අහුංගල්ලේදී නිවසක් තුළ සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

අහුංගල්ලේදී නිවසක් තුළ සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

ඉරාන නෞකා සම්බන්ධයෙන් අමෙරිකාවේ සම්බාධක ගැන විවිධ මත කරලියට

අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17 ක් ගැන පුළුල් විමර්ශන

ඖෂධ ශාලාවලට මුවා වී සිදුකරන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අනාවරණයක්


අහුංගල්ලේදී නිවසක් තුළ සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබීමක්

(04.10.2026 – hirunews.lk)

අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) අළුයම නිවෙසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්වෙහෙර, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි වියැති පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමුකර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මේ සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ඉරාන නෞකා සම්බන්ධයෙන් අමෙරිකාවේ සම්බාධක ගැන විවිධ මත කරලියට

(03.10.2026 – hirunews.lk)

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව ශ්‍රී ලංකාවට නිරිතදිග මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවලට සැපයුම් ලබා නොදෙන ලෙස අමෙරිකාව මෙරටට දැනුම් දී ඇතැයි ‘වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත’ අනාවරණය කළා.

එලෙස සැපයුම් ලබා දුනහොත් ද්විතියික සම්බාධක පනවන බව අමෙරිකාව පවසා ඇති බවයි එම වාර්තාවේ දැක්වුණේ.

මේ සම්බන්ධයෙන් කළ වීමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ ප්‍රකාශ කළේ, අදාළ නෞකා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි.

එසේම එම තත්ත්වය භයානක තත්ත්වයක් බවයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ.

මේ අතර, ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ද අදහස් දක්වමින් කියා සිටියේ, ලක් රජය අමෙරිකානු ප්‍රතිපත්ති පිළිබඳ මනාව අධ්‍යායනය කළ යුතු බවයි.

කෙසේ වෙතත්, දැනට මෙවැනි නෞකා 19 ක් පමණ මෙම මුහුදු තීරයේ පවතින බව හෙළි වී ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන්.

එම වාර්තාවේ දැක්වෙන්නේ, සම්බාධකවලට ලක්වූ නෞකාවලට, නැව් නියෝජිතයින්, ඉන්ධන සපයන්නන් සහ වෙනත් සේවා සමාගම් දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාය දැක්වුවහොත් අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එම අවදානම පිළිබඳ දැනුවත් කරමින් මෙරට නිලධාරීන් 40 දෙනෙකුට අධික පිරිසකට පසුගියදා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලය දින තුනක (3) පුහුණු සැසියක් ද පවත්වා තිබෙන බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් වාර්තාවේ’ වැඩිදුරටත් සඳහන්.

එසේම අදාළ වාර්තාව සකස් කිරීමේදී ‘වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත’ මෙරට රජයේ ලිපි ලේඛන ද උපයෝගී කරගෙන ඇති අතර එහි තවදුරටත් දැක්වෙන්නේ, ඉරාන ධජය සහිත නොකාවලට සැපයුම් ලබා දීම මෙම අවස්ථාවේ උචිත නොවන බවට සැපයුම් ලබා ගැනීමට කොළඹ වරායට පැමිණි ඉරාන නෞකා කිහිපයකට වරාය අධිකාරිය ලිඛිතව දැනුම් දී ඇති බවයි ෴


අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17 ක් ගැන පුළුල් විමර්ශන

(03.10.2026 – sinhala.adaderana.lk)

භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදේශවලට මුදල් ප්‍රේෂණ කළ තවත් සමාගම් 17 ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

බොහෝ දුරට එක් (1) අයෙකු හෝ දෙදෙනෙකු (2) එම සමාගම් 17 ම පවත්වාගෙන යන්නේයැයි විශ්වාස කරන බව එම කොට්ඨාසය සඳහන් කළේය.

විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ආයතන රැසක් මුදල් ප්‍රේෂණය කරන බවට රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත එවැනි නීති විරෝධී කටයුතු කළ සමාගම 72 ක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

එවන් පසුබිමක එවැනිම තවත් සමාගම් 17 ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

එම සමාගම් බොහෝ දුරට එක් අයෙකු (1) හෝ දෙදෙනෙකු (2) විසින් පවත්වාගෙන යන ඒවා බවට විශ්වාස කරන බවයි එම කොට්ඨාසය පැවසීය.

එම පුද්ගලයන් මේවන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

2023.01.01 සිට 2025.09.30 දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේවන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින් රුපියල් කෝටි 19,000 ක මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඉන් රුපියල් කෝටි 13,000 ක මුදලක් යවා ඇත්තේ, මේවනවිට නීතිමය පියවරගෙන ඇති සමාගම් 72 විසිනි.

මොවුන් මේ සඳහා කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6 ක් උපයෝගී කරගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් විසින් මුදල් යැවූ රටවල් අතරට Red Flag Countries හෙවත් අවදානම් සහගත රටවල් කිහිපයකට මොවුන් විසින් මුදල් යවා තිබීමය.

බ්‍රසීලය, පැනමාව, මුරුසු හා මැඩගස්කරය එම රටවල් වේ.

මෙම රටවල් ‘මුදල් විශුද්ධීකරණය යටතේ අවදානම් සහගත රටවල්’ ලෙස නම් කර තිබේ.

එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකරන බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ අනුව බොහෝ දුරට මෙම මුදල් නීති විරෝධීව උපයාගත් බවට සැකකරන බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මෙම විමර්ශන දිගින් දිගටම සිදුකිරීම හේතුවෙන් මේවන විට ‘ටීටී ක්‍රමය’ හරහා විදෙස් රටවලට මුදල් යවන පිරිස සියයට 90 කින් පමණ අඩුවී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ ෴


ඖෂධ ශාලාවලට මුවා වී සිදුකරන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අනාවරණයක්

(03.10.2026 – sinhala.adaderana.lk)

ඖෂධ ශාලාවලට මුවා වී ඇතැම් පුද්ගලයන් විසින් මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

‘සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ’ 11 වන සංවත්සර උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ජනතාවගෙන් මත්පෙති භාවිතය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බවයි.

මේ හේතුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින ඖෂධ ශාලා හිමියන් කැඳවා ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කර මෙම ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ජාතික ජන බලවේග රජය යටතේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, තරාතිරම නොබලා ඕනෑම අයකුට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා :

“නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයාගෙන යන ගමනෙදි ජනතාවගේ පැත්තෙන් පැමිණිල්ලක් එනවා, මෙන්න මේ මත්පෙති පාවිච්චි කිරීමට අදාළව. එතකොට මේ මත්පෙති කොහෙන්ද ගන්නේ? ඇතැම් අය විවිධ කතා කියනවා. ඉතින් ඇතැම් ඖෂධ ශාලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා, ඒ මත්පෙති ගන්නේ අන්න අහවල් ඖෂධ ශාලාවෙන් කියලා. අවාසනාවකට අපේ අමාත්‍යාංශයට වාර්තා වෙලා තියෙනවා, මෙන්න මේ තරුණයන්, ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් ඩැහැගන්නා මත්පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගින් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි, ඖෂධ ශාලාවලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටින බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දිස්ත්‍රික් මට්ටමින් වැඩක් හදලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ඒ ඖෂධ ශාලා හිමියෝ ගෙනැල්ලා ඒ අයත් එක්ක සුහද සාකච්ඡාවක් කරලා, මෙම ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම මේ ආයුර්වේදය කියන බෝඩ් එක ඉස්සරහට දාගෙන ඒක ඇතුළේ තහනම් මත් උත්තේජක ද්‍රව්‍ය විකුණනවා.”

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤