සහරාන්ට ඉන්දියාවට පළායාමට රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කළ බවට තොරතුරු

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • සහරාන්ට ඉන්දියාවට පළායාමට රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කළ බවට තොරතුරු (විඩියෝ)

02 • මුහුදු මහා විහාරයේ මැනුම් කටයුතු අවසන් වනතෙක් සංවර්ධන ක්‍රියා නැවත්වීමට අධිකරණයෙන් නියෝග

03 • දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ දී අද (23) සිදු වුණ දේ

04 • රාජිත, අර්ජුන සහ අනුර කුමාර සාක්ෂි දෙන්න බෑ කියයි (විඩියෝ)

05 • මහ සඟරුවන මෙන්ම කතෝලික ප්‍රජාව දැඩි විරෝධය පළකරද්දී හරීන් කළින් කී දේ යළි තහවුරු කරයි (විඩියෝ)

06 • අසනීප තත්වයක් හේතුවෙන් CID යට එන්න බෑ – කරුණා අම්මාන් (විඩියෝ)

07 • බැංකු කාඩ්පත්වලින් ජාත්‍යන්තර ජාවාරම්වල නිරතවූ විදේශිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

08 • මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් මිලියන 120 ක් උපයාගත් ගිණුමක් ගැන තොරතුරු

09 • කොරෝනා වෛරසය පාලනය කර ඇති බව යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක් (විඩියෝ)

10 • අමෙරිකානු ග්‍රීන් කාඩ් තාවකාලිකව නවතී

11 • මාස දෙකක (02) කාලයක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද (23) සිට විවෘත කෙරේ

+++++++++++++++++++++++++++++++++++

(01) සහරාන්ට ඉන්දියාවට පළායාමට රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කළ බවට තොරතුරු

(23.06.2020 – 08:09 +0530 – sinhala.adaderana.lk)

2017 මාර්තු මස කාන්තන්කුඩි ප්‍රදේශයේ ඇතිවු ගැටුමකින් අනතුරුව සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, ඔහුට ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇතැයි ජනාධිපති කොමිසමේදි ඊයේ (22) අනාවරණය විය.

එහිදී සාක්ෂිදුන් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වැඩිදුරටත් පැවසුවේ සහරාන් හෂිම් සහ අබ්දුල් රාසික් නැමැත්තන් එක්ව ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ද අනුග්‍රහය ලබා දී ඇති බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර ලැබී තිබූ තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරුද ? යන්න මතභේදයකට තුඩු දී තිබුණි.

පසුගියදා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියේ අදාළ බුද්ධි තොරතුරු මුල් අවස්ථාවේ නිශ්චිත තොරතුරු ලෙස ලබා දී තිබුණත් පසුව අවස්ථා ගණනාවකදි එම තොරතුරුවල වටිනාකම පාර්ශව කිහිපයක් විසින් දියාරු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සදහා පසුගිය සමයේ මෙරට සිටි ප්‍රමුඛ බුද්ධි අධ්‍යක්ෂවරයකු ඊයේ (22) දින ජනාධිපති කොමිසමට කැඳවූ අතර ඔහුගේ නම මාධ්‍යයට හෙළි කෙරුණේ නැත.

එම බුද්ධි අධ්‍යක්ෂවරයා එහිදි සාක්ෂිදෙමින් කියා සිටියේ යම් බුද්ධි තොරතුරක් ඉහළ වටිනාකමක් ගැනීමට නම් එම තොරතුරෙන් කවුද ? (Who) කරන්නේ කුමක්ද ? (What) කවදාද ? (When) හේතුව කුමක්ද? (Why) සිදුවන්නේ කොහොමද ? (How) කොහෙද ? (Where) යන ප්‍රශ්නවලට පිළිතුරු ලැබී තිබිය යුතු බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරයට පෙර ලද මුල් බුද්ධි ලේඛනය නිශ්චිත වැදගත් බුද්ධි තොරතුරක් වන බව ඔහු සඳහන් කළේය.

එහි ජාතික තවුහිද් ජමාත් සංවිධානය යන නමද, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදින් 05 දෙනෙකුගේ නම්ද සදහන්වීමෙන් කව්ද ? (Who) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත් , එසේම මරාගෙන මැරෙන ප්‍රහාරයක් යන්න සදහන් වීම හරහා කරන්නේ කුමක්ද ?(What) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත්, නුදුරේදිම යන වචනයෙන් කවදාද ? (When) යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

අන්තවාදීන් පිළිබද නිරන්තර අවධියෙන් සිටිය යුතු ආරක්ෂක නිලධාරින්ට මෙම ලේඛනය තුළ හේතුව (Why) සහ සිදුවන්නේ කොහොමද (How) යන ප්‍රශ්න වලටද පිළිතුරු සොයාගත හැකි බවද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම බුද්ධි තොරතුර තුළ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථාන ඉලක්ක විය හැකි බව පැහැදිලිව දක්වා තිබිම තුළ කොහෙද ? (Where) යන ප්‍රශ්නයටද පිළිතුරු ලැබෙන බව පෙන්වා දුන් සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ ප්‍රශ්න 06 ටම පිළිතුරු සැපයෙන මෙවැනි නිශ්චිත වැදගත් බුද්ධි තොරතුරක් හමුවන්නේ කලාතුරකින් බවයි.

කෙසේ වෙතත් මෙම බුද්ධි තොරතුර ඇතුළත් ලේඛනයට එක්කරන ලද තවත් ලේඛනයකින් පළමු බුද්ධි තොරතුර තුළ අන්තර්ගත වු ඇතැම් කරුණු වල වටිනාකම හීන කර ඇති බවත්, පළමු බුද්ධි තොරතුරේ තිබු නිශ්චිතභාවය දෙවැනි බුද්ධි තොරතුර තුළ අවිනිශ්චිතභාවයකට ලක්කර ඇති බවත් සාක්ෂිකරු සදහන් කළේය.

හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු ඊයේ (22) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී අනාවරණයක් කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා 2017 මාර්තු මස සහරාන් හෂීම් තවත් ඉස්ලාම් අන්තවාදි කණ්ඩායමක් සමග කාන්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේ ගැටුමක් ඇතිකර ගත් අවස්ථාවේ සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ වරෙන්තුවක් නිකුත් කර තිබූ නමුත් ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් සිටි බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගේ සොහොයුරෙකු වන රිෆ්කාන් බදියුදීන් නැමැත්තා මෙලෙස සහරාන් හෂීම්ට ඉන්දියාවේ කාෂ්මීරය බලා යාමට උපකාර කර ඇති බව හෙතෙම අනාවරණ කර සිටියේය.

එසේම වැඩිදුරටත් සාක්ෂිදෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සදහන් කළේ සහරාන් හෂිම් සහ අබ්දුල් රාසික් නැමැත්තන් එක්ව ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා අනුග්‍රහය ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවට පලා ගිය සහරාන් 2018 දෙසැම්බර් මාසය වන විට යළි මෙරටට පැමිණ ඇතැයි දැනගන්නට ලැබුණු බවත්, අදාල පලායාම සහ ඊට ප්‍රබල පාර්ශ්වයක් සහාය ලබාදීම පිළිබඳව තමන් එවක යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව දැනුවත් කළ බවත් ඔහු පැවසුවේය.

එසේම 2019 මාර්තු මස 22 දින ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියාවද දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.

එම ලිපිය යැවූ පසු මාර්තු 26, අප්‍රේල් 02 සහ අප්‍රේල් 09 බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් තුනක් පැවතියද ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් රිෆ්කාන් බදියුදින් සම්බන්ධයෙන් වු මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්චාවට බදුන් නොකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

එසේම සෑම සතියකම අගහරුවාද දින පැවති බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වන බවද, පැවති ක්‍රියාදාමය තුළ තමන් විසින් යවන ලද සෑම බුද්ධි තොරතුරක් පිළිබදවම ජනාධිපතිවරයා දැනුවත් වු බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාක්ෂිකරු සේවයේ යෙදී සිටි කාලය තුළ වගකිවයුතු නිලතල වල රැදී සිටි නිලධාරින් කව්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තම සේවාකාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ආරක්ෂක ලේකම්වරුන් ලෙස කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුත්, යුධ හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක මහතාත්, ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතාත් කටයුතු කළ බවයි.

+++++++++++++++++++++

***************************************

(02) මුහුදු මහා විහාරයේ මැනුම් කටයුතු අවසන් වනතෙක් සංවර්ධන ක්‍රියා නැවත්වීමට අධිකරණයෙන් නියෝග

(23.06.2020 – 08:53 +0530 – hirunews.lk/sinhala)

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම ඊයේ (22) නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග මත පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අම්පාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම්වල මැණුම් කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බවට කළ දැනුම්දීම සැළකිල්ලට ගනිමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමු වුණා ෴

***************************************

(03) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ දී අද (23) සිදු වුණ දේ

(23.06.2020 – 20:43 +0530 – sinhala.adaderana.lk)

ඇවන්ට් ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේදැයි එහි නොතිසි ලැබූ වගඋත්තරකරුවන් විමසා සිටීමත් සමඟ අද (23) කොමිසමේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ඒ නීතිපතිවරයා විසින් කොමිසමට ඊයේ (23) කර තිබූ ලිඛිත දැනුම්දීම පදනම් කරගනිමින් ඔවුන් අදහස් දැක්වූ අවස්ථාවේදීයි.

තමාට දේශපාලනික වශයෙන් බලපෑම් සිදු වූ බව පවසමින් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ ප්‍රකාශය අනුව ඊට අදාළ වගඋත්තරකරුවන්ට කොමිසම විසින් නොතීසි නිකුත් කරනු ලදී.

ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග , ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන වගඋත්තරකරුවන් අද (23) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදීමේ පරිශ්‍රයේ ඉඩකඩ සීමා වීම නිසා නොතීසි නිකුත් කෙරුණු වගඋත්තරකරුවන් බොහෝදෙනෙකුට අද (23) රැඳී සිටීමට සිදු වුණේ කොමිෂන් සභාවේ පිටත පරිශ්‍රයේයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නීතිඥ නියෝජනයක් නොමැතිව තනිවම කොමිසම හමුවේ පෙනී සිටි අතර තමාව වගඋත්තරකරුවකු ලෙස නම්කිරීමට අදාළ හේතු සාධක සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලිඛිතව ලබාදෙන්නැයි ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඇවන්ට්ගාඩ් පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ ඒ මහතා ඇවන්ට්ගාඩ් සභාපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවත් , ඔහු සිදුකර ඇත්තේ රජය විසින් පවත්වාගෙන ගිය සේවාවක් පවරා ගැනීම පමණක් බවත් පෙන්වා දුන්නේය.

කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනිමට ලක්වු බව කියන රජයේ නිලධාරීන් සහ සන්නද්ධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවත්, පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා ඊයේ (22) ලිඛිත දැනුම්දීමක් කර තිබුණි.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට කොමිසම නිකුත් කළ නොතීසිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය දන්වමින්.

ඒ අනුව නීතිපති නිකුත් කළ එම ලිපියෙන් පසු ඇවන්ට්ගාඩ් පැමිණිල්ල තවදුරටත් මෙම කොමිසමට පවත්වාගෙන යාමට හැකි දැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.

අනතුරුව කොමිසම හමුවේ අදහස් පළ කළ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කෙරුණු නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී , අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට නොතීසියක් නිකුත් කිරීමට කොමිසමට හැකියාවක් ඇත්ද සහ නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අයත් වන්නේද යන්න නීතිපතිගේ ලිපියේ අන්තර්ගත බව ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති විනිසුරු , විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැවසුවේ ඇවන්ට්ගාඩ් පැමිණිල්ල මෙම කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බවට මීට පෙර නිගමනය කිරීමෙන් පසු එය විභාග කිරීම ආරම්භ කළ බවයි.

මේ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් අතෘප්තිමත් වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණයකට ගොස් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට හැකි බව ද ඔහු පෙන්වාදුන්නේය.

කොමිසමේ වැඩ කටයුතු වලට සහාය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කර ඇති නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී , අතිරේක සොලිස්ටර් ජනරාල් , ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා එහි දී නැවතත් කොමිසමට ප්‍රකාශ කළේ දේශපාලන කොමිසම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදන අනුව ද මෙලෙස කටයුතු කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

එහි දී සභාපති විනිසුරුවරයා ඔබ කොපමණ කාලයක් කොමිෂන් සභාවේ වැඩ කටයුතු වලට සම්බන්ධ වී ඇත්දැයි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගෙන් ප්‍රශ්න කළ විට තමා නිශ්ශංක සේනාධිපති මහතා කරුණු දැක්වූ දින 3 තුළ සහභාගි වූ බව ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේ දී මෙම ගැටලුව ඉස්මතු කිරීමට ඔබට මතක් වූයේ නැද්ද යන්න කොමිසමේ සභාපති විනිසුරු වරයා නැගූ පැනයට රොහාන්ත අබේසූරිය මහතාගේ පිළිතුර වූයේ නැත යන්නයි.

කෙසේවෙතත් නීතිපතිවරයා ඊයේ (22) දිනයේ කොමිසමට යොමු කළ ලිඛිත සැලකිරීමට අදාල නියෝගය ලබා දෙන ලෙස නැවතත් රොහාන්ත අබේසූරිය මහතා කොමිසමෙන් ඉල්ලා සිටි විට නීතිපතිවරයාගේ සෑම දැනුම්දීමකටම කොමිසම ප්‍රතිචාර දැක්විය යුතු නැති බව සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුර විභාගය ජුනි 26 වැනිදා දක්වා කල් තැබුණු අතර ඇවන්ට්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් නොතීසි නිකුත් කෙරුණු කිසිදු වගඋත්තරකරුවෙකු අද (23) දිනයේ දී සාක්ෂි ලබා නොදීමද විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

(04) රාජිත, අර්ජුන සහ අනුර කුමාර සාක්ෂි දෙන්න බෑ කියයි

(23.06.2020 – 20:43 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කෙරෙන ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව අද (23) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටි වග උත්තරකරුවන් පැවසුවා.

කෙසේ වෙතත් කොමිසම සඳහන් කළේ වගඋත්තරකරුවන් නොමැති වුවත් කොමිසමේ කටයුතු අඛන්ඩව සිදු කරන බවයි.

ඇවන්ට්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, අනුරකුමාර දිසානායක සහ අර්ජුන රණතුංග යන අය මීට පෙර කොමිසම හමුවට කැඳවා තිබුණත් ඔවුන් එහි පෙනී සිටියේ නැහැ.

කෙසේ වෙතත් අවසන් වරට ඔවුන්ට නොතීසි නිකුත් කර තිබූ අතර, අද (23) ඔවුන් පළමු වරට කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ජනාධිපති නිතීඥ උපුල් ජයසූරිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යන අයද අද (23) එහි කැඳවා තිබුණා.

සාක්ෂි විමසිම ආරම්භයේදී වගඋත්තරකරුවන් සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විත්ති කූඩුවට පිවිසීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී කොමිසම සහ වගඋත්තරකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

වගඋත්තරකරුවන් එහිදි කියා සිටියේ දේශපාලන පලිගැනීම් පිලිබඳ පරික්ෂා කෙරෙන ජනාධිපති කොමිසමට ඇවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට බලයක් නොමැති බවයි.

තමාට ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි ලැබුණේ ඊයේ (22) බව හා ඒ පිලිබඳව සාක්ෂිකරුවන්ගේ සම්පුර්ණ පිටපත්ද නොලැබුණු බව වගඋත්තකරුවෙකු වන ජනාධිපති නිතිඥ උපුල් ජයසුරිය එහිදී කියා සිටියා.

වගඋත්තකරුවෙකු ලෙස නම් කිරිමට හේතුව පිලිබඳවත් තමන් නොදන්නා බවද කොමිසම හමුවේ නිතිඥ උපුල් ජයසුරිය ප්‍රකාශ කළා.

ඔහු මුලික විරෝධතාවක් කොමිසමට ඉදිරිපත් කරමින් සඳහන් කළේ 2015 ජනවාරි 08 සිට නොවැම්බර් 16 දින දක්වා දේශපාලන පලිගැනිම් පිලිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ නඩුව අදාළ නැති බවයි.

සාක්ෂිකරුවන්ගේ පිටපත් පරික්ෂා කිරිමෙන් අනතුරුව කොමිසමට පැමිණෙන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි උපුල් ජයසුරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කොමිසමට වගඋත්තරකරුවන් ලෙස තමන් පෙනී සිටියහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තමන්ට ඇතුළු වගඋත්තරකරුවන්ට ප්‍රශ්නයක් පැන නැගෙන බැවින් අදාළ සාක්ෂිකරුවන්ගේ පිටපත් අධ්‍යයනය කිරීම වැදගත් බවයි නීතීඥ උපුල් ජයසූරිය ප්‍රකාශ කළේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් වසන්ත නවරත්න බණ්ඩාර පවසා සිටියේ ඇවන්ගාඩ් සමාගම පෞද්ගලික ආයතනයක් බැවින් එහි විමර්ශන කටයුතු මෙම කොමිසමේ විෂය පථයට අයත් නොවන බවයි.

අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සිද්ධියට අදාළ වගඋත්තකරුවෙකු ලෙස නම් කිරිමට පැහැදිලි හේතු සාධක තිබිය යුතු බවයි.

මෙම නඩුවට අදාළ සියලු පාර්ශවකරුවන් ඉදිරිපත් කර ඇති සාක්ෂිවල පිටපත් තමන් අධ්‍යයන කර කොමිසමට පැමිණෙන්නේද යන්න තීරණය කරන බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද සඳහන් කළේ තම සේවාදායකයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇතත් සාක්ෂිකරුවන්ගේ පැමිණිල්ලේ චෝදනා අධ්‍යනය කිරිමට කාලයක් අවශ්‍ය බවයි.

කොමිසම එහිදී පවසා සිටියේ වගඋත්තරකරුවන්ට සාක්ෂි ලබා දිම සදහා බලකිරිමක් නැති බවත් කැමති අය පමණක් ප්‍රකාශ ලබා දිය හැකි බවයි.

කොමිසම ඒකාධිපතිත්වයක් නොගන්නා අතර ස්වාධිනව පරික්ෂණ කටයුතු කරගෙන යන බවද එහිදි පැහැදිලි කොරුණා.

මේ අතර සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොතීසි හෝ සිතාසි නිකුත් කිරීමේ කිසිදු නෛතික බලයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (22) එම කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණා.

අද (23) දිනයේ නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසුරිය කොමිසමෙන් විමසා සිටියේ නිතිපතිවරයා ඊයේ (22) දින කොමිසමට ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් කොමිසම නියෝගයක් ලබා දෙන්නේද යන්නයි.

නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කිරීම සඳහා බලයක් නොමැති බව කොමිසම එහිදී කියා සිටි අතර දෙපාර්ශවයම සහයෝගයෙන් වැඩකටයුතු කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රෝහාන්ත අබ්සුරිය අමතරව තවත් නීතිඥවරයෙක් කොමිසමට පැමිණ සිටි අතර කොමිසම තරයේ ඔහුට අවවාද කර සිටියා.

කොමිසම පවසා සිටියේ නිතිපති දෙපාර්තමේන්තුවට ද්විත්ව චරිත කොමිසම හමුවේ රගපාන්න බැරි බවත් නිතිපති දෙපාර්තමේන්තුව නම් කරන ලද ප්‍රධානියෙක් යටතේ කොමිසමට සහයෝගය දැක්විය හැකි බවයි.

***************************************

(05) මහ සඟරුවන මෙන්ම කතෝලික ප්‍රජාව දැඩි විරෝධය පළකරද්දී හරීන් කළින් කී දේ යළි තහවුරු කරයි

(23.06.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කාදිනල් හිමිපාණන් එවකට රජය සමඟ මැදිහත්ව සිදුකළ මෙහෙවර කිසිසේත් අමතක නොකළ යුතු බවයි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර ඇති අතර, ඔහු සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු බවද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ජාතික සමගි බලවේගයේ ජාතික ලැයිස්තු සාමාජිකයකු වන හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පසුගිය 21 වැනිදා පැවති ජන හමුවකදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස වන ලෙස අදහස් පළකළා.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දසතින් විරෝධය එල්ලවන පසුබිමක සමගි ජනබලවේගයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා තම ස්ථාවරය අද යළිත් තහවුරු කළා.

මේ අතර ජාතික කතෝලික මධ්‍යස්ථානය ද අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමන් එමඟින් සඳහන් කරන්නේ අගරදගුරු හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිදිනක රටේ පවතින දේශපාලන පෙරළියකට ඍජුව හෝ වක්‍රව දායක වී නොමැති බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශයේ සඳහන් වන අගරදගුරු හිමිපාණන් දේශපාලනයේ නිරතවීම යන ප්‍රකාශයද දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි එහි දැක්වෙන්නේ.

මේ පිළිබඳව විරෝධය පළ කරමින් අද, බද්දේගම නගරයේදීද නිහඬ විරෝධතාවක් පැවැත්වුනේ ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය පිළිබඳව අදත් මහා සංඝරත්නය ඇතුලු සියලු ආගමික පූජකවරුන් දැඩිව විරෝධය පළ කළා.

එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, සහ කෝට්ටේ කල්‍යාණී ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ද හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය හෙලාදකිමින් අදහස් පළකළා.

+++++++++++++++++

ඇමති විමල් හරීන්ගේ පැටිකිරිය දිගහරියි

(23.06.2020 – 21:48 +0530 – hirunews.lk/sinhala)

හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළ අතර කාදිනල් හිමිපාණන් පෙනී සිටියේ පීඩාවට පත්වූ සමස්ථ කතෝලික ප්‍රජාව වෙනුවෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු මෙලෙස අපහාස කර ඇත්තේ සමස්ත කතෝලික ප්‍රජාවට බවයි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනපති කොමිසම හමුවේ පළමුවෙන් ප්‍රශ්න කළයුත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන්ගේ ආණ්ඩුවේ පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් වසා දැමීම සඳහා ඔවුන් මෙලෙස ආගමික නායකයන්ට දොස් පවරමින් සිටින බවයි.

මේ අතර අදාළ ප්‍රකාශය පිළිබඳව අදහස් පළකරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ කාදිනල් හිමිපාණන් ගේ ප්‍රකාශ පක්ෂග්‍රාහී නොවූ බවයි.

සජිත් ප්‍රේමදාස විසින් සිය මතය ලංකාව පුරා ගෙනයාම සඳහා හරීන් ප්‍රනාන්දු භාවිත කර ඔහු ජාතික ලැයිස්තුවට එක්කර ඇති බවට හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා චෝදනා කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස කළ යුත්තේ සමාව ගැනීම නොව හරීන් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීම බවයි.

මේ අතර හරීන් ප්‍රනාන්දු වැනි දේශපාලකයෙකුට කාදිනල් හිමිපාණන්ට චෝදනා එල්ලකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත යුතුයි – විජේදාස රාජපක්ෂ

***************************************

(06) අසනීප තත්වයක් හේතුවෙන් CID යට එන්න බෑ – කරුණා අම්මාන්

(23.06.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අසනීප තත්වයක් හේතුවෙන් තමන්ට CID යට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් CID ය වෙත දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී ඔහු දැනුම්දී ඇත්තේ තමන් සුවවූ පසු පැමිණ CIDයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

(07) බැංකු කාඩ්පත්වලින් ජාත්‍යන්තර ජාවාරම්වල නිරතවූ විදේශිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට

(23.06.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් උපයෝගී කර ගනිමින් මුදල් වංචා කරන විදේශිකයන් 4 දෙනෙකු ගල්කිස්ස ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ රැදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහි බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට නයිජීරියානු ජාතිකයින් 3 දෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් ඇතුළත්.

මොවුන් සන්තකයේ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණු අතර, වැඩිදුර කළ පරීක්ෂාවේදී හෙළි වුණේ 2017 වසරේදී මෙරටට පැමිණ ඇති මොවුන් වීසා නොමැතිව රැදී සිට ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

(08) මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් මිලියන 120 ක් උපයාගත් ගිණුමක් ගැන තොරතුරු

(23.06.2020 – 17:34 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් මිලියන 120 ක් තැන්පත් කළ ගිණුමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ සියලුම දේපළ රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බවයි ෴

***************************************

(09) කොරෝනා වෛරසය පාලනය කර ඇති බව යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

(23.06.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට පාලනය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියේ 4 වන අදියර යටතේ බත්තරමුල්ල – පැලවත්ත – අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයට යාබදව ඉදිරි කෙරුණු ළමා උද්‍යානය විවෘත කිරීම අවස්ථාවට ඊයේ (22) එක්වෙමින්.

***************************************

(10) අමෙරිකානු ග්‍රීන් කාඩ් තාවකාලිකව නවතී

(23.06.2020 – 09:36 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට සංක්‍රමණ නීති දැඩි කර තිබේ.

මේ වසර අවසන් වන තෙක් එරට රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන විදේශීකයින් වෙත ‘ග්‍රීන්කාඩ්’ නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ තාක්ෂණ සේවකයින් ඇතුළු රැකියාවල නිරතවන විදෙස් ශ්‍රමිකයින් හට වීසා බලපත්‍ර නිකුත් නොකෙරෙනු ඇති.

අමෙරිකාව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් එරට රැකියා අහිමි පුරවැසියන්ගේ රැකියා උත්පාදනය සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි ෴

***************************************

(11) මාස දෙකක (02) කාලයක් වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද (23) සිට විවෘත කෙරේ

(23.06.2020 – 07:48 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා මාස දෙකකට (02) ආසන්න කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අද (23) යළි විවෘත කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදියර කිහිපයක් යටතේ නාවික කඳවුර විවෘත කෙරෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

මේ අතර මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පිරිස අද (23) 1548 ක් දක්වා ඉහළ ගියේය.

මෙරට කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් හඳුනා ගැනුණේ නාවික හමුදා සාමාජිකයන් අතරින්.

අප්‍රේල් 22 වැනිදා හඳුනාගත් පළමු ආසාදිත නාවික හමුදා සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත අයෙක්.

පසුව ඉන් තවත් ආසාදිතයින් වාර්තා වීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර අප්‍රේල් 27 වැනිදා සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි.

මාස දෙකකට (02) ආසන්න කාලයකින් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නාවික හමුදා කඳවුර අද (23) විවෘත කර තිබේ.

ආසාදිත පළමු නාවික සෙබළා හඳුනාගත් අප්‍රේල් 22 වැනිදා සිට අද දක්වා වාර්තා වූ නාවික හමුදා ආසාදිතයන් සංඛ්‍යාව 901 ක්.

පසුගිය දින හතරක කාලය තුළ කිසිදු නාවික හමුදා ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.

මේ වන විට නාවික සාමාජිකයින් 786 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

රෝහල්ගතව තවමත් ප්‍රතිකාර ලබන්නේ නාවික සෙබළුන් 115 දෙනෙකු පමණයි.

මේ අතර දින දෙකකට පසුව ඊයේ (22) මෙරටින් නව කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා විය.

ඒ පසුගියදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පිරිස අතරින්.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1951 ක්.

ඉන් තවත් 22 නෙකු අද (23) සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 79.35 ක්.

392 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය සියයට 20.09 ක්.

මේ අතර කොවිඩ් වසංගතයට මැදි වී අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු අද (23) අලුයම දිවයිනට පැමිණියා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපළේදී පි.සී.ආර්.පරීක්ෂණය සඳහා යොමුකෙරුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *