සිය ධූර කාලය අවසන් වූ වහාම අනුර දිසානායක ජනාධිපතිව අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසියට පැමිණිල්ලක්..
සිය ධූර කාලය අවසන් වූ වහාම අනුර දිසානායක ජනාධිපතිව අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසියට පැමිණිල්ලක්..
(19.01.2026 – lankacnews.com)
ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කරන අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා ඔහුගේ ධූර කාලය අවසන් වූ වහාම අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (2026.01.19) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
පිවිතුරු හෙළ උරුමය තරුණ ලේකම් කුමාර රාජරත්න මහතා විසින් ගොණු කල මෙම පැමිණිල්ල පහත දැක්වේ :
2026.01.19
අධ්‍යක්ෂ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
යෝර්ක් වීදිය
කොළඹ 01.
ගරු අධ්‍යක්ෂතුමනි,
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතීන් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට කටයුතු කිරීම
2026.01.16 දින යාපනය කොකුවිල් තාක්ෂණ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද කතාවේදී පහත ප්‍රකාශය කරන ලදී:
“පූජා භූමියක් කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පෝයට සිල් ගන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරලා යාපනයට එනවා. එතන සීලය නෙවෙයි අපේ හාමුදුරුවනේ, එතන තියෙන්නේ වෛරය. නැත්නම් පන්සල්, පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා යාපනයේ එක තැනකට එනවා සිල් ගන්න. සීලය වෙනුවෙන් නෙවෙයි, වෛරය වෙනුවෙන්.”
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට මෙරට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වලින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලදී.
මෙම ප්‍රකාශය හරහා උතුරේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන මෙරට බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් ඉතා වැරදි චිත්‍රයක් උතුරේ දෙමළ ජනතාව තුළ ඇති කරවීමටත්, එමඟින් උතුරට පැමිණෙන බෞද්ධ ජනතාව පිළිබඳ බරපතල වෛරයක් උතුරේ ජනතාව තුළ ඇති කිරීමටත් ජනාධිපතිවරයා විසින් චේතනාන්විතවම කටයුතු කර ඇත. එබැවින් උතුරේ වන්දනාවේ පැමිණෙන බෞද්ධයින් හිරිහැර වලට බදුන් වීමේ අවධානමක් මතුවී ඇත.
එමෙන්ම මේ ප්‍රකාශයට අනුව, උතුරේ සිට හින්දු සිද්ධස්ථාන රාශියක් පසු කර කතරගම වැඳපුදා ගැනීමට පැමිණෙන දෙමළ ජනතාව සම්බන්ධයෙන් ද දකුණේ සිංහල ජනතාව තුළ වෛරී සහගත හැඟීමක් ඇති විය හැකිය. මෙරට දකුණු ප්‍රදේශයේ පවතින කතෝලික සිද්ධස්ථාන ගණනාවක් පසු කරමින් උතුරේ මඩු පල්ලිය වන්දනා කිරීමට යන මෙරට කතෝලික ජනතාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ගැටලු ඉස්මතු විය හැකිය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හේතු කරගෙන මෙරට බෞද්ධ, හින්දු, ස්ලාම්, කතෝලික සියලු ආගමික කණ්ඩායම් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බව මින් පැහැදිලි වේ.
එහෙත්, අනුර කුමාර දිසානායක මහතා දැනට මෙරට ජනාධිපති ධුරය හොබවන බැවින් ඔහුට ජනාධිපති මුක්තිය හිමි බව අපි දනිමු.
එබැවින් ඔහුගේ ධුර කාලය අවසන් වූ වහාම, අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙයට,
දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
කුමාර රාජරත්න
තරුණ ලේකම්
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
උතුරේදී ඉඟි බිඟි පාන දේශපාලන ගණිකාව – චූන් උනාම එළාර වැහෙන ලොන්තපෝල් ජනපති… (18.01.2026)
+
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
(19.01.2026 – hirunews.lk)
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් (4) සහ තවත් පස්දෙනෙකු (5) ලබන 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එම පිරිස අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවතින උණුසුම් තත්ත්වයක් මධ්‍යයේ බෝධිරාජ විහාර පරිශ්‍රයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට යාමේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
අද (19) දින නඩුව විභාග වන අවස්ථාවේදී විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටි අතර, පවතින තත්ත්වය සලකා පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් යොදවා විශේෂ ආරක්වාකද යෙදවීමටයි පියවර ගෙන තිබුණේ.
+++
කස්සප හිමි මේ මස 28 තෙක් රිමාන්ඩ් – බෞද්ධ අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා (19.01.2026)
+
ටකරමක් ගියත් රු. ලක්‍ෂ දහයක් (10) දෙන්න චක‍්‍රලේඛ නෑ.. ග‍්‍රාම සේවකලා කුණාටු වන්දි බෙදිල්ලෙන් ඉවත් වෙති…
(19.01.2026 – lankacnews.com)
සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ පහක (5) දීමනාවක් ගෙවීමේ ක්‍රියාවලියෙන් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙම දීමනාව ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ පවතින බරපතල අඩුපාඩු සහ අවදානම් තත්ත්වයන් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ ගණකාධිකාරීවරුන්ගේ සංගම් දැනටමත් මෙම කටයුතුවලින් ඉවත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් එම දීමනා ගෙවීමේ සම්පූර්ණ වගකීම ග්‍රාම නිලධාරීන් මත පැටවී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන් මෙම තීරණය ගැනීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් සංගමය පෙන්වා දෙයි.
චක්‍රලේඛයට අනුව පැහැදිලි තක්සේරුවක් හෝ නිර්ණායක ලබා දී නොමැති බව රණසිංහ මහතා පවසයි. නිවසක බිත්තියක ඉරක් ගියත් හෝ වහලයේ තහඩුවකට හානි වුවත් රු. ලක්ෂ පහක (5) සම්පූර්ණ මුදලම ගෙවිය යුතු ද යන්න පිළිබඳව බලධාරීන් පැහැදිලි කර නැත.
රජයේ මුදල් ගෙවීමේදී ඒවා විගණනයට යටත් වන බැවින්, තාක්ෂණික නිලධාරීන්ගේ සහය සහ නිසි තක්සේරුවක් නොමැතිව ගෙවීම් සිදු කිරීමෙන් ඉදිරියේදී පැනනගින විගණන ගැටලු සඳහා වගකීම ගැනීමට ග්‍රාම නිලධාරීන්ට නොහැකි බව ඔහු අවධාරණය කරයි.
පවතින චක්‍රලේඛය අනුව අනවසර පදිංචිකරුවන්ට ද මෙම රු. ලක්ෂ පහක (5) වන්දිය ලබා ගැනීමට හිමිකම ලැබී ඇත. එක් පැත්තකින් ඔවුන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී මෙලෙස වන්දි ගෙවීම හරහා ඔවුන්ගේ පදිංචිය නීත්‍යානුකූල වීමේ අවදානමක් පවතින බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
කුලී නිවාසවල පදිංචිකරුවන්ට හෝ නිවාස හිමියන්ට මෙම දීමනාව හිමිවීම සම්බන්ධයෙන් ද විධිමත් මාර්ගෝපදේශයක් නොමැති බව හෙළි වී ඇත.
තාක්ෂණික නිලධාරීන්ගේ සහයෝගය සහ විධිමත් තක්සේරුකරණයකින් තොරව මෙම වන්දි ගෙවීමේ කටයුතුවලට සම්බන්ධ වීමට ග්‍රාම නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම කටයුතුවලින් සමස්ත ග්‍රාම නිලධාරීන් ඉවත් වන බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴