දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

*********************************************

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

(28.06.2021 – cbsl.gov.lk)

පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි.

පසුගිය වසර කිහිපය තුළ දී අධික ලෙස විදේශ මුදල් ණය ගැනීම් හේතුවෙන්, නුදුරු කාලයේ දී පියවීමට නියමිත ණය සේවාකරණ වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ අහිතකර අදහස් දැක්වීම්, 2019/2020 දී වත්මන් රජය පිහිටුවන කාලය වනවිටත් දක්නට ලැබුණි. එවැනි සමපේක්ෂණ පැවතිය ද, විශේෂයෙන් ම COVID-19 වසංගතය හේතුවෙන් අපගේ සංචාරක අංශයෙන් ලැබෙමින් තිබුණු මුදල් ප්‍රවාහ බෙහෙවින් අඩු වීමෙන් ඇති වූ පීඩනය මධ්‍යයේ වුව ත්, සියලු නියමිත ගෙවීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ලංකාව තබා ඇති නිකැළැල් වාර්තාව තවදුරටත් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකා රජය සිය බාහිර ණය සේවාකරණ වගකීම් සියල්ල නියමිත වේලාවට සපුරාලීමේ ස්ථාවරය නැවත නැවතත් සහතික කර ඇත.

විදේශ මුදල් ප්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, COVID-19 හි රැළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.

පසුගිය වසර එක හමාර තුළ රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, කල් පිරෙන ණය සේවාකරණ වගකීම් සාර්ථකව පියවන අතර ම, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස විදේශ ණය ප්‍රමාණය සියයට 40 ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් විදේශ ණයවල මුහුණත වටිනාකම 2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1 ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2 ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි ව තිබේ. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව එ.ජ. ඩොලර් බිලියන 10 ක වෙළඳ පරතරයකට මුහුණ දෙමින් සිටී. එය ශ්‍රී ලංකාව අවදානම් සහගත තත්ත්වයකට පත් කරන බැවින්, ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඔස්සේ, ඒ සඳහා පිළියම් යෙදීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව මගේ විශ්වාසයයි. මෙය සිදු කරන අතර ම, රටේ කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය පලුදු නොවන අන්දමින් අපි අපගේ ණය සේවාකරණ වගකීම් සපුරාලීම අඛණ්ඩව සිදු කරමින් සිටිමු.

දේශපාලන හේතු මත ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ ඇතැම් කොටස්, විනිමය අනුපාතිකයේ ඉදිරි ගමන්මග පිළිබඳවත්, ණය වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙනුත් දිගින් දිගට ම ඍණාත්මක සමපේක්ෂණයෙහි යෙදී සිටිනු දක්නට ඇත. පෞද්ගලික වාසි අරමුණින් කෙරෙන එවැනි සමපේක්ෂණ, දත්ත මගින් තහවුරු කළ නොහැකි මතයක් ගොඩනැගීමට වෙර දරන අතර, එය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ද අහිතකර ය. මෙම සමපේක්ෂණ ක්‍රියාකාරකම් නිසාම විදේශ විනිමය වෙළඳපොළෙහි ලැබීම් හා ගෙවීම් අතර අනවශ්‍ය වන කෙටිකාලීන අසමබරතාවක් නිර්මාණය කර ඇත. කෙසේ වුවද, වෙළඳ කටයුතුවලට අනවශ්‍ය බාධා සිදුව නැති බව රජය සහ මහ බැංකුව සහතික කරන අතර, ආනයන ක්‍රියාවලියේ දී අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බව අවධාරණය කරමු. 2021 වසරේ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලදී සමස්ත ආනයන වටිනාකමෙහි සාමාන්‍ය අගය එ.ජ. ඩොලර් බිලියන 1.7 ක් වැනි සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණි. මෙම මාසවල පැවති ඉහළ ආනයන වටිනාකම්වලින් නිරූපණය වනුයේ මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශයට පත්වන පරිදි ආනයනකරුවන්, විශේෂයෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්, අධික ලෙස අපහසුතාවයට පත් වී නොමැති බවය. සියලුම වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් යුතුව, මහ බැංකුව දැනට සිදු කරමින් සිටිනුයේ විචක්ෂණශීලී ලෙස ආනයන සහ විදේශ සංචිත කළමනාකරණය කිරීමයි. ඉදිරි මාස කිහිපය තුළදී විනිමය ප්‍රවාහ ඉහළ යාමට නියමිතය. එසේ වූ කල ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමේ දී මහ බැංකුව රටේ ශේෂ පත්‍රය හා බාහිර සාර්ව ආර්ථික තත්ත්වයන් නැවත ඇගයීමට ලක් කරනු ඇත.

මුදල් ප්‍රවාහවල පවතින නොගැලපීම් කළමනාකරණය කිරීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන්, විදේශ විනිමය වෙළඳපොළෙහි ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා මහ බැංකුව බැංකු අංශය සමඟ එක්ව සමීපව කටයුතු කරමින් සිටියි. බැංකු අංශයේ ප්‍රධාන නිලධාරීන් සමඟ මහ බැංකුව නිරන්තරව සාකච්ඡා පවත්වන අතර‍, අත්‍යවශ්‍ය හා හදිසි ආනයනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සහ සමපේක්ෂණ ස්වභාවයේ ආනයන අධෛර්යමත් කරමින් විදේශ විනිමය ගෙවීම් කළමනාකරණය කිරීමට බැංකු ප්‍රජාව අන්‍යොන්‍ය වශයෙන් එකඟ වී ඇත. ආත්ම වාසි ඉහළින් අගයන පාර්ශ්වයන් විසින් මෙලෙස අනවශ්‍ය ලෙස හුවා දක්වනු ලබන්නේ බැංකු විසින් ගනු ලබන එවැනි විචක්ෂණශීලී ක්‍රියාමාර්ගයන් ය.

අපනයන ඉපැයීම් කොටසක් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමත් සමපේක්ෂණ ක්‍රියාකාරකම් අඩාල කිරීමත් අරමුණු කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ අදාළ නියාමන ප්‍රතිපත්ති මගින් බැංකු ප්‍රජාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය ලබා දී ඇත. වාණිජ බැංකුවලට සහ ව්‍යාපාරික ආයතනවලට විදේශ මුදලින් අරමුදල් ණයට ගැනීමට මහ බැංකුව අවස්ථාව ලබා දී ඇත. එබැවින්, නිල සංචිත මත රඳා නොපැවතී ආනයන සඳහා මුදල් යෙදවීමට බැංකු පද්ධතියට ඉඩ සැලසී ඇත. එමගින් එකී බැංකු බාධාවකින් තොරව ණය සේවාකරණ ක්‍රියාවලිය අඛණ්ඩව කර ගෙන යෑමේ ජාතික ප්‍රයත්නයට සහාය වෙමින් ක්‍රියා කරයි.

වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ වගකීම් කළමනාකරණය කිරීම කෙරෙහි අපගේ අවධානය විශේෂයෙන් යොමුව ඇත. මේ සම්බන්ධයෙන්, චීන මහජන බැංකුව සමඟ අත්සන් කොට ඇති, දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමෙන් තොරව ගත්කල, අපගේ නිල විදේශ සංචිතය එ.ජ. ඩොලර් බිලියන 4 ක් වේ. රජයේ ණය සේවාකරණ හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙම විදේශ සංචිත මට්ටමේ කෙටි කාලීන උච්චාවචන පැවතිය හැකි වුව ද, රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ තුළින් සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුදුසු මූල්‍යකරණ උපායමාර්ග සකස් කර ඇත. කෙටි කාලයක් තුළ, විශේෂයෙන් නව ආයෝජන අංශය හරහා අපේක්ෂා කරන ණය නොවන ලැබීම් සහ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ප්‍රභවයන්ගෙන් රජයට ලැබෙන වෙනත් ලැබීම් මෙකී උපායමාර්ග අතර ඇත. මහ බැංකුව අපේක්‍ෂා කරන ලැබීම් අතරට 2021 ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250 ක මුදල් හුවමාරු පහසුකම, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400 ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000 ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වේ. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800 ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ණය නොවන ලැබීම් මගින් නිල සංචිත ගොඩනැගීමට උපකාරී වන පරිදි අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මහ බැංකුව විසින් වෙළඳපොළන් මිලදී ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත. ඒ හරහා ඉදිරියේ දී ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 700 ක් වාර්ෂිකව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේවාසික හිමිකරුවන් සතු ඉදිරියේදී කල් පිරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා එකී නේවාසිකයන් පොළඹවා ගැනීමට ද පියවර ගෙන තිබේ. ඉදිරියේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සියයට 30 ක් ශ්‍රී ලාංකික හිමිකරුවන් සතු බව මෙහිලා සඳහන් කළ යුතු ය. එපමණක් නොව, මූර්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වනු පිණිස බැංකු අංශය සහ ආයතනික අංශය ද සහන පොළී අනුපාතික යටතේ මූල්‍ය ප්‍රවාහ වැඩි කර ගනිමින් සිටී. මෑතදී සිදු කරන ලද අදාළ විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම භාවිත කරමින් පෞද්ගලික අංශයේ ආයතන විදේශීය අරමුදල් රැස් කරනු ඇතැයි ද ඉදිරි කාලපරිච්ඡේදය තුළ ලැබීමට නියමිත මෙම ප්‍රවාහවලින් සමහරක් නිල සංචිතවලට ද එකතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෑතක දී නීතිගත කෙරුණු කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා ආර්ථිකයට ලැබෙන ණය නොවන විදේශ විනිමය ප්‍රවාහවල විශාල වර්ධනයක් අපේක්ෂිතය.

සමස්තයක් වශයෙන්, වර්තමානයේ දේශීය වෙළඳපොළේ දක්නට ලැබෙන විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්වය තාවකාලික බවත්, අධික ලෙස සමපේක්ෂණීය ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලබන බවත් මාධ්‍යයට, මහජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජක ප්‍රජාවට දන්වා සිටීමට මම කැමැත්තෙමි. අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව, තත්ත්වය මනාව කළමනාකරණය කිරීම සමස්තයක් වශයෙන් රටට වාසිදායක වන බැවින්, ජාතික අවශ්‍යතාවක් නොවන අනවශ්‍ය සමපේක්ෂණ ක්‍රියාකාරකම්වලින් වැළකී ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස වෙළඳපොළේ සිටින සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු ෴

******************************************

ශ්‍රී ලංකාව නැවත ණය ගෙවා ගත නො හැකි අවදානම සහිත රටවල් අතරට එක්වේ – ලෝ ප්‍රකට ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනය

(28.06.2021 – 05:16 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාව නැවත ණය ගෙවා ගත නො හැකි අවදානම සහිත රටවල් අතරට එක්වී තිබෙන බව ලෝ ප්‍රකට ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම් අනුව තහවුරු වී තිබේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ‍්‍රී ලංකාව දැනට CCC+ ශ්‍රේණියේ පසුවේ. ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම්වල CCC+ කාණ්ඩයට පහලින් ඇත්තේ අවසාන කණ්ඩය හෙවත් SD (selectively defaulted) ඛාණ්ඩයයි.

‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ ආයතනනයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව CCC+ ඛාණ්ඩය නියෝජනය කරන්නේ ආර්ථික වශයෙන් විශාල අර්බුදයක ලක්ව සිටින රටවල් වන අතර ශ්‍රී ලංකාව සමඟ සිටින සෙසු සියළු රටවල් අප්‍රිකානු කලාපයේ රටවල් වීම විශේෂත්වයකි ෴

******************************************

ලංකාව දැන් ඩොලර් කොමොඩ් එකට යවන මෝඩ රටක්

(29.06.2021 – 09:41 +0530 – lankaleadnews.com)

ඩොලර් උත්පාදනය කරන කාර්මික අමුද්‍රව්‍ය ආනයනට සීමා බාධක පනවා ඩොලර් අනුභව කර කොමොඩ් එකට යවන රටක් බවට ලංකාව පත්ව ඇතැයි මහින්ද චින්තන වැඩ පිලිවෙල යටතේ තිරිඟු පිටි ආදේශිත සහල් පිටි නිපදවූ සහ වත්මන් අපනයන කෘෂිකාර්මික කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා දැඩි විවේචනයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ ඩොලර් මිලියන 1550 ක් අනුභව කර කොමොඩ් එකට යවා ඇතැයි පවසන ඔහු පාසැල් වසා සංචාරක කර්මාන්තයද නොමැති අවස්ථාවක මෙපමණ ආහාර ආනයනය කිරීමට තරම් අපි මෝඩ රටක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කරයි.

ඩොලර් අර්බූදයක් ඇති මොහොතක කර්මාන්ත කරුවන්ට සීමා පනවා ආහාර ආනයනකරුවන්ට යහමින් වැඩ කරගෙන යාමට නම් ඉඩදීමට ආණ්ඩුවක් අවශ්‍ය නැතැයි ඔහු තවදුරටත් පවසයි.

වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිතුමාගෙන්, පී බී ජයසුන්දර මහතාගෙන්, බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාගෙන් ඔහු ඉල්ලා සිටී.

******************************************

යස්මින් සූකා අද ජෙයරාජ්ලව ලංඩනයේදි කොටු කළා වගේම ෂවේන්ද්‍රලව, චාගිලව, ජගත් ඩයස්ලව යුරෝපෙදි කොටු කරගන්නවා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස

(29.06.2021 – 11:26 +0530 – lankaleadnews.com)

දරුස්මාන් වාර්තාව සෑදූ කංඩායමේ සිටි යස්මින් සූකා මේවන විට එංගලන්තයේ වෙසෙන ජෙයරාජ් පළිහවඩන මහතාට විරුද්ධව අලාභ ඉල්ලා එංගලන්ත උසාවියක නඩුවක් ගොනුකර තිබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවිය විමසනලදී. එහිදි ඒ මහතා පවසා සිටියේ :

“අපට තිබෙන තොරතුරු වලට අනුව යස්මින් සූකා කොටි හිතවාදිනියක් ලෙස ජෙයරාජ් පලිහවඩන මහතා හඳුන්වා තිබීම මෙම සිද්ධියට බලපෑ ආසන්නතම හේතුවයි.

ජෙයරාජ් පලිහවඩන ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියෙක්. ඔහු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත්‍ රාජධානි ශාඛාවේ ලේකම් දූරය දරනවා. එසේම ‘ලංඩන් ඉනීශියේටිව්’ සංගමයේ සභාපති දූරය දරන්නේත් ඔහුමයි. ඔහුව නිහඬ කිරීමෙන් අදහස් වන්නේ දෙමළ ඩයස්පෝරාවට විරුද්ධව කතාකරන බලවේග සියල්ලටම ඉබි යතුරු දමන බවයි. ජෙයරාජ් පලිහවඩන මහතා පසුගිය 46 වන ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් ‘ලංඩන් ඉනීශියේටිව්’ හි ‘ෆේස් බුක්’ පිටුවේ පලකර තියෙනව. එම වාර්තාව මංගල සමරවීරල දොහොත් මුදුන් දී පිළිගත්ත OISL වාර්තාව පාදක වුන දරුස්මාන් වාර්තාවෙ ඉඳලම අධ්‍යයනය කරල ඒ පිළිබඳව විශ්ලේෂණයක් තමයි ජෙයරාජ්ල පලකර තියෙන්නෙ.

ඒ අධ්‍යයනයට අනුව යස්මින් සූකාගෙ ක්‍රියා කලාපය කොටි හිතවාදී සේ පෙනෙන බව ප්‍රකාශ කිරීමෙන් ඇගේ කීර්ති නාමයට අගෞරවයක් වී ඇති බවටත්, පුද්ගලික තොරතුරු රැකීම උල්ලංඝණය කර ඇති බවටත් තමයි චෝදනාව. යස්මින් සූකාට ජෙයරාජ් ප්‍රකාශ කරල තියෙන්නෙ තිත්ත උනත් ඇත්ත තමයි. යස්මින් සූකලාට මෙලෙස ක්‍රියාකරන්න හැකිවෙලා තියෙන්නෙ අපේ ආණ්ඩුවේ තියෙන උදාසීන ක්‍රියාකලාපය නිසයි. ඒ වගේම අපි මේ යුද අපරාධ ලේබලයෙන් බේරගන්න හදන රණවිරුවන්ද ඒ වගේම උදාසීනයි. හරිනම් අපේ රණවිරුවන් යස්මින් සූකාට විරුද්ධව නඩු දාන්න ඕන තහවුරු කර නැති චෝදනා ගෙනැවිත් ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරල තියෙනව කියල. රණවිරුවන් ඔවුන්ට විරුද්ධව එල්ලවී ඇති චෝදනා වලට පිළිතුරු දෙන්න මෙතරම් උදාසීන ඇයි කියා අපට හිතාගන්න අපහසුයි. ඔවුනට තනි තනිව නඩු කටයුතු මෙහෙයවීම අපහසු බැවින් ඔවුන් අඩුම තරමෙ ආණ්ඩුවට බලකල යුතුයි තමන් පිළිබඳව මෙයට වැඩිය අවධානයෙන් කටයුතු කළ යුතුයි කියා. දැන් යස්මින් සූකල රණවිරුවන් 57 දෙනෙකුට විරුද්ධව චෝදනා ගොනුකරල ඉවරයි. ලබන ජිනීවා සැසියෙන් පසු බලාගන්න හැකිවේවි අපේ රණවිරුවන්ට මොකද වෙන්නෙ කියල.

ෂවේන්ද්‍රලව, චාගිලව, ජගත් ඩයස්ලව යුරෝපෙදි කොටු කරගන්න පහුගිය වතාවල නොහැකි උනාට ජෙයරාජ්ව ලන්ඩනයේදී කොටුකරගන්න පුළුවන්. මේ ආරම්භයක් විතරයි. ඒ වගේම සමහර සාමාන්‍ය ජනයා සහ විපක්ෂයත් කියන දෙයක් තමයි රාජපක්ෂල යුද්ධය දිනුවාය කිය කියා යුද්ධය තාම මාකට් කරනව කියන චෝදනාව. අපේ අය මාකට් කරත් නොකරත් ජාත්‍යන්තරයේ අපට විරුද්ධව වෙන දේවල් නොනැවතී සිදු වෙනව. එබැවින් දැනට අපට රට වෙනුවෙන් නඩු දෙකකට මැදිහත් වෙන්න වෙලා තියෙනව. එකක් කැනඩාවෙ ඔන්ටාරියෝ ආණ්ඩුවට එරෙහිව. ඔවුන් ලංකාව ද්‍රවිඩයින් සමූලඝාතනය කරා කියා ඉගැන්වීමට අවසර දීල තියෙනව. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී කමිටුව නඩුවක් දැමීමට සූදානම් වෙනව. දැන් මේ ලංඩන් වල යස්මින් සූකාගෙ නඩුව. මේ ආණ්ඩුවේ ඉන්නව අපත් සමග ජිනීවා ගිය ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු. ඔවුන් දන්නව අපි කොපමණ අමාරුවෙන්ද ජිනීවා වැඩ කටයුතු කළේ කියල. නමුත් අපට ආණ්ඩුවෙන් මේ සඳහා සත පහක ආධාරයක් ලැබෙන පාටක් පෙනෙන්න නෑ. නමුත් දේශප්‍රේමීන්ගෙ උදව් මෙහෙදිත් අපිට ලැබේවි කියා විශ්වාස කරනවා” යනුවෙන් පවසන ලදී ෴

******************************************

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

(29.06.2021 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කිරීම විමල්-ගම්මන්පිල කඳවුරේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීම සඳහා සිදුකරන ලද උපාය මාර්ගික මෙහෙයුමක් බවට දේශපාලන ලෝකයේ කතා බහක් ඇතිවී තිබෙනවා.

ද්විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර හෝ ජනාධිපති ධූර දැරීම වළක්වාලමින් 19 වන සංශෝධනයේදී පනවා තිබූ වගන්ති ඉවත් කිරීම පිළිබඳව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී දැඩි විරෝධයක් රට තුල ඇතිවිය.

කෙසේ වෙතත් එම වගන්ති ද සමගින් මාස 6 ක් තුල නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට රජය එම අවස්ථාවේ පොරොන්දු විය. මේ වන විට එම කාල සීමාව ඉක්මවා ගොස් ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳව 2020 ඔක්තෝම්බර් 22 බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරු සහභාගි වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස පැවසීය :

“මම හිතනවා ලැජ්ජාවක් බයක් තියෙන කිසිම ද්විත්ව පුරවැසියෙක් මේ කෙටිකාලය ඇතුලත පාර්ලිමේන්තුව ඇතුලට රිංගන්න කටයුතු කරන එකක් නෑ කියලා. ලැජ්ජා බය දශමයක්වත් තියෙනවනම් කිසිම ද්විත්ව පුරවැසියෙක් මේ කෙටිකාලය තුල මේ ඇරිච්ච දොරෙන් ඔලුව දාන එකක් නෑ කියලා හිතනවා.”

සම්පුර්ණ මාධ්‍ය හමුව :

මේ අතර ඇමරිකානු ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා සුදානම් වන බවට පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පල විය. එය තහවුරු කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඊයේ (28) කියා සිටියේ තම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ වන බවත් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමුතුවෙන් කැම්පේන් කිරීම අනවශ්‍ය බවත් ය.

අදාළ මාධ්‍ය හමුව :

මේ සියලු කාරණා එකින් එකට පෙළ ගස්සවා බලන විට පසුගිය කාලය තුල සිදුකෙරෙනු උපාය මාර්ගික මෙහෙයුම් පිළිබඳව වැටහීමක් ලබාගත හැකිය ෴

******************************************

දරුවෙකු යොදවා පිටකොටුව අලෙවිසැලකින් රන්භාණ්ඩ සොරා ගන්නා දර්ශන CCTV (29.06.2021)

https://www.youtube.com/watch?v=mSapMHZlSqc

******************************************

හදිසියකදී ගහන්නේ බියුගල් නලාවයි.. ඒ අර්බුදයේ සංකේතයයි.. – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

(29.06.2021 – 15:50 +0530 – lankacnews.com)

නිර්මාණශීලිත්වයක් සමඟ නව නවෝත්පාදනයට පිවිසීමෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදනයේ පුළුල් වෙනසක් සිදුකිරීමට හැකියාව ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා Zoom තාක්ෂණය ඔස්සේ ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ‘ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමුළුව’ අමතමින් මෙසේ පැවසීය :

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ කතාව අසංක්ෂිප්තව පහත පළ කර ඇත.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳ මේ වගේ වැදගත් සාකච්ඡාවක දී අදහස් බෙදාහදා ගන්න ලැබීම ගැන ඉතාම සතුටුයි. ව්‍යාපාර හෝ කර්මාන්තකරණය ගැන දේශනයක් පවත්වන්න මගේ අදහසක් නැහැ. එහෙමත් නැත්නම් මූල්‍යකරණය ගැන. මොකද මෙතැන සහභාගි වෙලා ඉන්න හැම කෙනෙක්ම ඒ පිළිබඳ අවබෝධයක් තියෙන අය. අනෙක් අතට ඒ ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති අය අද දේශන පවත්වනවා. එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි පවත්නා අර්බුදයට ප්‍රතිපත්තිමය වශයෙන් යා යුතු දිශානතිය ගැන මේ රටේ කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මගේ අදහස් කිහිපයක් යොමු කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

අපේ රජය ආර්ථික මූලෝපායික වශයෙන් අපනයන ප්‍රවර්ධන හා ආනයන ආදේශන නිෂ්පාදන ක්‍රමෝපායක් අනුගමනය කරන බව දැන් කාටත් පැහැදිලි කරුණක්. දේශීය කර්මාන්ත නගා සිටුවීම මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ දිශානතියට නායකත්වය දීමට අපට ලැබුණු අවස්ථාව තුළ උපරිමයෙන් කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. මේ ක්ෂේත්‍රයෙහි ලා ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදෙන මුලික අභියෝගය වන්නේ ප්‍රාග්ධන ඌනතාව බව ඔබටත් මටත් රහසක් නොවෙයි. එහෙත් ඒ මත සිපිරිගත නොවී විකල්ප මාර්ග අනුගමනය කරමින් ඉලක්කය කරා යෑමෙහි ක්‍රමයක් අප අනුගමනය කළ යුතුයි. අද මෙම සාකච්ඡාවට භාජනය කර තිබෙන මාතෘකා අතර මූලික කරුණු තුනක් මගේ අවධානයට යොමු වෙනවා. ඉන් පළමුවැන්න ප්‍රාග්ධනය, දෙවැන්න තාක්ෂණය හා තුන්වැන්න නවෝත්පාදනයයි. ඇත්ත වශයෙන්ම දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී මේ තුන එකිනෙකට සම්බන්ධයි.

21 වැනි සියවසේ දැනුම ප්‍රාග්ධනය බවට පත්වීමත් සමඟ දැනුම හා දැනුම කළමනාකරණය අපේ නිෂ්පාදන හා ව්‍යාපාරවල වැදගත් භූමිකාවක් ඉටු කළා. එහෙත් බහුජාතික සමාගම් හා මහා පරිමාණ මාධ්‍යයික මෙහෙයුම් හරහා අපේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා, සන්නාම උගුලේ හිර වුණ පාරිභෝගිකයා අතර අතරමං වුණා. නව්‍ය නිෂ්පාදන උපායමාර්ගවලට අමතරව මේ ආකල්පමය දරිද්‍රතාවටත් අපට පිළිතුරු සොයන්න සිදුවුණා. දැනුම ප්‍රාග්ධනය වන සමාජයක අධ්‍යාත්මික ප්‍රාග්ධනය (Spiritual Capital) ප්‍රධාන මෙවලමක් බවට පරිවර්තනය වන බව අපට ආවේ යුරෝපයෙන් නැතිනම් ඇමරිකාවෙන්. ඒකත් තිරසර සංවර්ධනය වගේ විහිළුවක්. වැවේ මාළු අල්ලන්න ලොකු සිදුරු සහිත දැල් භාවිතා කළ අපේ ගැමියා, ‘ආර්ථික සංවර්ධනයත් පාරිසරික සංරක්ෂණයත් එකම මාර්ගයක ගමන් කර යුතු බව’ කියන තිරසාරභාවය අනාදිමත් කාලයක ඉඳලා දැනගෙන හිටියා. ඒ වගේම බහුජාතික සමාගම්වල CSR නැතිනම් ‘ව්‍යාපාරික සමාජ සත්කාර’ ලෙසින් මුලින්ම ඇවිල්ලා ලාභ උපයන ධනෝපායන මාර්ග විදියට ‘අධ්‍යාත්මික ප්‍රාග්ධනය’ හැඳින්වූවාට අපේ සමාජය අත්දැකීමෙන් එය හැඳිනගෙන තිබුණා. එහෙත් අපි ඒවා නිවැරදි ආර්ථික මොඩලයක භාවිතා කළේ නැහැ.

මේක තාක්ෂණ ක්ෂේත්‍රයෙත් අඩු නැතුව තිබුණා. අපිට තාක්ෂණ උපකරණ ආවාට, අලුත් යන්ත්‍රසූත්‍ර ලැබුණාට ඒකට අපේ පොළොවේ පැළ වුණ ආචාර ධර්ම පද්ධතියක්, දැක්මක් ලැබුණේ නැහැ. නිදර්ශනයක් හැටියට ජංගම දුරකථන භාවිතයේ සිට යානවාහන භාවිතය දක්වාම එහෙමයි. වෙනස් වන ගෝලීය සමාජයක පදනම ශක්තිමත් ව ගෙවල්වල දොර කවුළු විවර කිරීමේ අභියෝගය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. එය වටහා ගැනීමේ දුබලතාවෙන් පෙළෙන බොහෝදෙනෙකුට Port City අභියෝගයක් වී ඇත්තේ ඒ නිසයි. නූතන ලෝකයේ නව්‍ය තාක්ෂණය අබිමුව ශක්තිමත් දේශීය චින්තනයක, ජාතික ආර්ථික දැක්මක හිටගත්තොත් අපිට මේ අභියෝග සංවර්ධනයේ දිශානතියට යොමු කරන එක පහසු වැඩක්.

නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය ව්‍යාපාරිකයාට හා නිෂ්පාදකයාට අතිශයින් වැදගත් වන්නේ මෙතැනදී. මේ රාමුව තුළ උත්තර නැතිනම් අලුත් විදියට හිතන්න වීම තවදුරටත් තෝරාගැනීමක් නොවෙයි අනිවාර්යයක්. බලන්න ඔබ මේ මොහොතේ භාවිතා කරන පරිගණකයේ SAVE කරන සංකේතය මොකක්ද කියලා. ඒක FLOPPY DISKETTE එකක්. ඒත් අද පරම්පරාව ‘ෆ්ලොෆි ඩිස්කට්’ එකක් දැකලාවත් නැහැ. පරිගණකය තාක්ෂණ වශයෙන් කොයිතරම් ඉදිරිගාමී වුණත් ඒකෙ නිර්මාණාත්මක දැක්ම යල්පැන ගිය එකක්. ඔබේ වාහනයේ ‘ස්ටියරින් වීල්’ එකේ තියෙන නලාව පිළිබඳ සංකේතය බලන්න. අර ඉස්සර අයිස්ක්‍රීම් බයිසිකල්වල තිබුණ ‘හෝන් එක’ වගේ එකක්. ඇත්තටම ඒ සංකේතය 18 වැනි සියවසේ බියුගල් නලාව. ඒක තමයි අපි දැනගෙන හිටපු හෝන් එක. තාම හදිසියකදී අපි ගහන්නේ 18 වැනි සියවසේ බියුගල් නලාව. මං මේ කියන්නෙ අර්බුදයේ සංකේතකරණයක්. නිර්මාණශීලීත්වයත් එක්ක නවෝත්පාදනයට යෑමෙන් අපට දේශීය නිෂ්පාදනයේ වෙනසක් කරන්න පුළුවන්.

කෙනෙකුට කියන්න පුළුවන් මේවා කියන්න පුළුවන් වුණාට කරන එකේ තමයි අර්බුදය තියෙන්නේ කියලා. ප්‍රතිපත්තිමය රාමුව තුළ දේශීය කර්මාන්තයේ ව්‍යාපාර නගා සිටුවීම සඳහා අපි පසුගිය කාලයේ ආදර්ශයෙන්ම ඊට මුල පිරුවා. කර්මාන්ත අමාත්‍යාංශය නායකත්වය ලබාදුන් MADE IN SRI LANKA ඒකට උදාහරණයක්. හුදෙක් මූල්‍යමය මගපෙන්වීමවලින් ඔබ්බට ගිහින් අපි කළේ අධ්‍යාත්මික ප්‍රාග්ධනයක් වෙළඳපොළට ගෙන ඒම. ඒක දේශීය නිෂ්පාදනය පදනම් කර ගැනීමෙන් ඔබ්බට අරන් ගිහින්, අපි නවොත්පාදනය නිෂ්පාදනයට අරන් ආවා. තාක්ෂණික භාවිතයෙන් අද ලෝක වෙළඳපොළට අරන් ගිහින් අලුත් පරම්පරාව එහි පංගුකාරයෝ කරමින් ඉන්නවා.

අපි ඔබෙන් ඉල්ලන්නේ, ‘අපි පටන් ගත්ත තැනින් ඔබ්බට යන්න’ කියලා. අපේත් රටේත් සම්පූර්ණ සහාය ඔබ සමග යි!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *