හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රිමාන්ඩ්
(22.08.2025 – 22:02 +0530 – sinhala.adaderana.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙම නියෝගය නිකුත් කළාය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බවය.
එමෙන්ම එම සංචාරය සඳහා සැකකරු රජයේ මුදල් භාවිත කළ බව සැකකාර පාර්ශවයේ නීතිඥවරු ප්‍රතික්ෂේප කර නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක ඇප ප්‍රදානය කළ හැක්කේ අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහෙත් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් මොහුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.
බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් නියෝග කළාය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 22 වනදා සහ 23 යන දිනවල සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ සිදු කළ පුද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 33 ක් සටහන් කර ගෙන ඇති බවත් ඔහු එහිදී අධිකරණය හමුවේ පැවසීය.
2023 වසරේ සැප්තැම්බර් මස 13 වනදා සිට 20 වනදා දක්වා කාල සීමාව තුළ කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව සැප්තැම්බර් මස 22 වනදා ඔහු පුද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබුණි.
සිය බිරිඳගේ සම්මානිත මහාචාර්ය පදවිය ලබා ගැනීම සඳහා ඔහු එහි ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පැවසුවේය.
තවද එම ගමන සඳහා හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ, පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයෙකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවන අතර, මේ සඳහා මුදල් අනුමත කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බවත් ඔහු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේය.
මෙම දින එක හමාරක (1½) සංචාරය තුළ වාහන සඳහා රුපියල් 4,475,160 ක් මුදලක්ද වාහන අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 14 ආසන්න මුදලක්ද ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක්ද, හෝටල් පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 34 කට ආසන්න මුදලක්ද ගුවන් තොටුපොළේ අමුත්තන් පරිහරණය කරන ස්ථානය වෙන් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 6,000 මුදලක් වැය කර තිබෙන බවත් ඔහු පැවසීය.
මෙම සංචාරයට සහභාගි වූ පොලිස් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3,274,301 ක් මුදලක් ගෙවා ඇති බවත් සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරාට රුපියල් 39,000 ක දීමනාවකුත් ගෙවා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ පැවසීය
තවද එම වකවානුවේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තුළින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් රාජ්‍ය මුදල් වැය කිරීමට උපදෙස් ලබාදී තිබුණු බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක ඩොලරයක් සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබූ අවස්ථාවක පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම වියදම් සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ව හරි මග යැවිය යුතුයි. ඔහුට රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගන්න බෑ.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කළේය.
“සැකකාර රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය තුළින් පිළිගෙන තිබෙනවා ඔහුගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බව. ඒ වගේම සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා ලබා දී ඇති කට උත්තරයේ සඳහන් කර තිබෙනවා තමන් විදේශ කටයුතු අමාත්‍යංශයට යැවූ ඉල්ලීමේ මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් සඳහන් කර තිබූ බව එසේ නම් මෙම පුද්ගලික සංචාරය නිල සංචාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළේ කවුද?” ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
මෙය බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නිල ඇරයුමක් අනුව ගිය ගමනක් නොවන බවත් රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක මෙවැනි වියදමක් දැරීම යුක්ති සහගතද? යන ප්‍රශ්නය මතුවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ විමසීය.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා සහභාගි වී නොමැති බවත් නිල සංචාරයක් නම් ඔහු සහභාගි නොවුණේ ඇයි කියන ප්‍රශ්නය මතුවන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කළේය.
“සැකකරු ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ගේ වැටුප රුපියල් ලක්ෂයක් බව. එසේ නම් මේ ආකාරයෙන් වියදමක් දරන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ජනාධිපතිවරයා යනු මහජනයාගේ භාරකරු බවත් ඔහුට අත්තනෝමතික ආකාරයෙන් මහජන මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති අතර ඊට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම සැකකරුගේ තත්ත්වය තරාතිරම හෝ නිලය සැලකිල්ලට ගැනීමට අධිකරණයෙන් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මෙම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසුවේය.
ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබෙන බව පැවසීය.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක මෙම සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන බවත් ඒ තුළ අවිධිමත් ක්‍රියාවක් සිදුවී නොමැති බව දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.
එම වාර්තාව විමර්ශන නිලධාරීන් විසින් සැලකිල්ලට ගෙන නොමැති බවත් ඒ ගැන සැලකිලිමත් වුණා නම් මෙවැනි නඩුවක් මතු නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ ජනාධිපතිවරයෙකුට ලැබෙන ඇරයුම් සියල්ල නිල ඇරයුම් බවත් මෙවැනි සංචාරවලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයින් සහභාගි වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයෙකුට සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ලබාගෙන විදේශයකට ගොස් කුලී රථවල ගමන් කරමින් මිත්‍රයින්ගේ නිවාසවල නවාතැන් ගනිමින් කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය රාජතාන්ත්‍රික තත්වයක් නොවන බවත් සඳහන් කර සිටියේය.
රනිල් වික්‍රමසිංහ මෙම බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගි වුනේ බ්‍රිතාන්‍යයේ වුල්ෆ් ඇම්ටන් විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කළ ඇරයුමක් අනුව බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලැබුණු ඇරයුමක් නිල ඇරයුමක් නොවන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරයා යනු පැය 24 ම වැඩ කරන පුද්ගලයෙකු බවත් ඔහුට මෙම ඇරයුම ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ වශයෙන් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
පැමිණිල්ල විසින් සඳහන් කළ මුදල් රෙගුලාසි අදාළ වන්නේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභාවල ලේකම්වරුන්ට පමණක් බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වැනි නිල දරන්නන්ට ඒවා අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත් ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේය.
තම සේවාදායකයා හිටපු ජනාධිපතිවරයෙකු වන අතර ආරක්ෂක තර්ජන ගැන සැලකිල්ලට ගැනීමේදී ඔහු රක්ෂිත බන්දනාගර ගත කළ හැකිද? යන ගැටලුව මතුවන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩු විභාගයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඊට මැදිහත් වී ප්‍රකාශ සිදු කිරීම නිසා නීතිඥ දෙපළ අතර උණුසුම් වාද විවාද වරින් වර හට ගැනීම දක්නට ලැබුණි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරියට අවස්ථා කීපයකදී මැදිහත් වී එම තත්ත්වය සමථයට පත්කිරීමට ද සිදුවිය.
+++
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.
‘අද දෙරණ’ සිදු කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවය ෴
+++
+++
+++
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
(22.08.2025 – hirunews.lk)
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කල බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පවසනවා.
ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී වෛද්‍යවරුන් දෙදෙනකු (2) වෙත යොමු කිරීමෙන් පසුව වෛද්‍ය අධීක්ෂණයට ලක් කෙරුණා ෴
+++
හිටපු ජනපති රනිල්ගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද සහ විපක්ෂ නායක බන්ධනාගාර රෝහලට
(23.08.2025 – hirunews.lk)
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බන්ධනාගාර රෝහලට පැමිණ තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද අද (23) පෙරවරුවේ එහි ගොස් තිබෙනවා.
මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපතිවරයා නව මැගසින් බන්ධනාගාරයට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඊයේ (22) රාත්‍රියේ ඇතුළත් කෙරුණා.
ඊයේ (22) රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඔවුන්ට බන්ධනාගාරය වෙත ඇතුලු වීමට ඉඩ ලබා දී නොමැති අතර ඔවුන් ඉන් පිටත රැඳී සිට තිබුණා ෴
+++
අත්අඩංගුවට ගන්න කළින් රනිල්ගේ හඬඇමුණුමක් එළියට
(23.08.2025 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර තමන් වෙත එවූ හඬඇමුණුමක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් විසින් අද (23) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත මුදාහැරියා.
එම හඬඇමුණුමේ දැක්වුණේ, තමන් සෑමවිටම ක්‍රියා කළේ රට වෙනුවෙන් බවත්, පෞද්ගලික කාරණා වෙනුවෙන් ක්‍රියා නොකළ බවත්.
එහිදී ඔහු පවසා ඇත්තේ, “මම හැම වෙලේම රට වෙනුවෙන් වැඩ කළේ; පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ මේ පාලනයේ නියම මුහුණු. දැන් තමයි සත්‍යය මුහුණු එන්නේ. මේ හැමතැනම සිදුවන්නේ දේශපාලන වශයෙන් කරන දේවල්; මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ” යනුවෙන්.
+++
හිටපු ජනපති රනිල්ව බලන්න ගිය දිලිත් ජයවීර
(23.08.2025 – 13:17 +0530 – sinhala.adaderana.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිරගත කිරීම ලංකාවේ දේශපාලන දිශානතිය වෙනත් මඟකට ගෙන යන සිදුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
අද (23) දහවල් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගොස් නැවත පැමිණීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේය.
“ඔහු ක්‍රීඩා කරන්න ගියේ ක්‍රිකට් මේ ආණ්ඩුව ගහන්නේ එල්ලේ. බෝලෙන් ඇඟට ගහලා කිව්වා අවුට් කියලා. මගේ දේශපාලන කියවා ගැනීම අනුව මේක අපේ රටේ, දේශපාලන පිළිබඳ තවත් නව දිශානතියකට ගෙන යන සිද්ධියක් වේවි.
මම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය කවරදාකවත් අනුමත කරන්නේ නෑ. හැබැයි මේ රටේ ජනාධිපතිවරයෙක් මේ විදියට කරන එක වැරදියි. ඒක අධිකරණය කරපු දේ හරිද ? වැරදිද? කියන එක නෙමෙයි මම මේ කියන්නේ, අධිකරණ ක්‍රියාදාමය දක්වා ගෙන එන ලද ඒ පරීක්ෂණය සිදුකර ඇති සිද්ධි දාමයම අපේ රටේ ප්‍රතිරූපයට හොඳ චිත්‍රයක් ගෙන එන්නේ නෑ”.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ opposition MPs’ comments. What all these corrupt politicians want is for the NPP government to behave as they were doing when they were in power. That is to encourage, allow or turn a blind eye to the corruption of MPs and senior government functionaries, protect the rogues when the other party is in power, and to sustain and perpetuate the corrupt system for ever as they have been doing in the past 76-years. They think that the rogue operating above the law, and the common people subjecting to their rigorous laws and unbearable taxes (to sustain the corrupt system) should be the way of Sri lanka. At last the NPP government has come to power with the support of the voters from the common people; they are trying to clean up the system as they have promised the voters. I fully support the NPP government and I hope that they will continue with the cleaning program. Until the top of the end society is cleaned up, and setting an example, Sri Lanka will never emerge as a progressive country. All those people screaming outside the courts are none but paid or hired acolytes of the rotten opposition parties. No sympathy for them. The country has taken major progressive step today by setting this example. All foreign countries that give foreign are delighted by this cleaning campaign, as we all know even Japan, which is a very well balanced country, has donated a large amount of money to get rid of corruption in governance of the country. Hats off to AKD, may he be blessed for this very challenging task and duty that he has undertaken.