බදු පැහැර හරින්නන්ට අනතුරු ඇඟවීමක් : සියලු ගනුදෙනු ඩිජිටල් ක්‍රමයට
දික්කසාද තීන්දුවක් දෙන්න අල්ලස් ගත් ‘කාති විනිසුරුවරයා’ සහ බිරිඳ අත්අඩංගුවට
‘ක්‍රිප්ටො’ ලංකාවේ තහනම්.. කිසිවෙකුට වත්කමක් ලෙස නම් කරන්න බෑ.. – මහ බැංකු අධිපති
බදු පැහැර හරින්නන්ට අනතුරු ඇඟවීමක් : සියලු ගනුදෙනු ඩිජිටල් ක්‍රමයට
(18.11.2026 – hirunews.lk)
රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින්, සියලුම මූල්‍ය ගනුදෙනු ස්වයංක්‍රීයව නිරීක්ෂණය වන බවත්, එබැවින් බදු පැහැර හැරීමට උත්සාහ නොකරන ලෙසත් මෙරට ප්‍රවීණ බදු විශේෂඥයෙකු ව්‍යවසායකයින්ට අනතුරු අඟවා තිබෙනවා.
BDO Sri Lanka ආයතනයේ හිටපු කළමනාකාර හවුල්කරු සුජීව රාජපක්ෂ , පසුගියදා කුරුණෑගල පැවැති ‘Entrepreneur’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අමතමින් මේ බව සඳහන් කර තිබුණා.
පෙර මෙන් නොව වර්තමානය වන විට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල් ජාලයකින් සම්බන්ධ වී දත්ත හුවමාරු කර ගන්නා බැවින් නීතියෙන් ගැලවීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
නිදසුනක් ලෙස නිවසක් හෝ ඉඩමක් විකිණීමේදී ඊට අදාළ ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) ගෙවිය යුතු අතර, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දත්ත සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන බැවින් එම බදු ගෙවා ඇත්දැයි ක්ෂණිකව පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
තවද, ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී අදාළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) අය කර ගැනීමේ වගකීම බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති බව ද ඔහු සඳහන් කළා.
ඩිජිටල් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සෑම මූල්‍ය ගනුදෙනුවක්ම ඩිජිටල් දත්ත ගබඩාවල ස්ථිර ඉලෙක්ට්‍රොනික වාර්තා ලෙස සටහන් වන බවයි.
බැංකු පද්ධති තුළ ක්‍රියාත්මක වන ‘ඔබේ ගනුදෙනුකරු හඳුනාගන්න’ (KYC) නීති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ මෙවලම් හරහා පුද්ගල අනන්‍යතාව, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), තැන්පතු මුදල් සහ පොලී ආදායම් පිළිබඳ සියලු තොරතුරු සටහන් වනවා.
මීට අමතරව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ පළාත් පාලන ආයතන සතුව ද ඩිජිටල් දත්ත පද්ධති සහ ඉලෙක්ට්‍රොනික භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පවතින බැවින් ඉඩම් ගනුදෙනුවලට අදාළ ඔප්පු, බදු ප්‍රකාශ සහ බැංකු ගෙවීම් පිළිබඳ පැහැදිලි ඩිජිටල් සලකුණක් ඉතිරි වනු ඇති.
නව නීති යටතේ බදු පැහැර හරින්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ සිරදඬුවම් පවා නියම කිරීමට ප්‍රතිපාදන ඇති බැවින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි සුජීව රාජපක්ෂ එම සමුළුවට එක්ව සිටි ව්‍යවසායකයින්ට අවධාරණය කළේ.
ව්‍යාපාරිකයින් ලෙස නීත්‍යානුකූලව කටයුතු කරමින් පිරිසිදු වාර්තාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත්, ‘බදු පැහැර හරින්නෙකු’ ලෙස හංවඩු ගැසීම ව්‍යාපාරික කීර්ති නාමයට දැඩි හානියක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴
දික්කසාද තීන්දුවක් දෙන්න අල්ලස් ගත් ‘කාති විනිසුරුවරයා’ සහ බිරිඳ අත්අඩංගුවට
(18.11.2026 – hirunews.lk)
දික්කසාද තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000 ක මුදලක් අල්ලස් ඉල්ලා ලබාගත් චෝදනාවට කොළඹ උතුර ‘කාති උසාවියේ විනිසුරුවරයා’ සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාති උසාවියේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ එම විනිසුරුවරයාගේ බිරිඳ බවයි අල්ලස් කොමිසම අනාවරණය කරගෙන තිබෙන්නේ.
දික්කසාද නඩුවකට අදාළ තීන්දුවක් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබා දීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටළීම සිදු කර තිබුණා.
සැකකාර විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ හෙට (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
‘ක්‍රිප්ටො’ ලංකාවේ තහනම්.. කිසිවෙකුට වත්කමක් ලෙස නම් කරන්න බෑ.. – මහ බැංකු අධිපති
(18.11.2026 – lankacnews.com)
ශ්‍රී ලංකාව තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ වත්කමක් හෝ ගෙවීම් සේවාවක් ලෙස පිළිගැනීමට මෙරට නීති පද්ධතිය තුළ කිසිදු ප්රතිපාදනයක් නොමැති අතර, මෙරට තුළ සිදුකරන කිසිදු ගෙවීමක් සඳහා ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිත කිරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.
මෑතකදී ඉදිරිපත් වූ අයවැය යෝජනා මඟින් ක්‍රිප්ටෝ වත්කමක් ලෙස හඳුනා ගැනීමට රජය උත්සාහ කර ඇති පසුබිමක, මෙරට ඩිජිටල් මූල්‍ය පරිසරය තුළ ක්‍රිප්ටෝ මුදල්වල තත්ත්වය වෙනස් වන්නේදැයි නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැහැදිලි කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් මෙරට නීතිය තුළ විශේෂිත නියාමන ක්‍රමවේදයක් නොමැති බැවින් එය වත්කමක් ලෙස නිල වශයෙන් නම් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙරට තුළ සිදුකෙරෙන ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු නීතිය ඉතා පැහැදිලි බව සිහිපත් කළ ඒ මහතා, ශ්‍රී ලංකාව තුළ ඕනෑම ගනුදෙනුවක් හෝ ගෙවීමක් සඳහා නීත්‍යානුකූල අවසරය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් සඳහා පමණක් බව අවධාරණය කළේය.
මහ බැංකුවේ විශේෂ අවසරයකින් තොරව ක්‍රිප්ටෝ මුදල් හෝ වෙනත් කිසිදු විකල්ප මාධ්‍යයක් හරහා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් සිදුකිරීම නීත්‍යානුකූල නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙරද අවස්ථා ගණනාවකදීම මහජනතාව වෙත විශේෂ නිවේදන නිකුත් කරමින් දැනුම් දී තිබුණේ බිට්කොයින් (Bitcoin), එතීරියම් (Ethereum) ඇතුළු කිසිදු අතථ්‍ය මුදල් ඒකකයක් ශ්‍රී ලංකාව තුළ නියාමනය කර නොමැති බවයි.
එවැනි මාධ්‍යයන් හරහා සිදුකරන ආයෝජන, මූල්‍ය වංචා හෝ මුදල් විශුද්ධිකරණ අවදානම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නීතිමය යාන්ත්‍රණයක් නොමැති බැවින්, මහජනතාව ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව මහ බැංකුව දිගින් දිගටම අනතුරු අඟවා ඇත ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴