කරුණාට මුවා වී අමතක කරන යුද්ධයේ තිත්ත ඇත්ත

(25.06.2020 – 11:59 +0530 – lankaleadnews.com)

කරුණා අම්මාන් විසින් මැතිවරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය නිහඬ ඇයි දැයි එල්.ටී.ටී.ඊ. හිතවාදීහු , එජාපයේ බෙදුණු කොටස් සහ ජවිපෙ සහෝදරවරු මාධ්‍යය හා සමාජ ජාලා තුළ ප්‍රශ්න කරති.

උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල ඇසෙන ගැලරිය පිනවන කතා අතර කරුණාගේ කතාව තවත් එක තකතීරු ප්‍රකාශයකි. එල්ටීටීඊය වෙනුවෙන් අලිමංකඩ ප්‍රහාරය මෙහෙයවනු ලැබූ කණ්ඩායමේ කරුණා එක් සාමාජිකයකු පමණක් වන අතර ඔහුට ඉහළින් සෘජුවම ප්‍රභාකරන්ගේ මැදිහත් වීම, බාල්රාජ්, තිලයිපලෙම් සහ සිවනේසන් සිටියහ. සංඛ්‍යා ලේඛන අනුව නම් 2000 අප්‍රේල් මස 22 එල්ල වූ අලිමංකඩ දෙවන ප්‍රහාරයෙන් සමස්ත මුල් දිනයේදී හමුදා සෙබළුන් 205 ක් ද පසුව යාපනය අර්ධද්වීපය දක්වා ඇවිළුනු සටනේදී තවත් සෙබළුන් හයසීයකට වඩා දිවි පුදකළහ. සෑම රණවිරුවකුගෙම පණ නල මහා පොළවට වටිනාකමක් එක් කරන අතර කිඹුල් කඳුළු හෙළන්නන්ගේ පාවා දීම් කරුණාගේ පුරාජේරුව තුළින් වසන් කළ නොහැක.

අලිමංකඩ ප්‍රහරය ගැන කත කරන ඉහත කී පිරිස් අමතක කරන කරුණක් වන්නේ රණවිරු ජීවිත නිරපරාදේ විනාශ මුඛයට ඇද දැමූ එවකට පැවති දේශපාලන නායකත්වයයි. A9 මාර්ගය ඔස්සේ යාපනය අර්ධද්වීපයට ප්‍රවිෂ්ටවීමේදී අලිමංකඩ යුද මූලෝපායික වශයෙන් තීරණාත්මක මර්මස්ථානයකි. ප්‍රභාකරන් විසින් අලිමංකඩ කඳවුරේ සැපයුම් මාර්ග අවහිර කර සෙබළුන් දුර්වල කළ විට, එවකට සන්නද්ධ සේනාවල සේනාධිනායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග අලිමංකඩ අතහැර යන ලෙස හමුදාවට අණ දුන්නාය. ලංකා ඊළාම් යුද ඉතිහාසයේ බරපතළම යටත්වීම සටහන් වන්නේ එවැනි නිවට දේශපාලන නායකත්වයක් යටතේය. අලිමංකඩ ජීවිත හානියට දෙවන නොවන පරිදි හමුදාව සතු මිලිමීටර 152 දිගු දුර ආටිලරි ප්‍රහාරක යන්ත්‍ර තුනක්, මිලි මීටර 122 න් දෙකක් මිලිමීටර 120 මෝටාර් ප්‍රහාරක උපකරණ 12 ක් ඇතුළු බැර අවි සහ මූනීස්සම් එල්ටීටීඊය යටතට පත්විය. අවුරුදු ගණානවක් පුරාවට එල්ටීටීඊය අපට ප්‍රහාර එල්ල කළේ අපෙන් පැහැර ගත් එම ආයුධවලිනි. යුරෝපයේ දෙමළ ඩයස්පෝරාවට වඩා චන්ද්‍රිකා ආණ්ඩුව එල්ටීටීඊයට ආයුධ සන්න්ද්ධ වීමට ඉඩ ලබා දුන්නේ ඒ ආකාරයෙනි.

රණවිරුවා ගැන විස්සෝපයට පත් සමගි ජන බලවේගය, අහිංසක සිංහල මිනිසුන් ඝාතනය කිරීමට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා කොටි සංවිධානයට ආයුධ ලබාදීම පහසුවෙන් අමතක කර තිබේ. එවකට ආරක්ෂක ලේකම් සේපාල ආටිගල ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදෙස් මත පතොරම්, ආර්. පී. ජී. සහ රයිෆල් තුවක්කු දහස් ගණනක් එවකට වැලිඔය සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා වූ කර්නල් T.M. බෝහාරාන් මගින් එල්ටීටීඊයට භාර දෙනු ලැබුණි. රනිල් වික්‍රමසිංහ ද සාමාජිකයකු වූ ජනාධිපතිවරයාගේ සාම සාකච්ඡා කණ්ඩායමේ උපදෙස් මත ජෙනරල් සේපාල ආටිගල සහා ජෙනරල් සිරිල් රණතුංග වැලිඔය ප්‍රදේශයේ සිංහල ජනයාට එල්ලවන කොටි ප්‍රහාර ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස උපදෙස් ලබා දුන් බව කර්නල් බොහාරාන් තහවුරු කරයි. එපමණක් නොව එල්ටීටීය විසින් විදේශ රටවලින් ගෙන්වන ලද සන්නිවේදන උපකරණ නිෂ්කාශනය කරනු ලැබූයේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයයි. සාම සාකච්ඡා සඳහා පැමිණි ඇන්ටන් බාලසිංහම්ගේ ගලධාරි හෝටලයේ කාමරයේ තිබූ මුදල් පෙට්ටි, ඉතා පරිස්සමෙන් වන්නියට යැවීමට ප්‍රේමදාස රජය කටයුතු යොදවා තිබිණි.

කරුණා අම්මාන්ගේ කතාව ගැන ලත වන මේ පිරිස ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගය මත තිරුක්කෝවිල් කැලයේදී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් හයසීය ගැන කිසිදු හඬක් නැත. එල්ටීටීඊය විසින් මෙසේ සමූහ ඝාතනයට ලක් කළේ ජනාධිපතිවරයාගේ නියෝගය මත එවකට පොලිස්පති අර්නස්ට් සිල්වාගේ අණින් ත්‍රස්තවාදීන්ට යටත් වූ නිරායුද පොලිස් නිලධාරීන් හයසීයකි. වෙනත් තැන්වල වළවල් හාරන, ජාත්‍යන්තර යුද අපරාධ ගැන කතා කරන යහපාලන නඩයවත්, එන්ජීඕ වත් මෙම යුද අපරාධය ගැන කිසිදු පරීක්ෂණයක් ඉල්ලා නැත. ඒ ගැන කිසිදු මතයක් ප්‍රකාශ කර නැත. කල්මුණේ පොලිස් ස්ථානාධිපතිරයා වූ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු, පොලිස්පතිවරයාගේ නියෝගය නොතකා එල්ටීටීඊය සමග සටන් වදින විට ගුවන් සහ හමුදා සහය ඉල්ලා සිටියදී එවකට රජය විසින් එම හමුදා ඛණ්ඩාංක ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. අවසානයේදී පොලිස්පතිවරයා ඔහුට පෞද්ගලිකව කතා කොට ඔහුට යටත්වීමට නියෝග කරන ලදී. මේ තාක් දුරට ගරිල්ලා ප්‍රහාරක කණ්ඩායමක් ලෙස පැවති එල්ටීටීඊය යුදමය හමුදාවක් බවට පත් වූයේ මෙම සංහාරයන් අත් කර ගත් ආයුධ සහ භූමි වාසිය නිසා බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.

එජාපයේ එම පාවාදීමේ ඉතිහාසය එතැකින් නිමා නොවේ. 2001 සටන් විරාම ගිවිසුම එහි කූඨාප්‍රාප්තියයි. එල්ටීටීඊය වෙනම රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පිළිගනිමින් මොන්ටීවීඩීයෝ සම්මුතිය අනුව රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම, බැංකු, පොලිසි සහ උසාවි නිල වශයෙන් පිළිගැනීම එමගින් සිදු විය. අනෙක් අතට එල්ටීටීඊයට යුදමය මෙහෙයුම් කිරීමට අවශ්‍ය සන්නිවේදන උපකරණ කටුනායක ගුවන් තොටුපළින් රේගු බදු නොගෙවාම, කන්ටේනර් විවෘත කිරීමකින් තොරව වන්නියට යැවීමට තරම් රනිල් වික්‍රමසිංහ පරිත්‍යාගශීලී විය.

රනිල් වික්‍රමසිංහගේ සටන් විරාම ගිවිසුමත් චන්ද්‍රිකා කුමාරතුංගගේ අන්තර් ස්වයං පාලන අධිකාරිය ක්‍රියාත්මක වුණා නම් , කරුණා අම්මාන්ට මහින්ද රාජපක්ෂගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නට උවමානාවක් ඇති නොවේ. උතුරු නැගෙනහිර නීත්‍යනුකූලව බෙදා ගත් ඊළාම් රාජ්‍යයක ජනාධිපතිවරයා ලෙස අපේ නිදහස් උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රභාකරන් සහභාගිවීමට ඉඩ තිබිණි. ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊය දේශපාලන ප්‍රවාහයට යොමු කිරීම සම්බන්ධයෙන් එජාපය උදම් අනනු ඇත. මිලිටරි හමුදාවන් සහ ත්‍රස්තවාදය දේශපාලන උපායමාර්ග ලෙස භාවිත කළ කණ්ඩායම් දේශපාලනය ප්‍රවිෂ්ට වීමත් එසේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එක්වීම නිසා ඔවුන්ගේ පෙර සටන්වලදී සිදු වූ වැරදි සම්මුතික වශයෙන් නොතකා හැරීමත් සාමාන්‍ය දේශපාලන සංසිද්ධියකි. අයර්ලන්ත විප්ලවකාරි සංවිධානය, ශිම්පේන් සංවිධානය, පල්ස්තීන විමුක්ති සංවිධානය සහ නේපාලයේ මාවෝ ගරිල්ලාවරුන් පවා සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක්ව රජයේ තනතුරු ලබාගත්හ.

අද කරුණා අම්මාන්ට චෝදනා කරන පිරිස්, තවත් පසෙකින් එල්ටීටීඊයෙන් කරුණා වෙන් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහට හිමිවිය යුතු බවට මිත්‍යාවක් පතුරවති. සටන් විරාමයට එක් වූ කරුණා මඩකළපුවේ කෑලෑ ඇඳුමෙන්, යුරෝපීය ඇඳුමට මාරු වූයේ රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික වැඩපිළිවෙළට අනුව නම්, රනිල්ගේ අනෙක් ක්‍රියාකාරකම් එම උපාය මාර්ගයට සමපාත විය යුතුය. නැතිනම් අවම වශයෙන් එල්ටීටීඊය යුදමය හෝ දේශපාලන වශයෙන් පරාජයට පත් කිරීමේ මෙහෙයුමේ එතැන් සිට ඉදිරියට කරුණා මෙහෙයවීම හා කළමනාකරණය වීම සිදු විය යුතුය. තොප්පිගල කැලයක් කියූ රනිල් වික්‍රමසිංහගේ එජාපයට එවැනි උපායක් නොතිබූ බව සටන් විරාම ගිවිසුම් කාලය තුළ මෙන්ම ඉන් පසුව ඔවුන් හමුදාව ගැන මෙන්ම මානුෂික මෙහෙයුම ගැන දැක්වූ ආකල්පයන්ගෙන් පැහැදිලි වේ.

මේ අතර කරුණාට නොදෙනිව ප්‍රකාශයක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක කර තිබේ. 88/89 ඔවුන්ගේ අරගලවලදී දෙමළ මුස්ලිම් ජනයාට කිසිදු හානියක් නොවීමට ඔවුන් වගබලාගත් බවයි. හැට වසරක ජවිපේ ඉතිහාසය තුළ මේ රටේ සුළු වාර්ගික කොටස් ජවිපෙට ඡන්දයක් ලබාදී නැත. බිමල් රත්නායක විසින් ඉතා නිවරැදිව සනාථ කර ඇත්තේ ජවිපේ මෙරට සිංහල බෞද්ධ ජන පදනම මතම වෙසෙමින් එය විනාශ කරන කඳන් පණුවකු බවයි. මෙම ප්‍රකාශ ඔස්සේ සහ සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දීම පිළිගැනීමෙන් ජවිපේ සැබෑ නිරුවත වඩ වඩාත් හෙළි දරව් වෙමින් පවතී. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමට ජනතාව ජවිපෙට අවස්ථාව දෙනු ඇත.

යහපාලන ආණ්ඩුව, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව කාර්යාලය පනත, බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත, අපරාධ සහයෝගීතා පනත මගින් ජිනීවා යෝජනා බලාත්මක කරමින් බුද්ධි අංශ අඩපණ කරමින් ජීවත්වන රණවිරුවාගේ නිදහසත් දිවි දුන් රණ විරුවාගේ ගෞරවයත් වෙනුවෙන් සටන් කළේ මහ සඟ රුවන ප්‍රමුඛ ජාතික ව්‍යාපාරය මිස එජාප ජවිපෙ ඇතුළු එන්ජීඕ නොවන බව අවසන් වශයෙන් සටහන් තබමි.

– නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

***************************************

ආනයනික ටයිල් අඩියකට ඩොලර් 4.25 ක බද්දක්.. දේශීය ටයිල් නිෂ්පාදනයට අතහිත..

(26.06.2020 – 16:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීම් මෙරට කර්මාන්තකරුවන්ට පෙර නොවූ අත්දැකීමක් ලබා දෙන බවත් එහි පළමු රැස්වීමේ දී ගනු ලැබූ තීරණවලින් 80% කටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය දා පැවැති දෙවැනි රැස්වීමේ දී ගනු ලැබූ තීරණ ද මාස 02 කට නොවැඩි කාලයක් තුළ ඉටු කර දීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට නව ජීවයක් ලබා දීමට හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය :

“කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ දෙවන රැස්වීම 22 වැනිදා සවස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි දී ගනු ලැබූ තීරණ රට හමුවේ තැබීමටයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ. අප මෙම අමාත්‍යාංශය භාර ගත්තාට පසුව දුටුවා, කර්මාන්තකරුවන්ට බොහෝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටලු රැසක් ඇති බව. ඇතැම් ගැටලු විසඳීමේ දී අපට නොයෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයක් මෙන්ම සහයෝගයක් ද ලබාගත යුතු බව ද මා තේරුම් ගත්තා. ඒ අනුවයි ඉහත කාර්ය සාධක බලකාය පිහිටුවීම පිණිස වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අප විසින් ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ අනුව පිහිටුවනු ලැබූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම පවත්වා කර්මාන්තකරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අපට හැකි වුණා. කොවිඩ්–19 වසංගතයෙන් පසුව කැඳවනු ලැබූ පෙර කී එහි දෙවන රුස්වීමේ දී අප කර්මාන්තකරුවන් වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ලෙස ඉතාම වැදගත් මෙම සියලු තීරණ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්වයි ගනු ලැබුවේ. ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගනු ලැබූ මෙම සියලු තීරණ ඉදිරි අමාත්‍ය මණඩල රැස්වීමට අනුමැතිය සඳහා මා ඉදිරිපත් කරනු ලබනවා.

ලෝහමය අබලි ද්‍රව්‍ය පිටරට යැවීම නතර කළා

එහි දී ගනු ලැබූ පළමු තීරණය තමයි යකඩ වැනි අබලි ද්‍රව්‍ය ආනයනය කිරීම නතර කළ යුතුයි, කියන එක. ලේකම්තුමන් දන්නවා, මෙම අමාත්‍යාංශය මා විසින් භාරගත් පසුව කිසිදු අබලි ද්‍රව්‍යයක් යොදාගෙන නිපද වූ නිමි භාණ්ඩ පවා මා පිටරට යැවීම නතර කළ බව. ඒ තීරණය සමඟ වටිනාකම් එකතු කර තඹ ඇතුළු අබලි ද්‍රව්‍ය යොදා ගෙන භාණ්ඩ නිපදවා ඒවා ආනයනය කළ පිරිස්වල පීඩනයක් ද එල්ල වූවා, තම නිමි භාණ්ඩ පිටරට යැවීමට අවසර ලබා දෙන්න කියා. එහි දී අපි කළේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා රේගුවේ නිලධාරීන් යොදවා මේ අගය එකතු කළා යැයි පවසන භාණ්ඩ කන්ටේනර්වලට පැටවීම අධීක්ෂණය කිරීමයි. පසුව මේ කන්ටේනරවල ඇත්තේ මේ රටේ නිෂ්පාදකයන්ට යොදාගත හැකි ලෝහමය අබලි ද්‍රව්‍ය නොවන බවට ඒ නිලධාරීන්ගෙන් සහතිකයක් ලබාගෙනයි අපි ඒවා පිටරට යැවීමට අනුමැතිය දුන්නේ. පසුගිය වසරට සාපේක්ෂව වටිනාකම් එකතු කළ ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන නිපද වූ භාණ්ඩ පිටරට යැවීම පසුගිය මාස 06 තුළ බෙහෝ සෙයින් අඩු වී තිබෙනවා.

කෙසේ නමුත් පිත්තල, තඹ, යකඩ වැනි අබලි ද්‍රව්‍ය යොදාගෙන සිය කර්මාන්ත පවත්වා ගෙන ගිය පිරිස්වල දුක්ගැනවිල්ල වූයේ රට තුළ තම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැහැ කියන එකයි. ඒ අනුව මා විසින් පළමුව කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යාම වැළැක්වූවා. පසුව අගය එකතු කිරීමක් සිදු කළ බවට තහවුරු වූ නිමි භාණ්ඩ සීමිත ප්‍රමාණයක් රටින්පිටට යැවීමට ඉහත කී ක්‍රමවේදය අනුව අනුමැතිය ලබා දුන්නා.

දීප ව්‍යාප්ත සමීක්ෂණයක්

මේ තත්ත්වය තුළ මෙරට පිත්තල, ඇලුමිනියම්, තඹ, චීනචට්ටි, හයි කාබන් යන ලෝහමය ද්‍රව්‍ය යොදාගෙන කර්මාන්ත පවත්වා ගෙන යන පිරිස් කොපමණ ඉන්නවාද, ඔවුනට වර්ෂයකට කොපමණ ඉහත කී ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ද යන තොරතුරු ලැබෙන සේ සමීක්ෂණයක් සිදු කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. ඒ සමීක්ෂණය මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. එහි වාර්තාව ලැබුණු පසු අපට තීරණය කළ හැකියි, ලෝහමය අබලි ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබෙනවා නම් ඒවාට කුමක්ද කරන්නේ, කියා. ඒ වාර්තාව ලැබෙන තෙක් අපි තීරණය කළා. කිසිදු ලෝහමය අබලි ද්‍රව්‍යයක් රටින් පිටට යැවීම නතර කිරීමට.

අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක්

ඒ වගේම ඉහත කී අගය එකතු කිරීම පිළිබඳ අර්ථකථනයක් ලබා ගැනීමට අපි කර්මාන්ත අමාත්‍යාංශය ලෙස කටයුතු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස තඹ නිමි භාණ්ඩ ලෙස තඹ ප්ලේට් රටින් පිටට යැවීම සිදු කරමින් තිබෙන්නේ අගය එකතු කළ භාණ්ඩයක් ලෙසයි. නමුත් ඒ අගය එකතු කිරීම විෂය භාර ඇමතිවරයා ලෙස මට හෘද සාක්ෂියට එකඟව පිළිගත නොහැකියි. නමුත් අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන එය අගය එකතු කිරීමක් ලෙස පිළිගනු ලබනවා. අපි මෙම කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටිනු ලැබුවා, මේ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් ඇති කළ යුතු බවට. මේ සියල්ල නිරාකරණය කර ගන්නා තෙක් ඉහත සියලු අබලි ද්‍රව්‍ය රටින් පිටට යාම නතර කිරීමටයි තීරණය කරනු ලැබුවේ. ඒ අනුව අපි දැඩි තීරණයක ඉන්නවා, වංචනික ලෙස අගය එකතු කිරීමක් කළා යැයි පවසා ලෝහමය අබලි ද්‍රව්‍ය රට පැටවීම නතර කිරීමට. එමඟින් ලෝහමය අබලි ද්‍රව්‍ය යොදාගෙන තම කර්මාන්තයන්හි නියැලෙන නිෂ්පාදකයන් සුරැකීමට අපට ඉඩකඩ ලැබෙනවා.

දෑත් පිරිසිදුකරණ දියර සමාගම් ලියාපදිංචිය

ඉදිරියේ දී පාසල්, විශ්වවිද්‍යාල විවෘත වේවි. ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන තම සම්පූර්ණ ධාරිතාවෙන් වැඩ කිරීමට පටන් ගනීවි. එවිට මේ සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් දෑත් පිරිසිදුකරණ දියර විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. අපේ ආණ්ඩුවේ දැක්ම වන්නේ අපට අවශ්‍ය සියලු දේ රට තුළ නිපදවා ගැනීමයි. ඒ නිසා අපි මේ දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදකයන්, නිසි ප්‍රමිතියෙන් යුත් ‘දෑත් පිරිසිදුකරණ දියර’ නිපදවීමට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමන් පැවසුවා, මෙම දියර නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන සමාගම් කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කොට එම සමාගම් ලැයිස්තුව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසට. ඒ අනුව එම අධික ඉල්ලුම සපුරාලීම සඳහා ඉහත කී ආකාරයට ලියාපදිංචි වන ලෙස දෑත් පිරිසිදුකරණ දියර නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන් වෙතින් අපි ඉල්ලා සිටිනවා.

දේශීය ආහාර නිෂ්පාදනයට අතහිත

වටිනාකම් එකතු කළ ඇතැම් ආහාරමය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇතැම් නිෂ්පාදකයන් සිදු කර තිබූ ඉල්ලීම ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එම අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය මොනවා දැයි ලැයිස්තුගත කරන ලෙස. අප ඉදිරියේ දී ඒ කටයුත්ත ඉටු කර දේශීය ආහාර නිෂ්පාදකයන්ගේ ඉහත ගැටලුව විසඳීමට කටයුතු කරනවා.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට දිරි දෙයි

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අවස්ථාවේ 2015 ට පෙර තිබූ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුනට සහන ලබා දිය යුතු බවට තීරණය වුණා. සෞඛ්‍ය බලධාරීන් ද සහභාගී කරවාගෙන ඔවුන්ගෙ ගැටලුවලට විසඳුම් සහිත යෝජනාවලියක් සකසා ඉදිරි කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

‘නෙගටිව් ලිස්ට්’ එක සංශෝධනය කරනවා

ඔබ දන්නවා රේගුව සතුව තිබෙනවා, ආනයනය කළ නොහැකි අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගම් මගින් නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන හා සැලකූ විට මෙම ආනයනය කළ නොහැකි නිෂ්පාදන ලැයිස්තුව සංශෝධනය විය යුතු බවට දේශීය ව්‍යවාසකයන්ගෙන් ලැබුණු ඉල්ලීම මෙහි දී සලකා බැලීමට තීරණය වුණා. ඒ අනුව ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පැවැරුවා, එසේ ආනයනය නොකළ යුතු අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ලැයිස්තුවක් සකසා එය රේගුවට නිර්දේශයක් ලෙස ඉදිරිපත් කිරීමට.

සම් පදම් කිරීමේ කර්මාන්තයටත් දිරි දෙයි

දැනට ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට තිබෙන බරපතළම ප්‍රශ්නයක් ඔවුන් ඉදිරිපත් කළා. ඒ තමයි සම්පදම් කිරීමේ කටයුතු සඳහා ස්ථානයක් ස්ථාපිත කිරීම. දැනට ඒ කටයුතු ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැහැ. එම කටයුත්ත පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට අදාළ යන්ත්‍ර සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමටත් ඒ යන්ත්‍රය සවි කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිර්දේශ කිරීමට ද මෙහි දී ජනාධිපතිතුමන් අප අමාත්‍යාංශයට පවරනු ලැබුවා.

බෝට්ටු නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳෙයි

සංචාරක කර්මාන්තය සඳහා යොදාගන්නා බෝට්ටු නිෂ්පාදකයන්ට තිබෙන ගැටලු ද මෙහි දී ඉදිරිපත් වුණා. ඔවුන්ගේ බෝට්ටු දියත් කිරීම සඳහා ද ධීවර වරායවල් යොදා ගැනීමට සිදුව ඇති බව දැනුම් දුන්නා. ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා බෝට්ටු සඳහා ජැටියක් ඉදිකිරීම සඳහා යෝග්‍ය ස්ථානයක් ලබා දීමට එකඟ වුණා.

දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට බදු සහන

ඒ වගේම දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් ද ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර ඔවුනට බදු සහන ඇතුළු දිරි දීමනා රැසක් ලබා දීමට තීරණය වුණා. ඒවා පිළිබඳව සතිපතා ජනාධිපති ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම්වලදී සාකච්ඡා කර විසඳුම් කඩිනමින් ලබා දීම නියමිතයි. ඒ වගේම පැරණි බෝට්ටු ලංකාවට ගෙන ඒම තහනම් කිරීමට ද මෙහි දී තීරණය වූවා.

දේශීය ටයිල් නිෂ්පාදනයට සවියක්

දේශීය ටයිල් නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ආනයනික ටයිල් වර්ග අඩියක් සඳහා ඩොලර් 4.25 ක ආනයනික සෙස් බද්දක් පැනවීමටත් මෙහි දී තීරණය වුණා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

26-06-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *