දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

*********************************************

දෙමල සන්ධානය සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

(16.07.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමෙරිකාවේ අවධානය යොමුකරන බව මෙරට ඇමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ යැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හා ඇමෙරිකානු තානාපතිවරිය අතර ඊයේ (15) කොළඹදී පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ද පසුගියදා සිදුවුණා.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ පාරිසරික හා සමාජ ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා එහිදී ඇමෙරිකානු තානාපතිනියට ස්තූතිය පුද කළ බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

දෙරට භුක්ති විඳින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්වීපාර්ශවික සහයෝගිතාව උපයෝගි කර ගනිමින් සිදුකරන එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයෝජන ද විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගිතාව සහ වෙළඳ මෙන්ම, ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම ඇතුළු අනෙකුත් ද්වීපාර්ශවික කරුණු පිලිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(16.07.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම ඊයේ (15) දිනයේ දී රිය අනතුරු මරණ 9 ක් වාර්තා වී තිබෙනවා.

එම රිය අනතුරුවලින් මරණ අටක්ම (8) සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(16.07.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

මේ වන විට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොදවා ඇති බවයි කොළොඹ ගිණි නිවීමේ සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානය සඳහන් කලේ මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි ෴

******************************************

(16.07.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මොරගහහේන – වැල්මිල්ල ප්‍රදේශයේ මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ නිවාසවලින් පොලිසිය බව හඟවා මුදල් ලබා ගැනීමට තැත්කළ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ප්‍රදේශවාසීන් විසින් ඔවුන් අල්ලා මොරගහහේන පොලිසියට භාර දී ඇති බවයි ෴

******************************************

(16.07.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර, ත්‍රෛයි පාර්ශවීය සාකච්ඡාමය අභ්‍යාසයක් ඊයේ (15) අවසන් වුණා. දෙදිනක් (2) පුරා පැවති සාකච්ඡාව නම් කර තිබුණේ ටී.ටී.එක්ස් – 2021 නමින්.

එය සම්බන්ධීකරණය කළේ මුම්බායි හි ‘මැරිටයිම් වෝ ෆෙයාර්’ මධ්‍යස්ථානය විසින්.

අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නංවා ගැනීම සහ සමුද්‍රීය අපරාධ මැඩ පැවැත්වීමට කලාපීය සහයෝග ලබා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

දේශසීමා හරහා සිදුවන අදාළ සමුද්‍රීය අපරාධ වළක්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග මෙන්ම, මුදා ගැනීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය වැනි සිද්ධීන් වලදී එවැනි ක්‍රමවේදයක අවශ්‍යතාව වඩා ඉස්මතු වූ බවයි ඔවුන් සඳහන් කළේ.

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය යන දැක්ම මෙමගින් තවදුරටත් වර්ධනය වන බවද ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අදහසයි ෴

******************************************

(16.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට රසායනික පොහොර ආනයනය අත්හිටුවා තිබියදී අනුමැතියකින් තොරව ඉන්දුනීසියාවේ සිට මෙරටට යූරියා අඩංගු රසායනික පොහොර ගෙන්වූ සමාගමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹදී ඊයේ (15) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ අදාල නීතිය පැනවීමට පෙර කළ විමසීමේදී, ඇනවුම් කර ඇති රසායනික පොහොර තොගයක් ලැබීමට නියමිත බවට කිසිදු සමාගමක් දැනුම්දීමක් සිදු කර නොතිබූ බවයි.

එමෙන්ම, අදාළ යූරියා අඩංගු රසායනික පොහොර තොගය රේගු විමර්ශන මගින් ප්‍රතික්ෂේප වුවහොත් ඒවා ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර රසායනික පොහොර සහ කෘෂි රසායනික නොමැති වීමෙන් වගාවන් සිදු කිරීමට නොහැකිව තමන් අසීරුතාවයට පත්ව ඇති බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් පවසනවා ෴

******************************************

(16.07.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ (15) 06 දිනටත් වීථි සංචාරය කළා.

මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි වීථි සංචාරය ආරම්භ කළේ.

++++++++++

15-07-2021

******************************************

(16.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසක් මේ වනවිට මහා ජල ගැල්මකට මුහුණ දෙනවා. අධික වර්ෂාපතනයත් සමඟ ගංඟා ඉවුරු තලා යාමෙන් මහාමාර්ග යට වී නිවාස රැසකට හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජලයෙන් පිරුණු මාර්ගවල රථවාහන පාවී යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලද සංසරණය වනවා.

ජල ගැල්මෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඉන් වැඩිම ජීවිත හානි වාර්තා වන්නේ ජර්මනියෙන්. බෙල්ජියමේද පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

කාලගුණ අංශ පවසන්නේ යුරෝපීය කලාපයට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි. මෙය කාලගුණ වෙනස නිසා සිදුව ඇති ආපදාවක් බව විද්‍යාඥයින්ගේ අදහසයි.

******************************************

(16.07.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට තේ අපනයන ආදායම වසරේ මුල් මාස හය (6) තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම, අපනයනය කෙරුණු තේ ප්‍රමාණයද කිලෝග්‍රෑම් මිලියන 137 දක්වා 10% කින් ඉහළ ගොස් ඇති බවයි ‘ඒෂියා සියක’ තැරැව්කාර සමාගම සඳහන් කළේ.

වසරේ මුල් අර්ධයේ තේ අපනයනය ඉහළ යෑමට ජුනි මාසයේදී ලැබුණු කිලෝග්‍රෑම් මිලියන 30 කට ආසන්න, වසර 05 කින් ඉහළ වාර්තාගත නිෂ්පාදනයද බලපා ඇති කරුණක් ෴

@@@@@@@@@@@@@@@@@

(16.07.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල හුදෙකලාකර තිබූ ප්‍රදේශ දෙකක (2) හුදෙකලාභාවය අද (16) උදෑසන හයේ (06:00) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලාභාවය ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එසේම, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ජේ.පී. මාර්ගයේ, 09 වන හරස් පාරේද හුදෙකලාභාවය ඉවත් කෙරුණා.

+++++++++++++++++++++++++

(16.07.2021 – 6:38 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,187දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++

(16.07.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගයක් ලෙස කොවැක්ස් වැඩසටහන යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් අද (16) දිවයිනට ලැබීමට නියමිතයි.

අමෙරිකා එක්සත් ජනපද සමාගමක් විසින් ස්පාඤ්ඤයේ නිෂ්පාදිත මොඩර්නා එන්නත එම්.ආර්.එන්.ඒ. නැමැති නව තාක්ෂණය යටතේ නිර්මාණය කරන ලද්දක්.

94% ක ශක්‍යතාවකින් යුත් මොඩර්නා එන්නත නව කොරෝනා වෛරස් ප්‍රභේදවලට එරෙහිවද සාර්ථකව ක්‍රියා කරන බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ෆයිසර් එන්නතට සමාන අන්දමින් වාහකයක් ලෙස වෙනත් වෛරසයක් භාවිත නොකර නිර්මාණය කළ මොඩර්නා එන්නත මුලදී සෙල්සියස් අංශක ඍණ පනහේ (- 50) සිට විස්ස (- 20) දක්වා අධිශීත තත්ත්වයක් තුළ පවත්වා ගත යුතු වුණා.

කෙසේ නමුත්, පසුව සිදුකළ පර්යේෂණ මගින් එය සෙල්සියස් අංශක දෙකත් (2), අටත් (8) අතර උෂ්ණත්වයක තබාගත හැකි බව අනාවරණ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලටද මොඩර්නා එන්නත භාවිත කිරීමේ පහසුවක් දැන් සැලසී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් වේගවත් කිරීම සඳහා සහය වීමේ අරමුණින් තවත් සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 1.6 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය ඊයේ (15) තීරණය කළා.

මේ අතර, බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී ලබාදීම යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් මගින් අදත් (16) සිදු කෙරෙනවා.

එසේම, නව ඩෙල්ටා ප්‍රභේදය පැතිරිමේ අවදානම් තත්ත්වය පාලනය කිරිම ජනතාව සතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කියා සිටියේ.

මේ අතර, ඊයේ (15) තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 50 ක් තහවුරු වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,661 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ (15) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,484 ක්.

මේ අතර, නිරෝධායනයේ රඳවා තිබෙන සිය වෘත්තීය සමිති සාමාජිකයන් නිදහස් කරන ලෙස ඉල්ලා ගුරු හා විදුහල්පති සංගම් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (16) 5 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර 2018 – 2019 අධ්‍යයන වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක්‍රමයට යළි ආරම්භ කරන ලෙස ඔවුන්ගේ දෙමව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අධිකරණ වාරණයක් හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයි පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබුණද හැකි ඉක්මනින් දේශන ආරම්භ කර දෙන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++++

(16.07.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

රෙදිපිලි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියෝජිත හමුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊයේ (15) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී කොරෝනා වසංගතය හමුවේ තම ඉලක්ක සපුරා ගැනීමට හැකිවන අයුරෙන් කර්මාන්ත ශාලාවල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ සඳහා තම උපරිම සහය ලබාදෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී සහතික වූ බව සඳහන් ෴

++++++++++++++++++++

(16.07.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනයේදි එන්නත් මාත්‍රා 387,121 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඊයේ (15) දිනයේදි සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 280,011 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 27,117 ක්.

ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7993 ක් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඊයේ (15) දිනය නිමා වනවිට මෙරට කොවිඩ්-19 මර්දන එන්නත් කරන ව්‍යාපෘතිය යටතේ කොවිෂීල්ඩ් එන්නත් 925,242 ලබා දී ඇති අතර එහි දෙවැනි (2) මාත්‍රාව වශයෙන් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 385,885 ක්.

එමෙන්ම මේ දක්වා ලබාදී ඇති සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව 4,053,819 ක් එහි දෙවැනි (2) මාත්‍රාව වශයෙන් එන්නත් 1,228,527 ක් ලබා දී තිබෙනවා.

දිවයිනම ආවරණය කෙ‍රෙන එන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රා 157,368 ක් ලබාදී ඇති අතර දෙවෙනි (2) මාත්‍රාව වශයෙන් ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 14,464 යි.

එමෙන්ම පසුගිය සතියේ දිවයිනට රැගෙන ආ ෆයිසර් එන්නත් 39,176 ක්ද පළමු (1) මාත්‍රාව ලෙස මේ දක්වා ලබා දී තිබෙනවා ෴

++++++++++++++++++++

සංචරණ සිමා ලිහිල් කිරීම යටතේ සංගීත සංදර්ශන ශාලාවක් තුළ පැවැත්වීමට අවසර

(16.07.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ අද (16) දිනයේ ක්‍රියාත්මක වන පරිදි සංගීත සංදර්ශන ශාලාවක් තුළ පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්වයි.

සැණකෙළි සන්දර්ශන එළිමහනේ පැවැත්වීමට කෙසේ වෙතත් අවසර ලබා දී නැහැ ෴

+++++++++++++++++

(16.07.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් වන ‘මොඩර්නා’ එන්නත් ලක්ෂ 15 ක් අද (16) පෙරවරුවේ මෙරටට ගෙන එනු ලැබුවා.

මෙම එන්නත් තොගය ලංකාවට ප්‍රදානය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේයි.

මෙම එන්නත ද කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන්ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නතක්.

මේ එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කල මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බව එම පර්යේෂණවලින් සනාථ වීම විශේශත්වයක්.

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මොඩර්නා එන්නත් සමාගමට අයත් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයකදී මෙම එන්නත නිපදවා ඇති අතර කොවිඩ්‍-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙහි මාත්‍රා දෙකක් (2) ලබා ගත යුතු වනවා.

එම මාත්‍රා දෙක (2) අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

මෙරටට රැගෙන ආ එන්නත් තොගය ඇමෙරිකානු තානාපතිනී අලෙයිනා ටෙප්ලිට්ස් (Alaina Teplitz) විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීම සිදුකෙරුණු අතර එම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ US ambassador and Demala Sandaanaya > now we know who is shit stirring in this country and encouraging dissension, disharmony, and promoting terrorism. They do it openly without any feelings to the sentiments of the majority sinhala or the integrity of the country and nation. Divide and rule is their policy; time SLK Govt get its backbone back. Gunawardana, have you got the same backbone as that of your father?

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *