හමුදා නායකයින් 57 ක් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වෙයිද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

හමුදා නායකයින් 57 ක් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වෙයිද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

*********************************************

හමුදා නායකයින් 57 ක් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වෙයිද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(17.05.2021 – 09:36 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට බරපතල යුධ අපරාධ චෝදනා එල්ල කරමින් 2011 දී නිකුත් කෙරුණු දරුස්මාන් වාර්තාවේ එක් කතුවරයෙකු වන ‘යස්මින් සුකා’ නැමැත්තිය තමා විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා බරපතල ක්‍රියාන්විතයක් දියත් කොට ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය ඒ පිළිබඳව අවධානයකින් පසුවනවාද යන්න සැක සහිතය. ඇය විසින් නායකත්වය දරණ දකුණු අප්‍රිකාව පදනම්කරගෙන ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (I.T.J.P) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය දෙමළ ඩයස්පෝරාව විසින් නඩත්තු කරන සංවිධානයක් බව ප්‍රසිද්ධ කරුණකි.

එම සංවිධානයේ වෙබ් අඩවියක් වන [ https://itjpsl.com/ ] මඟින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව යුධ අපරාධ චෝදනා විධිමත්ව ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විස්තරාත්මක උපදෙස් සහ තොරතුරු ඉදිරිපත් කොට ඇත. පසුගිය මාර්තු මාසයේදී පැවැත් වූ ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේ 46 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 46/1 යෝජනාව මඟින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට මේ වන විට එල්ල කොට ඇති යුධ අපරාධ චෝදනා වලට අදාළ සාක්ෂි විධිමත්ව ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා නිර්දේශ කොට ඇත.

එම යෝජනාවලියේ 6 වැනි වගනතිය අනුව මෙම යාන්ත්‍රණය මඟින් 2015 දී මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව හරහා ඉදිරිපත් කළ මූලික යුධ අපරාධ චෝදනා 8 කට අදාළව දැනට පවතින සියළු තොරතුරු සහ සාක්ෂි එකතුකොට ඒවා, විශ්ලේෂණය කොට විධිමත්ව පෙළගස්වා ආරක්ෂා කළ යුතුය. එහි මූලික අරමුණ ලෙස දැක්වෙන්නේ සාමාජික රටවල් ඇතුළු ලෝකයේ ඕනෑම රටකදී අධිකරණමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම සඳහා වින්දිතයින්ට උපදෙස්දීම සහ සහය වීමය. එසේ සාක්ෂි එකතුකොට ශ්‍රී ලංකාවේ තෝරාගත් ආරක්ෂක හමුදා නායකයින් පිරිසකට විදේශ රටවලදී නඩුපැවරීමේ ක්‍රියාවලියට අදාළ මෙම යාන්ත්‍රණයේ කටයුතු සඳහා ඇ. ඩොලර් මිලියන 2.8 ක් වෙන්කොට ඇත.

එසේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව යුධ අපරාධ චෝදනා නිර්මාණයකොට ඊට අදාළව ගොතන ලද සාක්ෂි එකතු කිරීම ආරම්භ කරනු ලැබුවේ දරුස්මාන් කමිටුව විසින් 2010 දී සිටය. එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීම දිරිගැන්වීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා නිශ්චිත ආකෘතියක් හඳුන්වා දී ඊට අනුව සාක්ෂි ඉදිරිපත්කරන ලෙසට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්කරනු ලැබීය. එසේ ඉදිරිපත් වූ ඊනියා සාක්ෂි පිළිබඳව හරස් ප්‍රශ්ණ ඇසීමක් සිදු නොවූ අතර ඒවා ඒකපාර්ශවීයව පිළිගනු ලැබීය. ඒ අතර එම සාක්ෂි කරුවන්ගේ අනන්‍යතාවය වසර 30 ක් යනතුරු එළිදරව් නොකළ යුතු බවටද දරුස්මාන් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබීය. දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කි මුන් මහතාට බාරදීමෙන් පසුව එය නිළ ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්විය. එහෙත් දරුස්මාන් කමිටුව පිහිටුවීම සඳහා මහ ලේකම්ට බලයක් නොමැති බවට තර්ක ඉදිරිපත් වූ විට ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ එසේ වාර්තාවක් ලබාගන්නේ තමාගේ දැනුවත් වීම සඳහා පමණක් බවය. නමුත් එම කමිටුව පිහිටුවනු ලැබුවේ යුධ අපරාධ චෝදනා සහ ඊට අදාළ සාක්ෂි එකතුකිරීම සඳහා බව දැන් ඉතා පැහැදිළිය.

දරුස්මාන් වාර්තාව නිකුත් කිරීමෙන් පසුව එහි කතුවරියක වූ යස්මින් සුකා විසින් ආචාර ධර්ම සහ පටිපාටි වලට විරුද්ධව තම සංවිධානය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ තමා සතුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයින් 57 දෙනෙකුට එරෙහිව විශ්වාසනීය සාක්ෂි තිබෙන බවය. ඒ අනුව සමස්ථ ක්‍රියාවලයේ අරමුණ ඉතා හොඳින් පැහැදිළි වේ. කෙසේ වෙතත්ඒ ආකාරයට ගොතන ලද සාක්ෂි කොතෙක් එකතු කළ ද ඒවාට විශ්වාසනීයත්වය සහ නිළ භාවය ලබාදීම අවශ්‍ය වේ. එනම් ඒවා භාවිතාකොට ශ්‍රී ලංකාවේදී සහ ජාත්‍යන්තර රටවලදී අධිකරණමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම, සඳහා පදනම සකස් කළ යුතු වේ. ඒ සඳහා යස්මින් සුකා ප්‍රමුඛ බෙදුම්වාදී කඳවුරේ උපදේශකයින් විසින් තෝරාගත් යාන්ත්‍රණය වූයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ අධිකරණමය බලය සහිත කොමිසමක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව පිහිටුවීමය. ඒ අනුව 2015 සැප්තැම්බර් මස සම්මත කළ 30/1 යෝජනාවලිය මඟින් එම තීන්දුව ශ්‍රී ලංකාවේ රාජ්‍යය මත පටවනු ලැබීය. එසේ පිහිටවනු ලැබූ අර්ධ අධිකරණ බලය සහිත අතරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට සාක්ෂි ආඥා පනත අදාළ නොවේ. ඒ අනුව ඉදිරිපත් වන ඊනියා සාක්ෂි පිළිබඳව හරස් ප්‍රශ්ණ ඇසීම මඟින් ඒවා තහවුරු කිරීම අවශ්‍ය නොවේ.

එම ක්‍රියාවලියේ මූලික අරමුණ වූයේ දරුස්මාන් කමිටුව මඟින් එකතු කළ යුධ අපරාධ පිළිබඳ තොරතුරු සහ ඊට අදාළ සාක්ෂි වලට නිළ මුද්‍රාව තැබීමය. ඒ අනුව එම කාර්යාලය චෝදනා කර්මාන්තශාලාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. පසුගිය රජය විසින් එම පනත සම්මත කිරීමේදී ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැනි සංවිධාන විසින් බලවත් විරෝධයක් පළකරනු ලැබීය. නමුත් පාර්ලිමේන්තුව තුළ පවා බලහත්කාරය යොදා ගනිමින් එම පනත සම්මත කරනු ලැබීය. එසේ වුවත් ඉන්පසුව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ජාතික සංවිධාන විසින් කරනු ලැබූ මැදිහත්වීම් නිසා එම පනත ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොරොන්දුවක් ලබා දෙන ලදී. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කරන එම පාප කර්මයට දායක වී ජාතියේ ශාපය තම හිස මතට පතිතකර නොගන්නා ලෙස අප විසින් කරනු ලැබූ ඉල්ලීමට එතුමා විසින් ඉතා හැඟීම්බරව ප්‍රතිචාර දක්වනු ලැබීය. ඒ අනුව අදාළ කාර්යාලය මංගල සමරවීර මහතා යටතේ ගැසට් කර ගැනීමට ඉඩ ලබානොදී එය තමා යටතේ ගැසට් කරගැනීමෙන් අනතුරුව ඊට අරමුදල් නිදහස් කිරීමේ ක්‍රියාවලිය අඩාල කොට සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට යාම වළක්වන බවට එතුමා සහතික විය. එම තත්වය තුළ යස්මින් සුකාලාගේ උපාය මාර්ගය අවුල්වන බව ඉතා පැහැදිළිය.

නමුත් වෙනත් ක්‍රමවේද මඟින් එනම් පරිපාලන ක්‍රියාමාර්ග මඟින් තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසකට දඬුවම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය පෙළඹවීමට ඔවුන් සමත් විය. දැන් වර්තමාන රජය 30/1 යෝජනාවෙන් ඉවත්වීම තුළ තවදුරටත් එම යෝජනාව මත පදනම්ව අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මඟින් ඔවුන්ගේ අරමුණු ඉටුකරගත නොහැකි බව ඉතා පැහැදිළිය. මෙවර 46/1 යෝජනාව මඟින් ඉහත සඳහන් කළ ජාත්‍යන්තර යාන්ත්‍රණය පිහිටවන්නේ එවැනි තත්වයක් තුළය. එම යෝජනාව සම්මත වූ සැණින් ඊට මුදල් වෙන් කරනු ලැබීම තුළින් පැහැදිළි වන්නේ ඔවුන් විසින් ඊට ලබාදී ඇති ප්‍රමුඛතාවයි. කෙසේ වෙතත් එම යාන්ත්‍රණය මඟින් සාක්ෂි ගොනු කිරීම සහ ඒවා යොදා ගනිමින් ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සඳහා එම නිළ අරමුදල් වලට අමතරව දෙමළ ඩයස්පෝරාව විසින් ද විශාල වශයෙන් මුදල් පොම්ප කරන බවට සැකයක් නැත.

ඒ අනුව දැන් යස්මින් සුකා සූදානම් වන්නේ අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඇය අත තිබෙන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන් 57 දෙනෙකුට එරෙහිව ගොණු කළ තොරතුරු සහ සාක්ෂි මෙම ජාතයන්තර යාන්ත්‍රණයට ඉදිරිපත් කරන බව ඉතා පැහැදිලිය. එහෙත් විදේශ අමාත්‍යාංශයේ සිටින මඟ සොයාගත නොහැකි ‘පාත්ෆයින්ඩර්’ උපදේශකයින්ට යස්මින් සුකා ප්‍රමුඛ දෙමළ ඩයස්පෝරාවේ උපායමාර්ගයට එරෙහිව ප්‍රති උපාය මාර්ග තෝරනවාද යන්න සැක සහිතය. පවතින තත්වයේ භයානක කම තේරුම් ගැනීම සඳහා කළ යුත්තේ එක් දෙයක් පමණි. ඒ පැය 2 – 3 ක් වැය කොට යස්මින් සුකාගේ වෙබ් අඩවියේ ගොණු කොට ඇති පිටු 500 කට ආසන්න සමස්ථ ලේඛන පද්ධතිය අධ්‍යයනය කිරීමය. ඒ සඳහා නීති විශාරදයෙකු වීම අවශ්‍ය නොවේ. හිටපු නාවික හමුදා නිලධාරියෙකු වීම පමණක් ප්‍රමාණවත් වේ.

යස්මින් සුකාලාගේ උපායමාර්ගය අනුව එම ක්‍රියාවලිය විශ්වාසනීය සාක්ෂි එකතුකොට ආරක්ෂා කිරීම බව මතුපිටින් ප්‍රකාශ වුවද එහි සැබෑ අරමුණ දැනටමත් එකතුකොට ඇති ව්‍යාජ සහ ගොතන ලද සාක්ෂි වලට එනම් විශ්වාසනීයත්වයක් නොමැති සාක්ෂි වලට නිල වශයෙන් විශ්වාසනීයත්වය ලබා දීම බව ඉතා හොඳින් පැහැදිලිවේ. එහි මූලික අරමුණ වින්දිතයින් සහ ඔවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමග එක්ව කටයුතු කිරීම සහ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට සහාය වීම බව විවෘතවම ප්‍රකාශ වේ. ඒ අනුව විස්තරාත්මක මූලික අරමණු 5 ක් සහ ඊට අදාල උපාංග පද්ධතියක් ඇය විසින් හඳුන්වා දී ඇත. පළමුවැන්න යුද අපරාධ පිළිබඳ පුද්ගලයන්ට හෙවත් ආරක්ෂක හමුදා නිලධාරීන්ට පුද්ගලිකව සහ සමස්ථ හමුදා වලට පද්ධතියක් ලෙස එල්ලවී ඇති චෝදනා වලට අදාලව විස්තීර්ණ හෙවත් මහා පින්තූරය විධිමත්ව සළකුණු කිරීමයි. දෙවැන්න සාක්ෂි ආරක්ෂිතව ගබඩා කිරීමය. තුන්වැන්න ඒවා විශ්ලේෂණය කිරීමය. එනම් පිළිවෙලට පෙළ ගස්වා නැවත පරීක්ෂාකොට අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය ලෙස විධිමත්ව සකස් කිරීමය. හතරවැන්න වින්දිතයන් වෙනුවෙන් සෘජුව පෙනී සිටින පාර්ශව සහ ක්‍රියාකාරීව ඊට දායක වන සිවිල් සංවිධානවල ධාරිතාව වර්ධනය කිරීමය. පස්වැන්න මාස දොළහක කාලයක් තුළ සාක්ෂි ගොණු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය පිළිබඳ ජාත්‍යන්තර අවධානය පවත්වාගෙන යාමය. ඊට අමතරව 46/1 යෝජනාවේ 16 වැනි වගන්තිය අනුව මෙම සමස්ථ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ වගකීම මානව හිමිකම් කාර්යාලයට පවරා ඇත.

යස්මින් සුකා විසින් හෙළිදරව් කොට ඇති උපාය මාර්ගය අනුව මෙම ජාත්‍යන්තර යාන්ත්‍රණය අභිචෝදක හෙවත් චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන්නාගේ භූමිකාව හෝ අධිකරණයක භූමිකාව ඉටු කරන්නේ නැත. ඒ මගින් එම යාන්ත්‍රණයට අපක්ෂපාතී සහ යුක්තිසහගත බව ආරෝපණය කෙරෙන බව ඉතා පැහැදිලිය. නමුත් ඉතා පැහැදිලිව සඳහන්වන ආකාරයට මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ වන්නේ ජාතික වශයෙන් , කලාපීය වශයෙන් හෝ වඩා පුළුල් ලෙස ඕනෑම රටක් තුළ ජාත්‍යන්තර අධිකරණ බලය අනුව ආරම්භ කෙරෙන අධිකරණ ක්‍රියාවලියට සහ අනාගතයේ පිහිටුවිය හැකි ජාත්‍යන්තර අධිකරණයකට සහාය වීමය. ඒ අනුව මෙම ජාතයන්තර යාන්ත්‍රණය අන්තර්කාලීන ක්‍රියාවලියක් මිස ආරම්භයක් හෝ අවසානයක් නොවේ. එසේ ගොනුකොට ආරක්ෂා කරනු ලබන යුද අපරාධ සාක්ෂි ප්‍රසිද්ධියට පත් නොකෙරෙන නමුත් ඒවා වින්දිතයන්ට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලට ලබා ගත හැක. ඒ අනුව එම පුද්ගලයින් සහ සංවිධාන විසින් තෝරා ගන්නා ඕනෑම රටකදී ශ්‍රී ලංකාවේ හමුදා නායකයින් 57 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමේ අවස්ථාව නිර්මාණයවේ. යස්මින් සුකාගේ වාර්තාවලට අනුව එම ප්‍රමාණය 57 ක් වුවද ක්‍රියාවලිය ඉදිරියට යාමේදී සිවිල් නිලධාරීන්ද ඊට ඇතුල් විය හැක.

උදාහරණයක් ලෙස යස්මින් සුකාගේ වාර්තාවලට අනුව 2018 දී ඇමෙරිකාවේ සිවිල් අධිකරණයකදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වරයා ලෙස ඉටු කළ භූමිකාවට එරෙහිව පැවරූ නඩුවක් අවසානයේදී නිශ්ප්‍රභා වන්නේ එතුමාට ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ලැබුණු මුක්තිය නිසාය. නමුත් ඇය සඳහන් කරන්නේ එතුමා ධූරය නොදරන අවස්ථාවක නැවත එම නඩුව නැවත පැවරිය හැකි බවය. ඊට අමතරව ඇය ඉතා පසුතැවීමකින් සඳහන් කරන්නේ බ්‍රසීලයේ තානාපතිව සිටි ජෙනරාල් ජගත් ඩයස් මහතාට එරෙහිව එරට අධිකරණයකට ඉදිරිපත්වූ යුද අපරාධ චෝදනා වලට අනුව ඔහුව අත්අඩංගුවට ගත නොහැකි වූයේ තම වරදක් නිසා බවය. එනම් එසේ නඩු පවරා අධිකරණ ක්‍රියාවලිය ආරම්භවන කාලය අතරතුර මහජන විරෝධතා මගින් අවධානය පවත්වාගනු ලැබුවේ නම් ඔහුට පැන යාමට නොහැකි බවය. එම ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ අනාගතයේදී ඇය විසින් චූදිතයින් බවට පත් කොට ඇති නායකයින් 57 දෙනාට අදාලව නඩු පැවරීමේදී ජාත්‍යන්තර මට්ටමේ බලවත් දේශපාලන සහ මහජන ක්‍රියාන්විතයක්ද යොදා ගන්නා බවය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී අදාළ රටේ නීතිමය රාමු සහ එම රටවල් විසින් අත්සන්කොට ඇති ජාත්‍යන්තර ගිවිසුම් වල ප්‍රතිපාදන අනුව කටයුතු කළයුතු වේ. උදාහරණ ලෙස ක්‍රියාවලි ත්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසිය යටතේ නඩු පැවරීමය. ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට අත්පත් කර දීමට නියමිතව තිබුනේ එම ඉරණමය. ඒ අනුව චෝදනා එල්ල වන හමුදා නායකයෙකු එම රටේ සංචාරය කරන අවස්ථාවක හෝ යම් නිළ හෝ නිළ නොවන කටයුත්තකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. දෙවැන්න චූදිතයා නොමැතිව නඩුව පවත්වාගෙන යන අතර තුර චූදිතයා ඉදිරිපත් කරන ලෙස හෙවත් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් හෝ එම නිලධාරියා ඒ වන විට ජීවත් වන රටෙන් ඉල්ලා සිටීමය. තුන්වැන්න චූදිතයා නොමැතිව තීන්දුව ලබා දී වැරදි කරුවෙකු කිරීමෙන් පසුව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීම හෝ අදාල දඬුවම ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමය. මෙම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා පසුගිය රජය විසින් පිටුවහල් කිරීමට අදාළ පනත් 02 ක් සංශෝධනය කරනු ලැබීය. ඊට අමතරව ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත් ශ්‍රී ලංකාවේ හමුදා නායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති රටක් රෝම ප්‍රඥප්තිය අත්සන් කොට ඇත්නම් ඔහුව ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීමේ හැකියාව ඇත.

ඊට අමතරව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට අනුව සහ එම ප්‍රඥාප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය රජය විසින් සම්මත කළ නීතිය අනුව චූදිත හමුදා නායකයින්ට එරෙහිව ශ්‍රී ලංකාවේදී පවා නඩු පැවරිය හැක. එම පනත මඟින් අදාළ ප්‍රඥාප්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට අමතරව ඊට අදාළ යුධ අපරාධ පිළිබඳව නඩු පැවරීම සඳහා මහාධිකරණයක්ද පිහිටුවා ඇත. ඒ සියල්ලට අමතරව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ නඩු පැවරීමට භාජනය වන චූදිත හමුදා නායකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වීසා නිකුත් කිරීම අත්හිටුවීම සහ ඔවුන් සතුව යම් දේපළක් යම් රටක තිබේ නම් ඒවා අත්හිටුවීමේ හැකියාවද ඇත. මේ සමස්ථ ක්‍රියාවලිය පසුගිය මාර්තු මස සිට මාස 12 ක කාලයකට පසුව ආරම්භ වන බව සමස්ථ උපාය මාර්ගික සැලසුම අධ්‍යනය කිරීමේදී පැහැදිළි වේ. මේ සියල්ලේ අවසාන අරමුණ අරමුණ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමස්ථයක් ලෙස දුර්මුඛ කිරීම සහ දුර්වල කිරීම බව වටහා ගැනීම අමාරු නැත. එම උවමනාව බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව එහි අවසාන සැතපුමේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් කැඳවා ගැනීම සඳහා ආරම්භ කරනු ලබන ගැටුම් වලදී ආරක්ෂක හමුදා සක්‍රීයව මැදිහත් වීම වැළැක්වීමේ උවමනාව සමග බැඳී තිබෙන බව බව ඉතා පැහැදිළිය. එසේ වුවත් යුධ ජයග්‍රහණයට නායකත්වය ලබාදුන් හමුදා සහ සිවිල් නිලධාරීන්ගෙන් පළිගැනීමේ දුෂ්ඨ අරමුණද ඒ තුළ තිබෙන බවට විවාදයක් නැත.

මෙම තත්වය යටතේ ආණ්ඩුවේ සහ සමස්ථයක් ලෙස රජයේ මෙන්ම ආරක්ෂක අංශවල වගකීම කුමක්ද? පළමු වගකීම වන්නේ මෙම මහා ජාත‍්‍යන්තර කුමන්ත්‍රණයට මුහුණදීමේ වගකීම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ට පමණක් බාරදීම වෙනුවට ඒ සඳහා බහුපාර්ශවීය කාර්ය සාධක බලකායක් මඟින් ක්‍රියාන්විතයක් දියත් කිරීමය. මේ වන විට ශ්‍රී ලංකාවේ රජය විසින් තෝරන ලද උපාය මාර්ගික ප්‍රවේශයේ වරදක් නැත. එහි ඇත්තේ අඩුපාඩුවක් පමණි. එනම් 30/1 යෝජනාවේ සම අනුග්‍රහයෙන් ඉවත් වීම සහ 46/1 යෝජනාවට විරුද්ධ වීම මෙන්ම මහකොමසාරිස් වාර්තාව ප්‍රතික්ෂේප කිරීම ඉතා නිවැරදි සහ තර්කානුකූල වේ. එසේම යම් පාර්ශව විසින් ඇටවූ ‘ප්‍රතියෝජන’ මර උගුලට පය නොතැබීම එනම් ශ්‍රී ලංකාවේ රජය විසින් සියළු පාර්ශව වල එකඟතාවයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා සිදුකළ පෙළඹවීම් වලට යටත් නොවීමද ප්‍රබල ජයග්‍රහණයකි. නමුත් ඒ සියල්ල එසේ තිබියදී ඉහත සඳහන් කළ ක්‍රියාවලිය එනම් තෝරාගත් ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගමන්කරනු ඇත. ඒ අනුව ආරක්ෂාකාරී ප්‍රවේශයක් අනුගමනය කරමින් සිදු වන්නේ කුමක්දැයි බලාසිටීම ඉතා බරපතල වරදකි.

දැන් කළයුත්තේ වහාම ප්‍රහාරාත්මක ප්‍රවේශයකට මාරු වී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා යුධ අපරාධ සිදු නොකළ බව තහවුරු කිරීම සඳහා නීතිමය සහ කරුණුමය සාක්ෂි නිළ වශයෙන් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටීමය. එසේම ඒ සඳහා ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කරන රටවල සහය ඉල්ලා සිටීමය. ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා මේ වන විටත් සකස් කොට ඇති විදේශීය විශේෂඥ වාර්තා මෙන්ම ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සකස් කළ ‘විත්තිවාචිකය’ නම් වූ ලියවිල්ලද භාවිතා කළ හැක. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශ සහ සාක්ෂි ද ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව ඇත. එසේ රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම, එනම් චෝදනාවක් එල්ල වූ විට පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ලබා ගැනීම රජයේ මූලික වගකීමකි. එසේ නොකිරීම මඟින් රණවිරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බව පිළිගැනීමට සිදු වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

******************************************

******************************************

නවසීලන්තයේ කිරිපිටි ආනයනය කොට විකුණන සමාගමක් කල් ඉකුත්වූ කිරි පිටි දියකර දියර කිරි නිපදවා විකිණීමේ උත්සාහයක!

(17.05.2021 – 10:57 +0530 – lankaleadnews.com)

පසුගිය කාලයේදී නවසීලන්තයෙන් ආනයනික කිරි පිටි වල පාම් තෙල් ඇතුළු මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍යය අඩංගු බව හෙළිදරව් වීම නිසා ඒවාට ඇති ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් පහත බැසීම සිදුවිය. මේ හේතුව නිසා එම කිරිපිටි තොග බොහොමයක් කල් ඉකුත්වී ඇති බව වාර්තාවේ. මෙම තොග අතරින් මිනිස් පරිභෝජනයට කෙසේ වත් සුදුසු නොවන එම කල් ඉකුත්වූ තොග සත්ව ආහාර වලට විකුණා ඇති බව වාර්තා වන අතර කල් ඉකුත්වීමට ඔන්න මෙන්න තිබෙන හෝ කල් ඉකුත්වීම ඉතාම මෑතකදී සිදුවූ තොග ‘දියර කිරි’ බවට පත් කර විකිණීමේ ජාවාරමකට කැස කවමින් සිටින බව වාර්තා වේ ෴

******************************************

මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බව දේශනා කළ හිමිනම ‘දෙව්දත්ලා’ පස්දෙනෙකු විසින් පහරකා ඝාතනය වෙයි

(17.05.2021 – colombotoday.com)

පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරි හිමිනම පෙරේදා (16)දින අපවත් වී තිබේ.

විහාරස්ථානය අසල ඇළේ මාළු අල්ලමින් සිටි තරුණයකු හට මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බවට උන්වහන්සේ පවසා තිබිණි.

හිමිනමගේ උපදෙස් වලින් කෝපයට පත් මෙම තරුණයා තවත් තරුණයන් සිව්දෙනකු (4) සමඟ විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට පහරදී ඇති අතර පහරකෑම්වලට ලක්වූ ස්වාමීන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තිදෙනකු (3) අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කරයි ෴

******************************************

(17.05.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

අදින් ඇරඹෙන ලෝක රිය අනතුරු නිවාරණ සතියට සමගාමීව රථ වාහන වැරදි සහ රිය අනතුරු පිළිබද මහජන තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට පොලීසිය අද(17) පියවර ගත්තා.

ඒ අනුව ‘ඊ-ට්‍රැෆික් පොලිස් ශ්‍රී ලංකා’ නම් ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට කිසිදු මුදලක් අය නොවන පරිදි රථ වාහන වැරදි මෙන්ම රිය අනතුරු පිළිබද තොරතුරු පොලීසියට දැනුම් දීම සඳහා පහසුකම් සැලසෙනු ඇති.

මෙම උත්සවය අද (17) පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදීයි.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අනුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවු වාර්තාව අද (17) ලැබීමට නියමිත බවයි.

එමෙන්ම එහිදී අමාත්‍යවරයා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසට කථානායකවරයා කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ බන්ධනාගාරගතව සිටින සැකාර මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදීමෙන් විමර්ශනවලට බාධා සිදුවීමේ තර්ජනයක් පවතින බවයි ෴

******************************************

(17.05.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ විවෘත කෙරුණු ජලාශවල වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර ප්‍රකාශ කළේ දැදුරුඔය ජලාශයේ පමණක් තවමත් වාන් දොරටු 2 ක් විවෘතව පවතින බවයි.

එහි ජල මට්ටම ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා ෴

@@@@@@@@@@@@@@@

ලක්සල සහ සළුසල ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදනයෙන් මිය යයි!

(17.05.2021 – 11:54 +0530 – lankaleadnews.com)

ලක්සල සහ සළුසල ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි. එසේම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙසද කටයුතු කළ අයෙකි. යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කර ඇත ෴

++++++++++++++++++++++++

කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්… සැබෑ දත්ත සැගවීමේ වරදට සුදත් සමරවීරට විනය පරීක්‍ෂණ කරන්නැයි කියයි..

(17.05.2021 – 10:00 +0530 – lankacnews.com)

අද වන විට රට තුළ කොරෝනා පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි.

කොරොනා පළමු රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛණ සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා තම වගකීම නිසි ලෙස ඉටු කළා නම් තුන්වෙනි රැල්ලක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

අප්‍රේල් මාසයේ අළුත් අවුරුද්දට පෙර පවතින තත්ත්වය නිවැරදි සංඛ්‍යාලේඛන බලධාරීන්ට ලබා දුන්නානම් තුන්වන රැල්ල සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගැනීමේ හැකියාව පැවතුන බව ද ඔහු පවසයි.

අද වන විට රට මුහුණ පා ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම වසංගත රෝග ප්‍රධානියා විසින් බාර ගත යුතු බවත් ඔහු සම්බන්ධයෙන් වහාම දැඩි විමර්ශනයක් කර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලේකම්වරයා කියා සිටී.

මෙම පවතින තත්වය තව දුරටත් පැවතුනහොත් එහි අනිටු ප්‍රතිඵල රජයටත් ජනතාවටත් ඒ ආකාරයෙන්ම අත්විඳීමට සිදුවනු ඇති බවද වෛද්‍ය සෙනාල් මහතා තවදුරටත් කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.