ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක දේවිය ජීවිත ගමනට සමුදෙයි

(29.03.2019 – 14:54 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය.

මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි.

+++++++++++++++++++++

ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිවි ගමනින් සමුගනී

(29.03.2019 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකේය සිනමා වංශ කතාවේ රිදී සීනුව වූ ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඇයගේ වයස අවුරුදු 79 ක්.

ආදර අඹරේ ගීතය ගායනා කරමින් 1950 දශකයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඇය මෙරට චිත්‍රපට පසුබිම් ගායන කලාව නව මගකට යොමුකළ ශිල්පිනියක් ලෙස හැදින්විය හැකියි.

ඇන්ජලීන් – ජෝතිපාල සුසංයෝගය මෙරට සිනමා සංගීත කලාවේ ප්‍රබල හැරවුම් ලක්ෂයක්.

ගීත 5000 ක් පමණ ඇය ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් දායාද කර තිබෙනවා.

රාජ්‍ය සම්මාන, සරසවි ඇතුළු සම්මාන උළෙලවලදී ඇය අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍ර වුණා.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අද පස්වරුවේ සිය ජීවන ගමනට සමුදුන්නා.

දේහය අද පස්වරුවේ බොරැල්ල පිහිටි පෞද්ගලික මල් ශාලාවකට භාර කෙරුණු අතර හෙට පෙරවරුවේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.

+++++++++++++++++++++

https://meemessasinhalasongs.com/free-sinhala-mp3/artist/download-anjalin-gunathilaka-sinhala-mp3-songs.html

+++++++++++++++++++++

විවාහ සංවත්සරය දා දිවි සැරියෙන් සමුගත් සිනමා අඹරේ රිදී සීනුව

(29.03.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

දශක හයක කාලයක් පුරා සිනමා පසුබිම් ගායනයෙන් මෙරට රසික හදවත් අමන්දානන්දයට පත් කළ සිනමා අඹරේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක කලා ශිල්පිනිය අද (29) අභාවප්‍රාප්ත විය.

ඇය සිය දිවි සැරිය නිමා කළ අදට ඇයගේ 53 වන විවාහ සංවත්සරය යෙදී තිබීමත් දෛවෝපගත සිදුවීමක් වෙයි.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 ක්.

1939 වසරේ මාතරදී උපත ලබා වයස අවුරුදු දහ තුනේදී ළමා පිටියෙන් ගායන දිවිය අරඹන ඇන්ජලීන් ගුණතිලක 1958 වසරේදී චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ සොහොයුරෝ චිත්‍රපටයෙනි.

පසු ව සදහටම ඔබ මගේ, හොඳට හොඳයි, හිතුවොත් හිතුවාමයි සංගිතා ඇතුළු චිත්‍රපට ගණනාවකට ඇය පසුබිම් ගායනයෙන් දායක වූ අතර ඇගේ හඬින් ගැයුනු ගීත සංඛ්‍යාව පන් දහසකට අධිකයි.

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ,පාට පොදක් තිලක ලා නළල් තලාවේ, රෑ දවල් මල් හැඟුම් සිරි පානා, හද විමන් දොරින් එන පැතුම් පවන් ආදී ගීත අදටත් රසික හදවත් වල නොමියෙන නිර්මාණ ලෙස සටහන් වන්නේ ඇගේ ගායනයේ විශිෂ්ටත්වය නිසාවෙන්.

එම විශිෂ්ට ගායන වෙනුවෙන් රණතිසර සම්මානය, 2011 වසරේදි යු.ඩබ්ලිව් .සුමතිපාල සම්මානය ඇතුලු ඇගයීම් රැසකින්ද ඇය පිදුම් ලැබීය.

සෑම විටම සිය හඬෙහි අනන්‍යතාව රැකගත් ඇය, ගායිකාවකට ගීතය පිළිබඳ ඇති හිමිකාරීත්වය වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නැගූ චරිතයක් විමද විශේෂත්වයක්.

ඇය තම 79 වැනි උපන් දින සැමරුමේදි දෙරණ ලිට්ල් ස්ටාර් සිසන් 9 හි ජනප්‍රියම තරුව බවට පත්වු අක්ෂා චමුදි දැරිය සමඟ ගීත ගායනයෙන් සතුටු වූ අයුරු සමාජ මාධ්‍යවල පවා කාගේත් අවධානයට ලක් විය.

එදින තම ගීත ගායනා කිරීම සඳහා ඇන්ජලීන් ගුණතිලක ශිල්පිනිය ආක්ෂා චමුදි දැරියට අවසරය ලබා දුන්නේ ඇය සතු නිහතමානීකම ද මොනවට පෙන්වා දෙමිනි.

+++++++++++++++++++++

07.03.2019
19.02.2018
29.03.2019

+++++++++++++++++++++

+++++++++++++++++++++

පෙම්වතියන්ගේ සදාකාලික ගීතය ඇන්ජලීන්

(06.04.2019 – mawbima.lk)

‘උයනක් පිරී පිපි මල්
අද පරවෙලා…….
විහඟුන් ගැයූ ගී වැල්
අද ගොළු වෙලා……

සිංහල රිදී තිරයේ රිදී සීනු හඬ මාර්තු 29 වැනි සිකුරාදා සදහටම නිහඬ වුණා. ඒ බව දැනී සොබාදහමද කම්පා වන්නට ඇති. ඉකුත් අඟහරුවාදා සැන්දෑවේ ඇයගේ දේහය මිහිගැබේ සැතපෙද්දී තුරු හිසේ පිපී මල් මුකුලිතව වැටුණේ ඇයගේ වියෝගයෙන් දුකට පත්වී යැයි සිතිය නොහැකිද? දශක හයකට ආසන්න කාලයක් මධුර සුගායනයෙන් සහසක් රසික සිත් නැළ වූ ඇන්ජලීන් ගුණතිලක දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩදී, 79 වසරක දිවි ගමන සිය විවාහ සංවත්සරය දවසේම නිමා කළා.

1939 දෙසැම්බර් මස 23 වැනිදා මාතර කොටුවේගොඩදී උපන් ඇයගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වූයේ රේචල් ඇන්ජලීන් ද ලැනරෝල්. ඇන්ජලීන්ගේ පියා ජෝන් හෙන්රි සිංහල ජාතිකයෙක් වූ අතර මව ක්ලැරිස් රේචල් බ්‍රවුන් නම් ප්‍රංශ ජාතික කාන්තාවක්. දරුවන් දස දෙනකුගෙන් යුත් පවුලේ ඇයට හිමි වී තිබුණේ සිවුවැනි තැන.

මාතර ශාන්ත මේරි කන්‍යාරාමය හා කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලවලින් ඇන්ජලීන් අධ්‍යාපනය ලැබූ අතර සංගීතය හැදෑරීම ඇරැඹුවේ අවුරුදු 11 දීය. ලයනල් එදිරිසිංහ සහ සුනිල් ශාන්තගෙන් සංගීතයද, පණීභාරතගෙන් භරත හා උඩරට නැටුමද ඉගෙන ගත් ඇය 50 දශකයේ මැද භාගයේ ගුවන්විදුලියේ ළමා පිටියෙන් ළමා ගීත ගායිකාවක ලෙස ‍දොරට වඩිනවා. ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැති ගායන තරග කිහිපයකින් ඇන්ජලීන් ජයගැනීමේ ප්‍රතිඵලය වන්නේ 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් කරුණාරත්න අබේසේකරයන් ලියූ ගීතයක් අල්හාජ් මොහිදීන් බෙග් සමඟ ගායනා කිරීමට අවස්ථාව ලැබීම. ගුවන්විදුලියේ සරල ගීත ගායිකාවක ලෙස ඇය 1958 චිත්‍රපට පසුබිම් ගායනයට එක්වෙනවා. ‘ඇන්ජලීන්’ගේ ජයග්‍රාහී ගමන ඇරැඹෙන්නේ එතැන් සිට.

‘සොහොයුරෝ’ චිත්‍රපටයට සිඩ්නි ආටිගල සමඟ ‘ආදර අඹරේ’ ගීතය ඇන්ජලීන් ගයන්නේ අරුණ ශාන්ත හා ලීන් ද සිල්වා යුවළ වෙනුවෙන්. එදා මෙදාතුර ඇය ගැයූ චිත්‍රපට හා සරල ගීත පන්දහසකට වැඩි මිස අඩු නැහැ.

ඇන්ජලීන් ගුණතිලකව හැඳින්වූණේ සිංහල රිදී තිරයේ රිදී සීනුව ලෙස. චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ඇයට හිමිවූයේ මුල්ම තැන කීම වැරැදි නැහැ. ඇන්ජලීන්ගේ සුමියුරු සුගායනය රිදී තිරය වර්ණවත් කළා. ඉන් චිත්‍රපටයට ලැබුණේ මහත් ආලෝකයක්. චිත්‍රපට පසුබිම් ගායක කිරුළ දැරූ එච්.ආර්. ජෝතිපාලගේ හඬ සමඟ ඇන්ජලීන්ගේ හඬ පෑහුණේ රන් රස සේ. ඔවුන්ගේ යුග ගායනා ගාමිණී – මාලනී, විජය – මාලනී, තිස්ස – මාලනී, රෝයි – සුමනා, වැනි රිදී තිරයේ පෙම්වතුන්ගේ ජනප්‍රියතාවට මහත් අත්වැලක් වුණා. ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා ‘සිනමාවේ පෙම්වතියන්ගේ සදාකාලික නාදය’ ලෙස ඇයව හැඳින්වූයේ ඒ නිසාය.

1958 තිරගත වූ එඩ්වින් සමරදිවාකර සංගීතය අධ්‍යක්‍ෂණය කළ ‘දස්කම’ චිත්‍රපටයෙන් ජෝති සමඟ යුග ගීත ගායනයට එක්වූ ඇය මියුරු ගීතාවලියක් රසිකයන්ට තිළිණ කළා. ‘අමර පෙම් ලතාවේ, පාට පොදක් තිලකලා, රෑ දවල් මල් හැඟුම්, හද විමන් ‍දොරින්, මට ආසයි හිනැහෙන්න, සුදු පාට මීදුම් ගලාලා, සිතුම් පැතුම් හද ආදරේ, දෝතින් දෝතයි, ගිම්හානේ සඳ නිවුණා, මියුරු පෙම් මදිරාවේ, ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා, කවදා හෝ සසර කතර අතරමඟකදී, ආලේ මිහිර පෙන්වා, කලක් ඇවෑමෙන් පෙරුම්පුරා, සුළං කුරුල්ලෝ, ආවා සොයා ආදරේ, මා ප්‍රාර්ථනා ආසාවෝ, මී පිරුණු සුවඳ මල් වනේ ඒ අතර ඇති අමයුරු ගී කිහිපයක්. සිංහල චිත්‍රපට ගීතයේ ස්වර්ණමය යුගය වූ 60 – 70 දශකයේ ඇන්ජලීන් ගුණතිලකගේ දායකත්වය ලියැවී තිබෙන්නේ රන් අකුරින්.

රසික සම්මානයෙන් පුද ලැබුවද ඇන්ජලීන්ට චිත්‍රපට පසුබිම් ගායනයට කිසි දිනෙක සම්මාන හිමි වූයේ නැහැ. එය ඇයගේ ‘ප්‍රතිභාව’ පිළිබඳ ප්‍රශ්නයක් නොව සිනමා සම්මාන විනිශ්චය මණ්ඩලය ‘කෝදුවේ’ ප්‍රශ්නයක්. එච්.ආර්. ජෝතිපාලයන්ට පවා ‘සම්මාන’ හිමිවූයේ බොහෝ කල් පසුවී බව සිහියට ගත යුතුයි. කැපී පෙනෙන කාරණය වන්නේ ඇගේ සමකාලීන ගායක – ගායිකාවන් දේශපාලන වේදිකාවලට නඟිද්දී එක එක පක්‍ෂවලට ‘කඩේ යද්දී’ ඒ කිසිදු පිලකට එක් නොවී අදීනව කටයුතු කිරීමයි. බලයේ සිටි පක්‍ෂයට සහාය පළ කළා නම් ඇතැම් විට ඇන්ජලීන්ට සම්මානයක් ලබාගැනීමට ‘වාසනාව‘ පෑදීමට ඉඩ තිබුණා. එසේ පවසන්නේ අන් කිසිවක් නිසා නොව ඊනියා දේශපාලනය නිසා නළු – නිළියන්ට, ගායක – ගායිකාවන්ට පමණක් නොව කලා ශිල්පීන් කිහිපදෙනකුට හිමිවිය යුතුව තිබූ සම්මාන පවා ලබා නොදීම හේතුවෙන්. ඇය ගායිකාවක ලෙස වෘත්තීය ගරුත්වයත්, කාන්තාවක ලෙස ආත්ම ගරුත්වයත් ආරක්‍ෂා කරගත් අසාධාරණය දුටුවිට සෘජුව නැඟී සිටී කිසි විටෙක කිසිවකුට ප්‍රශස්ති ගායනා නොකළ කලාකාරිනියක්. ජීවිතයේ අවසන් කාලයේ සිය ගීත ගායනා කිරීමේ අයිතිය මෙන්ම ඇගේ උප්පැන්න සහතිකයේ සඳහන් ‘ඇන්ජලීනා’ නාමයද දෙරණ ලිට්ල්ස්ටාර් වේදිකාවේ ‘ජනප්‍රියම තරුව‘ වූ ආක්ෂා චමුදි ළදැරියට ලබාදීමට නිර්දේශ වුණා. ඇන්ජලීන් ගී මිහිරට ගැයූ මේ ළදැරිය ඇයගේ මහත් ආදරයට පාත්‍ර වීම ඊට හේතුවයි. ‘මම මැරුණු දවසට මගේ ගීත ටිකයි නමයි ඉදිරියට ගෙනියන්න ‘ආක්ෂා චමුදි ඇන්ජලීනා’ ළදැරිය සිටීම සතුටක් බව ඇන්ජලීන් මාර්තු 7 වැනිදා සරසවිය පත්‍රයට හේමාලි විජේරත්න සමඟ කළ සංවාදයකදී කියා තිබුණා.

ඇන්ජලීන් ගුණතිලක නිතරම කියා සිටියේ ඇයට මේ ‘හඬ’ ලබාදී ඇත්තේ දෙවියන් වහන්සේ බව. දෙවියන් තිළිණ කළ ඒ ‘හඬ’ නිසා සුවහසක් රසිකයන්ගේ නොමඳ ආදරය ඇයට තිළිණ වුණා. දෙවියන්ගේ කැමැත්තට ඉඩදී ඇන්ජලීන් ඉකුත් අඟහරුවාදා මළ හිරු බසිනා සැන්දෑ යාමේ සඳහටම සමුගෙන ගියේ සිය ආදරණීය රසික කැලට කිසිදා මුකුලිත නොවන විකසිත ගී මල් පොකුරක් තිළිණ කර තබා.

– සුරවී

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *