වගා ආයෝජන සමාගම් මහජන මුදල් වෙනත් ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති කියයි
වස විස සහිත පලතුරු විකුණුවොත් වැඩ වරදියි – ලබන වසරේ අප්‍රේල් 01 සිට නීතිය තදින්ම
ගෙවුණු වසර තුළ ළමුන් හා තරුණයින් 9,000 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි නිසා අත්අඩංගුවට
‘පොඩි මැණිකේ’ පේරාදෙණියට ළඟා වෙයි
රට රැකියා සිහින පෙන්වා රු. කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි
උස්බෙකිස්ථාන කතක් තහනම් වැඩක යෙදවූ රියැදුරාට වසර 10 ක සිරදඬුවම්
‘පොඩි පැටී’ එලොව යැවූ වෙඩිල්ල පිටුපස ඇති කතාව
‘අඩා’ සහ ඔහුගේ බිරිඳගේ රු.මි. 44.5 ක දේපළ ක්‍රියාවිරහිත කරයි
වගා ආයෝජන සමාගම් මහජන මුදල් වෙනත් ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති කියයි
(02.10.2026 – hirunews.lk)
වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම ප්‍රසංග සංවිධානය කිරීමට සහ ක්‍රිකට් තරග සඳහා අනුග්‍රහය දැක්වීමට යොදාගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.
ඇතැම් අවස්ථාවලදී එම මුදල්වලින් කොටස්, කලාකරුවන්ට තෑගි ලෙස ලබාදී ඇති අතර, තවත් මුදල් ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
වගා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ගෙවා ඇති මුදල්ද මහජනතාව මහන්සියෙන් උපයාගත් මුදල් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඔවුන් ජනතාව වෙනුවෙන් නොව, ඔවුන්ට මුදල් ගෙවූ සමාගම් වෙනුවෙන් අදහස් පළ කර ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් ගිණුම් පමණක් මහ බැංකුව විසින් මෑතකදී අත්හිටුවා ඇති බවත්, කිසිදු වගා ආයෝජන ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවා නොමැති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
ඒ අනුව, මහ බැංකුව ගිණුම් අත්හිටුවීම හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි බවට එම සමාගම්වලට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.
වගා ආයෝජන ලෙස තැන්පතු භාරගන්නා සමාගම්වලට රැවටීමෙන් වළකින ලෙස මහ බැංකුව අවස්ථා ගණනාවකදී මහජනතාව දැනුවත් කර ඇති බවද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, එම සමාගම් වෙත ලැබෙන නව ආයෝජන අඩුවීම හේතුවෙන් මීට පෙර මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට ගෙවිය යුතු මුදල් ආපසු ගෙවීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.
නව තැන්පතු ලබා නොගෙන සියයට 40 ක ප්‍රතිලාභයක් ගෙවීමටද එම සමාගම්වලට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.
නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් ගිණුම් අත්හිටුවා ඇත්තේ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු එම මුදල් තැන්පත්කරුවන් අතර බෙදාදීමට හැකි වන පරිදි බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.
වගා ආයෝජන සමාගම් අතීතයේ පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය සමාගම් මුහුණදුන් තත්ත්වයට පත්වීමට අවශ්‍ය නොවන්නේ නම්, නීතිය හමුවේ පෙනී සිට මහජනතාවගෙන් නීතිවිරෝධී ලෙස ලබාගත් තැන්පතු ආපසු ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා ෴
වස විස සහිත පලතුරු විකුණුවොත් වැඩ වරදියි – ලබන වසරේ අප්‍රේල් 01 සිට නීතිය තදින්ම
(02.10.2026 – hirunews.lk)
වස විස සහිත පලතුරු අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව ලබන (2027) වසරේ අප්‍රේල් 01 වැනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ, ‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට’ යන තේමාව යටතේ ජාතික වැඩපිළිවෙළක් අද (01) කොළඹදී ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඒ අනුව දිවයින පුරා පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම හා දැනුවත් කිරීම අද සිට ආරම්භ කෙරෙනවා.
වස විස භාවිතයෙන් තොරව පලතුරු ඉඳවා ගැනීම, ගොවිපළවලින් පලතුරු නෙළා ගැනීම සහ පාරිභෝගිකයා වෙත විශ්වාසවන්තව බෙදා හැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීමටද නියමිතයි.
එමෙන්ම ලබන මාර්තු මාසය වනවිට වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ව්‍යාපාර හඳුනාගෙන, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් ඒ සඳහා විශේෂ සහතිකයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
දිවයින පුරා පලතුරු වෙළඳසැල් සිතියම්ගත කර, QR කේතයක් ඔස්සේ වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ස්ථාන පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්ද හඳුන්වාදීමට නියමිතයි.
ඒ අනුව ලබන (2027) අප්‍රේල් 01 වැනිදා සිට වස විස සහිත පලතුරු අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව අදාළ ගැසට් පත්‍ර මඟින් නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා ෴
ගෙවුණු වසර තුළ ළමුන් හා තරුණයින් 9,000 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි නිසා අත්අඩංගුවට
(02.10.2026 – hirunews.lk)
2025 ඔක්තෝබර් 30 වනදා සිට ගතවු වසරකට ආසන්න කාලය තුල දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණ තරුණියන් 9000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ අවුරුදු 8 ත් 14 ත් අතර ළමුන්ද ඒ අතර වීම කණගාටුවට කරුණක් බවයි.
“ලෝක ලමා දිනය අපි සමරපු මොහොතේ ඉතාම කණගාටුවෙන් වුණත් කියන්නට අවශ්‍යයි 2025 ඔක්තෝබර් 30 සිට මේ පෙර දින දක්වා අපිට වයස අවුරුදු 8 ත් 21 ත් අතර ළමුන් සහ තරුණයින් 9,105 දෙනෙක් විවිධ වූ මත්ද්‍රව්‍ය හේතූන් නිසා අත්අඩංගුවට ගැනීමට සිදුව තිබෙනවා. ඒ වගේම තමයි මේ ළමුන් අතරින් පිරිමි ළමුන් 8,932 ක් පොලිස් භාරයට ගන්නට සිදු වෙලා තියෙනවා. තරුණ දියණියෝ 173 ක් අත්අඩංගුවට ගැනීමට සිදුව තියෙනවා ඒ වගේම වසය අවුරුදු 8 ත් 14 ත් අතර පුංචි පැටව් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියනවා” ෴
‘පොඩි මැණිකේ’ පේරාදෙණියට ළඟා වෙයි
(02.10.2026 – sinhala.adaderana.lk)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ආරම්භ කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව උඩරට මාර්ගයේ රඹුක්කන සිට දුම්රිය ධාවන කටයුතු මහනුවර සහ බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
ඒ අනුව, ඊයේ (01) දිනය දක්වා රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වූ දුම්රිය අද (21) දිනයේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එහිදී අද (02) උදෑසන 05:55 ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ අතර, අද (02) දිනයේ එම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව නොලැබුණු අතර, පරීක්ෂණ දුම්රියක් ලෙස එය ක්‍රියාත්මක විය.
රඹුක්කන දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු සහ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන්ද එම දුම්රියේ ගමන් කළේය.
එමෙන්ම දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා එක්වූ ඉංජිනේරුවන් සහ සේවකයින් මෙම පරීක්ෂණ දුම්රියේ ගමන් කිරීම විශේෂත්වයකි.
ඒ අනුව, දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණි.
එතැන් සිට පොඩි මැණිකේ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිතයි ෴
රට රැකියා සිහින පෙන්වා රු. කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු කොටුවෙයි
(02.10.2026 – sinhala.adaderana.lk)
නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කළ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.
අදාළ පුද්ගලයා කාන්තා, පිරිමි දෙපාර්ශවයට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා ඔවුන් සමග ගිවිසුම් ද අත්සන් කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මොහු කලක පටන් විමර්ශන ඒකකය මගහරිමින් සිටි සැකකරුවෙකු බව ද කාර්යාංශයේ විමර්ශන ඒකකය පැවසීය.
රැකියා සඳහා විදේශගත වීමේදී ලියාපදිංචි නොවූ විදේශ රැකියා ආයතන වෙත කිසිදු පුද්ගලයෙකු තම තොරතුරු, මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴
උස්බෙකිස්ථාන කතක් තහනම් වැඩක යෙදවූ රියැදුරාට වසර 10 ක සිරදඬුවම්
(02.10.2026 – hirunews.lk)
උස්බෙකිස්ථාන ජාතික කාන්තාවකට රැකියා පොරොන්දු දී ශ්‍රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් හා තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික ත්‍රිරෝද රථ රියැදුරෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අද (02) නියෝග කළා.
2021 ජනවාරි 01 වැනි දින කොළඹ ගලදාරී හෝටලයේදී ඔක්සානා කර්පොවා නමැති උස්බෙකිස්ථාන ජාතික කාන්තාව මෙලෙස ලිංගික සේවය සඳහා කුට්ඨනය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360අ(1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
විත්තිකරු (‘ලෝරන්ස්’) සහ ඔහුගේ උස්බෙකිස්ථාන ජාතික බිරිඳ (‘ජෙස්මින්’) එක්ව මසකට ඩොලර් 1,500 ක වැටුපක් හෝ දරුවන් බලාගැනීමේ රැකියාවක් ලබාදෙන බව පවසා අදාළ කාන්තාව මෙරටට ගෙන්වාගෙන ඇති බවයි සඳහන්.
පසුව ඇගේ ගමන් බලපත්‍රය රැගෙන, තර්ජනය කරමින් කොළඹ සහ මීගමුව ප්‍රදේශවල හෝටල් වෙත යවා ඇයව ලිංගික සේවයේ යොදවා තිබුණා.
එලෙස ලබාගන්නා මුදල් විත්තිකරු විසින් පාලනය කර ඇති අතර, එක් අවස්ථාවකදී පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු රුපියල් 5,000 ක ඉතිරි මුදලද ලෝරන්ස්ගේ පෞද්ගලික බැංකු ගිණුමට තැන්පත් කර තිබූ බවට බැංකු වාර්තා මගින් තහවුරු වුණා.
නොනවත්වා සිදුවූ පීඩනය හමුවේ වින්දිත කාන්තාව තම මවට රහසින් තොරතුරු දැනුම් දීමෙන් පසුව, උස්බෙකිස්ථාන පොලිසිය කළ දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව මුදාගෙන තිබුණා.
ඉදිරිපත් වූ සාක්ෂි මගින් පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු වීම හේතුවෙන් විත්තිකරුට මෙලෙස බරපතළ සිරදඬුවම් නියම කෙරුණා ෴
‘පොඩි පැටී’ එලොව යැවූ වෙඩිල්ල පිටුපස ඇති කතාව
(02.10.2026 – sinhala.adaderana.lk)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ නමැත්තා නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
මෙම ඝාතනය ‘කොස්ගොඩ සුජී’ නැමැති අපරාධකරුගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බව පොලිසිය සැක පළ කරයි.
අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී 08:10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.
වෙඩික්කරු පාගමනින් පැමිණ ප්‍රහාරය එල්ල කර, නැවත පාගමනින්ම පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.
වෙඩික්කරු ‘පොඩි පැටී’ගේ හිසට වෙඩි තබා ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.
ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක පින්තාරු රැකියාවක නිරත ‘පොඩි පැටී’ නැමැත්තා ඊයේ (01) එහි සිටින තවත් අයෙකු සමග පැමිණ සිය නිවසේදී මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ.
පසුව අනෙක් පුද්ගලයා පිටව ගොස් ඇති අතර, ‘පොඩි පැටී’ නැමැත්තා තවත් බීර බෝතලයක් රැගෙන නිවසට පැමිණ තිබේ.
ඔහු නිවසට පැමිණ බිරිඳට කතාකරනවාත් සමගම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පැවසීය.
ඒ සඳහා මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් උපයෝගී කරගෙන ඇති අතර, වෙඩික්කරු වෙඩි ප්‍රහාරයෙන් පසුව නිවස අසල වූ කැලෑබද ප්‍රදේශයකට පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිසිය එම ප්‍රදේශය ඊයේ (01) රාත්‍රියේ සෝදිසි කළද කිසිඳු හෝඩුවාවක් හමුවී නොමැත.
සැකකරු විවාහක කාන්තාවක් (1) හා ඇයගේ 7 හැවිරිදි දැරිය සමග නිවසේ වාසය කර තිබේ.
අදාළ කාන්තාව විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මදුෂාන් ආබ්‍රේව්’ හෙවත් ‘අහුංගල්ලේ මදුෂාන්’ නැමැත්තාගේ සහෝදරියක් බව පොලිසිය පැවසීය.
‘මධුෂාන්’ නැමැත්තා කලක් ‘ලොකු පැටී’ගේ පාර්ශ්වය සමග සමීපව කටයුතු කර පසුව ඉන් ඉවත්වී, විදෙස්ගතව සැඟව සිටින තවත් අපරාධකරුවකු වන ‘කොස්ගොඩ සුජී’ නැමැත්තා සමග සබඳතා පවත්වා ඇත.
ඒ හේතුවෙන් ‘අහුංගල්ලේ මදුෂාන්’ගේ සහෝදරිය සමග සබඳතා පවත්වනවාට ‘ලොකු පැටී’ හා ඔහුගේ අනෙක් සහෝදරයා වන ‘සංජීව පුෂ්පකුමාර’ හෙවත් ‘අහුංගල්ලේ සංජීව’ නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් විරෝධය පළකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර ඊයේ (01) රාත්‍රියේ ඝාතනය වූ ‘පොඩි පැටී’ නැමැත්තා පසුගිය අප්‍රේල් 16 වනදා ද අහුංගල්ලේදී ටී-56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූ අතර, ඔහු එහිදී දිවි බේරාගෙන තිබුණි.
එම ප්‍රහාරය මෙහෙයවා තිබුණේ ‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වයෙන් බව පොලිසිය පැවසීය.
එමෙන්ම ඔහුට ‘කොස්ගොඩ සුජී’ගේ අනුගාමිකයෙකු වන ‘ළහිරු දිල්ෂාන් මධුර කුමාර’ හෙවත් ‘ලියනගමගේ ළහිරු’ නැමැත්තාගෙන් අවස්ථා කිහිපයකදී මරණ තර්ජන එල්ල වී ඇති බවද පැවසේ.
ඒ අනුව මෙම ඝාතනය බොහෝ දුරට ‘කොස්ගොඩ සුජී’ගේ පාර්ශ්වයෙන් සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනය වූ ‘පොඩි පැටී’ නැමැත්තාට එරෙහිව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවද පොලිසිය පැවසීය.
‘ලොකු පැටී’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන ‘කළු නෝනා’ නම් කාන්තාව ඇතුළු තිදෙනෙකු (3) පසුගියදා බද්දේගමදී ඝාතනය කළ අතර, එහි චෝදනාව එල්ල වුණේ ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයටය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් (3) මගින් සිදු කරනු ලබයි.
+
‘අඩා’ සහ ඔහුගේ බිරිඳගේ රු.මි. 44.5 ක දේපළ ක්‍රියාවිරහිත කරයි
(02.10.2026 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් මිලියන 44.5 ක් වටිනා ඉඩමක් සහ දෙමහල් නිවසක් ඇතුළු දේපළ ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
ඒ අනුව, අදාළ දේපළ සම්බන්ධයෙන් අද (02) දින සිට බලපැවැත්වෙන පරිදි වැඩකරන දින 14 ක කාලයක් සඳහා කවර හෝ ගනුදෙනුවක් කිරීම තහනම් කරමින් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
‘රණසිංහ ආරච්චිගේ සමන් කුමාර’ නොහොත් ‘අඩා’ සහ ඔහුගේ බිරිඳ වන ‘තොටවත්ත බටගේ සංගීතා ප්‍රියදර්ශනී’ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සිදු කළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇත.
‘සංගීතා ප්‍රියදර්ශනී’ නමැත්තියගේ නමින් පහල කඩුනේරිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 24.80 ක ඉඩම රුපියල් ලක්ෂ 95 කට මිලදී ගෙන ඇති බවත්, පසුව රුපියල් කෝටි 3.5 ක පමණ මුදලක් වැයකරමින් එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බවත් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
එබැවින්, 2026 අංක 16 දරන පනතින් සහ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව, අදාළ දේපළ සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි ගනුදෙනු වැළැක්වීම සඳහා මෙලෙස අද (02) සිට වැඩකරන දින 14 ක කාලයකට අත්හිටුවීමට කටයුතු යොදා ඇත ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴