නව කැලණි පාලම සැප්තැම්බර් මස අවසානයේ දී ජනතා අයිතියට

නව කැලණි පාලම සැප්තැම්බර් මස අවසානයේ දී ජනතා අයිතියට

*********************************************

නව කැලණි පාලම සැප්තැම්බර් මස අවසානයේ දී ජනතා අයිතියට

(19.08.2021 – 15:38 +0530 – truenews.lk)

2014 වර්ෂයේදි මූලික සැලසුම් සකස්කල ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැලණි පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය 98.5% ක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ 2021.08.19 එනම් අද (19) දින අමාත්‍යාංශයේ පැවති නව කැළණි පාලමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. මෙම රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැළණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම, පාලම ආලෝකකරණය, ආරක්ෂාව සදහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ලබාදෙන ලදී.

නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැල සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම පැල සදහා ජලය සැපයීමට භූගත ජල නල පද්ධතියක් ඉදිකරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කරන ලදී.

******************************************

සුරතලාව බේරාගැනීමට ගිය පුද්ගලයා ළිඳ ට වැටී මරුට

(19.08.2021 – 17:01 +0530 – sinhala.adaderana.lk)

දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි සුනඛයෙක් බේරාගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් එම ළිඳට ම වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44 ක් වු දෙදරු පියෙකි.

සුනඛයා ළිඳට වැටී ඇති බව දැනගත් විගස අදාළ පුද්ගලයා ඊයේ (18) සවස 6 ට පමණ කඹයක ආධාරයෙන් ළිඳට බැස තිබේ.

පසුව සුනඛයා ද සමඟ ගොඩ ට පැමිණෙමින් සිටිය දී කඹය කැඩී සුනඛයා හා එම පුද්ගලයා අඩි 30 ක පමණ ගැඹුරක් ඇති ළිඳට වැටී ඇත.

ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස අදාළ පුද්ගලයා ගොඩ ගෙන රෝහල්ගත කර ඇතැත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

ළිඳ ඉසීමට යොදාගත් මෝටරයේ එල්ලී සුනඛයා ගොඩ ට පැමිණ තිබේ.

අදාළ සිදුවීම දුටු තරුණයෙක් ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළේය.

“බල්ලා වැටුණට පස්සේ, එයා කඹ දෙකක් (2) ගෙන්නලා බැස්සා. එකක් අල්ලගෙන බැස්සේ. අනිත් එක ගැට ගහගෙන බැස්සේ. බල්ලා අරගෙන ටිකක් ගොඩට එද්දි බඩේ තිබුණ ලණුව ලිහුණා. එයාව ඇතුළට වැටුණා. එක පාරක් උඩ ඇවිල්ලා ආපහු යට ගියා. ටිකකින් යටටම ගියා ආයේ උ‍ඩ ආවේ නෑ. මාමලා කට්ටියක් ඇවිල්ලා බෙඩ් ෂීට් එකක් ඔතලා අරගත්තා.”

******************************************

19-08-2021

******************************************

19-08-2021

@@@@@ කොවිඩ් පුවත් @@@@@

සමහර ලෙඩ්ඩු අපෙන් ජීවිතේ ඉල්ලනවා… – සෞඛ්‍ය කාර්ය මණ්ඩල විඳින දුක

(19.08.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

කොතරම් දැනුවත් කළත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින බොහෝ පිරිසක් සමාජයේ ජීවත්වෙති.

ඔබේ ඒ නොසැළකිල්ල හේතුවෙන් තවත් කොට්ඨාසයක් කටුක අත්දැකීම් රැසක් සමඟ ජීවිත ගෙවන බව ඔබ දන්නවාද?

මේ එවන් පිරිසක් ගැන දුක්බර කතාවක්.

මතුගම රෝහලේ මේ කොවිඩ් වාට්ටුව සෑහෙන්න කාර්යබහුලයි.

කොවිඩ් සමඟ පොරබඳින රෝගීන්ට ජීවිත දෙන්න එහි කාර්යමණ්ඩලය දරන්නේ අප්‍රමාණ වෙහෙසකි.

මේ කාර්යමණ්ඩලය බොහෝ කලක් තිස්සේ විඳින්නේ මෙවන් අමිහිරි අත්දැකීම්.

මේ ඒ පිළිබඳ අපට පැවසු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන්.

“ගිය රාත්‍රී සේවා මුරයේ, දරුවෝ දෙන්නෙක් (2) තමන්ගේ තාත්තාව තමන්ගේ වාහනේ දාගෙන අඬාගෙන ආවා. අනේ මිස් අපිට උදව් කරන්න තාත්තට හුස්ම ගන්න බෑ … හුස්ම ගන්න බෑ කියලා. ඒ දරුවා පොසිටිව් නෙවෙයි. නමුත් තමන්ගේ තාත්තට තියෙන ආදරය නිසා ඒ දරුවා වාට්ටුව මැද්දට පැන්නා තාත්තාව ඇතුළු කරන වෙලාවේ.”

“සමහර ලෙඩ්ඩු අපෙන් ජීවිතේ ඉල්ලනවා. නමුත් අපට ජීවිතය දෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා; බැරි අවස්ථාත් තියෙනවා. ඔවුන්ට ඒක අවබෝධ කරලා දෙන එකම අපිට කටුක අත්දැකීමක් වෙලා.”

“එක රෝගියෙකුට සත්කාර දෙනකොට තවත් රෝගීන් ගණනාවක් BAD වෙනවා.”

අපිරිමිත කැපවීමකින් සිදුකරන, ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳ අදහස් දැක්වු කොවිඩ් රෝගියෙක් :

“අවම පහසුකම් යටතේ මේ රෝහලෙන් කරන කාර්ය ගැන වචනයෙන් කියන්න බෑ. ලොකු රෝහලිකින් කරන කාර්ය වගේම කාර්යයක් මේ රෝහලින් කරනවා. ඔක්සිජන් ලබාදීම ආදි සියලු පහසුකම් සපයනවා. රෝහලේ කාර්ය මණ්ඩලය කරන සේවයට අපි ගෞරවය පිරිනමනවා.”

ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැර මෙතැනට එන අයෙකුට යළි ජීවිතය දෙන්න මේ කාර්ය මණ්ඩලය දරන උත්සාහය පිටුපස ඔබට නොපෙනෙන කඳුළු කතාවක් තියෙනවා.

කඳුළු පිරි දෙනෙතින් ඔවුන් පැවසූ ඒ කටුක අත්දැකීම් ඔබේ නෙතට කඳුළක් එක් කරාවි.

“සහෝදර නිලධාරීන්ට කුඩා දරුවන් සිටිනවා. ඔවුන් එක දිගට සේවයේ යෙදිලා ඉන්නකොට දරුවෝ මෙහෙට කෝල් කරලා අහනවා අම්මා එන්නේ නැද්ද කියලා. ඉතින් ඒ වගේ මොහොතවල්වලට ඇත්තටම මටත් දෙන්න උත්තර නෑ. “

මේ අතර මතුගම දිසා රෝහලේ වෛද්‍ය අමල් මල්ලවආරච්චි මහතා පවසා සිටියේ, නිවසට ගියත් වෙනදා මෙන් ආදරණීයන් සමඟ කතා කරන්නවත් අවස්ථාවක් මේ වන විට අහිමිව ඇති බවය.

ඇතැම් විට තම වාහනයේ ම රාත්‍රිය ගෙවා දැමීමට සිදුවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් අවදානම දරාගෙන අඹු දරුවන් අමතක කොට ඔවුන් වෙහෙසෙන්නේ ඔබ වෙනුවෙනි.

ඔබ ඔබේ වගකීම් ඉටුකරනවා නම්, පරිස්සම් වනවා නම් මේ කාර්ය මණ්ඩලවලට දැනෙන වෙහෙස තරමකින් හෝ අඩුවේවි.

ඔවුන්ටත්, තමන්ගේ දරුවන් තුරුළු කරගෙන හිතේ හැටියට ඒ ආදරය සෙනෙහස විඳින්න ඉඩක් ලැබේවි.

+++++++++++++++++++

රෝහලක කොවිඩ් මළ සිරුරු ගොඩ ගැසෙයි

(19.08.2021 – 18:50 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික ව සිදුවන කොවිඩ් මරණ ගණන 170 සීමාවට පැමිණ තිබේ.

ඊයේ (18) මෙරටින් වාර්තා වු කොවිඩ් මරණ ගණන 171 කි.

එවන් තත්ත්වයක් තුළ බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ අද (19) උදෑසන කොවිඩ් මරණ 8 ක් සිදුව තිබුණි.

එම දේහයන් තැන්පත් කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමෙන් අදාළ මරණ මෝචරියේ ට්‍රොලිවල දමා තිබෙන අයුරු අප වාර්තාකරුගේ කැමරා කාචයට හසුව තිබුණි.

බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරය කුඩා වීමත් ශීතකරණ නොමැති වීමත් හේතුවෙන් මෙලෙස කොවිඩ් මළ සිරුරු තබා ගැනීමට අපහසු වී තිබේ.

කෙසේවෙතත් පසුව ඉන් මළ සිරුරු 4 ක් බණ්ඩාරවෙල, දෙමෝදර හා හල්දුම්මුල්ල යන ආදාහනාගාරවලට රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇත.

මේ අතර බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ දින තුනක (3) සිට ප්‍රතිකාර ලබමින් සිටි බදුල්ල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගෝඩුන්නේ පියතිස්ස මහානායක හිමියන් කොවිඩ් ආසාදිතව අපවත් වුහ.

උන්වහන්සේ අපවත්වන විට 74 වන වියේ පසුවිය ෴

++++++++++++++++++++

අපේ බඩගිනි නිවපු තාත්තා ට කොයිතරම් ලොකු බඩගින්නක් දැනෙනවා ඇද්ද?

(18.08.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයින් මධ්‍යම රාත්‍රියේ පවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ එළිමහනේ රැඳී සිටිමින් දැඩි පීඩාවට පත්ව සිටි ආකාරය පිළිබඳව රටට හෙළි කළ මාධ්‍යවේදිනි තිලක්ෂණී මධුවන්තිගේ පියා කොවිඩ් වයිරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ එම අනාවරණය, කළුබෝවිල රෝහලේ තත්ත්වය බලධාරීන්ගේ අවධානයට යොමු කරවීමට සමත්විය.

තමන් මෙන්ම තම මවත් කොවිඩ් ආසාදිතව සිටියදී පියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තිලක්ෂණී දින 5 කට පෙර මෙලෙස සටහනක් තබා තිබුණි.

උපුටා ගැනීම

“තාත්තා, ඔක්සිජන් සිලින්ඩරයකට ජීවිතය භාර දීලා අදට දින 11 ක්. කොවිඩ් නිවුමෝනියාව, මේ වෙද්දි තාත්තගෙ හැම ශක්තියක්ම උදුරගෙන. උසට සරිලන මහත සිරුරක් හිමි ඒ ශක්තිවන්ත මිනිසාට හුස්ම දෙන්නෙ යන්ත්‍රයක්. දියර වර්ග පමණක් ලබාගන්නා ඔහු, සති දෙකකින් කිසිදු ආහාරයක් ලබාගෙන නැහැ. අපේ බඩගිනි නිවපු තාත්තට කොයිතරම් ලොකු බඩගින්නක් දැනෙනවා ඇද්ද? සති දෙකක් නොකා ඉන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.

වචනයකට දෙකකට වඩා කතා කරන්න බැරිව, පුතේ මට මහන්සියි කියලා ෆෝන් එක තියද්දි පපුව පිච්චිලා යනවා. ඔක්සිජන් මට්ටම දවසට තුන් හතර වතාවක් වේගයෙන් අඩු වෙද්දි පපුව ගැහෙනවා. දින 11 ක් දීලත් තවමත් ඔක්සිජන් මට්ටම සාමාන්‍ය මට්ටමට ඇවිත් නැහැ. කටේ තුවාල දාලා. උගුර ඉදිමිලා. දියර වර්ගයක්වත් පානය කරන්න බැරි තරමට උගුරේ වේදනාව. අනේ මගේ අහිංසක තාත්තා කොයි තරම් වේදනාවක් විදිනවද?

අම්මාටත් මටත් කොරෝනා වෛරසය වැළඳී ඇති නිසා මේ ගෙවමින් සිටින්නෙ ජීවිතයේ දුෂ්කරම කාලයක්. මේ, සටහන ලිව්වෙ මගේ තාත්තට ඉක්මනින් සාමාන්‍ය විදිහට හුස්ම ගන්න ඔබේ ආශිර්වාදය අවශ්‍ය නිසයි. ජේ ඒ ඩී ධර්මදාස නමැති මගේ තාත්තාට ඉක්මන් සුවය පතා, ඔබ අදහන ආගමට අනූව ආශිර්වාදය ලබාදෙන්න. මා කළ පිනක් වේ නම්, ඒ පිං බලෙන් තාත්තාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා !!!.”

උපුටා ගැනීම අවසන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *