සංචරණ සීමා දැඩි නොකළහොත් ජනේරුවේ රටම මළ ගෙයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

සංචරණ සීමා දැඩි නොකළහොත් ජනේරුවේ රටම මළ ගෙයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

*********************************************

සංචරණ සීමා දැඩි නොකළහොත් ජනේරුවේ රටම මළ ගෙයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

(13.08.2021 – 11:33 +0530 – hirunews.lk/sinhala)

පවතින සංචරණ සීමා තත්ත්වයන් යටතේ රට ඉදිරියට ගියහොත් ලබන වසරේ ජනවාරි වන විට මෙරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,000 ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සති 4 ක කාලයක් සඳහා දැඩි සංචරණ සීමා පනවමින් මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට පියවර ගතහොත් මරණ සංඛ්‍යාව 12,000 කින් පමණ අඩු කර ගත හැකි බවයි.

පවතින සංචරණ සීමා යටතේ සැප්තැම්බර් මැද භාගය වනවිට මෙරටින් දිනකට ආසාදිතයන් 6000 ක් පමණ වාර්තා විය හැකි බවත් ඔක්තෝබර් මුල වන විට දෛනික මරණ සංඛ්‍යාව 220 දක්වා ඉහළ යා හැකි බවත් මෙම පුරෝකතනයන් පෙන්වා දෙනවා.

මෙම විශේෂඥ කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ඉදිරිපත් කරන වාර්තාවේ සදහන් වන්නේ ඔක්තෝබර් මුල් භාගය වනවිට දිනකට ආසාදිතයන් 275 ක් පමණ දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බවයි.

කෙසේ වෙතත් මැයි – ජූනි මාසවලදී රට තුල ක්‍රියාත්මක කෙරුණු දැඩි සංචරණ සීමා නැවත ආදේශ කරමින් රෝග ව්‍යාප්ති පාලනයකට පියවර ගතහොත් මෙම තත්ත්වය දිනකට රෝගීන් 1000 ක් දක්වා අඩු කර ගත හැකි බවට ඔවුන් විශ්වාසය පල කරනවා.

මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ එසේ වුවහොත් දිනක මරණ සහ දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර අවශ්‍යවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25 ක් පමණ දක්වා පහල වැටෙනු ඇති බවයි.

එම තත්ත්වයන් යටතේ වුවද ලබන වසරේ ජනවාරි වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිත මරණ 18,000 ක් වාර්තා විය හැකි බව මෙම විශේෂඥ කණ්ඩායම අනතුරු අඟවනවා.

ජීවිත රැක ගැනීම ප්‍රමුඛත්වයේ ලා සලකමින් වහාම ක්‍රියාත්මක විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට බලධාරීන්ට නිර්දේශ කරනවා.

ඒ යටතේ ඔවුන් මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ප්‍රමුඛතම නිර්දේශය වන්නේ තදබල සංචරණ සීමා පැන්වීමයි.

පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැන්විය යුතු බවට මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම කෙටි කාලයක් සඳහා හෝ ඇඳිරිනීතිය පැනවීමත්, සියලුම මහජන ඒකරාශී වීම් සහමුලින්ම නවතා දැමීමත්, අවම තරමෙන් රට සති තුනකට (3) හෝ වසා දැමීමත්, සෞඛ්‍ය අමාත්‍යංශයට භාර කෙරුණු විශේෂඥ වාර්තා වේ ඇති නිර්දේශ අතර ප්‍රමුඛයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමත්, මහජනතාව වඩාත් විධිමත් ක්‍රමවේදයන් හරහා දැනුවත් කිරීමත් සිදු කළ යුතු බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම විශේෂඥයින් අවධාරණය කරන්නේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුව මිය යන පුද්ගලයින් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන සමාජයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ හරහා මෙම රෝගයේ ඇති බරපතළකම පිළිබඳ සමාජයට හොඳින් ප්‍රේරණය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයට ඊයේ (12) භාර දුන් මෙම විශේෂඥ වාර්තාව සැකසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව විශේෂඥ වෛද්‍යවරුන් වන පාලිත අභයකෝන්, නිහාල් අබේසිංහ, රජීව් ද සිල්වා, ලක්මාලී ප්‍රනාන්දු, පද්මා ගුණරත්න සහ ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් දායක වී තිබෙනවා.

මීට අමතරව මහාචාර්යවරුන් වන අසිත ද සිල්වා, රජීව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනී මෙන්ඩිස්, මලික් පීරිස් සහ මංජු විජේසිංහ යන සෞඛ්‍ය විශේෂඥයින් ද මෙම වාර්තාව සැකසූ කණ්ඩායමට අයත්.

+++++++++++++++++++

ස්වයං නිද්‍රාවට පත් වන කොළඹ නගරය

(13.08.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

මේ අද (13) උදෑසන කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගමනාගමනය සහ මහජනතාව ගැවසෙන අයුරු අප කැමරා ලෙස ගැට නෙත ගැටුණු අයුරුයි.

පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍ය අංශ ඇතුළු බොහෝ පිරිසක් රජයට බළ කරමින් සිටිනවා.

කෙසේවෙතත් මෙම ඡායාරූප පෙන්වා දෙන්නේ සියල්ලට පෙර තමන් ආරක්ෂා විය යුතු යන අරමුණ පෙරදැරි කරගෙන නගර වැසියන් විසින් ම ස්වයං වාරණ පනවා ගෙන ඇති අයුරුයි.

වෙනදා බොහෝ කාර්යබහුල මං මාවත් බොහොමයක අද (13) දිනයේ රථ වාහන සහ මහජනතාවගේ කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබුණා.

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වල වළකින ලෙසට සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම කරණ ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති අයුරුයි මෙම ඡායාරූප සමීපව නිරීක්ෂණය කිරීමේ දී දක්නට ලැබෙන්නේ.

මේ අතර ඊයේ (12) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලෝක සෞඛ්‍ය සංවිධානය බාරදුන් වාර්තාවක දැක්වුණේ කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව ඉතාම අධික වේගයකින් ඉහළ යන බවයි.

මීට පෙර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යා විශේෂඥයකු වන වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ද කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යෑම වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය මාසයේ මුල් සතිය සහ අග සතියේ අතර කාලය තුළදී කොළඹ නගරයේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් 90% ට වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ආසාධිතයින් බවයි.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන අනවශ්‍ය ගමන් බිමන් සීමා කර කොළඹ නගරය මිනිසුන් විසින්ම යම් තරමකට හෝ හුදකලා කිරීම නගර වැසියන්ගේ හෙට දවසේ සෞඛ්‍යයට යහපත් පණිවිඩයක්.

+++++++++++++++++++++

(13.08.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මහරගම නගර සභාවේ ගොඩනැගිලි අංශය සහ සංවර්ධන අංශය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට, ඉංජිනේරුවරයා ඇතුළු හය දෙනකුට (6) කොරෝනා ආසාධනය වී ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂන වලදී තහවුරු වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් මහරගම නගර සභාවේ මාසික මුදල් කමිටුව ද කල් දමා ඇති බව පැවසෙනවා.

මීට පෙර ද මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු (5) ඇතුළු සේවකයින් රැසක් කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වුණා ෴

++++++++++++++++++

(13.08.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීමේ ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

අද (13) පෙරවරු 11 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.

දින 67 කට පසු ඊයේ (12) මෙරටින් ආසාදිතයන් 3000 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව පෙනී යනවා.

ඒ අනුව ඊයේ (12) ආසාදිතයින් 3039 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 46 දෙනෙකු විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින්.

ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1483 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වුණා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 591 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 455 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 437 ක් වශයෙන්.

මේ අතර, ඊයේ (12) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 3,34,020 ක් ලබාදී තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය සහ කොළඹ මහනගර සභාව මගින් කොළඹ නගරයේ සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සංවිධාන කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන් අදත් (13) ක්‍රියාත්මකයි.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පිලියමක් ලෙස කැකිරාව නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන සහ ආයතන අද (13) සහ හෙට (14) දිනවල වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

++++++++++++++++++

(13.08.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වර්ජනයත් සමග සියලු මාර්ග වල දුම්රිය ගමන්වාර සීමා වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ ප්‍රමාදයකින් යුතුව දුම්රිය ධාවන කටයුතු සිදු වන බවයි.

වර්ජනයත් සමග දුම්රිය ස්ථාන වල ප්‍රවේශපත්‍ර කවුලුද අද (13) දිනයේදී වසා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබූවේ පවතින කොරෝනා වසංගතය හමුවෙන් දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාවට රජය මගන් ප්‍රමාණවත් පරිදි නිසි පහසුකම් ලබා දී නොමැති බව පවසමින්.

සිය වර්ජනය ආරම්භ කර පැය 12 ක කාලයක් ගත වුවද මෙතෙක් සාකච්ඡාවක් ලබා දීමට හෝ බලධාරීන් පියවර ගෙන නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කලා.

වර්ජනයත් සමග කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථානවල පාලු ස්වාභාවයක් නීරීක්ෂණය වන බව අප වාර්තාකරුවන් සඳහන් කලා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(13.08.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – දියබෙදුම – ඉහකුළුවැව ප්‍රදේශයේ අමුණක් සෑදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ගම්වාසීන්ගේ විරෝධතාවය හමුවේ උතුරු මැද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා අමුණ සෑදීම තාවකාලිකව නතර කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියබෙදුම – ඉහකුළුවැව යාය 41 ප්‍රදේශයේ පිහිටි ඉහකුළුවැව ගම්මානය කෘෂි කර්මාන්තය කේන්ද්‍ර කරගත් ගම්මානයක්.

1977 වසරේ සිට ගම්මනයටම වතුර ලබා දී ඇත්තේ යෝධ ඇළේ අතුරු ඇළ මාර්ගයෙන්.

ගම්මානයේ නිවාස ආසන්නයෙන් ගලා බසින මෙම ඇළ මාර්ගය සකස් කර ඇත්තේ ගම්මානයේ අතුරු භෝගවලට, ළිං වලට මෙන්ම අවසානයේ කුඹුරුවලට ජලය ගලා යන ලෙසයි.

ඇළ මාර්ගය ගොඩවීමත් සමඟ තමන් ජල අර්බුදයකට මුහුණ දී ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ලිඛිතව අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ බව ගම්වාසීන් පවසනවා.

******************************************

(13.08.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවේයැයි විශ්වාසයක් නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ දී අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

******************************************

(13.08.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ මෙරට වැඩිහිටියන් මුහුණදුන් අභියෝග රැසක් පවතිනවා. මේ එහි තවත් පැතිකඩක්.

දින කිහිපයක සිට වයෝවෘද්ධ මව්පියවරුන් කිහිපදෙනෙකු කලුබෝවිල ශික්ෂණ රෝහලේ බංකු මත තබා පිටව ගිය පිරිස් පිළිබඳ තොරතුරු වාර්තා වන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා.

මෙලෙස වැඩිහිටියන් අසරණ කර පලා යන බොහෝ දෙනෙකු තරමක් වැදගත් සමාජ තත්ත්වයන් සහිත අය වීම ද විශේෂත්වයක්.

වයෝවෘද්ධ බව හැර කිසිදු රෝගයක් නොමැති මෙම වැඩිහිටියන් මෙලෙස අසරණ කර යාම පිළිබඳව මේ වනවිට රෝහල් බලධාරින්ගේ අවධානය යොමුව තිබෙන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

වැඩිහිටියන් බරක් නම් මහමග අසරණ නොකර ඒ පිළිබඳ වගකිව යුත්තන් දැනුවත් කරන ලෙසයි මිනිස්කම නොහඳුනන මිනිසුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ.

වැඩිහිටියන් සම්පතක් ලෙස දුටු රටක කොරෝනා වසංගතය හමුවේ වැඩිහිටියන්ට මෙලෙස සලකයි නම් සොබා දහම ඊට දක්වන ප්‍රතිචාරය කෙසේ විය හැකි ද ? ෴

******************************************

(13.08.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

දෙවැනි (2) පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගත් ඉෂාලිනී දැරියගේ දේහය ඇගේ මව්පියන් වෙත අද (13) යළි භාරදී තිබෙනවා.

මරණ පරීක්ෂණයේ වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශන වෙනුවෙන් භූමදානය කර තිබු ඇගේ දේහය යළි ගොඩ ගැණුනේ පසුගිය 30 වැනිදායි.

ඒ ඉෂාලිනි ජුඩ් දැරියගේ දේහ සම්බන්ධයෙන් දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුවයි.

ඒ අනුව දෙවැනි (2) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කළා.

විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධානත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියට හිමිවු අතර එහි සෙසු සාමාජිකයන් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ යන මහත්වරුන්.

ඉෂාලිනි ජුඩ් දැරියගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පේරාදේණිය ශික්ෂණ රෝහලේ දී පසුගිය 31 දා ආරම්භ වුණා.

අදාල පරීක්ෂණ කටයුතු අවසන විමෙන් පසු ඉෂාලිනි ජුඩ් දැරියගේ දේහය අද (13) ඇගේ මව්පියන් වෙත යළි භාරදිමට නියමිතයි.

******************************************

(13.08.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

සියලුම පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්ෂණ කමිටු පිහිටුවීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

රට තුල වැඩි වශයෙන් සිදුවන ළමා හා කාන්තා හිංසනය අවම කිරීමේ අරමුණ ඇතුවයි මෙම කමිටු පිහිටුවීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව, ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා.

පසුගිය මාස 6 ක කාලය තුල ළමා අපයෝජන, අඩත්තේට්ටම්, හිංසනයට අදාළ පැමිණිලි 4700 කට වැඩි ප්‍රමාණයක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව, කාන්තා හා ළමා හිංසනය අවම කිරීම සඳහා මෙම කමිටු මසක කාලයක් තුල පිහිටුවා වාර්තාවක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *