හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු කිහිප දෙනෙකුට අදාළව වරෙන්තු ලබා ගන්නැයි උපදෙස්

(03.02.2020 – 16:53 +0530 – sinhala.adaderana.lk)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (03) පස්වරුවේ දැනුම් දුන්නේය.

ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘත්‍රිමව ඉහළ දැමීම යන චෝදනා මතයි.

2016 මාර්තු මස 29 වනදා සහ 2016 මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසී වෙළදපොල පාර්ශ්වයින් අතර දැඩි ආන්දෝලනයක් ඇතිකළේ මහබැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් මූලික අවස්ථාවේ ලංසු කැඳවූ අගයට වඩා කිහිප ගුණයකින් ඉහළ අගයක තිබූ ලංසු ඉහළ ඵලදායිතා අනුපාතයක් යටතේ භාරගැනීම හේතුවෙන්.

එහිදී පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට වාසිදායක වන සේ පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කර ඇති බවට වෙළදපොළ පාර්ශ්වයින්ගෙන් චෝදනා එල්ල විය.

යහපාලන රජය යටතේ 2015 පෙබරවාරි 27 වනදා පැවති බැඳුම්කර වෙන්දේසීය සම්බන්ධයෙන්ද මෙවැනිම චෝදනා එල්ල වී තිබූ පසුබිමක 2016 මාර්තු මාසයේදී පැවති මෙම බැඳුම්කර වෙන්දේසීවල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල විය.

කේසේවෙතත් 2016 මාර්තු මස 29 වනදා සහ 2016 මාර්තු මස 31වනදා පැවති බැඳුම්කර වෙන්දේසීවලදී අපරාධමය වැරදි සිදුකර ඇති බවට සැකකරුවන් 12 දෙනෙක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මෙන්ම ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

ඒ අනුව පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අර්ජුන ඇලෝෂියස්ගේ පියාවන ජෙෆ්රි ඇලෝෂියස් යන අය සැකකරුවන් ලෙස නම් කළ යුතු බව නීතිපතිවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

එමෙන්ම රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලේ පදුමනාදන්, සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර යන අයද සැකකරුවන් ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස්වල සඳහන්.

සැකකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘතිමව ඉහළ දැමීම යන වැරදී යටතේ ප්‍රමාණවත් කරුණු අනාවරණ වන බවයි නීතීපතිවරයා දැනුම් දී ඇත්තේ.

2016.03.29 පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සඳහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම සහ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතයින්ට වංචා කිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම 2016 මාර්තු 31 වනදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 15 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සදහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කර ඇති බවට වන චෝදනාවද රවී කරුණානායක මහතාට ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවක් වේ.

ඒ අනුව කුමන්ත්‍රණය කිරීම, වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘතිමව ඉහළ දැමීම යන චෝදනාවලට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Letter to Acting IG by Nuwani Ruwinika Vitharana on Scribd

+++++++++++++++++++++

+++++++++++++++++++++

රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ නියෝගයක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

(03.02.2020 – 16:56 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් යන අය නොපමාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, 2016 මාර්තු මාසයේ පැවැත්වූ මහබැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති වංචාවලට අදාළවයි.

ඊට අමතරව අදාළ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ ආයතනවල සේවය කළ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට එරෙහිව වරෙන්තු ලබාගන්නා ලෙස ද නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 29 වැනිදා සහ 31 වැනිදා යන දිනයන් හි පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරන ලද අපරාධමය වැරදිවලට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නම් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11ක්.

එම පුද්ගලයින් අතරට අදාළ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් යන අය අයත්.

ඊට අමතරව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ගාර්දිය පුංචිහේවා යන අය ද නීතිපතිවරයා නම් කර තිබෙනවා.

එවක ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතු කළ නිලධාරීන් වන බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ පදුමනාපන් සහ ඉන්දික සමන්කුමාර යන අය සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට එරෙහිව ද නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇති අතර, අදාළ උපදෙස් පත්‍රිකාව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත අද යොමු කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

එහි පිටපත් කොටුව මහේස්ත්‍රාත්වරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට යොමු කර තිබෙනවා.

ඒ යටතේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා සංඛ්‍යාව 3 ක්.

එම චෝදනා අතරට 2016 මාර්තු 29 වන දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 36 දශම 98 ක භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සඳහා සෙසු සැකකරුවන් සමඟ කුමන්ත්‍රණය කිරීම, එම වෙන්දේසියේදී ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවල නියෝජිතයින්ට වංචා කිරීම ඇතුළත්.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා සංඛ්‍යාව 2 ක් වන අතර, අදාළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36 දශම 98 ක භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා ඔහුට ද ගොනු කර තිබෙනවා.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හට නීතිපතිවරයා චෝදනා 3 ක් ගොනු කර ඇති අතර, ඊට මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් හට නිකුත් කරන චර්යා ධර්ම සංග්‍රහයේ වැදගත් හෙළි නොකරන ලද තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් සහ වෙළඳපොළ මිල තම වාසිය සඳහා කෘතිමව ඉහළ දැමීමේ වරද සිදු කිරීමේ චෝදනාව ද අයත්.

මීට අමතරව, නීතිපතිවරයා විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේනට චෝදනා 3 ක්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස්ට චෝදනා 3 ක් ද ගොනු කර ඇති අතර, එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියෙ පුංචිහේවා යන අයට ද චෝදනා 3 බැගින් ගොනු කර තිබෙනවා.

මේ අතර, අප වාර්තාකරු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ලේ පිහිටි නිවසට මේ වනවිටත් පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇති බවයි.

***************************************

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් විදේශීය කිරිපිටි සමාගම් වලට පක්ෂපාතී වූ බවට ගුරු සංගමයකින් එන්තරවාසියක්

(04.03.2020 – 07:47 +0530 – lankaleadnews.com)

ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය නමින් එම සංවිධානයේ ලේකම් ඉන්දික කළුආරච්චි මහතා විසින් අප වෙත යොමුකොට ඇති ලිපියක් අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න විසින් විදේශීය කිරි පිටි සමාගමකට වාණිජ්‍ය වාසි අත්වන ලෙස තම තනතුර සහ ආයතනය භාවිතාකොට ඇති බවට චෝදනාවකට ලක්වේ.

එම ලිපිය මගින් තොරතු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා ඇති තොරතු ඇය විසින් ලබා නොදෙන්නේනම් තොරතුරු කොමිසමට පැමිණිලි කරන බවද ඉන්දික කළුආරද්දි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අතිගරු ජනාධිපතිවරයාට යොමු කර ඇති එම ලිපිය පහතින් :

2020 පෙබරවාරි මස 29 වන දිනදී ය

ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය
අධ්‍යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

මහත්මියනි,

“ඇන්කර් කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කරයි” මැයෙන් පළවන ප්‍රවෘත්තිය/ දැන්වීම/ නිවේදනය සම්බන්ධවයි.

ඉහත මැයෙන් ලංකාවේ ප්‍රධාන පුවත්පත්වලත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවලත් පළවන ප්‍රවෘත්තිය/ දැන්වීම/ නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවමු. (අදාල උපුටාගැනීම් කිහිපයක් මේ සමග අමුණා ඇත.)

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් සමාගමේ නිවේදනයක් ලෙස අවසානයේ සදහන් කරමින් නමුත් ඒ ප්‍රවෘත්තිය/ දැන්වීම/ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිල ප්‍රකාශනයක් ලෙස ඇගවෙමින් මේ වන විට සංසරණය වන අතර එය එවැනි නිල ප්‍රකාශනයකින් සවිබල ගැන්වූ ප්‍රවෘත්තියක්/ දැන්වීමක්/ නිවේදනයක් ද යන කාරණයත් පහත සදහන් අනෙකුත් කරුණුත් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණතේ ප්‍රතිපාදන යටතේ ඔබ වෙතින් විමසීමට ජාතික ගුරු සභාව තීරණය කර ඇත. සමාජයේ අතිමහත් දරු පරපුර අප වෙතින් විමසන සමාජයීය කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වගකීමෙන් යුතු ගුරුවරුන්ගෙන් සමන්විත ජාතික ගුරු සභාව වෙත පහත සදහන් කරුණු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පණත ප්‍රකාරව අදාල කාලය ඇතුළත ඉක්මන් පිළිතුරක් ලබාදෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

එකී දැනගතයුතු තොරතුරු මෙසේය :

(01) වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පූර්ණ විගණන පරීක්ෂාවක් සිදුකර ඇත්ද?

i. එලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලද පූර්ණ විගණන පරීක්ෂාවක් සිදුකර ඇත්නම් සිදුකරන ලද්දේ කවර කාලවකවානුවකදී ද?
ii. විගණනය සිදුකරන ලද්දේ කාගේ ඇණවුම මතද?
iii. විගණනය සිදුකරන ලද්දේ යම් පාර්ශ්වයක ඉල්ලීම මත නම් ඒ කාගේ ඉල්ලීම මත ද?
iv. එලෙස ඉල්ලීමක් මත විගණනයක් සිදුකරන ලද්දේ නම් ඒ සදහා අවශ්‍ය බලතල ඔබට ලැබී ඇත්තේ කවර ප්‍රතිපාදන යටතේ ද?
v. විගණනය සිදුකරන ලද්දේ කවර රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධවද?
vi. විගණනය සිදු කරන ලද්දේ කවුරුන් විසින් ද?
vii. විගණන ක්‍රමවේදය කුමක්ද?
viii. සාම්පල් ලබාගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
ix. තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය කුමක් ද?
x. ලබාගත් තොරතුරුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සහතිකවීම පිණිස අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග මොනවාද?
xi. විගණනය සදහා යම් පර්යේෂණ වාර්තා උපයෝගී කරගත්තේද? එසේනම් ඒ මොනවාද?
xii. ඒ පර්යේෂණ වාර්තා ලබාගත්තේ කවර ආයතන/ පුද්ගලයන්ගෙන් ද?
xiii. විගණනය සදහා යම් පර්යේෂණ සිදු කළේ නම් ඒ පර්යේෂණ මොනවාද?
xiv. අදාල පර්යේෂණ සිදුකළ රසායනාගාර මොනවාද?
xv. විගණනය සදහා සහභාගී වූ පරීක්ෂණ කණ්ඩායම කවුද?
xvi. පර්යේෂණයන්ට අදාල වියදම් දරණ ලද්දේ කවුරුන් විසින් ද?
xvii. ඒ විගණකවරුන් තෝරාගැනීමේ තීරණය කවුරුන් විසින් ගනු ලැබූවක් ද?
xviii. විගණකවරුන් තෝරාගැනීම පිණිස අනුගමනය කළ ක්‍රියා පටිපාටිය ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසිවල කවර වගන්තීන්වලින් ආවරණය වන්නේ ද?
xix. විගණනය සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තම කාර්ය පටිපාටිය යටතේ ආහාර සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සිදු කරනුලබන කාර්යයක් වශයෙන් ද?
xx. ඉහත 2ට අදාල පිළිතුර ඔව් නම්, මෑත වසර පහ තුළ විගණන කීයක් එලෙස සිදු කර ඇත්ද? ඒ කවර ආහාර වර්ගයන්ට අදාල විගණනයන් ද?
xxi. මෙම ලිපියේ සදහන් විගණනනයට අදාල වියදම් සිදුකරන ලද්දේ කවුරුන් විසින් ද?
xxii. මෙකී විගණන වාර්තාව ඔබ විසින් ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගම වෙත නිල වශයෙන් ලබා දුන්නේ ද?
xxiii. මෙකී විගණන වාර්තාව ඔබ විසින් ලබාදුන් රාජ්‍ය අධිකාරී ආයතන මොනවාද?

(02) ඉහත කී විගණනය සිදු කරන ලද්දේ නම් ඉන් පසු;

i. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කරන ලද්දේ ද?
ii. එලෙස නිවේදනය කරන ලද්දේ නම් කවදාද?
iii. එලෙස නිවේදනය කරන ලද්දේ කාගේ අත්සනින් ද?
iv. “ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර ඇත” යනුවෙන් කර ඇති සදහන සත්‍ය වන්නේ ද?
v. එසේනම් ඒ තහවුරුව සිදුකරන ලද්දේ කවදා කවුරුන් විසින් ද?
vi. එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම නිගමනයට එළඹුණා” යනුවෙන් කර ඇති සදහන සත්‍ය වන්නේ ද?

(03) එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා” යන්න සත්‍ය වන්නේ ද? ඉහත 02 සහ 03 සත්‍ය වන්නේ නම්;

i. එකී විගණනය සිදු කිරීම පිනිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කණ්ඩායමක් නවසීලන්තය බලා ගියේද?
ii. ඒ ගමනට සහ විගණනයට අදාල තීරණය ගැනුනේ කෙදිනද? කවර අධිකාරියකින් ද?
iii. ගමනට සහභාගීවූ පිරිස කවුරුන් ද?
iv. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
v. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
vi. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?
vii. ඒ වාර්තාව ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?

(04) එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා” යන්න සත්‍යය ද? එය සත්‍යය නම්;

i. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
ii. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
iii. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?

(05) එකී ලිපියේ/දැන්වීමේ/නිවේදනයේ සදහන් “ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්‍යයෙන් සිදුකරනු ලබන
පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා” යන්න සත්‍යය ද? එය සත්‍යය නම්;

i. ඒ ජාත්‍යයන්තර පිළිගැනීම හිමි රසායනාගාර මොනවාද?
ii. කරනලද පරීක්ෂණ මොනවාද?
iii. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාවන් මොනවාද?
iv. ඒ වාර්තාවන් ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?

(06) එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා” යන්න සත්‍ය යද? එය සත්‍යය නම්;

i. මේ කියන පරීක්ෂණ කණ්ඩායම කවුද?
ii. ඔවුන් ඒ කරුණ තහවුරු කරගත් ක්‍රමවේදය කුමක්ද?
iii. ඔවුන් විසින් ඒ බව සනාථ කරමින් නිකුත් කරන ලද වාර්තාව කුමක්ද?
iv. ඒ වාර්තාව ඔබ විසින් කවර ආයතන වෙත නිකුත් කරන ලද්දේ ද?

(07) එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශවල වගකීම” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාරගන්නේ ද?

(08) යම් හෙයකින් එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශ” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකීම භාර නොගන්නේ නම් අදාල ලිපිය/ දැන්වීම/ නිවේදනය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම හෝ වෙනත් අදාල ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නේ ද?

(09) යම් හෙයකින් එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් සිදුකරඇති ප්‍රකාශ” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගකීම භාර නොගන්නේ නම් අදාල ලිපිය/ දැන්වීම/ නිවේදනය පසිද්ධ කිරීම සිදුකළ ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් අදාල ලිපිය/ දැන්වීම/ නිවේදනය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නේ ද?

(10) එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන් “ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම” බව සහ “මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්‍ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.” යන ප්‍රකාශ ඔබ විසින් කරන ලද්දේ නම් ඒ ප්‍රකාශයන් කරන ලද්දේ කවදා ද? කවර අවස්ථාවකදී ද? කවර කරුණක් අරබයා ද? ඒ ප්‍රකාශය මගින් මේ ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ ප්‍රකාශිත අරමුණ පෝෂණය කිරීමක් අදහස් කරන ලද්දේ ද?

(11) යම් හෙයකින් එකී ලිපියේ/ දැන්වීමේ/ නිවේදනයේ සදහන්, ඔබ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අදාල කරුණු ඔබ විසින් ප්‍රතික්ෂේප නොකරන්නේ නම් පහත සදහන් ලේඛණවල සහතික කරන ලද පිටපත් අප වෙත ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙයින් ඉල්ලා සිටින්නෙමු. එනම්;

  1. වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන වාර්තාව
  2. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බවට කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිවේදනය
  3. නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාව
  4. කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම එළඹි නිගමනයට අදාල වාර්තාව
  5. කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගැනීමෙන් පසු ඒ රසායනාගාරවලින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවන්
  6. පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරගැනීමට අදාල පරීක්ෂණ වාර්තාවන්

ස්තුතියි

මීට විශ්වාසී

ඉන්දික කළුආරච්චි
ප්‍රධාන ලේකම්
ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය

පිටපත් :
අතිගරු ජනාධිපතිතුමා
බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා

+++++++++++++++++++++++++++++++++++

බහුජාතික කිරිපිටි සමාගමකින් ප්‍රමිති කාර්යාංශ නිලධාරීන්ට රට සවාරියක්

(04.02.2020 – 07:39 +0530 – lankaleadnews.com)

‘ආනයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි’ ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

කිරිවල ප්‍රධාන සංඝටක වන කිරි ප්‍රෝටීන, කිරි මේදය හා කිරි සීනි (ලැක්ටෝස්) වෙනත් ලාභදායී නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා අතර ඒ වෙනුවට වූ වෙනත් ආදේශක කිරිපිටි නිෂ්පාදනයේදී උපයෝගී කරගනිමින් සිටින බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

අප රටට කිරිපිටි ආනයනය කරන ප්‍රධාන රටක් වන නවසීලන්තයේ අදාළ සමාගම්වල වෙබ් අඩවි මේ බව පිළිගනියි. ඔවුන්ට අනුව ශ්‍රී ලංකාව වැනි අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත රටවල වෙළෙඳපොළට අඩු මිලට කිරිපිටි ලබාදීම සඳහා කිරි මේදය ඉවත් කර ඒ වෙනුවට ‘ගුණාත්මක’ එළවළු තෙල් ප්‍රභවයන් එක් කරන බව ප්‍රකාශ වෙයි. එම එළවළු තෙල් වර්ගය ‘කටු පොල් තෙල්’ හෙවත් ‘පාම් තෙල්’ බව ඒ අය පිළිගනියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද කිරිපිටි නිසා සෑදෙන රෝග 21 ක් පිළිබඳ දැන්වීම මගින් ජනතාව දැනුවත් කර ඇත.

ආනයනික කිරිපිටි ආනයනය අඩු වීමෙන් පසුගිය වසරක කාලයේදී රුපියල් බිලියන ගණනක මුදල් රටට ඉතිරි කර ගැනීමට හැකිවිය.

තම වෙළෙඳ මාෆියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මාවතවක් සොයමින් සිටි ආනයනික කිරිපිටි සමාගම් මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිහිට පැතීමට ඉදිරිපත්ව ඇත. ඔවුන් ඉදිරිපත් කරනා නිවේදනයකින් ජනතාවට දැනුම් දෙන්නේ ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතියට ගැළපෙන බවයි. ඒ නිසා ආයනයනික කිරිපිටිවලට කිසිදු ගැටලුවක් නොමැති බවට හැඟවෙන ප්‍රකාශ විශාල මුදලක් වැය කරමින් ඔවුන් සිදුකරමින් සිටියි.

පාරිභෝගික අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ප්‍රමිති කාර්යාංශයේ කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කරන පරාමිතින්ද/ දර්ශක අදට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බවය.

ඒ පිළිබඳ මුනිවත රකින ප්‍රමිති කාර්යාංශය අසීමාන්තික උනන්දුවකින් යුක්තව නවසීලන්තයේ සංචාරය කරමින් තමන් මේ වන විටත් ලබාදී ඇති ගැටලුකාරී ප්‍රමිති සහතික නැවත අලුත් කිරීමට කටයුතු කර ඇත.

පාරිභෝගික අධිකාරිය රාජ්‍ය ආයතනයකි. ප්‍රමිති කාර්යාංශයද රජයට අයත්ය. රාජ්‍ය ආයතන දෙකක් ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයකි ෴

***************************************

මුස්ලිම් පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න සැරසෙයි

(04.02.2020 – 07:44 +0530 – lankaleadnews.com)

එක්තරා මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වේ.

වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අරමුණු අන්තර්ගතව ඇති බවද කාරක සභා වාර්තාව ප්‍රකාශ කරයි. බොහෝ දෙමළ දේශපාලන පක්ෂවල නමට යෙදෙන ඊළාම් යන පදය අරුත් ගන්වන්නේ ‘වෙන්වූ රාජ්‍යයක්’ යන්න බවද එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය වන ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන්න අභියෝගයට ලක්කරන බවද එම කාරක සභාව පෙන්වා දේ.

එම නිසා මෙරට වාර්ගික සංහිඳියාව සහ ආගමික සහජීවනයට බාධා කරන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර සිටී ෴

***************************************

ගෝඨාභය රාජපක්ෂ ලබාදී තිබෙන ආදර්ශය අනුව ඔහුට ගැලපෙන, රට වෙනුවෙන් කැපවෙන, පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න..

(04.02.2020 – 04:49 +0530 – lankaleadnews.com)

රටේ පොදු ජනතාව බලා සිටින්නේ ඊළග මැතිවරණයෙන් තමන් උකුස්සන් ලෙස හදුන්වා ගන්නා දේශපාලනඥයන් හා කටුස්සන් ලෙස පාට මාරු කරන දේශපාලනඥයන් ගෙදර තබා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලබා දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට බව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

රුපියල් මිලියන 360 ක වියදමින් ඉදිකළ වැලිඔය කර්මාන්තපුරය විවෘත කිරීමෙන් අනතුරුව ඒ මහතා එසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

පළමු පොරොන්දුව ඉටු කළා

“මා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගත් පසු මා වෙත ඉදිරිපත් වූ ඉල්ලීම් අතරින් දෙකක් සුවිශේෂයි. පළමුවැන්න තමයි අපේ රජ දරුවන් පවා තම පෙනීම වර්ධනය කිරීම පිණිස යොදාගත් දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම. මෙම පාරම්පරික කර්මාන්තය අභාවයට යමින් තිබෙන බව මට දැන ගැනීමට ලැබී තිබුණා. ඒ අනුව මා අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගෙන දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මහනුවර ගිය දිනයේම එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා හමුවීමට ගියා. එහි දී මා පොරොන්දු වූවා, මෙම කර්මාන්තය අභාවයට යාම වළක්වා ඊට අවශ්‍ය තාක්ෂණය ලබා දී එය ප්‍රවර්ධනය කර අනාගත පරපුරට භාර දීමට.

එම ඉල්ලීම අනුව මා දුන් ඒ පොරොන්දුව මට මාර්තු 01 වැනිදා ඉටුකර දීමට හැකි වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මෙරට කීර්තිමත් ඇස්කණ්ණාඩි නිෂ්පාදන ආයතනයක් වන ‘විෂන් කෙයා’ ආයතනය යොදා ගනිමින් මම එම කටයුතු සිදු කළා. අප අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අවශ්‍ය තාක්ෂණය ලබා දී ඊට සමගාමීව දියතරිප්පු පාෂාණ කැපීමේ සහ ඔප දැමීමේ යන්ත්‍ර දෙකක් ද සවි කළ කුඩා කර්මාන්ත ශාලාවක් ගුණසෝම නවරත්න මහතාගේ පුත් රොෂාන් නවරත්න තරුණයාට ලබා දුන්නා. ඔහු තවත් තරුණයන් 05 දෙනනෙකු සමග මාර්තු 01 වැනිදා සිට තම කුඩා කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹුවා. ඔවුන් නිපදවනු ලබන දියතරිප්පු ඇස්කණ්ණාඩි තම ප්‍රදර්ශනාගාරවල ප්‍රදර්ශනය කර අලෙවි කර දීමට විෂන්කෙයා ආයතනය සූදානම්. ඒ අනුව මම දැන් මගේ පළමු පොරොන්දුව ඉටු කර අවසන්.

මා වෙත ඉදිරිපත් වූ ඉල්ලීම් අතුරින් මා සුවිශේෂ කොට සැලකූ දෙවන ඉල්ලීම ඉදිරිපත් වූයේ මා උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි අප අමාත්‍යාංශය සතුව තිබෙන කර්මාන්ත ශාලා නිරීක්ෂණයට පැමිණි සිව් දින නිල චාරිකාවේ අවසන් දිනයේදීයි. ඒ මට මතක හැටියට 2020 ජනවාරි 18 වැනිදායි. ඉල්ලීම ඉදිරිපත් වූයේ අද විවෘත කෙරෙන සම්පත්නුවර වැලිඔය කර්මාන්තපුර පරිශ්‍රයේදීයි. එදින මෙම කර්මාන්තපුර පරිශ්‍රය පැවතියේ වල්බිහිව අතහැර දැමූ තත්වයකයි. මේ පිළිබඳව මට දැනුම්වත් කළේ අද මුලසුන වැඩ සිටින පූජ්‍යපාද ගල්ගමුවේ සංඝබෝධි ස්වාමීන් වහන්සේ සහ අප පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායක දමිත් මෙවන් සහෝදරයායි. මේ ප්‍රදේශයේ විරැකියාවට කඩිනමින් පිළියම් යෙදීමට නම් මෙම කර්මාන්තපුරයට ආයෝජකයන් කැඳවා එය සංවර්ධනය කළ යුතුව තිබුණා. ඒය ඉටුකර දෙන ලෙස කළ ඉල්ලීම තමයි මා වෙත ඉදිරිපත් වූ දෙවැනි සුවිශේෂී ඉල්ලීම ලෙස මා සැලකුවේ. මා ඒම ඉල්ලීම මාර්තු මාසය ආරම්භයේදීම ඉටුකර දීමට පොරොන්දු වූවා. ඒ සඳහා අදාළ නිලධාරීන්ට ජනවාරි 18 වැනිදාම මා උපදෙස් දුන්නා.

අපට ඒම පොරොන්දුවත් ඉටුකර දීමට හැකිව තිබෙනවා. ආයෝජකයන් ගෙන්වා ගෙන කර්මාන්තපුරය සංවර්ධනය කර ප්‍රදේශවාසී තරුණ තරුණියන්ට ප්‍රථම අදියර යටතේ රැකියා 1020 ක් ලබා දීමට අද අපට හැකි වුණා. මේ සඳහා ජනවාරි 18 වැනිදා සිටම කැප වූ අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන අංශය භාර අධ්‍යක්ෂ වින්දික පියරත්න ඇතුළු සියලු නිලධාරීන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පිරිනමනවා.

අද දවස ගැන අපූරු විවරණය‍

අද මාර්තු 02 වැනිදායි. සුද්දාට රට පාවාදුන් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනය අදයි. සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනයත් අදයි. ඒ වගේම එම ගිවිසුම්වලට පණ නොලැබෙන සේ පාර්ලිමේන්තව විසුරුවා හැරෙන්නේත් අදයි. එවැනි දිනයකයි අපි මේ කර්මාන්තපුරයට පණ දෙනු ලැබුවේ.

රැකියා 2500 ක්

මෙම කර්මාන්තපුරය මගින් ඉදිරියේ දී ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත දෙදහස් පන්සීයකට රැකියා ලබා දීමට නියමිතයි. ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති ‘නිව් යුනිවර්ස් කෝපරේට් ක්ලෝතින්’ පෞද්ගලික ආයතනයේ සහ ‘ස්ටයිලිෂ් කැෂුවල් වෙයා’ ආයතනය මේ වන විට රුපියල් මිලියන 272.5 ක ආයෝජන සිදුකරමින් 1020 කට රැකියා ලබාදීමට ඉදිරි මාසය තුළ කටයුතු කරාවි. මාස තුනක් වැනි කෙටි කලකින් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අපි සියලු පියවර ගන්නවා.

බලාපොරොත්තු අත් නොහරිමු!

රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රයේ පේටන්ට් බලපත්‍රයකට හිමිකම් කියන කීර්තිමත් ඉංජිනේරුවරයකු වන ආචාර්ය අනුර රත්නායක මහතා මට ඉහත දී අදහස් දැක්වූවා. ඔහු මේ වැලිඔය කටුක පරිසරයෙන් බිහි වූවෙක්. එතුමා ‘ජීවිතය කොතරම් දුෂ්කර වුවත් බලාපොරොත්තු අත්හැර ගත යුතු නැහැ.’ කියන දෙයට හොඳම ආදර්ශයක්. ඒනිසයි මේ වැලිඔය ප්‍රදේශයෙන් ප්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔහුට මේ වේදිකාවට ගොඩ වීමට, කතාවක් ලබා දෙන්න කියා මම පැවසුවේ.

මාර්ග නවීකරණයක්!

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනපති ධුරයට පත්වූයේ අප රටක් ලෙස මුහුණ දී ඇති අභියෝග ජයග්‍රහණ කරවීම සඳහායි‍‍. අපි මේ ඉදිරියේ ඇති මාර්ගය ද කාපට් මාර්ගයක් ලෙස නවීකරණයට කටයුතු යොදා තිබෙනවා. මේ ප්‍රදේශයේ ජනතාව ජාතිවාදී පදනමින් සිංහල, දෙමළ මුස්ලිම් ලෙස බෙදා දැමීමට ගත් උත්සාහය ද අප පරදවා අවසන්. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමන් අපගේ ඉල්ලීම පරිදි ජාතිවාදී පදනමින් ජනතාව බෙදා හැරීම නවතා නාමල්ගම ආදී ප්‍රදේශ සඳහා වෙනම ප්‍රාදේශීය සභාවක් ද ලබා දීමට කටයුතු යොදා ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙනවා.

ඒ වගේම අපි රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් සමග ඔබට මහවැලි සංවර්ධන අධිකාරිය තුළින් විසදාගත යුතුව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කළා. ඒ අනුව ඒතුමන් මෙම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් මා දැනුම්වත් වූවා. ඔබගේ බොහෝ ගැටලුවලට විසදුම් ලබා දුන් බව ඒතුමා මා හට පැවසුවා. වැලිඔය කර්මාන්තපුරය පමණක් නොවෙයි අපි ඉදිරියේ දී ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව, වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පියවර ගනු ලබනවා. ලංකා පිගන් සංස්ථාවට අයත් ඒ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණයට ගිය පසුව මට එක් දෙමළ තරුණියක් සැරෙන් කීවා, ‘ඡන්ද කාලයට ඔය වගේ පොරොන්දු දෙනවා’ කියා. මම කීවා, ‘මම මෙහෙන් ඡන්දය ඉල්ලන්නේ නැහැ’ කියා. ඒ දුව ඇතුළු උතුරේ තරුණ තරුණියන්ට අපට මේ මාසය තුළ ඒ කර්මාන්තශාලාවේ රැකියා දෙන්න පුළුවන් බව සතුටින් කියනවා.

ඒ වගේම ජාතික සම්පතක් වූ වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපි අප්‍රේල් මුල් සතියේ මේ රටේ ජනතාවට ලබා දීමට සූදානම්. ඒමගින් රැකියා ලැබෙන්නේ ඒ අවට සිටින බහුතර දෙමළ හා මුස්ලිම් තරුණ පිරිස් වලටයි. කර්මාන්තශාලා විවෘත වන තරමට රැකියා ලැබෙන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ පිරිසටයි.

කොරෝනා ආවා නම් කෙරෙන විදිහ

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ සලකන බවත් කිසිදු ජාතිවාදී පාපී බලවේගයක අන්තවාදී උවමනාවකට යට නොවන බවත් අපි මේ මොහොතේ අවධාරණය කරනවා. කොරෝනා වසංගතයට මේ ආණ්ඩුව මුහුණ දුන් ආකාරය ඔබ දුටුවා. මම අහගෙනයි ඒක් අයකු කියනවා. ‘මම උකුස්සා වගෙයි ’ කියලා. උකුස්සො රජ කරපු කාලයේ කොරෝනා ආවා නම් බලාගන්න තිබුණා කෙරෙන විදිය. පාස්කු ප්‍රහාරය වන විට මේ උකුස්සො ඔහෙ බලා හිටියා. මේ රටේ ජනතාව බලා ඉන්නේ ඊළග මහ මැතිවරණයෙන් ‘උකුස්සොයි – කටුස්සොයි ’ ඔක්කොම ගෙවල්වල තියලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පෙන්වන ආදර්ශයක් තිබෙනවා. එය රැකගත හැකි අයවයි ඔබ පාර්ලිමේන්තු යැවිය යුත්තේ. ‘බලය’ රජයේ මුදල් අවභාවිතයට ලැබුණු ‘පර්මිට් ඒකක්’ කියා හිතපු දේශපාලනඥයන්ට අද පැවැත්මක් නැහැ. ‘ගෝඨාභය රාජපක්ෂ පරිච්ඡේදය’ මේ රට නවමු මාවතකට රැගෙන යමින් තිබෙනවා. ඒ පරිච්ඡේදයට ගැලපෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්

+++++++++++++++++++++++++++++++++++

24-02-2020
24-02-2020
24-02-2020

***************************************

පැලවෙන කඩදාසි හැදෙන හැටි මෙන්න – නීතිඥ උදය ගම්මන්පිල (28-02-2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *