අසේල සම්පත් CID අත්අඩංගුවට

අසේල සම්පත් CID අත්අඩංගුවට

*********************************************

අසේල සම්පත් CID අත්අඩංගුවට

(26.06.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල, පැලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙරට ලබාදෙන ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(26.06.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (26) ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සිදුකළ පැමිණිල්ලකට අදාළව ඔහු ඊයේ (25) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+++++++++++++++++++++++

(26.06.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

තවත් ප්‍රදේශයේ කිහිපයක් අද (26) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළමඩ යන ග්‍රාම නිලධාරීවසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරීවසම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(26.06.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමට අදාලව ගතවූ පැය 24 තුල තවත් පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ දී ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ඊයේ (25) ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතීන්ට පටහැනිව ඔවුන් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පනවා ඇති සෞඛ්‍ය නිර්ණායක අනුව සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, පබ් සහ බාර්, එළිමහන් හෝ ගෘහයක් තුළ පැවැත්වෙන සාද හා සම්භාෂන වැනි දෑ පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ෴

+++++++++++++++++++

(26.06.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිනයේදීත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,876 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 249,926 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 48 ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,862 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 24 වනදා සිදුව ඇති මෙම මරණ අතර, කාන්තාවන් විසි දෙදෙනෙකු (22) සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු වනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 37 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය ද පළ වී තිබෙනවා.

එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවති කොවිඩ් මර්දන කමිටු සාකච්ඡාවට එක්වෙමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

එමෙන්ම, ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

මීට අමතරව එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඉදිරි කාලසීමාව තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් නව වෛරස් ප්‍රභේද පැතිරයාම වලක්වා ගත නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා ජනරාල් හේමන්ත හේරත් මහතා කියා සිටියා.

මේ අතර, අද (26) උදෑසන හයේ (06:00) සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල පොලිස් වසමේ හිඹුල්ඔය සහ මහවත්ත ග්‍රාම නිලධාරී වසම් මෙන්ම දෙහිඕවිට පොලිස් වසමේ දෙල්පේ වත්ත සහ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්ස්වර්ත් වත්ත සහ කෑගල්ල පොලිස් වසමේ හැලමඩ ග්‍රාම නිලධාරී වසමද අද (26) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

++++++++++++++++++

(26.06.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,543,022 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

මෙරට තුළ කොරෝනා එන්නත්වල දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 874,975 ක්.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,502,985 දෙනෙකුට ලබාදී ඇති බවයි.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 487,893 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකු ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 372,719 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 114,795 දෙනෙකු ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,636 ක් ෴

+++++++++++++++++++++

(26.06.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 378 ක්.

ඊයේ (25) මෙරටින් ආසාදිතයින් 1876 දෙනෙකු වාර්තා වී තිබුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (25) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 69 දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, අවිස්සාවේල්ලෙන් 62 දෙනෙකු සහ දෙහිවලින් 43 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 176 දෙනෙකු ද ඊයේ (25) වාර්තා වූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

@@@@@@@@@@@@@@@

(26.06.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

පුත්‍රයා විසින් පහරදී 60 හැවිදිරි සිය පියා ඝාතනය කළ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් ඊයේ (25) වාර්තා වනවා.

මොවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී 29 හැවිරිදි පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කළුතර – නාගොඩ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

+++++++

ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴

******************************************

(26.06.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසින්, ගින්නක් හට ගැනීම හේතුවෙන් අනතුරට ලක්වූ ‘එම්.එස්.සී. මෙසීනා’ නෞකාවෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් නොවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නිතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.

මීට දින 04 කට පෙර කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව තුළ මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදේ දී බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාගෙන් එක් අයෙකු (1) අතුරුදන්ව ඇති බවට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අනාවරණ කර තිබෙනවා.

කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ නෞකාවේ හටගෙන ඇති ගින්නෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් ඇති නොවනු ඇති බවයි ෴

******************************************

(26.06.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා (3) අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් නිලධාරියා මීට පෙර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සමඟ සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ.

එම පොලිස් නිලධාරියාද කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක්.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඔහුගේ මුදල් පසුම්බියෙහි සඟවා තිබූ හෙරොයින් සුළු ප්‍රමාණයක් හමුවීම හේතුවෙනුයි එම පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී පසුගිය 18 වනදා අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක සහ අනෙක් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා (3) ලබන 08 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, බෙලිඅත්ත – නාකුළුගමුව ප්‍රදේශයේ පාලු නිවසක පිටුපස වළ දමා තිබියදී ටී-56 ගිනි අවියක් (1) සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එය සොයාගෙන ඇත්තේ ලද තොරතුරකට අනුවයි.

විදේශීය රටක නිෂ්පාදිත මෙම ස්වයංක්‍රීය ගිනි අවිය සමඟ මිලිමිටර 39 වර්ගයේ ජීව උණ්ඩ 13 ක්ද සොයාගෙන තිබෙනවා.

පතොරම් ගැබක් ද ඒ අතර තිබී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ ෴

******************************************

(26.06.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මාසයේ සිට මහජන සාක්ෂි විමසීමට අපේක්ෂා කරන බව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

‘මාර්තු 12 ව්‍යාපාරය’ ඊයේ (25) සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 40 දෙනෙකු පමණ එක්වී තිබෙනවා.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරි මාස 06 ඇතුළත සමාජයේ සියළු පාර්ශව නියෝජනය වන අයුරින් අදහස් හා යෝජනා ලබා ගන්නා බවයි එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර, මෙරට පවතින මැතිවරණ ව්‍යුහයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු හා පළාත් මට්ටමින් කාන්තාවන් සඳහා සියයට 30 ත්, 70 ත් අතර නියෝජනයක් සහතික කිරීමේ යෝජනාවක් මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙනවා.

ඒ, ‘පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය’ විසින්.

පසුගියදා එම සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර පළාත් පාලන මට්ටමේ ඡන්ද සියයට විසිපහේ (25%) කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කර ගැනීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

සියළු දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවෙන් සියයට 50 ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ ෴

******************************************

(26.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සාගරයට සිදුවූ හානිය සොයා බැලීමට ඉන්දීය විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

ඊයේ (25) මෙම නෞකාව දිවයිනට පැමිණ ඇති අතර, අද (26) සිට සතියක කාලයක් තුළ මීගමුව සිට පානදුර දක්වා සාගර කලාපය මතුපිට සහ අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීමට නියමිතයි.

නාවික හමුදාව සමඟ එක්ව මෙම විශ්ලේෂණ කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.

(26.06.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දල වශයෙන් රුපියල් මිලියන 720 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ නෞකාවේ රක්ෂණ සමාගම විසින් එම අතුරු වන්දිය ගෙවීමට මෙලෙස එකඟ වී ඇති බවයි.

සම්පූර්ණ වන්දි මුදල ගෙවා නිමවනතුරු මෙම රුපියල් මිලියන 720 ක මුදල අතුරු හිමිකම් කොටසක් ලෙස ගෙවනු ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

(26.06.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක්වූ ‘එම්.එස්.සී. මෙසීනා’ නෞකාවේ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ අදාළ නෞකාව සිංගප්පූරුව දෙසට රැගෙන යාමේ කටයුතු ද මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් හට ගත් බව වාර්තා වන විට එය කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසින් ගමන් කරමින් තිබුණා ෴

******************************************

(26.06.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

ජුලි මස පළමු වනදා (01) සිට යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්ති සංශෝධනවලට ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ ද ඇතුළත් වන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අදාළ නීති සහ රෙගුලාසි පිළිබඳව නියමිත වෙබ් අඩවි පරිශීලනය කර පාරිභෝගිකයන් දැනුවත් විය යුතු බවයි ඔවුන් සඳහන් කළේ.

නව බදු ප්‍රතිපත්තිවලට අනුව යුරෝ 150 ට අඩු වටිනාකමින් යුත් සියලු තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් අදාළ රට වෙත ඍජුවම බදු ගෙවිය යුතුයි.

ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට වගකීමක් නොමැති බව ද තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් :

******************************************

(26.06.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 182 ක් කිලිනොච්චිය – පුනරීන් – සීතාකුඩි කලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝට්ටුවකින් රැගෙනවිත් කැබ් රථයකට පැටවීමට සූදානම් වීමේදීයි මෙම කේරළ ගංජා තොගය ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සැකකරුවෙකු ද සමගයි.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 106 ක් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින් බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(26.06.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසෙන බවට වන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා :

******************************************

(26.06.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ ජූලි පළමු වනදා (01) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මීළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුව දින ගණන ද එදිනට තීරණය කරනු ඇති බවයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගයේ විශ්වාසභංගය පසුගිය 22 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයාට භාර දෙනු ලැබුවා. ඊට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *