින බවයි අධිකරණයේ මතය වී තිබුණේ.

ඒ අනුව එම පාගමන අද (05) දෙවන (2) දිනට මාවනැල්ල නගරයෙන් ආරම්භ කෙරුණා.

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *