‘ලාෆ්ස් ගෑස්’ මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට – කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,775 කින්
දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා
ATM කාඩ්වලින් සෙල්ලම් දාපු ඉන්දුනීසියාවෙන් ගොඩබැස්ස 4 ක් ‘හිරු CIA’ තොරතුරකින් කොටු
‘ලාෆ්ස් ගෑස්’ මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට – කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,775 කින්
(13.11.2026 – hirunews.lk)
‘ලාෆ්ස් ගෑස් සමාගම’ සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740 ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 2,720 ක් වනවා.
මෙම මිල සංශෝධනයත් සමඟ මීට පෙර රුපියල් 4,965 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740 දක්වාත්, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,720 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳපොළේ LPG මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි ‘ලාෆ්ස් ගෑස් සමාගම’ සඳහන් කරන්නේ ෴
දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා
(13.11.2026 – sinhala.adaderana.lk)
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළේය.
ඒ අදාළ පැමිණිල්ල පිළිබඳ මූලික කරුණු සලකා බැලීම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (13) අවසන්වීමෙන් අනතුරුවයි.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද තෙවන දිනටත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.
එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මද්දෙගොඩ මහතා වැඩිදුර කරුණු දක්වමින් මෙසේ පැවසුවා.
“‘අද දෙරණ’ ඇතුළු යූටියුබ් නාලිකා කිහිපයක ‘ශානිගේ වධකාගාරය තුළ සුරේෂ් සලේ රඳවාගෙන වධ හිංසාවන්ට ලක් කෙරෙන බවට’ මගේ සේවාදායකයා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙස නිකුත් කළ රැඳවුම් නියෝගය ගැන කරුණු දක්වමින් ඔහු කියා ඇත්තේ සාමාන්‍ය නිතිය යටතේ සලේ සම්බන්ධ විමර්ශන සිදුකරන්න කියලා. එකී කිසිඳු යු ටියුබ් වීඩියෝවක ඔහු අධිකරණය හෝ විනිසුරුවරයෙක් ගැන කිසිවක් සඳහන් කර නැහැ. එසේ තිබියදී 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පනත යටතේ අපහාසයක් සිදුකළ බවට චෝදනා කරන්නේ කොහොමද? ඒ නිසා මගේ සේවාදායක වගඋත්තරකරුට එරෙහිව මෙම චෝදනා පවත්වාගෙන යන්න බැහැ.”
ඉන් අනතුරුව මෙම පැමිණිල්ලට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
“ස්වාමිනි, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග දෙකක් (2) නිකුත් කිරීමට නියමිතව තිබියදී තමයි වගඋත්තරකරුවන් මෙම ප්‍රශ්නගත ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමේ සිද්ධියට අදාළව ඉකුත් ජුනි මස 10 වනදා සහ ජුලි මස 01 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එසේ තිබියදී මෙම වගඋත්තරකරුවන් ජුනි මස 07 වනදා සහ ජූනි මස 15 වනදා අතර කාලසීමාව තුළ මෙම ප්‍රකාශ සිදුකර තිබෙනවා.”
වැඩිදුරත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පැවසීය :
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ප්‍රකාශවලට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණා. එසේම සමාජ මාධ්‍යවල පළ වූ පලකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය හරහා වාර්තාවක් කැඳවීමටත් මහෙස්ත්‍රාත් වරයා නියෝග කළා. ඒ අනුව වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්‍ය පළ කිරීම පිළිබඳ වාර්තා කැඳවා කරුණු විමසා වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව බැලූ බැල්මටම පෙනී යන බව නිගමනය කිරීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. “
එම අවස්ථාවේදී වගඋත්තරකාර දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මගේ සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම තීරණයකට එළඹ නැහැ. වග උත්තරකරුවන් සිදුකළ ප්‍රකාශ වලින් විමර්ශන නිලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි ඔහු මේ තීරණයට එළැඹුණේ.” යැයි පැවසීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “මෙහි ඇතැම් වගඋත්තරකරුවන් ප්‍රකාශ කර තිබෙනවා තමන් අධිකරණය හෝ විනිසුරුවරයා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවට ශානිගේ වධකාගාරය ගැන ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාසයක් නොවන බවට මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?” යනුවෙන් විමසීය.
ඊට පිළිතුරුදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා “ස්වාමීනී පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කිරීමේ පනතට අදාළ වන්නේ නෑ. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීම අධිකරණ ක්‍රියාවලියේ කොටසක්.” යනුවෙන් සඳහන් කළේය.
අනතුරුව මෙම පැමිණිල්ලට අදාළ වාචික දේශන විමසීම අවසන් කළ අභියාචනාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වැනිදා ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දින නියම කළේය ෴
ATM කාඩ්වලින් සෙල්ලම් දාපු ඉන්දුනීසියාවෙන් ගොඩබැස්ස 4 ක් ‘හිරු CIA’ තොරතුරකින් කොටු
(14.11.2026 – hirunews.lk)
විවිධ පුද්ගලයන්ට අයත් බැංකු කාඩ්පත් භාවිත කරමින් ATM යන්ත්‍ර හරහා සිදුකළ මහා පරිමාණ මුදල් වංචාවක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත හෙළිකර ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා.
එහිදී ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර, පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන් සතුව තිබී ATM කාඩ්පත් 27 ක් හා රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් ද සොයාගත් බවයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ATM යන්ත්‍ර හරහා සැකකටයුතු ලෙස විදෙස් ජාතිකයන් පිරිසක් විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලැබී තිබුණා.
ඒ පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටි ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට ඊයේ (13) පෙරවරුවේ නිරීක්ෂණය වුයේ ඉන්දුනීසියානු ජාතිකයින් සිව්දෙනෙකු (4) තලංගම – පැලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසල සැකකටයුතු ලෙස සැරිසරන බවයි.
මෙම විදෙස් ජාතිකයින් ATM කාඩ්පත් කිහිපයක් උපයෝගී කරගනිමින් ලහි ලහියේ ලබාගන්නා මුදල් ඔවුන් සතුව තිබූ මළු තුළට බහා ගන්නා අයුරු ද නිරීක්ෂණය වුණා.
මෙම වංචනික ක්‍රියාව පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමේ සාමාජිකයින් ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශ මරදාන කොට්ඨාසයේ නිලධාරීන්ව දැනුවත් කළා.
එම තොරතුර අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් වහා වැටලීමක් සිදුකර සැකකටයුතු ලෙස ATM යන්ත්‍ර හරහා මුදල් ලබාගනිමින් සිටි සැකකාර විදෙස් ජාතිකයන් පිරිස ප්‍රශ්න කළා.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට කැඳවා ගත්තා.
එම පරීක්ෂා කිරීම්වලදී හෙළිවුයේ සැකකාර ඉන්දුනීසියානු ජාතියන් සිව්දෙනා (4) සතුව ATM කාඩ්පත් 27 ක් ඇති බවයි.
ඒ අනුව, සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් තලංගම පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී සැකකාර ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනාගේ (4) ගමන් මළු තුල රුපියල් හතලිස් ලක්ෂ හැටපන්දහසක (40,65,000) මුදලක් තිබී සොයාගෙන තිබෙනවා.
ඊට අමතරව විදේශීය දුම්වැටි 200 ක් ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසා ඇත්තේ ඔවුන් ‘වරාය නගරයේ’ සේවය කරන බවයි.
සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් ලබාගැනීමට පැමිණි බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
තලංගම පොලිසිය විසින් මෙම සැකකාර ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනා (4) වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴