ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු බවට උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු බවට උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

*********************************************

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු බවට උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

(06.10.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් හටගත්තා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමු කල අතුරු පැනයකදීයි.

******************************************

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථ දෙකක් (2) හා ගිලන් රථයක්

(06.10.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථ දෙකක් (2) හා ගිලන් රථයක් 2021 ඔක්තෝම්බර් මස 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදි පරිත්‍යාග කර තිබෙනවා.

වසංගත තත්වය හේතුවෙන් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නිලධාරීන්ට මෙම උත්සව අවස්ථාව සදහා සහභාගි වීමට අවස්ථාව ලැබුණේ නෑ.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ ගුවන් හමුදාධිපති තුමා සිය කෘතඥතාවය ද පළ කළා.

******************************************

‘ජි.එස්.පී ප්ලස්’ කොන්දේසි පිළිබඳ යුරෝපා සංගමයෙන් සිහිකැඳවීමක්

(06.10.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වගවීම් නිසි පරිදි ක්‍රියාත්මක කරලීම ශ්‍රී ලංකාවට යුරෝපීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ මූලික පදනම වන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චයිබි පවසනවා.

එහිදී අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් 2015 වසරේ සිට ලක් රජය සමග කටයුතු කරන අතර, අඛණ්ඩ සංවාදයක නිරත වීමට යුරෝපා සංගමය සූදානම්.

එමෙන්ම, ලක් රජය සමග කටයුතු කිරීම සහ අධීක්ෂණය යුරෝපීය පාර්ලිමේන්තුව සහ එහි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන වාර්තා මත පදනම් වන බවයි යුරෝපා සංගම් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යුරෝපා සංගමයේ ‘ජී.එස්.පී ප්ලස්’ තීරු බදු සහන අධීක්ෂණ කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් 27 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

ඒ ‘ජී.එස්.පී. ප්ලස්’ තීදු බදු සහනයට අදාළව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.

ශ්‍රී ලංකාව විසින් අනුමත කර ඇති අදාළ සම්මුතීන් මගින් මානව සහ කම්කරු අයිතීන්, පරිසරය සහ කාලගුණ වෙනස මෙන්ම, යහපාලන ප්‍රතිපත්තීන් ද ආවරණය කරනු ලබනවා.

දින 10 ක කාලයක් දිවයිනේ රැදී සිටි යුරෝපා සංගම් අධීක්ෂණ කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අධිකරණ අමාත්‍ය අලී සබ්රි, සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මුණ ගැසුණා.

ඊට අමතරව, ඔවුන් විපක්ෂය, මානව හිමිකම් සුරකින්නන් ඇතුළු සිවිල් සමාජය, වෘත්තීය සංගම් සහ සේවක පිරිස් ද මුණ ගැසී අදහස් විමසා තිබෙනවා.

ඔවුන් මෙරට සිටින යුරෝපා සංගමයේ රටවල තනාපතිවරුන් සහ එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනවල සමාජිකයන් ද හමු වි අදහස් හුවමාරු කර ගත් බවයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මානව හිමිකම් සහ නිතීයේ ආධිපත්‍යය, ආර්ථික, සමාජිය සහ සංස්කෘතික අයිතින් මෙන්ම කම්කරු සබඳතාවලට අදාළ කරුණු පිළිබඳව අධික්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙරට සංචාරයේ නිරත වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ, 2017 වසරේදී ශ්‍රී ලංකාවට නැවතත් ‘ජී.එස්.පී. ප්ලස්’ තීරුබදු සහනය ලබාදීමේදී එය සංශෝධනය කිරීම මූලික වගවීමක් වූ බව සිහිපත් කරමින්.

ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වල අයිතීන් සැලකූ විට වෙනසක් කොට නොතැකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛන්ඩව ක්‍රියාත්මක කිරීමෙන් මූලික නිදහසට එල්ල වන අවහිරතා මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීති කෙටුම්පත් කිරීම පිළිබඳව ද යුරෝපා සංගම් නියෝජිතයන්ගේ අවධානය යොමුවුණා.

ඖෂධ ප්‍රතිපත්තිය, පරිසරය සහ කාලගුණ වෙනස මෙන්ම දූෂණය පිළිබඳව ද ඔවුන් පැවැත්වූ සාකච්ඡාවල දී අවධානයක් යොමු වූ බව යුරෝපා සංගමය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්

(06.10.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද (06) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, නිරිතදිග ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදීත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, ඊයේ (05) පැවති අධික වර්ෂාවත් සමග ඉහළ ගිය නිල්වලා ඇතුළු ප්‍රධාන ගංඟා සහ ජලාශවල ජල මට්ටම් මේ වනවිට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 7 ක් සඳහා පනවා ඇති නායයාමේ අවදානම් නිවේදනය හෙට (07) පෙරවරු 08:30 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාළවයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

******************************************

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක්

(06.10.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සුහුරු ශ්‍රී ලංකාවක මූලාරම්භය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිපුණ වෘත්තීකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එහි එක් කාර්යභාරයක් වන්නේ ආයෝජන මණ්ඩල විධිවිධානවලට යටත්ව ‘ක්‍රිස්ටොපකරන්සි මයිනින්’ සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීමයි.

ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇතිකරලීම සඳහා ඩිජිටල් බැංකුකරණය, ‘බ්ලොක්චේන් තාක්ෂණය’ සහ ‘ක්‍රිස්ටොපකරන්සි මයිනින්’ ආදි ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අමාත්‍ය මණ්ඩල තීරණ මගින් දක්වා ඇත්තේ ෴

******************************************

NMRA නඩුව – ‘ස්වාමීනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා…නමුත් මොහු බබෙක් නෙමේ’

(06.10.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

රට තුළට ගුණාත්මක ඖෂධ ගෙන ඒම වැළැක්වීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ සමඟ රාජ්‍ය සේවකයින්, කූට ව්‍යාපාරිකයින් මෙන්ම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අද (06) අධිකරණය හමුවේ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ අද (06) යළි කැඳවු අවස්ථාවේදිය.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඇප ඉල්ලීමක් සිදුකළේය.

“ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුනා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුනා ද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් තීරණය කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ”.

කෙසේ වෙතත් සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තමන් විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසීය.

“ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50 ක්, 60 ක් මැකුනානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11 ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිපවරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද කියලා? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි. දත්ත ලේඛන ලක්ෂ 11 ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07 යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි”.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී-වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

“ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි.

ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ නිරත ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි”.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

******************************************

ගුරුවරුන් යළි මහ පාරට

(06.10.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව අද (06) ගුරු දිනය සමරන්නේ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී දින 87 ක් ගෙවෙන පසුබිමක සිටයි.

ඒ අනුව සිය වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින්-ගුරු විදුහල්පති සංගම් එක් ව අද (06) දිනයේ දීපව්‍යාප්ත උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

******************************************

අස්වැන්න විකුණාගත නොහැකිව ගොවීන් අසීරුතාවක

(06.10.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට ලබාදුන් ඉන්දීය ලොකුලූනු ප්‍රභේදයක් හේතුවෙන් තමන් අස්වැන්න විකුණාගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා.

මේ අතර පොහොර ගැටලුව, දේශීය හරිතාගාර වගාකරුවන්ට ද බලබෑම් එල්ලකරමින් සිටිනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විදෙස්ගත වන ශ්‍රමිකයින්ට කොරෝනා මර්දන එන්නත්

(06.10.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තෙවැනි (3) මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද (06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන් විමසා සිටියා.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට කොරෝනා එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මේ වනවිට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඊයේ (05) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 784 දෙනෙකු වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,22,002 ක් දක්වා ඉහළ ගියා.

එසේම, පසුගිය 04 වැනි දා සිදු වූ කොරෝනා මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05) තහවුරු කළ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,142 ක් ලෙසයි.

කෙසේ වෙතත්, මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ මරණ පහත වැටී තිබුණත්, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නො හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ දක්වා බිඳ වැටී ඇති දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමුකර කොවිඩ් පාලනය සම්බන්ධයෙන් මෙතෙක් ළඟා කරගත් සාර්ථකත්වය ආරක්ෂා කර ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 54,429 ක්.

ඒ අනුව පුද්ගලයින් 16,152 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 41,277 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

නිදන්ගත රෝගවලින් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (06) දිවයින පුරා ක්‍රියාත්මකයි.

එසේම, විදෙස් ගතවන ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *