සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

*********************************************

සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

(20.02.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස 7 වන දා සහරාන් හෂීම්ගෙන් පුහුණුව ලැබූ බව කියන කාන්තාවන් 6 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන අනුව මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++

***************************************

(20.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව ප්‍රදේශයේ ඊයේ (19) සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි (01) ග්‍රෑම් 15ක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ (19) දිනයේදීත් දිවයින පුරා සිදුකරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සම්බන්ධයෙන් කරන ලද වැටලීම්වලදී 120 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

***************************************

(20.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය කාන්තා නිලධාරිනියන්ට වෙනස් කොට සලකන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය වන අයුරින් කටයුතු කර ඇති බවට සහ ඇතැම් නිලධාරිනියන් පෞද්ගලික පළි ගැනීම්වලට ලක්ව ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි පොලිස් මූලස්ථානය අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළ බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය, පසුගිය වසරේදී පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළ අතර, ඊට එරෙහිව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වන රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එමගින් ඔවුන් දක්වා තිබුණේ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය පත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන්ට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට අනුව ශ්‍රී ලංකා පොලීසිය තුළ ද තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ෴

***************************************

(20.02.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – මිරානියා ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික තැරැව්කරුවෙකුගේ ගිණුමකට වසර දෙකක් තුළ දී රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් අවස්ථා කිහිපයකදී තැන්පත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පිළිබදව ඊයේ (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ මිරානියා ප්‍රදේශයේ පදිංචි අහමඩ් සෙයිඩ් මොහොමඩ් නැමැත්තාගේ පෞද්ගලික බැංකු ගිණුමකට මෙලෙස මුදල් තැන්පත් වී ඇති බවයි.

කෙටි කාලයක් තුළ දී මෙලෙස මුදල් තැන්පත්වීම සම්බන්ධයෙන් සැක සහිත බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

2017 වසරේ නොවැම්බර් මස 22 වන දින අදාළ ගිණුම ආරම්භ කර ඇති අතර එහිදී රුපියල් කෝටි හතර හමාරකට (4½) වැඩි මුදලක් තැන්පත් කර තිබෙනවා.

මීට අමතරව 2018 වසරේ ද තවත් කෝටි හතර හමාරකට (4½) වැඩි මුදලක් තැන්පත් වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. එමෙන්ම, අවස්ථා කිහිපයකදී තවත් මුදල් ප්‍රමාණයක් ඔහුගේ ගිණුමට තැන්පත් වී තිබෙනවා ෴

***************************************

(20.02.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් 5 පවසනවා.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි යන එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම රටවල් සඳහන් කළේ ජගත් මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව පිළිබද තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම වැදගත් බවයි.

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ලක් රජය ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා.

නමුත් රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවයි ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් සදහන් කළේ.

මීට පෙර මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මෙම රටවල් විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුගිය රජය ඊට සම සත්කාරය දක්වනු ලැබුවා ෴

***************************************

(20.02.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම – සේරුකැළේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් ගත් මෝටර් රථය අද (20) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර තුවාල ලැබූ රියදුරු ඇතුළු තුන් දෙනා (3) ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

++++++++++

***************************************

(20.02.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගණන් වැඩි කිරීම සඳහා කිසිසේත් ඉඩ ලබානොදෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, රජයේ විවිධ වාණිජ නීතිගත සංස්ථාවේ මඩකලපුව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමින්.

සහල් මාෆියාවේ අතකොළු බවට පත් නොවී නිෂ්පාදකයා කටයුතු කළ යුතු බවයි ඔහු කිය සිටියේ.

පවත්නා වී තොග සඳහා වඩාත් සාධාරණ මිලක් ගොවියාට ලබාදීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කර ඇති බවද වෙළද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

++++++++++++++++

වෙළෙඳපොළේ සහල් හිඟයක් ?

(19.02.2021 – 22:39 +0530 – sinhala.adaderana.lk)

රට තුළ සහල් සහ වී හිඟයක් මතුව ඇති බව සහල් ව්‍යාපාරිකයන් සහ මහ පරිමාණ වී මෝල් හිමියන් පවසයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් පවසන්නේ රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමිවන බවය.

සහල් වර්ග හතරකට අදාළව සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන් සහල් විකිණිය යුතු උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය වසරේ නොවැම්බර් මස 04 වනදා සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සම්බා සහ කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92 ක් සහ කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක් එම ගැසට්පත්‍රය මගින් නියම කෙරුණි.

එවන් පසුබිමක රජයේ පාලන මිලට වඩා සහල් අලෙවි කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරුවලට අනුව ඔවුන් කොළඹ කොටුව වේල්ල වීදිය, හතරවන හරස් වීදිය ඇතුළු සහල් තොග අලෙවි මධ්‍යස්ථාන පරීක්ෂා කළේය.

කෙසේ වෙතත් එහිදී අනාවරණය වූයේ වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇති බවය.

මේ අතර වෙළෙඳුන් පවසන්නේ ‘රජයේ පාලන මිලට’ සහල් අලෙවි කළ නොහැකි බවය.

මහ පරිමාණ වී මෝල් හිමියන් පවසන්නේ පැවැති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මේ අතර වී මිලදී ගැනීමේදී රජයේ සහ පුද්ගලික අංශයේ තරඟකාරීත්වය ඉහළ යාම නිසා වී සඳහා න සහතික මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව මහ පරිමාණ වී මෝලි හිමියන් තෙත සහිත සම්බා සහල් කිලෝවක් රුපියල් 62 කට සහ තෙත සහිත නාඩු කිලෝවක් රුපියල් 56 ක් වැනි ඉහළ මිලකට මිලඳී ගැනීමට පෙළඹී තිබේ.

***************************************

(20.02.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියර මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්යාය ප්‍රදේශයේදි ආරම්භ වී තිබෙනවා.

දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටළුවලට එම ගම්මානවලටම ගොස් විසදුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි ෴

***************************************

(20.02.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනා ලබාගැනීම වෙනුවෙන් පත් කර ඇති විද්වත් කමිටුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (19) සිය අදහස් හා යෝජනා ලබාදුන්නා.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති රැස්වීමකදියි.

එමෙන්ම, මෙම විද්වත් කමිටුවට යෝජනා ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානය ද මේ වන විට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චි නගරයේ අද (20) නිහඬ විරෝධතාවක නිරත වුණා ෴

***************************************

(20.02.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගල හරහා ඉදිකර ඇති අඹන පාලමයි.

1950 වසරේදී ඉදිකෙරුණු මෙම පාලම මගින් ඕපාල්ගල, ගල්බොඩ, මොරගොල්ල, සේනාගම ඇතුළු ග්‍රාමසේවා වසම් 7 ක ජනතාවට සෙත සැලසෙනවා.

ඔපාල්ගල ඇල්ල නැරඹීම සඳහාද දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ දෛනිකව පාලම හරහා පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් ගමන් කරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට බැමි පුපුරා යාමෙන් පාලම දැඩි ලෙස අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදීම නිලධාරීන් පැමිණ පාලම අලුත් වැඩියා කිරීම සඳහා මිනුම් කටයුතු සිදුකරගෙන ගියද මේ වනතෙක් එහි කිසිදු අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කර නොමැති බවටයි.

පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ නෙත ගැටෙන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(20.02.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් පෙනී සිටි අයුරින්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටින බව එහි හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, කොළඹ දී ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සඳහන් කළේ තමන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි යළි පවරා ගන්නා බව කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි ෴

***************************************

(20.02.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීම සඳහා යෝජනා ලබාගැනීම වෙනුවෙන් පත්කර ඇති විද්වත් කමිටුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අදහස් හා යෝජනා ලබාදුන්නා.

එම අවස්ථාවට පොදුජන පෙරමුණු රජයට සහය දක්වන පක්ෂ නියෝජනය කරමින් අමාත්‍යවරුන් පිරිසක්ද එක්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යෝජනා ලබාදීම සිදුකෙරුණේ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් නියෝජිතයින් පිරිසක්ද සහභාගි වී සිටියා.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි රජයට ලබාගැනීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.

***************************************

(20.02.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනපති කොමිසම් සභා අවසන් වාර්තාව අධ්‍යයන සඳහා පත් කළ පාර්ලිමේන්තු කමිටුව වෙත වැඩිදුර විමර්ශනය සඳහා ලබාදීමට විරෝධය පළ කරමින් කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට ජනතාව අද (20) නිහඬ විරෝධතාවක නිරතවනවා ෴

***************************************

(20.02.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුවකින් මහනුවර පාතදුම්බර ගඩොල් නිෂ්පාදකයින් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි මීට විසඳුමක් ලබා දෙන ලෙසයි.

මහනුවර පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹතැන්න, බොල්ලේගොඩ, එගොඩගම, මෙගොඩගම කහල්ල, කළුගලවත්ත ආදී ග්‍රාම නිලධාරී වසම් 10 කට ආසන්න ප්‍රමාණයක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගඩොල් කර්මාන්තයයි.

මෙරට ගොඩනැගිලි ඉදිරි කිරීම සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු සැපයීමේ ප්‍රමුඛයා ලෙසද පාතදුම්බර ප්‍රසිද්ධියක් උසුලනවා.

නමුත් ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය පස් සපයා ගැනීමේ ගැටලුවක් මතුවීම හේතුවෙන් මේ වනවිට ගඩොල් නිෂ්පාදකයින් දැඩි ආර්ථික දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ මූලික නිෂ්පාදන අමුද්‍රව්‍ය වන පස් ලබා ගැනීමට සකස් කර ඇති බලපත්‍ර සීමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.

අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව නිසා මේ වනවිට නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි ලෙස අඩාලවී ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල වී ඇත්තේ ප්‍රමිතියෙන් උසස් ගඩොල් නොමැතිවීම හේතුවෙන්.

පාතදුම්බර ගඩොල් නිෂ්පාදකයින් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සිය ගැටලු පිලිබඳ සළකා බලා සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

***************************************

(20.02.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියවැව – වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට (20) දින 34 ක් ගතවනවා.

සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේදී පරිසරය ආරක්ෂා කරන්නැයි යන තේමාව යටතේ පාසල් ළමයින් චිත්‍ර ඇඳ ප්‍රදර්ශනය කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවට රජය ලබාදුන් පොරොන්දුවට දින 28 ක් ගතවන බවද සත්‍යග්‍රහයේ නිරත ගොවීන් ප්‍රකාශ කළා.

ගොවින්ට සහය පළ කරමින් සූරියවැව නගරයේදී සමාජවාදී තරුණ සංගමය අද (20) දහවල් උද්ඝෝෂණයකද නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@

(20.02.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩි අවදානම් තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යන ලෙස නීතියක් පනවා තිබුණ ද එය ක්‍රියාත්මක නොවන බවට බස් රථ මගීන් තවදුරටත් චෝදනා එල්ල කරනවා.

බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා කියා සිටියේ පමණ ඉක්මවා මගීන් රැගෙන ගිය ද එම බස් රථ ඉහළ නැංවූ සියයට 20 ක බස් ගාස්තු තවදුරටත් අය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ කාර්ය බහුල වේලාවන් වලදී පමණක් ප්‍රමාණය ඉක්මවා බස් රථවල මගීන් ඇතුළු වන බවයි.

මොහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ගෙන් විමසීමක් කළා.

එමෙන්ම, ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කල බස් රථ 90 ක පමණ මගී ප්‍රවාහන බලපත්‍ර අහෝසි කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

(20.02.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ විදේශගතව සිටි පුද්ගලයන් 1080 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි, කටාර්, කුවේට් සහ ඉන්දියාවේ සිට මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා කියා සිටියේ.

එමෙන්ම තවත් ගුවන් මඟීන් 456 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(20.02.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා එන්නත භික්ෂූන් වහන්සේලාට ලබාදීම අද (20) මහනුවරින් ආරම්භ කෙරුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කඩිනමින් කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙල මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිත බවයි.

ඒ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා සඳහා කොරෝනා එන්නත ලබාදීම හෙට (21) සිදු කෙරෙනවා ෴

++++++++++++++++++++

(20.02.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මස 1 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු සඳහා පැමිණෙන ගුරුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ.

පසුගිය මස 29 වනදා සිට ඊයේ (19) දිනය දක්වා කාලය තුළ මෙරට සිදුකළ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ දෙලක්ෂ 63,779 දෙනෙකුට ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(20.02.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 517 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 152 කුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 28,592 කු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (19) ආසාදිතයන් 111 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මේ අතර, හංවැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සමීප ආශ්‍රිතයන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසියේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට සහ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ටත් කොරෝනා ආසාදනය වී ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියා සිටියේ.

මීට පෙරද එම පාසලේ සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සේවකයින් 13 දෙනෙකුටද කොරෝනා ආසාදිත වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

+++++++++++++++++++

(20.02.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 890 දෙනෙකු අද (20) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,456 ක් බවයි.

තවදුරටත් ආසාදිතයින් 5,048 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++

(20.02.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත භික්ෂූන් වහන්සේලාට ලබාදීම ආරම්භ කරමින් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන්ට එන්නත ලබාදී තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේදී මහනාහිමියන්ට කොරෝනා එන්නත ලබාදීම අද (20) දහවල් සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ටද මෙහිදී එන්නත ලබාදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Arundika’s luxury motor. If a minister and his staff is irresponsible enough to destroy a multi million ruppees worth luxury vehicle provided to him from public funds, what confidence can we keep on this useless, negligent and irrespoonsible man to hold a minister’s job. If I were the President I would dismiss the man immediately and get him to pay back the cost of the vehicle from his private assets . This shows the mindset of these uneducated people in country’s top posts. Big mouthed stupid rascal!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *