කොලොන්නාව තෙල් නළ මත පිහිටි නිවාස 37 ක් ඉවත් කර නව නිවාස ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්

කොලොන්නාව තෙල් නළ මත පිහිටි නිවාස 37 ක් ඉවත් කර නව නිවාස ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්


කොලොන්නාව තෙල් නළ මත පිහිටි නිවාස 37 ක් ඉවත් කර නව නිවාස ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්

(24.11.2026 – sinhala.adaderana.lk)

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි වසම්වල ස්ථානගතව පවතින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන නළ පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත්කර එම ජනතාවට ආරක්ෂිත නිවාස ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

මීතොටමුල්ල, දහම්පුර සහ කුරුණියාවත්ත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ ව්‍යාපෘතිය පිළිබද අධ්‍යනය කිරීමටත් ඛණිජ තෙල් සංස්ථා තෙල් නල මත ඉදිකර ඇති නිවාස හා ඉදිකිරීම් පිළිබද සොයා බැලීමටත් කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීහු විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකටද එක්ව සිටියා.

මෙහිදී ඉදිකර ඇති නිවාස, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් පිළිබද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

කුරුණියාවත්ත සහ දහම්පුර ග්‍රාම නිලධාරි වසම්වල නිවාස 80 ක් අමාත්‍යවරයා ඇතුළු ඒකාබද්ධ නිලධාරි කණ්ඩායමේ පරීක්ෂාවන්ට ලක් කෙරුණු අතර එහිදී අවදානම් සහ අනාරක්ෂිත ලෙස හඳුනාගත් නිවාස 37 ක් ඉවත් කිරීම සුදුසු බව යෝජනා වූ අතර, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම ඉවත් කිරීම් සිදු කිරීමට නියමිතයි.

මෙම ඉවත්කරන නිවාස හිමියන්ට හේනමුල්ල, ‘හෙලමුතු සෙවණ’ නිවාස සංකීර්ණයෙන් නව නිවාස ඒකක ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

කොලොන්නාවේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘නිමාව’ පර්යන්තය වෙත ඉන්ධන රැගෙන එන සැපයුම් නල පද්ධති මාර්ගය මීතොටමුල්ල හරහා ස්ථාපිත කර ඇති අතර, එම නල මාර්ගය මගින් සපුගස්කන්ද, කැලණිය, ගෝනවල, කැලණිමුල්ල, වෙන්නවත්ත, මීතොටමුල්ල හරහා කොලොන්නාව ‘නිමාව’ පර්යන්තයට ඉන්ධන සැපයෙනවා.

කිලෝමීටර් 8.5 ක දුර නල මාර්ග පද්ධතිය, වසර 50 කට අධික කාලයකින් විධිමත්, පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කර නොමැති අතර, නිසි මෙහෙයුම් සැලසුමක් නොතිබීම හේතුවෙන් පසුගිය දශක ගණනාවක් පුරා නිවාස ඇතුළු අනවසර ඉදිකිරීම් රැසක් නල මාර්ග පද්ධතිය මත හා ඒ ආශ්‍රිතව ඉදිකර තිබෙනවා.

ඉන්ධන නල මත ඉදිකර ඇති නිවාසවල පදිංචි ජනතාවගේ ජීවිතාරක්ෂාව ප්‍රමුඛව සලකා අත්‍යවශ්‍යව පවතින නල පද්ධතිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදුකිරීමටත් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පහසු කිරීමත් ඉලක්ක කර ගනිමින් මෙම ඉවත් කිරීම් ක්‍රියාවලිය සිදු කෙරෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, පලාත් පාලන ආයතනවල ඒකාබද්ධ සැලසුම්කරණය අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴


නිල ඇඳුමෙන් ‘ප්‍රී ෂූට්’ එකකට රැවුල වවාගෙන ගිය කොස්තාපල්ට නුවරදි අකරතැබ්බක්

(24.11.2026 – hirunews.lk)

පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිය පෙම්වතිය සමඟ මංගල උත්සවයට පෙර ඡායාරූප (Pre-shoot) ලබා ගැනීමේ අදහසින් මහනුවර නගර මධ්‍යයේ රැඳී සිටි, මුහුණ පුරා රැවුල වවාගෙන සිටි පොලිස් නිලධාරියකු මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව කරුණු විමසා එම පුද්ගලයා ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීමට මුහුණ පා ඇප මත මුදා හැර තිබුණේ තලංගම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින පොලිස් කොස්තාපල්වරයෙක් බවයි හඳුනාගෙන ඇත්තේ.

මුහුණ පුරාම රැවුල වවාගත් අයෙක් පොලිස් රථවාහන නිල ඇඳුමකින් සැරසී මහනුවර යටිනුවර වීදිය සහ කොළඹ වීදිය මංසන්දිය අසළ සිටින බවට මහනුවර පොලිසියේ නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබුණා.

ඊට වහා ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එම ස්ථානයට ගොස් සැකකාර පුද්ගලයාගෙන් කරුණු විමසා පොලිසිය වෙත කැඳවාගෙන ගොස් තිබුණා.

පසුව අනාවරණය වී තිබුණේ ඔහු දැනට රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු වන බවයි.

මොහු හින්දු ජාතිකයකු වන අතර ඔහුගේ විවාහ මංගල්‍යය ලබන මාසයේ පැවැත්වීමට දින යෝදාගෙන ඇති අතර පෙම්වතිය සමඟ ‘ප්‍රී ෂූට්’ ඡායාරූප ගැනීම වෙනුවෙන් මෙසේ රැවුල වවාගෙන සිටි බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර හින්දු සම්ප්‍රදාය මත රැවුල වවාගෙන විවාහ මංගල්‍යයට සහභාගී වීමට පොලිස්පතිවරයා විසින් අදාළ තැනැත්තාට අවසර ලබා දී තිබූ බවද පවසා තිබුණා.

අදාළ අවස්ථාවේ, ඔහුගේ පෙම්වතිය පැමිණෙන තෙක් රැඳී සිටි මොහොතේ සිදු වූ මේ අකරතැබ්බය නිසා සැලසුම් කර තිබූ ඡායාරූප ලබා ගැනීමටද නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් සඳහන් කළේ පොලිස් නිලධාරියකුට මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල වැවීමට අවසර නොමැති බවයි.

ඒ හේතුව මත අදාළ පුද්ගලයා සැකපිට ප්‍රශ්න කර ඇති බවද ඔහු පැවසුවා ෴


AI දැන්වීමෙන් රට සිහින මවා රු. ලක්ෂ 7 ක් ගිල්ල සැකකරු අත්අඩංගුවට

(24.11.2026 – hirunews.lk)

මැදපෙරදිග සහ නවසීලන්තයේ ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බව පවසා AI තාක්ෂණය ඔස්සේ වෙළඳ දැන්වීම් නිර්මාණය කර පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු (2) ගෙන් රුපියල් ලක්ෂ 7 ක මුදලක් මෙලෙස ලබාගෙන ඔවුන් විදේශගත නොකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර තිබුණා.

ඒ අනුව, හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශය කැකිරාව පොලිසියට කළ දැනුම්දීමකට අනුව කැකිරාව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත්තා.

සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු AI තාක්ෂණයෙන් සකස් කළ වෙළෙඳ දැන්වීම් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර, විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පිරිසගෙන් සිය බැංකු ගිණුමට මුදල් බැර කරවාගෙන ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුව හැටන් පොලිස් නිලධාරීන් සැකකරු රැගෙන විත් ඊයේ (23) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

අනතුරුව නඩුව නැවත ලබන වසරේ ජනවාරි 12 වැනිදා කැඳවීමට නියමිතයි ෴


එංගලන්ත ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් රු. ලක්ෂ 20 ක රන් ආභරණ සොරාගත් සැකකරු අත්අඩංගුවට

(24.11.2026 – hirunews.lk)

කොළඹ ප්‍රදේශයේ සුපිරි රන් ආභරණ වෙළෙඳසැල් වෙත රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සොරාගත් බව කියන සැකකරුවෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භාෂා හයක් (6) චතුර ලෙස හැසිරවිය හැකි මෙම සැකකරු ඊයේ (23) කොළඹ ගාලුමුවදොර පිටියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,800 ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

කොළඹ කොටුව, වරාය සහ කොල්ලුපිටිය පොලිස් වසම්වල පිහිටි විදේශිකයන් බහුලව පැමිණෙන රන් ආභරණ වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් සැකකරු මෙම සොරකම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සහ මෙම මාසයේ අවස්ථා කිහිපයකදී තමන් එංගලන්ත ජාතිකයෙකු බව හඟවමින් එම වෙළෙඳසැල් වෙත ගොස් රන් ආභරණ පරීක්ෂා කිරීමේ මුවාවෙන් මෙම සොරකම් සිදුකර තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් කොටුව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවත්, ඔහුගේ මව එංගලන්ත ජාතික කාන්තාවක් බවත් අනාවරණය වී තිබෙනවා.

37 හැවිරිදි සැකකරු කටුගස්තොට – මාපනාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ගල්කිස්ස ප්‍රදේශයේ කුලී කාමරයක නවාතැන් ගෙන සිටිමින් මෙම සොරකම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් රන් ආභරණ පිටකොටුව – හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳසැල් වෙත අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කුඩා දියමන්ති ගල් 68 ක් ඔබ්බවන ලද රෝස් ගෝල්ඩ් වර්ගයේ මුදුවක්, පින්ක් සෆායර් වර්ගයේ ගල් ඔබ්බවන ලද රන් මුදුවක් ඇතුළු රන් ආභරණ තොගයක් ඒ අතර වන බව සඳහන්.

හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින සැකකරු රන් ආභරණ අලෙවි කිරීමෙන් ලබාගත් මුදල් සියල්ල මත්ද්‍රව්‍ය සඳහා වැය කළ බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ආහාර අලෙවිසැල් ගැන අඛණ්ඩ පරීක්ෂණ

(24.11.2026 – sinhala.adaderana.lk)

මහජන පරිභෝජනය සඳහා ආහාර පිළියෙළ කර අලෙවි කරන සියලුම ආයතන ආහාර සුරක්ෂිතතා නීති සහ සෞඛ්‍ය ප්‍රමිතීන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ආහාර අලෙවි ස්ථාන සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවත්, නීති විරෝධී තත්ත්වයන්ට එරෙහිව අදාළ නීති රෙගුලාසි යටතේ ඉදිරි නීතිමය පියවර ගන්නා බව දැනුම් දෙයි.

මහජන සෞඛ්‍යය සුරැකීම වෙනුවෙන් පිරිසිදු, ආරක්ෂිත සහ නීත්‍යානුකූල ව්‍යාපාරික පරිසරයක් පවත්වාගෙන යෑම සියලුම ආහාර ව්‍යාපාරිකයින්ගේ වගකීමක් බවද බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර, මන්නාරම නගර සභාවේ බල ප්‍රදේශයට අයත් මන්නාරම නගරයේ ආහාර පිළියෙළ කර අලෙවි කරන ආහාර අලෙවි ස්ථාන 05 ක් ඊයේ (23) මන්නාරම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ආකාරයෙන් ඇතැම් ස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම පරීක්ෂාවේදී සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්ව සහ අඩුපාඩු රැසක් අනාවරණය වී ඇත.

වෙළෙඳ බලපත්‍රයක් නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ ආහාර සුරක්ෂිතතාවට අදාළ අවශ්‍ය වාර්තා, ලියාපදිංචි කිරීම් ඇතුළු නීතිමය අවශ්‍යතා නිසි පරිදි පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

ආහාර පරිහරණය කරන සේවකයින් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතික නොමැති වීම සහ ආහාර පිළියෙළ කිරීමේදී පුද්ගලික සනීපාරක්ෂක ක්‍රමවේද නිසි පරිදි අනුගමනය නොකිරීමද වාර්තා වි ඇත.

ආහාර පිළියෙළ කරන ස්ථාන ප්‍රමාණවත් පිරිසිදුභාවයකින් පවත්වාගෙන නොයෑම මෙන්ම භාවිත කරන උපකරණ සහ භාජන සනීපාරක්ෂක තත්ත්වයක නොපැවතීම නිරීක්ෂණය වී තිබේ.

ආහාර ද්‍රව්‍ය ආවරණය කර හෝ ආරක්ෂිතව ගබඩා කර නොතිබීම, අමු ආහාර සහ පිළියෙළ කළ ආහාර වෙන් කර නොතැබීම සහ මැස්සන්, කැරපොත්තන් ඇතුළු කෘමීන්ගෙන් ආහාර දූෂණය විය හැකි තත්ත්ව දැක ඇත.

අපද්‍රව්‍ය සහ අපජලය නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් පරිසර දූෂණ සහ සෞඛ්‍ය අවදානම් ඇතිවිය හැකි වටපිටාවක් පැවතීම බොහො ස්ථානවලදි නිරීක්ෂණය වී තිබේ ෴


පද්ධති නඩත්තුවක් හේතුවෙන් ETA වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කෙරේ

(24.11.2026 – sinhala.adaderana.lk)

මෙරට ‘විද්‍යුත් සංචාරක අවසර පත්‍ර නිකුත් කිරීමේ වෙබ් අඩවිය’ තාවකාලිකව අක්‍රිය වී ඇති බව ‘ආගමන හා විගමන දෙපාර්තමේන්තුව’ නිවේදනය කර තිබේ.

පද්ධතියේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට පූර්ව විද්‍යුත් සංචාරක අනුමැතියක් ලබාගැනීමකින් තොරව ගුවන් යානාවලට ගොඩවීමට නැවත දැනුම්දෙන තෙක් තාවකාලිකව අවසර ලබාදී ඇත.

මේ සම්බන්ධව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාකිස්තානය, කැමරන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඝානාව, ඇෆ්ගනිස්තානය සහ සිරියාව යන රටවල පුරවැසියන්ට මෙම තාවකාලික සහනය අදාළ නොවන බවය.

අදාළ සහනයට සුදුසුකම් ලබන මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හෝ වෙනත් අදාළ පිවිසුම් ස්ථානයකදී විද්‍යුත් සංචාරක අවසර පත්‍රය හෝ සංචාරක වීසා ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අදාළ වීසා අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් නොවන අතර, පැමිණෙන සියලුම මගීන් සාමාන්‍ය ආගමන පරීක්ෂණ ක්‍රියාවලියට සහ අදාළ වීසා හා විද්‍යුත් සංචාරක අවසර පත්‍ර කොන්දේසිවලට යටත් වන බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මෙරටට ඇතුළුවීමට අවසර ලබාදීමේ අවසන් තීරණය ආගමන බලධාරීන් සතු වන බව ද නිවේදනයේ අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ක්‍රියාපටිපාටිය නැවත ක්‍රියාත්මක වන අවස්ථාවේ ඒ පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴


රාජපක්ෂලාගෙනුයි, මගෙනුයි පලිගන්න හිතලයි මෙහෙම කළේ – අම්පිටියේ සුමනරතන හිමි (24.11.2026)

+


ඔබත් මේ ඊශ්‍රායල් යවන හොරුන්ට අහු වුණාද ? අහු වුණානම් දැන්ම පැමිණිලි කරන්න (24.11.2026)

+


දෙසැ: 01 රජයේ සේවකයින් දැවැන්ත අරගලයකට සැරසෙ‍යි…| මේ පාර සොරි කියලා උඹලට අපිව නවත්තන්න බෑ (24.11.2026)

+


ඉන්දියාවේ ප්‍රබලයෙක් ප්‍රබාගේ මහ ගෙදරට ගිහින් වැඳ නමස්කාර කළා – සුරේන් රාඝවන් රට කැළඹෙන කතාවක් කරයි (24.11.2026)

+


ලාල්කාන්ත, උඹලා වගේ දෙකයි-පනහෙ චණ්ඩින්වත් අරගලෙන් අපි නොන්ඩි කරලා දොට්ට දැම්මා | පුබුදු ආණ්ඩුව ෆ්ලැට් කරයි (24.11.2026)

+


පාඨලී ආණ්ඩුව සුන් කරලා දාපු කතාව – මේක පැලවත්තේ පාතාල පක්ෂයක්නේ (24.11.2026)

+


අවු: 18 ට අඩු දරුවන් සම්බන්ධ පැමිණිලි දහදාහකට (10,000) ආසන්නයි (24.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤