අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

*********************************************

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

(05.04.2021 – 05:30 +0530 – lankaleadnews.com)

‘ටෘත් විත් චමුදිත’ නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සඟවන බවත් මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවත්ය.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව පවසා සිටින විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට මේ දේවල් පවසා පලක් නොවන බවත් ජනාධිපතිවරයාට පැවසූ පමණින් කිසිදු ප්‍රයෝජනයක් වන්නේ නැති බවත් තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති තුමා විසින් නොකළ බව ද අවධාරණය කළේය.

******************************************

විමල්ගේ 11 කල්ලිය වෙනම ගමනකට සූදානම්! මැයි දිනයදා පෙරළියක්?

(04.04.2021 – am.lk)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම හවුල්කාර පක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදීය.

මෙම හමුවට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම විකල්ප කණ්ඩායම සමඟ මැයි රැලිය සඳහා එක්වීම විශේෂයකි.

ලබන මැයි මස 01 වනදා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වන අතර එහි ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 වෙනම මැයි රුලියක් පැවැත්වීමට බලපෑ හේතු කිසිවක් ප්‍රකාශයට පත්වී නැත.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘ඒෂියන් මිරර්’ වෙත සඳහන් කළේ එළඹෙන මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට තිබෙන නව ගමන තවත් ශක්තිමත් වන ආකාරයෙන් පැවැත්වීමට බලාපොරොත්තුවන බවයි ෴

******************************************

(05.04.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරුවලින් ඊයේ (04) දිනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙයින් වැඩිම අනතුරු ප්‍රමාණයක් යතුරුපැදිවලින් සිදුවූ අනතුරු බවයි.

අප්‍රේල් මස 10 වනදා සිට 20 වනදා දකවා කාලය මෙරට තුල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන කාලසීමාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථවල රියන්දුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය සඳහා අද (05) දිනයේ සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණයකර ඇති බව පොලිසිය සඳහන් කළා ෴

******************************************

(05.04.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 15 වැනිදා එය භාරදීමට නියමිතව තිබුණත්, වැඩිදුර විමර්ශන සඳහා කමිටුව සති දෙකක (2) කාලයක් ලබාගත්තා.

ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර අද (05) එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි කමිටුවේ සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය 04 වන දිනටත් අනිද්දා (07) පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ චෝදනා කඩිනමින් ගොනු කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂ්ප කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ අදාළ සියලු තොරතුරු තවදුරටත් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විශ්ලේෂණය කරමින් සිටින බවයි.

සිදුකළ විමර්ශන වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවත් ජනාධිපති කොමිෂන් සභාවෙන් නිකුත් කර ඇති නිර්දේශ පුළුල් අධ්‍යයනයකින් තොරව නඩු පැවරීමට නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මේ අතර පාස්කු කොමිසමේ වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වෙමින් ප්‍රකාශ කළා ෴

******************************************

(05.04.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ ආනයනික පොල්තෙල් තොගය පරිසරයට හානිකර නොවන ලෙස මෙරටදී විනාශ කිරීමේ හැකියාව පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ප්‍රශ්නගත පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය නොකර මෙරට තුළ විනාශ කිරීමේ හැකියාව ඇත්ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ අදාළ පොල්තෙල් ප්‍රතිඅපනයනය නොකර මෙරටදීම විනාශ කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙරටදී විනාශ කිරීම පරිසරයට හානිකර බැවින් එසේ නොකරන බවයි රේගු දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එහෙත් දැනට පවත්නා ගිවිසුමක් අනුව අදාළ ප්‍රශ්නගත පොල්තෙල් තොගය පරිසරයට හානිකර නොවන අයුරින් බැහැර කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කළා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ට්නර් 95 ක් ප්‍රති අපනයනයට සූදානම් කර ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සඳහා නෞකා දෙකක් (2) අද (05) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන එන ලද පොල්තෙල් කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇතැම් කන්ටේනර්වල පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට තහවුරු වුණා.

මෙම කාලය තුළ මෙරටට කන්ටේනර් දහසක් (1000) පමණ ආනයනය කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ, පිලිපීනය, මලයාසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල්වලින්.

මේ අතර ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වීමත් සමඟ වෙළඳපොලේ දැනට පවතින පොල්තෙල්වල මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 400 ක්ව පැවති පොල්තෙල් ලීටරය මේ වනවිට රුපියල් 440 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

******************************************

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ උණුසුම් තත්ත්වයක් – ජයග්‍රාහිකාවගේ ඔටුනු ගැලවෙයි

(05.04.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම ඕනෑම නිරූපිකාවකගේ හීනයක්.

පුෂ්පිකා ද සිග්වා මහත්මිය කියන්නේ ඒ විදිහට ශ්‍රී ලංකාවේ රූ රැජින වූ රුවැත්තියක්, ඇය ඊයේ (04) නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයටත් සම්බන්ධ වුණා.

ඉන් ජයග්‍රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තා.

කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි.

ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි.

ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරඟකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වූවන් නොවිය යුතු බවයි.

ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවැත්තියගේ හිස පළඳන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.

අන්තර්ජාලය කැළඹු එම උණුසුම් අවස්ථාවේ පහතින් :

++++++++++++

කිරුළ ගැලවුණු විවාහක රූ රැජින පොලිසි යයි

(05.04.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

නෙලුම් පොකුණ රඟහලේ දී ඊයේ (04) නිමාවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය අවසානයේ ඇතිවූ මතභේදකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එහිදී විවාහක රූ රැජින ලෙස හිස පැළඳි කිරුළ සුළු වේලාවකින් අහිමි කරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගන්නට හිරු ප්‍රවෘත්ති සමත් වුණා.

එහිදී ඇය කියා සිටියේ අද (05) පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සියල්ල හෙළිකරන බවයි.

කෙසේ වෙතත් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

++++++++++++++

“මම දික්කසාද නැහැ, වගකීමෙන් කියන්නේ” – පුෂ්පිකා මුහුණු පොතේ තැබූ සටහන

(05.04.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේදී කිරුළ ගැලවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය එම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

පහත දැක්වෙන්නේ ඉන් උපුටාගත් එම සටහනයි :

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුළ උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුළ උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ (04) රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුළ පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුළ උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි !!!”

පුෂ්පිකා ද සිල්වා
කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

++++++++++++

(05.04.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා මහත්මියහට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

පුෂ්පිකා මහත්මිය දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (04) රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ එම කිරුළ ජයග්‍රහණය අත්කරගත්පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමිවීමත් සමඟයි.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකා මහත්මියගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව තරඟ කොන්දේසිවල සඳහන් වන බවයි.

ඒ අනුව පුෂ්පිකා මහත්මියගේ හිස මත පැළඳි කිරුළ ගලවා දමන කැරොලයින් ජූරි එය මෙම තරඟයේ අංක 17 යටතේ තරඟකර දෙවන ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායකට පැළඳ වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවයි.

මේ අතර පැළඳ සිටි කිරුළ ගැළවීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුවීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++++++

++++++++++++++++

විවාහක රූ රැජින ගැටුමේ හඬ ඇමිණුමක් පිටවේ …

(05.04.2021 – 22:02 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත ලැබී තිබේ.

එහිදී චන්දිමාල් ජයසිංහ මහතා පවසන්නේ රූ රැජින කිරුළ කැරොලයින් ජූරි විසින් බලහත්කාරයෙන් ගලවා වෙනත් අයෙකුට පලන්දවන ලද්දේ ඇය ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් වන්නට ඇති බවයි.

******************************************

(05.04.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (05) සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (05) දිනයේ තෙල්වත්ත, බද්දේගම, දෙදියවල, මුලටියන, අගුණකොපැලැස්ස සහ උඩමලල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10 කට අවධානය යොමුකල යුතු මට්ටමේ දැඩි උෂ්ණාධික තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මුලතිව්, වවුනියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

අධික උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කුඩා දරුවන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ.

******************************************

(05.04.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් (1) ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනෙකු (4) තුවාල ලබා තිබෙනවා.

වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

(05.04.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

මාතර – තිහගොඩ ප්‍රධාන මාර්ගයේ බණ්ඩත්තර ප්‍රදේශයේදී සුදු ඉර මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජීප් රථයක ගැටීමෙන් ඊයේ (04) සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව වුණා.

තිහගොඩ පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් මඟින් සැකකරුවෙකු මාතර අධිකරණය වෙත ගෙන යමින් සිටියදියි මෙම අනතුර සිදුව ඇත්තේ.

ජීප් රථයේ ගැටුණු තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ පොලිස් රියදුරා මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

******************************************

(05.04.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 141 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම සංඛ්‍යාව 54 ක්.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙනෙකු, කළුතරින් 12 දෙනෙකුද, ඊයේ (04) වාර්තාවී තිබෙනවා.

එමෙන්ම විදේශගතව සිට දිවයිනට පැමිණි 19 දෙනෙකු ද ඊයේ (04) ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ෴

******************************************

(05.04.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හතරක (4) සිර දඬුවම් නියම වී සිටින රංජන් රාමනායක ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරායා යන විනිසුරු මඩුල්ල හමුවේයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රංජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීන්දුව අද (05) ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය පසුගිය මාර්තු 31 වනදා නඩුව කැඳවූ අවස්ථාවේ දැනුම් දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර කියා සිටියේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චොද්නා එල් වී සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාරිලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

තමන්ට සිර දඩුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරයඅහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රංජන් රාමනායක ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරිමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

******************************************

(05.04.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඒ, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.

මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගිජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු පිරිසක් ද එහි පැමිණ සිටියා.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ තමන් අතර සම්බන්ධයක් පැවති බවට කරුණු දක්වමින් පසුගිය මස 17 වනදා මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

******************************************

(05.04.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ – ආගරපතන – හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක බැම්මක් සකස් කිරීමට අත්තිවාරම කපමින් සිටි පුද්ගලයෙකු පස් කන්දකට යටවී මියගොස් තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ආගරපතන – බැල්මෝරල් වතත් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සිව් (4) දරු පියෙක්.

මොහු කුලී පදනම මත තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමඟ පස්බැම්ම සකස් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාද (2) ඊට යටවීමෙන් පසු ආගරපතන රෝහලට ඇතුල් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(05.04.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය, ප්‍රදේශයේ සිසුවකු ඊයේ (04) සවස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවෙක්.

ආණමඩුව පොලිසිය සඳහන් කළේ මෙවර සිරිපා කරුණා කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනිමට පෙදරේරුවෙකු සමඟ නිවසක් අලුත් වැඩියාවකට ගොස් සිටියදී විදුලි සැර වැදීමෙන් සිසුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි.

විදුලි වැදි සිසුවා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ අරඹා තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(05.04.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 141 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යව 93,436 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් කොරෝනා මරණ දෙකක් (2) ඊයේ (04) වාර්තා වූ අතර මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 581 ලෙසයි.

මේ අතර යාපනය ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොරෝනා අසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මාර්තු 29 වනදා සිට සතියක කාලයකට වසා දැමුණු යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් අප්‍රේල් 19 වනදා තෙක් තව දුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම් වරයා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *