නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්

නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්

පුහුණු ගුරු සිසුවියන්ට අනිසි වැඩක් කළ කථිකාචාර්යවරයෙක් රිමාන්ඩ්

අහුංගල්ලේ වෙඩිල්ල ‘ලොකු පැටී’ වැඩක් : වෙඩික්කරු කොස්ගොඩදී පලාගිය පුද්ගලයා දැයි සැකයක්

පරණ සිංදුවක් ඔය සංගමයේ එක්කෙනෙක් ශිහාන් මිහිරංගට වික්කා, ඒ ගායකයා උහුල්ලා මැරුණේ (03.10.2026)


නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්

(04.10.2026 – hirunews.lk)

නියමිත බරින් යුක්ත නොවන පාන් අලෙවි කිරීම සහ බර හා මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වෙළෙඳසල් සහ බේකරි 107 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 35 ක් වාර්තා වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මීට අමතරව ස්ථාන 85 ක පාන්වල බර ප්‍රදර්ශනය කර නොතිබූ අතර, ස්ථාන 55 ක මිල ප්‍රදර්ශනය කර නොතිබූ බව සඳහන්.

මෙහිදී බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, අදාළ පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එහිදී නියමිත බරින් යුතු නොවන පාන් නිෂ්පාදනය කරන බව තහවුරු වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් දී ඇති අතර, ප්‍රමාණවත් සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමටද පියවර ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

සැප්තැම්බර් 01 සිට 03 දක්වා ක්‍රියාත්මක වූ පූර්ව වැටලීම් වැඩසටහනද ඇතුළත්ව, මේ වන විට සමස්ත වෙළෙඳසල් සහ බේකරි 225 ක් පරීක්ෂා කර ඇති අතර බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් වාර්තා වී තිබෙනවා.

පාරිභෝගිකයාට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ප්‍රදර්ශනය කිරීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමක් වන බැවින්, මෙවැනි වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴


පුහුණු ගුරු සිසුවියන්ට අනිසි වැඩක් කළ කථිකාචාර්යවරයෙක් රිමාන්ඩ්

(04.10.2026 – hirunews.lk)

පුහුණු ගුරු සිසුවියන්ට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් අම්පාර අට්ඨාලචේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ (ගුරු විද්‍යාලයේ) කථිකාචාර්යවරයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් අභිනයා සුරියවානි ඊයේ (03) නියෝග කර තිබෙනවා.

අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

සැකකාර කථිකාචාර්යවරයා විෂයන් සඳහා ලකුණු ලබාදීමේ කටයුතු සිදුකරන බැවින්, පැමිණිලි කළහොත් තමන්ට හිමිවන ලකුණු අඩුවනු ඇතැයි බියෙන් මෙම සිසුවියන් දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව පැමිණිලි නොකර සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිට ලද තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අගතියට පත් ගුරු සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව, අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් පෙරේදා (02) පස්වරුවේ සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග මත, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චිගේ මෙහෙයවීමෙන් සහ සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමරත්නගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා කේ.ටී.පී. තරංගා, පොලිස් සැරයන් (37387) වීරසිංහ, කාන්තා පොලිස් සැරයන් (3573) තුෂාරි, කාන්තා පොලිස් කොන්ස්තාපල්වරියන් වන (12830) චන්දි, (10237) උෂානි සහ (10686) සචිනි යන නිලධාරීන් පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


අහුංගල්ලේ වෙඩිල්ල ‘ලොකු පැටී’ වැඩක් : වෙඩික්කරු කොස්ගොඩදී පලාගිය පුද්ගලයා දැයි සැකයක්

(04.10.2026 – hirunews.lk)

අහුංගල්ල – ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘ලොකු පැටී’ගේ පාර්ශවයෙන් සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර අදාළ පුද්ගලයා නිවසේ කාමරයක නිදා සිටියදී වෙඩික්කරු, එහි ජනේලයෙන් වෙඩි තබා පළාගොස් තිබුණා.

කෙසේ වෙතත් වෙඩි තැබීම එල්ල කළ පාර්ශවයේ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ මෙම පුද්ගලයාගේ පුත්‍රයා බවයි පොලිසිය සැක පළකරන්නේ.

දින තුනක් (3) ඇතුළත අහුංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වන දෙවැනි (2) වෙඩි තැබීම මෙය වන අතර ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘ලොකු පැටී’ගේ සහෝදරයා ඝාතනය කිරීමේ පළිගැනීමක් වන්නට ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි තැබීමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මේ (2026) වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 40 ක් දක්වා ඉහළ යන අතර ඉන් 26 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඝාතනයකට සූදානම්ව සිටියදී කොස්ගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා (2) සමඟ සිටි පළාගිය අනෙක් සැකකරු (1) විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් සැක කරන්නේ.

‘කරන්දෙණියේ සුද්දා’ සහ ‘කොස්ගොඩ සුජී’ නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාර්ශ්වයේ සමීපතමයන් පස්දෙනෙකු (5) ඝාතනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අහුංගල්ලේ ලොකු පැටී’ගේ පාර්ශ්වය සැලසුම් සකස් කර ඇති බවට ‘වලාන දූෂණ මර්දන ප්‍රරහාරක බලකායේ’ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගට තොරතුරක් ලැබී තිබුණා.

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙම ඝාතන සැලසුම් කර ඇති බවත් වෙඩික්කරුවන් එම ප්‍රදේශයේ නිවසකට පැමිණ ඝාතනය සඳහා සූදානම් වන බවටයි එහිදී වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත්තේ.

වෙඩික්කරුවන් විසින් යතුරුපැදියේ අංක තහඩු වෙනස් කිරීම සහ අවි පරීක්ෂා කිරීම අදාළ නිවසේ සිට සිදු කිරීමට නියමිතව සිට ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ ‘වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ’ කණ්ඩායමක් ඊයේ (03) පස්වරුවේම කොස්ගොඩ ප්‍රදේශයේ අදාළ නිවස වෙත පැමිණ එම නිවස ආසන්නයේ ඇති කුරුඳු කැලයක සූක්ෂම ලෙස සැඟව සිට තිබෙනවා.

එම අවස්ථාවේ සැකකටයුතු ත්‍රීරෝද රථයකින් පුද්ගලයින් දෙදෙනෙක් (2) අදාළ නිවස වෙත පැමිණෙන ආකාරයත් ඉන් පසුව යතුරු පැදියකින් තවත් පුද්ගලයෙකු (1) පැමිණෙන ආකාරයත් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබුණා. අදාළ යතුරුපැදිය නිවස ඉදිරිපිට නොනවත්තවා නිවස පිටුපස දෙසටම ධාවනය වන ආකාරය දුටු පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී නිවස වැටලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් තිදෙනාම (3) නිවස පිටුපස අවි පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

පොලිස් නිලධාරීන් දුටු එක් (1) සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ නිලධාරින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී අනෙක් සැකකරුවන් දෙදෙනා (2) පලා යෑමේදී ඉන් එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගත් නමුත් අනෙක් සැකකරු (1) පලාගොස් තිබුණා.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පාදයට තුවාල සිදුවූ වෙඩික්කරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ තිබී අත්බෝම්බයක් සොයා ගත් අතර එම අවස්ථාවේ වෙඩික්කරුගේ ජංගම දුරකතනයට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ද ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

+++

පළියගන්න බැරිවෙයි – ඕලුගල සර්ගේ සුපිරි මෙහෙයුම මෙන්න – ලොකු පැටීට මළගෙදර යන්න තහනම්? (04.10.2026)

+


පරණ සිංදුවක් ඔය සංගමයේ එක්කෙනෙක් ශිහාන් මිහිරංගට වික්කා, ඒ ගායකයා උහුල්ලා මැරුණේ (03.10.2026)

+++

රෝහණ වීරසිංහ මගේ ගීත විකුණලාද? | ලංකාවේ ගීත ආදායම ඔස්ට්‍රේලියාවටද? – නීතිඥ අනුර හෑගොඩ (30.09.2026)

+++

BnS Exposed | නිලාර්ගේ සින්දු අහන්නේ කවුද? | අමරදේවටත් නඩු? – නීතිඥ අනුර හෑගොඩ (03.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤