2016 දී පැමිණි ප්‍රශ්නගත තුර්කි ජාතිකයින් 14 ක් රටින් පිටවී නෑ – පාස්කු කොමිසමේදී හෙළි වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• 2016 දී පැමිණි ප්‍රශ්නගත තුර්කි ජාතිකයින් 14 ක් රටින් පිටවී නෑ – පාස්කු කොමිසමේදී හෙළි වෙයි (විඩියෝ)

• රාජ්‍ය දියුණු කිරීමේ යතුර අධ්‍යාපනය – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• පස්වැනි දිනටත් රවී සොයා මෙහෙයුම් (විඩියෝ)

• කොරෝනා බියෙන් ලංකාවට ආපු පියා නිසා දියණියට අත්වුණු අවාසනාවන්ත ඉරණම (විඩියෝ)

• මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි (විඩියෝ)

• කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග රජයෙන් සමස්ත ජනතාවට විශේෂ නිවේදනයක්‌ (විඩියෝ)

• ඉඩෝරය මැද මාවනැල්ලේ පතහවැව පිටාර මට්ටමට පිරිලා

• “ලෝකයේ නීතිය වන්නේ බෙහෙත් තුණ්ඩු ලිවිය යුත්තේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්..” – වෛද්‍යවරයෙකු දුන් බෙහෙත් තුණ්ඩුවක් බුකිය කළඹයි

• ‘අද දෙරණ උකුස්සා’ට ජනපති අවධානය (විඩියෝ)

• ‘අද දෙරණ උකුස්සා’ : කල්පැන්න උපකරණවලින් ලේ පරීක්ෂා කරන රසායනාගාර (විඩියෝ)

• ‘අද දෙරණ උකුස්සා’ : උකුසු ඇසට හසු වු පාවෙන අවදානම (විඩියෝ)

• නීතිපතිගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමට ලිපියක්

• වරෙන්තු නිකුත් කර තිබු ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

• තවත් අමනුෂ්‍යයන් පිරිසක් මඩකලපුවෙන් මතුවෙයි… කොරෝනා නිරෝධායනයට එරෙහිව පාරවල් අවහිරකර උද්ඝෝෂණය කරයි !

• විශ්ව විද්‍යාල සිසුවාගේ හිසට ‘ටයරය අතහැරි සිසුවා’ පොලිසියෙන් අත්අඩංගුවට ගනී

+++++++++++++++++++++++++++++++++++

2016 දී පැමිණි ප්‍රශ්නගත තුර්කි ජාතිකයින් 14 ක් රටින් පිටවී නෑ – පාස්කු කොමිසමේදී හෙළි වෙයි

(10.03.2020 – 21:28 +0530 – sinhala.adaderana.lk)

2016 සහ 2017 කාලසීමාව තුළ මෙරටට පැමිණි ප්‍රශ්න ගත තුර්කි ජාතිකයින් 158 දෙනා අතරින් 14 දෙනෙකු මෙතෙක් රටින් බැහැර වී නැති බව පාස්කු ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (10) අනාවරණ වුණි.

ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර පාලක තුෂාර කුමාර රූපරත්න මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීය.

පාස්කු ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර පාලක ලෙස කටයුතු කරන තුෂාර කුමාර රූපරත්න මහතාගෙන් රජයේ අධිනීතිඥවරිය ප්‍රථමයෙන්ම විමසා සිටියේ මෙරටට පැමිණි බව කියන තුර්කි ජාතිකයින් පිරිසකගේ නාමලේඛණයක් ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයෙන් ලබාදුන්නා ද යන්නයි.

එවැනි නාමලේඛනයක් අවස්ථා දෙකකදී තමන්ට ලබාදුන් බවත් පළමු ලේඛනයේ තුර්කි ජාතිකයින්ගේ නම් 50 ක් සහ දෙවැනි ලේඛනයේ තුර්කි ජාතිකයින් 158 දෙනෙකුගේ නම් සටහන්ව තිබූ බව රූපරත්න මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පළමු නාමලේඛණයේ සදහන් නම් , දෙවැනි ලැයිස්තුවේද සඳහන්ව තිබුණි.

එම නම් මොනවාදැයි කොමිසම නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් ආගමන විගමන නිලධාරියා පැවසුවේ, හකන් අර්ස්ලාන් නමින් ඇති ගුවන්ගමන් බලපත්‍රයේ අංකය ලේඛන දෙකේම සමාන වුවත් දෙවැනි ලේඛනයේ නම සටහන්ව තිබුණේ හකන් හකන් යන්නෙන් බවයි.

මීට අමතරව අයිටෙන් අර්ස්ලාන් සහ නෙස්ලිහාන් එරිකි යන අයගේ නම්ද එම නාමලේඛණ වල සදහන් වන බව තුෂාර කුමාර රූපරත්න මහතා කොමිසමට පැවසුවේය.

එහිදී කොමිසම විමසා සිටියේ මෙම තුර්කි ජාතිකයින් මේවනවිට ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් තුෂාර කුමාර රූපරත්න මහතා පැවසුවේ හකන් හකන් නැමැත්තා 2016 වසරේ මැයි 05 වනදා රටින් පිටවී ගොස් තිබුණත් නෙස්ලිහාන් එරිකි නැමැත්තා මෙරටින් පිටවී ගොස් ඇති බවට තොරතුරු සටහන් ව නොමැති බවයි.

එමෙන්ම අයිටෙන් අර්ස්ලාන් නැමැත්තා මෙරටට පැමිණියේද නැද්ද යන්න සම්බන්ධයෙන්ද ආගමන විගමන වාර්තා වල සටහන් වී නැතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යළි කොමිසම ප්‍රශ්න කළේ තුර්කි ජාතිකයින් 158 දෙනාගෙන් මේ වනවිට කොපමණ පිරිසක් මෙරට තුල රැදී සිටින්නේද යන්නයි.

158 දෙනා අතරින් මෙරටට පැමිණි බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සටහන් වී තිබුණු පුද්ගලයින් 14 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් බැහැරවූ බවට සටහන් වී නොමැති බව ඔහු කොමිසමට පැවසුවේය.

***************************************

රාජ්‍ය දියුණු කිරීමේ යතුර අධ්‍යාපනය – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(10.03.2020 – 22:28 +0530 – sinhala.adaderana.lk)

ඕනෑම ප්‍රදේශයක් දියුණු කිරීමේ ප්‍රධාන සාධකය අධ්‍යාපනය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමින්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමෘද්ධිමත් අනාගතයක් උදෙසා ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (10) පස්වරුවේ කෑගල්ලේදී ජනගත කෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වනු ලැබුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

“කනක හේරත් මේ හදලා තියෙන්නේ ‘සෞභාග්‍යයේ දැක්මේ’ කෑගලු පිටපත. මැතිවරණයකදී ඡන්ද පැහැරගන්නා චෞර සංස්කෘතිය වෙනුවට මෙවැනි දියුණු සංස්කෘතියක් අත්පත්කරගමු.

කෑගල්ලේ අංක එකේ තේරීම අධ්‍යාපනය. මුල්තැන අධ්‍යාපනයට දෙනවානම්. ඔහු සැලසුම්සහගත දේශපාලඥයෙක්. ජනපති විශ්වාස කරන්නේ රාජ්‍ය දියුණු කිරීමේ යතුර ‘අධ්‍යාපනය’ බවයි.

***************************************

පස්වැනි දිනටත් රවී සොයා මෙහෙයුම්

(10.03.2020 – 20:33 +0530 – sinhala.adaderana.lk)

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිවු දෙනෙකු ඉදිරිපත්කළ රිට් පෙත්සම හෙට (11) දින සලකාබැලිමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.

වරෙන්තු නිකුත් කර අදට (10) දින හතරක් ගතවුවද මෙතෙක් රවී කරුණානායක මහතා සිටින ස්ථානයක් හෝ සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත.

2016 මාර්තු මාසයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු හයවනදා වරෙන්තු නිකුත් කළේය.

එම දෙපාර්තමේන්තුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තු නිකුත් වූ 10 දෙනාගෙන් එක් අයෙකු පමණයි.

රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා සහ අර්ජුන් අලෝෂියස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දින කිහිපයේ මෙන්ම අද (10) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත ගියද ඒ කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ සොයාගැනීමට එම නිලධාරීන් අසමත්වුණි.

එවන් පසුබිමක කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය අද (10) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

එහිදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම වරෙන්තුව නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන බැවින් ඔහුට මෙම නඩුව ඇසීම සඳහා කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දුන්නේය.

එබැවින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ තවත් නඩුවක් 2018 වසරේදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහුගේ නිල මැදිරිය තුළට ගොස් , මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ මහ බැංකුවේ සේවය කරන බැවින් මෙම නඩු කටයුත්තට සහභාගීවීමෙන් වළකින ලෙස ඉල්ලා තිබූ බව අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ පෙන්වාදුන්නේය.

එම ඉල්ලීම පරිදි රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා එම නඩුව විමසීමෙන් ඉවත්වී එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු වෙත යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

එබැවින් මෙම නඩුවට අදාළව පොලීසිය ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සඳහන් කර සිටියේ මෙම නඩු කටයුතු වලට අදාලව නොතිසි කිසිවක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම නඩු කටයුතු වලට අදාළ නොතීසි අද දින නීතිපති දෙපාර්තමේන්තු වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කලේය.

අනතුරුව රිට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්ම අදත් මෙලෙස අදහස් පළ කළේය.

***************************************

කොරෝනා බියෙන් ලංකාවට ආපු පියා නිසා දියණියට අත්වුණු අවාසනාවන්ත ඉරණම

https://www.youtube.com/watch?v=qcnCwJOXXWc
10-03-2020

***************************************

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි

(11.03.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

‘කොවිඩි නයින්ටීන්’ හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී තිබෙනවා.

ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කළේ.

ඔහු මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වනවා.

මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ නිරෝධායන සඳහා යොමු කිරීමට නියමිත ගුවන් මගීන් 300 කට අධික පිරිස එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී ඇති බව ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළා.

අදාළ මගීන් එලෙස හැසිරී ඇත්තේ දීර්ඝ ගමනාන්තයකට ළඟා වූ පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් ගුවන් තොටුපළ පරිශ්‍රයේ නොමැති බවට චෝදනා නගමින්.

එමෙන්ම එම මගීන්ගේ මෙරට සිටින ඥාතීන් ද ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිට ඇති අතර ඔවුන් ද ප්‍රකාශ කර සිටියේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ නිසි පහසුකම් නොමැති බවටයි ෴

+++++++++++++++++++++

කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමත් සමග රජයෙන් සමස්ත ජනතාවට විශේෂ නිවේදනයක්‌

(11.03.2020 – 09:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනයට එම රටවල් විධි විධාන රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.

ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවය සපයා තිබෙනවා.

මොහු සති දෙකක කාලයක් මෙම ඉතාලි ජාතික සංචාරකයින් සමඟ රැදී සිට ඇති අතර එම සංචාරකයින් මේ වනවිට යලි සිය රටට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.

සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙන යන මෙම වැඩපිළිවෙලට ලබාදෙන්නැයි රජය තවදුරටත් ඉල්ලා සිටිනවා.

+++++++++++++++++++++

***************************************

ඉඩෝරය මැද මාවනැල්ලේ පතහවැව පිටාර මට්ටමට පිරිලා

(11.03.2020 – 01:00 +0530 – dinamina.lk)

රට පුරා නියඟයක් තිබිය දී වැස්ස නොමැතිව වේළි ගිය ඉඩෝරය මැද මාවනැල්ල අඹදෙනිය, අරකොටවැල්ල පඹුරුදෙනිය පතහ වැව (අරකොටවැල්ල වැව) දින දෙකක් වැනි කාලයක දී එකවිට පිටාර මට්ටමට පැමිණිමේ අපූරු සිද්ධිය නැරඹීමට පෙර දින සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව ගම්වාසීහූ පවසති.

2016 වසරේ නාය ගිය අරණායක සාමසර කන්ද ඇතුළු ගම්මානවල ජනතාව මෙම වැව අසබඩ පදිංචි කර ඇති අතර නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් මෙහි පවති.

වැවට ඉහළින් ඇත්තේ ගලවා ඉවත් කරන ලද රබර් ඉඩමකි. වැවට පහත කොටසේ අස්වැනු කැපු කුඹුරු දැක ගත හැකියි. වැවට අඩි 20 ක් පමණ පහතින් ගලා බසින අම්බුළුවාවේ සිට මා ඔය තෙක් ගමන් කරන කුඩාඔය පවති.

කෙසේ වෙතත් මෙම සිදු විමෙන් පසුව වැව නැරඹිමට පැමිණෙන ජනතාව සහ රථ වාහන පාලනයට හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් ද එහි ගොස් සිටිනු දැක ගත හැකි විය.

මෙම වැව පිහිටි ස්ථානයට මිටර් 500 ක පමණ පහතින් නිවසක පසුගියදා භූගතව තිබු නිධානයක් ගොඩ ගෙන ඇති අතර එහි තිබි ඇත්තේ ග්‍රැම් 635 ක් බරුති සරස්වති පිළිමයකි. එම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු ද මේ වන විට පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු පවසන්නේ මෙම සිද්ධියත් ගමේ ඉපැරණි පුරා විද්‍යා වටිනාකමත් හේතුවෙන් සමහර විට හාස්කමක් මෙන් සිදු වන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය පැවසුවේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයට මේ ගැන දන්වා ඇති බවත් එතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

***************************************

“ලෝකයේ නීතිය වන්නේ බෙහෙත් තුණ්ඩු ලිවිය යුත්තේ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්..” – වෛද්‍යවරයෙකු දුන් බෙහෙත් තුණ්ඩුවක් බුකිය කළඹයි

(09-03-2020 – webgossip.lk)

වෛද්‍යවරයෙක් කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න වෙර දරන උතුම් මීස් කොට්ඨාසයක්. හැබැයි සමහර වෙලාවට එක් අයෙකුගේ වැඩ නිසා සමස්ත වෛද්‍යවරුන්ගේම නම කැත වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.

වෛද්‍යවරයෙක් ලබා දෙන බෙහෙත් තුන්ඩුව බලලා බෙහෙත් දෙන එකත් ලොකු වගකීමක් තියෙන රැකියාවක්. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් ජීවිත හානියක් පවා සිදුවෙන්න පුළුවන්.

මේ අපි කියන්න යන්නේ වෛද්‍යවරයෙකු ලබා දෙන බෙහෙත් තුන්ඩුවක් ගැන ඖෂධවේදියෙක් තැබූ සටහනක් ගැනයි..

එම සටහන පහතින් :

මේ තුන්ඩුවේ ඖෂධ 4 තියෙනවා .මේකේ දෙවෙනි බෙහෙතේ නම තියෙන්නේ ඩෙරිෆිලින් 150 mg කියන ඖෂධය.

මේක ගොඩක් අපැහැදිලි ලෙස ලියලා තියෙන්නේ. නුවර ගිහින් වියදම් කරලා කැකිරාවට බේත් ගන්න එනවා. මේ ලංකාවේ ජනප්‍රිය ස්වසන රෝග consultant කෙනෙක් ගේ අත් අකුරු.

මං මෙතුමාට පුද්ගලිකව ලිපියකින් දැනුවත් කරා මෙහෙම කරන්න එපා කියලා. ලෝකයේ නීතිය වන්නේ තුන්ඩු ලිවිය යුත්තේ ‘ඉංග්‍රීසි කැපිටල් බ්ලොක් අකුරු වලින්’ එය නීතියක්. මා ඖෂධවේදියෙක් නිසා මා හට ලෙඩේ පැහැදිලි වෙන නිසා හොයා ගන්න පුලුවන් නමුත් ෆාමසි කීයකද ඖෂධවේදීන් ඉන්නෙ. නමුත් මේ කරන දෙයින් මිනිසුන් කොච්චර නම් අපහසුතාවට පත් වෙනවාද. බේතක් වැරදුනොත් වන්දි ගෙවන්නේ අහිංසක පොඩි කිරිසප්පයෝ. මං ඉල්ලීමක් කරනවා මේක බළධාරීයෙක් දකින තුරු share කරන්න කියලා. මොකද මේ වැඩෙන් වන්දි ගෙවන්න වෙන්නේ අසරණ රෝගීන් සහ දරුවන්. මෙම හේතුව නිසා ඖෂධවේදීන් හැටියට අපි පත් වන අපහසුතාවය මග හැරීමට පල කරනවා මිස වැරදි අවබෝධයක් නොගන්න. මොකද අපේ රටේ ඇත්ත කතා කරන්න අමාරුයි. මේ පොස්ට් එක පල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ බලධාරියෙකුගේ ඇස ගැටී ඒ සදහා විසදුමක් ලබා ගැනීමට මිස කිසිම කෙනෙක් අපහසුතාවට පත් කිරීමට නොවන බව තේරුම් ගන්න ෴

***************************************

‘අද දෙරණ උකුස්සා’ට ජනපති අවධානය

(10.03.2020 – 22:39 +0530 – sinhala.adaderana.lk)

මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ ජල පිරිපහදු යන්ත්‍රවලට බැක්ටීරියා ආසාදනය වීම සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ කළ අනාවරණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.

මැදවච්චිය වකුගඩු ඒකකයේ ඇති ජලපිරිපහදු යන්ත්‍රවලට බැක්ටීරියා එක්ව ඇති ආකාරය සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ පසුගිය පෙබරවාරී මස 29 වැනිදා රට හමුවේ අනාවරණ කළේය.

එහිදී අනාවරණ කළේ එම බැක්ටීරියා අඩංගු ජලපිරිපහදු යන්ත්‍රවලීන් රෝගීන්ට ජලයද ලබා දෙන ආකාරයයි.

‘අද දෙරණ උකුස්සා’ගේ මෙම අනාවරණය ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇති අතර පසුව ජනාධිපතිවරයා විසින් එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාට මේ පිළිබඳව සොයා බලන ලෙසට උපදෙස් දී තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැදවච්චිය වකුගඩු ඒකකය වෙත පැමිණියේය.

කෙසේ වෙතත් මැදවච්චිය රෝහල් අධිකාරීවරයා පැවසුවේ ප්‍රායෝගිකව මෙම රෝගීන්ට අවධානමක් තිබුණද රෝගීන් වෙනත් රෝහලකට මාරුකර යැවීමට හැකියාවක් නොමැති බවයි.

එසේනම් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින වකුගඩු රෝගීන්ගේ ජීවිත තවදුරටත් අවධානමේ නොහෙලා බලධාරීන් කඩිනම් පියවර ගන්නා තෙක් ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන්ය.

***************************************

‘අද දෙරණ උකුස්සා’ : කල්පැන්න උපකරණවලින් ලේ පරීක්ෂා කරන රසායනාගාර

(08.03.2020 – 21:07 +0530 – sinhala.adaderana.lk)

මිනිස් සිරුරට අහිතකර වන, කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ භාවිත කරමින් රුධිර සාම්පල ලබාගන්නා රසායනාගාර කිහිපයක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

‘අද දෙරණ උකුස්සා’ගේ අද (08) අනාවරණය ඒ පිළිබඳවයි.

අම්පාර නගරයේ ඇති වෛද්‍ය රසායනාගර කිහිපයක කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ භාවිත කරමින් රුධිර සාම්පල ලබාගන්නා බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සමග අදාල ස්ථානයක් වෙත ළඟාවුණි.

එහිදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය සෝදිසි කළ අතර එහි තිබී කල් ඉකුත් වූ රුධිර පරීක්ෂණ නළ තොගයක් සොයා ගත්තේය.

කල් ඉකුත් වූ රුධිර පරීක්ෂණ නළ යළි යළිත් භාවිත කර තිබූ අකාරයයි මේ.

අනතුරුව තවත් ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ අතර ඒවායේ තිබී තවත් කල් ඉකුත් වූ රුධිර පරීක්ෂා කරන නළ තොගයක් සොයා ගැනුණි.

මේ අනුව අදාල උපකරණ නඩු භාණ්ඩ වශයේන අධිකරණයට ඉදිරිපත් කර ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු ආරම්භ කළේය.

මුදලට ලොබ බැඳ මිනිස් ජීවිත වලට වින කටින මෙවැනි අකටයුතුකම් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන්ය.

***************************************

‘අද දෙරණ උකුස්සා’ : උකුසු ඇසට හසු වු පාවෙන අවදානම

(03.03.2020 – 22:05 +0530 – sinhala.adaderana.lk)

මේ තරුණ තරුණියන් පිරිසක් රිසි සේ විනෝද වන ආකාරයයි. ඔවුන් මෙලෙස විනෝදවන්නේ ජීවිත අවදානමක පවා සිටියදී බව නොදන්නා කරුණක්. අධික ශබ්දය සහිත සංගීතය සහ මතින් මත් වී සිටින ඔවුන් මේ සිටින්නේ බොල්ගොඩ ගඟ මැද.

දිගින් මීටර් 33 කට වැඩි මේ යාත්‍රාව අති සුභෝපභෝගී ලෙස සකස් කොට ඇත්තේ, හෝටලයක් ආකාරයෙන්. කාමර තුනකින් යුත් මෙහි උත්සව පැවැත්වීම සඳහා ද ඉඩකඩ වෙන්ව තිබේ. කෙසේ වෙතත්, එහි ගමන් කළ හැක්කේ පුද්ගලයින් 54 දෙනෙකුට පමණයි. ඉන් හතරක් වෙන්වන්නේ, කාර්ය මණ්ඩලය සඳහායි.

නමුත් පසුගිය 29 වැනිදා මේ තරුණ තරුණියන්ගේ සාදයට සහභාගි වන පිරිස 113 ක්. ලාංකිකයින් පමණක් නොව විදෙස් ජාතිකයින් ද සැළකිය යුතු පිරිසක් මේ සාදයට සහභාගි වේ. අනුමත මගී ගණන වූ 50 වෙනුවට 113ක් මෙහි ගමන් කරවීම කොතෙක් අවදානමක් දැයි මෙහි හිමිකරුවන් සිතුවා ද?

එපමණක් නොව මෙවැනි යාත්‍රාවක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම බලපත්‍ර ලබාගත යුතු වේ. ඒ, ධීවර අමාත්‍යාංශයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියෙන්. අප කළ සොයාබැලීමකදී අනාවරණ වන්නේ එවැනි කිසිදු බලපත්‍රයක් මේ අති සුඛෝපභෝගී යාත්‍රාවට නොමැති බවයි.

රටක නීතිය උල්ලංඝනය කරමින් මිනිස් ජීවිත අවදානමට හෙලන මෙවැනි ක්‍රියා නැවැත්වීම බලධාරීන් සතු වගකීමක් නොවේ ද ?

මේ පිළිබද ‘අද දෙරණ උකුස්සා’ තවදුරටත් අවධානයෙන්.

***************************************

නීතිපතිගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමට ලිපියක්

(11.03.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට නඩු විභාග කිරීමට නෛතික බලයක් හෝ කිසිදු අධිකාරීමය බලයක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා එම කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ, නීතිපතිවරයාට මෙම කොමිසම හමුවේ අද (11) පෙරවරුවේ පෙනී සිටින ලෙස නිකුත් කර තිබූ සිතාසි සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

අලි ජාවාරම්කරුවෙකු වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගවන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට දේශපාලන පළි ගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කෙරුණා.

කෙසේ වෙතත් ඇය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

පසුව ජනාධිපති කොමිසම දැනුම්දී තිබුණේ තම විමර්ශන අවසන්වනතුරු ඊට අදාළ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමෙන් වළකින ලෙසට කළ දැනුම්දීම අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයාට අද (11) දිනයේ එහි පෙනී සිටින ලෙසටයි.

ඊයේ (10) දිනයේද අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ ලේකම්වරියට යළි නොතීසි නිකුත් කෙරුණා.

+++++++++++++++++++++

වරෙන්තු නිකුත් කර තිබු ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

(11.03.2020 – 15:03 +0530 – sinhala.adaderana.lk)

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී ඇත.

නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් විය.

එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා විසින් අධිකරණයට දන්වා සිටියේ අධිකරණය විසින් ඉල්ලා සිටින ලේඛන සියල්ල භාරදීමට තම සේවාදායකාව සූදානම් බවයි.

ඒ අනුව අදාළ ලේඛන සියල්ල හෙට (12) දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නයි කොමිසමේ ලේකම්වරියට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන බවද නියෝග කළේය.

සාමාන්‍ය වරෙන්තු කළ පුද්ගලයෙකුට අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ දී බැඳුම්කරයක් නියම කරනු ලැබුවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට තිබෙන ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය ෴

+++++++++++++++++++++

පර්ල් වීරසිංහ අධිකරණයට බාර වෙයි

(11.03.2020 – 17:30 +0530 – lankadeepa.lk)

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට බාර වීමෙන් පසු වරෙන්තු ආපසු කැඳවීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අනතුරුව නීතිඥවරුන්ගේ සහයෙන් අධිකරණයේ විනිසුරුවන් පිටවයන මාර්ගයෙන් පිටතට පැමිණි ඇය පැයක පමණ කාලයක් මාධ්‍යට සැගවෙමින් මහාධිකරණ පරිශ්‍රය තුළ සැඟව සිට නීතිඥවරයෙකුගේ මෝටර් රථයකින් පිටව ගියාය.

***************************************

තවත් අමනුෂ්‍යයන් පිරිසක් මඩකලපුවෙන් මතුවෙයි… කොරෝනා නිරෝධායනයට එරෙහිව පාරවල් අවහිරකර උද්ඝෝෂණය කරයි !

(11.03.2020 – colombotoday.com)

විදේශිකයන්ව කොරෝනා වෛරසය නිරෝදායනය සදහා මඩකලපුට රැගෙන ඒම නතරකරන්නෙයි ඉල්ලා මඩකලපුවේ විරෝධතා රැලියක් හා දැනුවත් කිරීමේ අරගලයක් දියත් කරන ලදි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති පොදු සංවිධාන වල සංවිධානයෙන් අරගලය හා රැළිය පැවැත්වුණි.

කොරෝනා රෝගය පැතිර ඇති රටවලින් මෙරටට පැමිණෙන මගීන් මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ පවත්වන නිරෝධ්‍ය මධ්‍යස්ථානයට රැගෙන ඒමේ කටයුතු රජය ක්‍රියාත්මක කර ඇත.

‘කොරෝනා පරීක්ෂණය මඩකලවේදී නොකරනු’ යනු තේමාව කරගත් පෙළපාලිය මඩකලපුව ආනපන්දි සිත්ති විනායගර් කෝවිල අසලින් ආරම්භ වී මඩකලපුව ශික්ෂණ රෝහල දක්වා ගොස් එහිදි විරෝධතාවය සිදුකරන ලදි.

මඩකලපුව දිස්ත්‍රික්කය පසුගිය කාලයේ විවිධ ඛේදවාචක වලට මුහුණ දුන් දිස්ත්‍රික්කයක් වන අතර නැවත විනාශයන් ඇති නොකරන ලෙසට ඉල්ලා යෝජනාවක් උද්ඝෝෂණකරුවන් ඉදිරිපත් කරන ලදි. මඩකලපුව ශීක්ෂණ රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට පත් කිරීම වහා නතර කල යුතුයැයිද එසේ නොකරන්නේ නම් රෝහල වැටලීමට සිදුවන බවටද අනතුරු අඟවන ලදි.

ඒ සමගම මෙම සිද්ධිවලට විරෝධය පාමින් වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිදිතැන්න ඉක්රහ් විද්‍යාලයේ සිසුන් සහ දෙමවුපියන් පාසලේ පිවිසුම් මාර්ගය වසා විරෝධතාවයේ යෙදිණි .

ජයන්තියාය අහමඩ් හිරාස් විද්‍යාලයේ සිසුවියන් පාසලට නොපැමිණ, කොරෝනා නිරෝධායන කටයතු මඩකලපු ප්‍රදේශයේ සිදුකිරීමට එරෙහිව විරෝධය පලකරන ලදි.

***************************************

විශ්ව විද්‍යාල සිසුවාගේ හිසට ‘ටයරය අතහැරි සිසුවා’ පොලිසියෙන් අත්අඩංගුවට ගනී

(11.03.2020 – 13:30 +0530 – truenews.lk)

ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලිසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් සිසුවාගේ හිස මතට ටයරය අත්හැරිය ජ්‍යෙෂ්ඨ සිසුවාද සිටින බවයි.

පොලිස් භාරයට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට සිදුකරන බවයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර පසිඳු හිරුෂාන් සිසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Illegal Turkish terrorists. Our police and immigration department heads are impotent, in efficient and corrupt. If they go and search in Wilpattu housing scheme of the corrupt MP and ex minister Baduddhin and his corrupt wife, theywould find these terrorist suppprters and activists living in those housing schemes with the grace and generosity of our public and tax payers, usurping our land and rights. Most likely they have by now havefake IDs with Sinhala Tamil or Muslim names used in this country, and living with local women posted into their homes. This is the state of affairs in our country.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *