රජයේ පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – නොවැම්බර් 17 ලෙඩ නිවාඩු

රජයේ පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – නොවැම්බර් 17 ලෙඩ නිවාඩු

ලංකාවේ සෑම පස්දෙනෙකු (5) ගෙන් එක් (1) අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

කස්සප හිමි පාවිච්චි කළේ අත්මාරක්ෂාවේ අයිතියයි – ආණ්ඩුවේ පාතාල සාමාජිකයෝ තමයි එදා ආවේ (15.11.2026)

අනුර කුමාරට තෙරුවන් සරණයි | ආණ්ඩුව පාණ්ඩුව වෙන්නේ මෙයාලා හින්දා | ලැට් වලක්වත් කපන්න දෙන්නේ නෑ (15.11.2026)


රජයේ පශු වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි – නොවැම්බර් 17 ලෙඩ නිවාඩු

(15.11.2026 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය, පහසුකම් නොමැතිකම, අයවැයෙන් සුදුසු දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 600ක පමණ පිරිසක් බවය.

එම නිලධාරීන් පිරිස විසින් නිලධාරීන් 931 දෙනෙකුගෙන් ඉටුවිය යුතු රාජකාරි ප්‍රමාණය ඉටුකරමින් සිටියද, ඒ සඳහා රජයෙන් කිසිදු ඇගයීමක් හෝ සාධාරණ දීමනාවක් ලබාදීමට කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

2027 අයවැය ඉදිරිපත් කිරීමට පෙර, අමතර රාජකාරි දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් අයවැයේ දී නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද සභාපතිවරයා පැවසීය.

පශු වෛද්‍ය නිලධාරීන්ට අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමිවන මූලික කාර්යාල පහසුකම් පවා නොලැබෙන තත්ත්වයක් පවතින බවත්, ඇතැම් ප්‍රදේශවල අබලන් කාර්යාලවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල සේවා පවත්වාගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රමාණවත් නිල වාහන නොමැති බැවින් ඇතැම් අවස්ථාවල පෞද්ගලික වාහනවලින් හෝ ත්‍රිරෝද රථ කුලියට ගෙන රාජකාරි සඳහා යාමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයක් බව පෙන්වා දුන් සභාපතිවරයා, එම අවශ්‍යතාවයෙන් සියයට 90 ත් 95 ත් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවි ජනතාව හරහා සැපයෙන බවද සඳහන් කළේය.

එම ගොවි ජනතාවට අවශ්‍ය සේවා සැපයීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ට බවත්, එවැනි වැදගත් සේවාවක් ඉටුකරන නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ඒ සඳහා නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.

මේ අතර, නව නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ප්‍රමාණවත් නොවන අතර දැනට සේවයේ නිරත නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර සේවයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

නොවැම්බර් 17 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අනතුරුව රජය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදී නොවන්නේ නම්, 2027 වසරට අදාළ සියලු සංවර්ධන වැඩසටහන්වලින් ඉවත්වීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද උපුල් රංජිත් කුමාර මහතා අනාවරණය කළේය.

ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මෙන්ම රේඛීය අමාත්‍යාංශය, ප්‍රධාන කාර්යාලය සහ වෙනත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වලින්ද ඉවත්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට සියලු වාර්තා ඉහළට ඉදිරිපත් කිරීම අත්හිටුවීමටත්, දේශපාලන මැදිහත්වීම් සහිත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු රැස්වීම්වලට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴


ලංකාවේ සෑම පස්දෙනෙකු (5) ගෙන් එක් (1) අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

(15.11.2026 – sinhala.adaderana.lk)

මෙරට ජනගහනයෙන් සියයට 19 ක පමණ පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඒ අනුව මෙරට සෑම පුද්ගලයින් පස්දෙනෙකු (5) ගෙන් එක් (1) අයෙකු පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවත්, මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ අගයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතරට එක්ව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොමැති වුවද ජනතාව නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දියවැඩියාව මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර හා පාලනයකට යොමු වීමෙන් පසුකාලීන සංකූලතා රැසක් වළක්වා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේ නොවුවහොත් රෝගය සංකීර්ණ වීම හේතුවෙන් මිල අධික ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදුවිය හැකි බවත්, එය පුද්ගලයාගේ ජීවන තත්ත්වයට මෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා :

“දියවැඩියාව කියන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තිබෙන ලොකුම අභියෝගවලින් එකක්. මොකද අපේ ජනගහනයෙන් සෑම පස්දෙනෙකු (5) ගෙන්ම එක් (1) අයෙකු දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස අප හඳුනාගෙන තිබෙනවා. දළ වශයෙන් ගත් විට එය සියයට 19 ක පමණ ප්‍රතිශතයක්. නමුත් මේ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකියි. අපේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දර්ශක අතින් ඉහළ තැනක සිටියත්, බෝ නොවන රෝග අතරින් විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප තවමත් සිටින්නේ පසුපසින්. ඊට හේතුව තමයි අපි බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ අපට කිසිදු රෝගයක් නැහැ කියන එකයි. විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතා වැදගත්.

ඒ නිසා කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත්, ජනතාව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා. ඔබ රෝගී වීම ඔබට පමණක් නොව සමස්ත රටටම බලපානවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සෞඛ්‍ය පද්ධතියටත් විශාල බරක් එකතු වීමයි. අඩු වියදමකින් ලබාගත හැකි ඖෂධීය ප්‍රතිකාර මගින් පාලනය කළ හැකි දියවැඩියාව, පසුව සංකූලතා දක්වා වර්ධනය වුවහොත් බයිපාස් සැත්කම් වැනි විශාල ශල්‍යකර්ම දක්වා යොමුවීමට සිදුවිය හැකියි. ඒ නිසා ආර්ථිකමය වශයෙන් මෙන්ම ජීවිතයේ ගුණාත්මකභාවය අතින්ද මෙම රෝග පාලනය කර ගැනීම ඉතා වැදගත්. මෙවර අයවැය තුළින් ද බෝ නොවන රෝග සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වැඩි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. අපට වඩාත් වැදගත් වන්නේ රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. එසේ නොමැතිව රෝග සංකූලතා ඇති වූ පසුව ඒවා හඳුනා ගැනීමට සිදුවීම අප වැනි රටකට දරා ගැනීම තරමක් අපහසුයි.”

මේ අතර මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 15 කට වැඩි පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනය සැලකීමේදී සෑම පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගෙන් එක් (1) අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බවද ඔහු පෙන්වා දෙයි ෴


කස්සප හිමි පාවිච්චි කළේ අත්මාරක්ෂාවේ අයිතියයි – ආණ්ඩුවේ පාතාල සාමාජිකයෝ තමයි එදා ආවේ (15.11.2026)

+


අනුර කුමාරට තෙරුවන් සරණයි | ආණ්ඩුව පාණ්ඩුව වෙන්නේ මෙයාලා හින්දා | ලැට් වලක්වත් කපන්න දෙන්නේ නෑ (15.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤