01.05.2015
= “මම කොයිතරම් දන් පින් කළාද? සාංඝික දාන කීයක් දුන්නාද? පන්සල්වල ගොඩනැඟිලි හදන්න කොයි තරම් මුදල් පරිත්‍යාග කළාද? ඒත් අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉන්න කොට මට මගේ හෝටලයමයි මතක් වුණේ. දැන් හෝටලේ වෙළෙඳාම කොහොමද? ආදායම කොහොමද? කඩේ ගෝලයන් හොරකම් කරනවාද? ඕවමයි මතකයට ආවේ. අන්තිමට මතක් වුණේ හෝටලයේ මස්මාළු බදින සුවඳ, කොත්තු රොටි සුවඳ. මම දැන් ඉන්නේ කොත්තු රොටි ගහන තැන. එතැන ඉඳගෙන ඒ කෑම ලෙවකනවා. මස් මාළුවල සුවඳ උරා බොනවා”යි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි රෝගියකුට ආවිශ්ට වූ ප්‍රේතයෙක් කීවේය. =
සුමිත් බිබිල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි තරුණයෙකි. දක්ෂ අරක්කැමියෙකි. ඔහුගේ නිවෙසේ රාත්‍රියට යමකු ඇවිදින අඩි සද්ද ඇසෙන්නට විය. මාස හයක පමණ කාලයක සිට සුමිත් බලාගත් අත බලාගෙන සිටින්නට විය. කෑම අරුචියෙන් පෙළෙන්නට විය. ඇඟ පත දුර්වල වී වේදනාවෙන් පෙළෙන්නට විය. මේ සියලු රෝගාබාධ හා වේදනා ඔහුට දැනෙන්නට වූයේ තම නිවෙසේදීය. ඔහු රැකියාව කරන හෝටලයේදී කිසිම වේදනාවක් හට ගත්තේ නැත. ඔහු මේ හෝටලයේ රැකියාව කරන්නේ සවස හතරේ සිට රාත්‍රි එකොළහ දක්වාය. ඒ කාලය තුළ කිසිම දුකක් කරදරයක් නොවීය. හෝටලයෙන් පිට වූ තැන් පටන් නිවෙසේ ගත කරන කාලය තුළ මහත් පීඩාවක් වින්දේය.
“මව්බිම” පත්‍රයේ පාඨකයකු වූ සුමිත් එහි පළවන “මළවුන්ගේ හෝරාව” විශේෂාංගය නිතිපතා කියවන්නෙකි. එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන යන්නට සුමිත්ට සිත් විය. ඔහු තම මිතුරන් දෙදෙනකු කැටුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගොස් ආධ්‍යාත්මික ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තමන්ගේ රෝගාබාධ කරදර විස්තර කළේය.
එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුමිත් අප්‍රාණිකව වැටුණේය. ඉන් එහා දෙයක් සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔහු නැවැත පැමිණියේය. එදින ගවේෂණයේදී ඔහු ප්‍රලය වූයේය. ඔහුට ආවිෂ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා සාකච්ඡා කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”යි නාගොඩවිතාන මහතා ඇසීය.
“මම සිරිපාල. සිරිපාල මුදලාලි කියන්නේ මට” යැයි භූතාත්මය උත්තර දුන්නේය.
“කවුද මේ සිරිපාල මුදලාලි කියන්නේ?”
“මේ සුමිත් වැඩ කරන හෝටලයේ කලින් හිටපු අයිතිකාරයා මම. දැන් හෝටලය කරන්නේ මගේ පුතා.”
“ඇයි මේ සුමිත්ගෙ ඇඟට රිංගලා මෙයාව අසනීප කරන්නේ?”
“මහත්තයා මම සුමිත්ට ආදරෙයි. කරදර කරන්නේ නෑ. සුමිත් හොඳ කොලුවා. හොඳට රහට හෝටලයේ කෑම ටික උයනවා. කොත්තු රොටි ගහන්නත් දක්ෂයි. අපේ හෝටලයට මිනිස්සු එන්නේ කෑම රස නිසයි. මගේ හෝටලය දියුණු වුණේ සුමිත් උයන පිහන කෑමවල රස නිසා. මමත් ඒ කෑම කන්න ආසයි. මම හදිසියේ මැරුණා. ජීවත්ව ඉන්දැද්දි කොයි තරම් පින් දහම් කළත් මරණාසන්න මොහොතේ මට මගේ හෝටලය මතක් වුණා. මම නැවැත උපන්නේ හෝටලයේ කොත්තු රොටි ගහන තැන. මම මේ චුතිය හා ප්රතිසන්ධිය ගැන බණ අහලා තියෙනවා. ඒ නිසා මම දන්නවා මට වෙච්ච දේ ගැන. කර්ම විපාක අනුව කෑමට ආසාවෙන් මෙතැන උපන්නා. මම හෝටලයේ කෑම සුවඳින් ජීවත් වෙනවා. සුමිත් ගෙදර යන කොට සුමිත්ගෙ ඇඟට රිංගනවා. වෙලාව පරක්කු නොකර හෝටලයට එන්න පොලඹවනවා. සුමිත් එක්ක ඇවිත් කොත්තු ගහන තැන ඉන්නවා. මම තෙල් සුවඳට ආසයි. සුමිත් වැඩ කරන කොට සුමිත්ගෙ ඇඟෙන් එළියට එනවා. සුමිත් ගෙදර යන කොට ඇඟට රිංගනවා”යි ප්‍රේතයා කීවේය.
“ඔබ දැන් සිරිපාල මුදලාලි නොවෙයි. සිරිපාල මුදලාලි මැරුණා. ඔබ දැන් හෝටලය පිළිබඳ තණ්හාව උපාදාන කර ගැනීම නිසා එහිම උපන් ප්‍රේතයෙක්. මේ සුමිත්ට කරදර නොකර කරුණාකර ඉවත් වෙලා යන්න”යි ගවේෂකවරයා කීවේය.
“බෑ… බෑ… ඒක නම් කරන්න බෑ. මම එහෙම යන්නේ නෑ.”
තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙසද ඊළඟ දිනයට සිරිපාල මුදලාලිගේ පුතාත් බිරියත් කැඳවාගෙන එන ලෙසද ගවේෂකවරයා නියම කළේය.
ඊළඟ දිනයේ සුමිත් සිරිපාල මුදලාලිගේ බිරියත් පුතාත් කැඳවාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණියේය. එදිනද සිරිපාල මුදලාලිගේ ප්‍රාණකාරයා සුමිත්ට ආවිෂ්ටව කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“බෝධි පූජාවලට ගියාද?”
“ගියා මහත්මයා, එතැනදි හිතට පුදුම සහනයක් ලැබුණා. මම ඉස්සර කරපු පින්කම් මතකයට ගලා එන්න හිටියා.”
“අද මේ කවුද ඇවිත් ඉන්නේ?”
“ආ… මේ මගේ පුතයි නෝනයිනේ. පුතේ, පුතා දියුණුවෙලා ඉන්නවා දකින්න මම ආසයි. හෝටලය හොඳට දියුණු කරන්න ඕනෑ. මේ සුමිත්ට හොඳට සලකන්න ඕනෑ. එතකොටයි කොල්ලා තවත් උනන්දු වෙන්නේ.”
“ඔව් තාත්තේ. මම සුමිත්ට හොඳට ගෙවනවා. ඒ වුණාට තාත්තේ සුමිත් අපේ සේවකයෙක්. කුස්සියේ උයන හාදයා. කොත්තු රොටි ගහන හාදයා. තාත්තා මෙයාගෙ ඇඟට රිංගාගෙන ඉන්න ලැජ්ජ නැද්ද? තාත්තා කොයි තරම් පින් දහම් කළාද? ලැජ්ජා නැද්ද? මොකද මේ මළ ප්‍රේතයෙක් වෙලා” යි පුතා ඇසීය.
“මොනවා? මම ප්‍රේතයෙක් නෙවෙයි. දෙවියෙක්” යැයි ප්‍රේතයා කීවේය.
“දෙවියන් මිනිසුන්ගේ ඇඟට රිංගන්නේ නෑ. මිනිස් දහදිය ගඳට දෙවියෝ ගව් ගාණක් දුරට කිට්ටු වෙන්නේ නෑ. කොත්තු රොටි ගහන කොට කොයි තරම් දහදිය ගලනවද? අනිත් එක මස් මාළු ගඳට දෙවියෝ ළං වෙනවාද? ඔබ ප්‍රේතයෙක්. ඔය ප්‍රේතාත්මයේ අවුරුදු දහස් ගණනක්, දස දහස් ගණනක් දුක් විඳින්න වේවි. ඔය දුක්ඛදායක දුගතියෙන් මිදී සුගතියට යන්න. දෙවියෙක් වෙන්න අධිෂ්ඨාන කරන්න. ඔබ පෙර කළ කුසල් බලයෙන් දෙවියෙක් වෙන්න පුළුවන්” යැයි ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.
“අනේ! මහත්තයා, එහෙමනම් මම දෙවියෙක් වෙන්න ආසයි.”
“ඔබ නිසා දැන් කඩේ අයත් අසනීප වෙනවලු. ඔබ තවදුරටත් හෝටලයේ හිටියොත් හෝටලය වහන්න වේවි. පුතයි නෝනයි පවුලේ අයයි දුකට පත්වේවි. ඔය හෝටලය හිතෙන් අතහරින්න. මම පුතාට කියලා දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්” යැයි කී ගවේෂකවරයා භික්ෂුන් වහන්සේ දස නමක් නිවෙසට වඩම්මා අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා තාත්තාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස පුතාටත්, අම්මාටත් උපදෙස් දුන්නේය.
දානය පිරිනමා පින් අනුමෝදන් කොට ඔවුහු සුමිත් සමඟ නැවැත පැමිණියහ. මේ වන විට සුමිත් සම්පූර්ණයෙන් සුවපත්ව සිටියේය.
එහෙත් ගවේෂකවරයා සිරිපාල මුදලාලිගේ භූතාත්මය ඔහුට ආවිෂ්ට කොට ප්‍රශ්න කළේය.
“කොහොමද පින් අනුමෝදන් වුණාද?”
“ඔව් මහත්මයා දානය හොඳට දුන්නා. හාමුදුරුවෝ මම කරපු පින්කම් බොහෝම හොඳට විස්තර කළා. මගේ හිත පිනා ගියා. මහත්තයා මම දැන් හොඳ තැනක ඉන්නේ. මීට පස්සේ මේ වගේ අනුන්ගේ ශරීරවලට මාව ගෙන්වන්න එපා. මම දැන් හෝටලයටවත්, කෑමටවත් ආසා නැහැ. මම එදා දානෙ දවසෙ පන්සිල් සමාදන් වුණා. බණ ඇහුවා. මට දැන් මගේ ගෙදරවත්, හෝටලයවත්, සුමිත්ගෙ ඇඟේවත් ඉන්න ඕනෑ නැහැ. එහෙම ඉන්නත් බැහැ. මම හොඳ සිද්ධස්ථානයකට යන්න ඕනෑ” යි ප්‍රේතයා කීවේය.
මුදලාලිගේ පුතා ලවා සුදු නෙලුම් මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට කැලණියට යැව්වේය.
සුමිත්ටත්, හෝටලයටත් ආධ්‍යාත්මීය ආරක්ෂාව යොදවා උදේ හවස ආගමික වතාවත් කරන්නට අවශ්‍ය උපදෙස් දුන්නේය ෴
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )