‘නෝනා අපේ මුහුණ කොමෝඩ් එකේ ඔබා ජරා වතුරෙන් නාවනවා’ – රිෂාඩ්ගේ ගෑණිගෙ කෲර වධහින්සා වලට ලක්වූ දැරිය හෙළි කරයි

‘නෝනා අපේ මුහුණ කොමෝඩ් එකේ ඔබා ජරා වතුරෙන් නාවනවා’ – රිෂාඩ්ගේ ගෑණිගෙ කෲර වධහින්සා වලට ලක්වූ දැරිය හෙළි කරයි

*********************************************

‘නෝනා අපේ මුහුණ කොමෝඩ් එකේ ඔබා ජරා වතුරෙන් නාවනවා’ – රිෂාඩ්ගේ ගෑණිගෙ කෲර වධහින්සා වලට ලක්වූ දැරිය හෙළි කරයි

(29.07.2021 – divaina.com)

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමෝඩ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු (11) අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු (2) මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම මරණ දෙක (2) සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලු දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

******************************************

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම කරලා. ට්‍රෝලර් ඇතුලේ මියගිය ගණන දන්නෙත් ඇයයි – විශේෂ හෙළිදරව්ව

(28.07.2021 – colombotoday.com)

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම සිදුකර ඇති බවත් ඊට අදාලව මන්නාරම අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබුණු බවත් ‘සිංහලේ සංවිධානයේ’ සංවිධායක ප්‍රදීප් සංජීව මහතා අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශේෂ හෙළිදරව්වක් සිදුකර සිටියා.

ට්‍රෝලර් ඇතුලේ කොපමණ පුද්ගලයින් ප්‍රමාණයක් මිය ගියාද යන්න පවා දන්නේ බදුර්දීන්ගේ බිරිද බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ පිළිබඳව ප්‍රදීප් සංජීව මහතා දැක්වූ සම්පුර්ණ අදහස් :

++++++++++++

බදුරුදීන් ගේ බිරිද මිනිස් ජාවාරමේ – දැරියගේ සිද්ධිය යට ගහන කුමන්ත්‍රණයක් (29.07.2021)

******************************************

ජලජ ගුවන් ධාවන පථ 150 ක් හඳුනාගැනේ

(29.07.2021 – 12:59 +0530 – lankadeepa.lk)

දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මක වන අතර බෙන්තොට ගඟ, කැළණි ගඟ, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානවන බව සංචාරක අමාත්‍යවරයා කිවේය.

බේරේ වැව, ආරුගම්බේ, දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව වැනි ප්‍රදේශවල ජලජ ගුවන් ධාවන පථ මීට පෙර ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා ඇතැයි ද ඇමතිවරයා කියයි.

ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කර ඇති අතර නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනාගෙන ඇති අතර ඉදිරියේ දි මෙම ප්‍රදේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ඇමතිවරයා කීවේය ෴

******************************************

කාබනික නිෂ්පාදන අළෙවි කරන්න සුපිරි වෙළෙඳසල්

(29.07.2021 – 11:58 +0530 – lankadeepa.lk)

‘වස විසෙන් තොර’ ආහාර ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්වමින් කාබනික නිෂ්පාදන පමණක් අළෙවි කරන සුපිරි වෙළෙඳසල් ජාලයක් ‘හරිත සුපිරි වෙළෙඳසල්’ (සතොස ඕගනික් සුපර්මාර්කට්) ලෙස ස්ථාපිත කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 25 ක ‘හරිත සුපිරි වෙළෙදසල්’ ඉදිකිරීමට නියමිත අතර එහි පළමු වෙළෙඳසල කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ, අංක 492 ස්ථානයේ පිහිටි වෙළෙඳ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ පහළ මාලයේ ස්ථාපිත කරයි ෴

******************************************

විහාරස්ථාන 11 කින් පිං කැට කැඩු මත්තේගොඩ කුඩ්ඩා අත්අඩංගුවට

(28.07.2021 – gossiplankanews.com)

අන් අයකු නමින් පෙනී සිට මත්තේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථාන 11 කින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ දේපළ සොරාගෙන හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන සිවුරු දැරු පුද්ගලයකු කොළඹ කෙසෙල්වතත් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය කියයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් තුන්සීයක්, සොරාගත් ජංගම දුරකතනවලින් තුනක්, වෙනත් පුද්ගලයකුගේ ජාතික හැඳුනුමතක ඡායා පිටපතක් මෙන්ම පෙන්ඩ්‍රයිව් දෙකක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.

ඉකුත් මාස තුනක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ විහාරස්ථාන රැසකට ඇතුළු වී එහි ආවාස ගෙවල්, දේවාල මෙන්ම පිං කැට කඩා මුදල් ඇතුළු දේපළ සොරාගැනීම සම්බන්ධයෙන් පොලිසිවලට ලද පැමිණිලි ඉහළ යාමත් සමගම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය. විවිධ ප්‍රදේශවල විහාරස්ථාන 11 ක දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි. සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ එකම විහාරස්ථානයකට අවස්ථා දෙකකදී මෙන්ම මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අවස්ථා තුනකදී ඇතුළු වී සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.

මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානකින් ඉකුත් අප්‍රේල් මස සැකකරු විසින් ජංගම දුරකථන හතරක්, පෙන්ඩ්‍රයිව් 15 ක් මෙන්ම රුපියල් 25,000 ක මුදලක් සොයාගෙන තිබූ බවත් සැකකරු එම දේපළ සොරා ගන්නා අයුරු එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි. සැකකරු එයාකාරයෙන් සොරාගත් සියලුම දේපළ වැල්ලවත්ත, අලුත්කඩේ සහ කෙසෙල්වත්ත ආදී ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත්කර ඒ වෙනුවෙන් මත්කුඩු ලබාගෙන පානය කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ ප්‍රකාශ මත එකී පුද්ගලයන් සොයා ගියත් බහුතරයක් දෙනා මත්කුඩු ජාවාරම සහ වෙනත් වැරැදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව තිබීම හේතුවෙන් එම දේපළ සොයාගැනීම ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බව පොලිස් නිලධාරියෙක් කීය. පිටකොටුව සහ මහරගම අතර මහාමාර්ග දෙපස සෙල්ලම් බඩු විකිණීමේ යෙදී සිටි බව කියන සැකකරු මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි ෴

******************************************

ඇස්දෙක බැඳගෙන පාට තෝරන, පොත් කියවන දැරිය (28.07.2021)

@@@@@@@@@@@@@@@@

(29.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,513 දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරගෙන යනු ලබන එන්නත්කරන වැඩසටහනේ වැඩිම එන්නත් ලබාදීම ඊයේ (28) දිනයේදී සිදුකර තිබෙනවා. ඒ එන්නත් මාත්‍රා 417,815 ක් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(29.07.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණවල ඉහළ යෑමක් ඊයේ (28) දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ (28) දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 1940 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, පසුගිය 27 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 63 ක්ද ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1940 දෙනා අතරින් 1,919 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 21 දෙනෙකුද ඊයේ (28) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 3,01,832 ක් ලෙසයි.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,71,855 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 25,782 ක්.

පසුගිය 27 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,258 ක් ලෙසින්. ඒ අතර කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ටද වැඩි වශයෙන් වෛරසය ආසාදනය වන තත්ත්වයක් උද්ගතව ඇති බවයි ෴

අදත් (29) දිවයිනේ ප්‍රදේශ කිහිපයක මධ්‍යස්ථාන 256 ක එන්නත්කරණය සිදු වනවා. කොළොඹ දිස්ත්‍රික්කය තුල ස්ථාන 12 කද, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 24 ක සහ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20 ක් ආවරණය වන පරිදි අද (29) දවස තුල එන්නත් කරණය සිදු කරනු ලබනවා ෴

+++++++++++++++++++

ඇමති විමල් ස්වයං නිරෝධායන‍යේ

(29.07.2021 – 13:18 +0530 – lankadeepa.lk)

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

ආසාදිතයන් ලෙස හඳුනාගත් නිලධාරීන්ගේ ආශ්‍රිතයෙක් වූ බැවිනුත් සමාජ වගකීමක් ලෙසත් සලකා තමා අද (29) සිට දින 14 ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශයේ තම අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට ලක්කර එය ද දින 14 ක් එම වසා ඇතැයි ඇමතිවරයා කීවේය.

අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉන් සේවා ලබාගන්නා අයගෙන් තමා ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහු පැමිණ ඇමතිවරයාගේ නිවසේ ගේට්ටුවේ නිරෝධායනයට ලක්වන නිවසක් බවට වන දැන්වීමක් ද අලවා ඇත.

තමන් නිරෝධායනයට ලක්වන බවට ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් යොදා ඇත.

+++++++++++++++++++

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත‍්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්..

(29.07.2021 – 15:50 +0530 – lankacnews.com)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටියි.

ඒ මහතා අස්ට‍්‍රසෙනිකා එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබාගෙන ඇති අතර දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *