ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම


ලසන්ත වික්‍රමතුංග ඝාතනය : ජනමාධ්‍ය – සමාජය කම්පනය කළ නීතිපතිගේ ලියුම

(06.02.2025 – mawbima.lk)

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කඩිනමින් යුක්තිය ඉටුකිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේද ප්‍රමුඛ පොරොන්දුවකි. ඊට පෙර එවැනි පොරොන්දුවක් දුන්නේ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවය. 2009 ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සිදු වූ මේ බිහිසුණු ඝාතනයට මෙසේ ආණ්ඩු මාරුවලින් පසුව යුක්තිය අපේක්ෂා කිරීමට සිදුවූයේ අපරාධයේ වගකීම එවක පැවැති රාජපක්ෂ පාලනයට එල්ල වූ බැවිනි. එහෙත් නව ආණ්ඩුව යටතේද ජනමාධ්‍යයට එරෙහි අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් දීම ලැසි ගමනින් යන බවට පසුගිය දිනවල චෝදනාවක් එල්ල විය. මාධ්‍ය සංවිධාන හා සිවිල් සමාජය කොළඹ පුරා ‘කළු ජනවාරිය’ මැයෙන් සුපුරුදු විරෝධය තීව්‍ර කළේ ඒ අනුවය. කළු ජනවාරියෙන් ආණ්ඩුවට විරෝධය පළ කරන අතරේම වූ සිදුවීමක් නිසා දැන් විරෝධයක සිට දැඩි කම්පන තත්ත්වයක් දක්වා ජනමාධ්‍ය සමාජයේ හැඟීම පරිවර්තනය වෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ ඉකුත් ජනවාරි 27 වැනිදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලද ලිපියකි.

එම ලිපියෙන් කියැවෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් තිදෙනකුට (3) විරුද්ධව තවදුරටත් නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැන්වීමය. මේ නිසා ඔවුන් නිදහස් කළ හැකි බවත් ඒ බව මහෙස්ත්‍රාත්වරයා වෙත දන්වා අධිකරණය ඊට ගත් ක්‍රියාමාර්ගය දින 14 ක් ඇතුළත තමාට වාර්තා කළ යුතු බවත් නීතිපතිවරයා එහි සටහන් කර තිබේ. මෙම ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වීම සමඟ නීතිපතිවරයා මෙන්ම ආණ්ඩුවද ඉලක්ක කරගෙන දැඩි විවේචනයක් ජනමාධ්‍ය සමාජයෙන් මතු වූ අතර ඊට පිළිතුරු බඳින්නට ඊයේ (05) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්සට සිදුවිය. එහිදී ඇමැතිවරයා පැවැසුවේ නීතිපති නිර්දේශය ගැන ආණ්ඩුව අධ්‍යයනය කරමින් සිටින බවය. එහෙත් මේ අවුල ගැන රටට නිවැරැදි පැහැදිලි කරගැනීමකට වූ අවස්ථාව ලබාදෙන්නට ආණ්ඩුව පැත්තෙන් සංයුක්ත තීන්දුවක් නැති බවද එහිදීම පෙනුණි. ඊට හේතුව නම් ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජය කම්පනය කළ මේ සිදුවීම ගැන කරුණු පැහැදිලි කරගැනීමට නීතිපතිවරයා ජනමාධ්‍යට සම්මුඛ කරන මෙන් ජනමාධ්‍යවේදීන් කළ ඉල්ලීමට ධනාත්මක පිළිතුරක් දීමට ජනමාධ්‍ය ඇමැතිවරයාට නොහැකි වීම නිසාය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ 2009 සිට වසරවලින් ගණන් කළහොත් මේ දක්වා ඉතිහාසය වසර 16 කි. ඝාතන පරීක්ෂණ යට ගැසීමට ගත් රාජ්‍යමය උත්සාහයක සිට මේ දක්වා එකී ඉතිහාසය ඉතා දීර්ඝය. විමර්ශන නොමඟ යැවීම්, දේශපාලන මඩ කතා, මිහිදන් කළ සිරුර ගොඩගැනීමේ සිට පුද්ගල සිය දිවි නසාගැනීම් දක්වා අතුරු කතා රැසකින් එය සමන්විතය. මේ නිසාම සාමාන්‍ය සමාජයට ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය ගැනද ලොකු අවබෝධයක් නැත. මේ නිසාම නීතිපතිවරයා නිදහස් කිරීමට නිර්දේශ කළ චරිත තුන ගැනද දැනුවත්භාවයක් තිබිය හැක්කේ මඳ වශයෙනි. එහෙත් අනෙක් අතට ජනමාධ්‍ය සමාජය තිගැස්සීමට තරම් නීතිපතිවරයාගේ නිර්දේශය බලපෑවේ ඇයි දැයි වටහාගත හැක්කේද මේ චූදිතයන් තිදෙනා (3) කවුදැයි විමසීමෙනි.

නිදහස් කරන්න යන චූදිතයන් තිදෙනා (3) කවුද?

පිළිවෙළින් මේ තිදෙනා (3) නම් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් මේජර් ප්‍රේමානන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා ගල්කිස්ස ප්‍රදේශය භාරව එවක නියෝජ්‍ය පොලිස්පති විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරය. මේ තිදෙනාගෙන් පළමුව අත්අඩංගුවට ගැනුණේ මෙහි පළමුව නම කියැවෙන යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන් මේජර් ප්‍රේමානන්ද උදලාගම නමැත්තාය. ඒ 2016 ජූලි 16 වැනිදාය. එම අත්අඩංගුවට ගැනීමට පාර කැපුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ (2) හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් (2) ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ලසන්ත ඝාතනයෙන් පසු දිනෙක තමන්ට තර්ජනය කළ පුද්ගලයා ඔහු බව ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරා 2016 ජූලි 27 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනාගත්තේය. ‘රිවිර’ පුවත්පත් කර්තෘව සිටි උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන්ද මේ හමුදා සාමාජිකයා චෝදනා ලබා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ඒ අතරේය. විමර්ශන අලුත් පාරක යද්දී ඉන් මාස කිහිපයක් ගතවන තැන 2016 සැප්තැම්බර් 27 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර නව මරණ පරීක්ෂණය සඳහා ගොඩගැනිණි.

මෙසේ විමර්ශන පණගැන්වෙද්දී ඊට දින කිහිපයක ඇවෑමෙන් 2016 ඔක්තෝබර් 16 වැනිදා සිදු වූ සිය දිවි නසාගැනීමක් යැයි කියන සිදුවීමක්ද විය. එය විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකු ලියුමක් ලියා තබා සිදුකරගත් බව කී සිය දිවි නසාගැනීමකි. ඔහුගේ ලිපියේ සඳහන් වූයේ ‘ලසන්ත ඝාතනය කළේ මම. එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරැදිකරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න. මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න’ යනුවෙනි. එවක අපරාධ විමර්ශකයන් එය සැක කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයේ සැබෑ සැකකරුවන් හඳුනාගැනීම නොමඟ යැවීමේ සිදුවීමක් හැටියටය. ලසන්ත මරාදමා ඇත්තේ වෙඩි තැබීමකින් නොව ‘හිසට විශේෂ අවියකින් කළ පහරදීමකින්’ බව අධිකරණයේදී අනාවරණය වූයේද ඉන් මාස කිහිපයකට පසුය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබූ අතර විමර්ශකයන් ඒ ගැන අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම දේශපාලන ලෝකය සසල කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පැවැසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයේ සඳහන් බවයි.

2018 ආරම්භය වන විට ඝාතන පරීක්ෂණයට අදාළව 950 දෙනකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවත් ඉන් 295 දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. නීතිපතිවරයා නිදහස් කරන්නැයි කියන දෙවැනි (2) හා තෙවැනි (3) චූදිතයන් අත්අඩංගුවට ගන්නේ මේ කාලයේදීය. 2018 පෙබරවාරි 02 වැනිදා ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාලත් පෙබරවාරි 14 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරත් අත්අඩංගුවට ගැනුණි. ඔවුන් දෙදෙනාටම (2) එල්ල වූ චෝදනාව වූයේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීමය. මේ වනවිට නව විමර්ශනය කෙළින්ම ඉලක්ක වී තිබුණේ ලසන්ත ඝාතන පරීක්ෂණ නොමඟ යැවීමේ චූදිතයන් වටාය. ඝාතනය සිදුවන කාලයේ පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත්තේද ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මෙම ඝාතන පරීක්ෂණ පිළිබඳව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේද මීට සමාන්තරවය. විමර්ශකයන්ගේ ඉල්ලීම පිට මෙම නිලධාරීන් දෙදෙනාට (2) විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කළේය. කෙසේ වෙතත් තිස්ස සුගතපාල හා ප්‍රසන්න නානායක්කාර යන පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) 2018 ජූලි මාසයේ ඇප නියම වූ අතර ඉන් මාස දෙකක් (2) ගත්වෙද්දී අපරාධ විමර්ශනයද කණපිට හැරිණි. ඊට බලපෑවේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රි – රනිල් දේශපාලන විරසකයයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනමමින් කෙරුණු ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුවූයේ මේ කාලයේය. අපේක්ෂා කළ පරිද්දෙන්ම 2018 ඔක්තෝබරයේ සිදු වූ මේ දේශපාලන කුමන්ත්‍රණයේ අතුරු ඵලයක් ලෙසින් ලසන්ත ඝාතන විමර්ශන යළි යටපත් විය.

‘උඹත් මැරුම් කන්නද හදන්නේ’

ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල යනු ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ ස්ථානයේ විමර්ශන ආරම්භ කළ ප්‍රධාන චරිතයකි. වික්‍රමතුංග මහතාගේ සටහන් පොතේ තිබූ වාහන අංක සොයාගෙන නඩු භාණ්ඩ කුවිතාන්සි ලේඛනයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කරනු ලැබුවේද ඔහු විසිනි. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අණින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හමුවට යෑමට සිදුවන්නේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා (උප පොලිස් පරීක්ෂක) අදාළ වාහන ලුහුබඳින්නට යෑමේදීය.

“මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසෙගෙ සටහනුයි නෝට් පොතයි මට දීපන්.”

ලසන්තගේ සටහන් පොත ඉල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකවරයාට තග දමා තිබුණේ එසේය. එහිදී උප පොලිස් පරීක්ෂකවරයා කර තිබුණේ බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් පමණක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමය.

රජයට එල්ල වූ බලපෑම හමුවේ 2009 නොවැම්බර් 25 වැනිදා ලසන්ත ඝාතන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණද ඒ යටතේ පරීක්ෂණ කෙරුණේ මාස තුනක් (3) වැනි කෙටි කාලයකි. ඉන්පසු අයාලේ ගිය පරීක්ෂණවලට නැවත පණ ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණු 2015 වසරේදීය.

එදා උප පොලිස් පරීක්ෂක සුගතපාල සටහන් දැමූ පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට (9) පසු රහස් පොලිසිය සොයා ගත්තේ ඒ අනුවය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවෙසේ සඟවා තිබියදීය. මෙසේ අපරාධයේ සැඟ වූ කතාව දිගෑරෙද්දී අනාවරණය වූ තවත් කරුණක්ද විය. එනම්, සැබෑ අපරාධකරුවන් හා එය කිසියම් දිනෙක සොයන්නට කවර පාලනයක් යටතේ හෝ උත්සාහ කළහොත් විමර්ශන නොමඟ යැවීම සඳහා කළ තවත් ඝාතන කතාවකි. වැදගත්ම කරුණ වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඇතුළු පිරිස සාක්ෂි වසන් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබීමය. නීතිපති පාරින්ද රණසිංහ පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපිය ජනමාධ්‍ය සමාජයේත් ලසන්ත ඝාතනයට යුක්තිය ඉල්ලූවන්ගේත් කම්පනයට හේතු වන්නේ ඒ නිසාය. මේ චූදිතයන් තිදෙනාට (3) ද එල්ල වී ඇති චෝදනාව වන්නේ සාක්ෂි වසන් කිරීමය. එහි අර්ථය නම් තවමත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවෙක් නැති බවය. ඉතින් ඒ අපරාධකරුවන් සොයා යන ගමනේදී අතපත් කුරුල්ලන්ද නිදහස් කිරීම සරල නැත. අඩුම තරමින් මෙවැනි පියවරක් බලයට පත් නව ආණ්ඩුවට මෙන්ම ජනවරමට කරන බලපෑම නීතිපති නොදන්නේ යැයි අපි නොසිතමු. ජනමාධ්‍යයට එරෙහි අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම ඇති මෙවැනි බිහිසුණු පරිච්ඡේදයක් වාක්‍ය කිහිපයක ලියුමකින් අවසන් කිරීමක් වේ නම් එය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද වනු ඇත.

බිඟුන් මේනක ගමගේ

bingungamage88@gmail.com

+++

+

+


ගිහාන් ප්‍රනාන්දු සමග කළ විශේෂ සංවාදයක් (06.02.2025)

+


දොස්තරලා වාහන බලපත් ඉල්ලයි.. මාසික දීමනා වැඩි කරන්නැයි කියයි..

(06.02.2025 – 03:21 +0530 – lankacnews.com)

විස්තර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනය =

වෛද්‍යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින්, අයවැය 2025 වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද යෝජනාවලිය.

ස්ථාවර රාජ්‍යයක් සහ ශක්තිමත් ශ්‍රම බලකායක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ආයෝජනයන් වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනයයි.

ඉතිහාසයේ සියලු දුෂ්කර අවස්ථාවන්හිදී පවා මෙරට සෞඛ්‍ය සේවාව ස්ථාවරව පවත්වා ගනිමින්, සංවර්ධිත රාජ්‍යයන් සමඟ කරට කර සිටිමින් ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමෙහිලා තීරණාත්මකම සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ, ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තීය පරිසරයත් හේතුවෙන් 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වුනු අතර, 5000 කට අධික පිරිසක්ද රට හැර යාමේ සූදානමින් පසු වෙති. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණහොත්, මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.

එබැවින් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කරමින්, යහපත් වෘත්තීය පරිසරයක් ගොඩනගමින් ඔවුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ නිදහස් සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩිව පවතී.

එමෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ මූලිකාංග සුරක්ෂිත කරමින්, මෙරට සෞඛ්‍ය පද්ධතිය හරහා ආදායම් උත්පාදනය කිරීම සඳහා නිර්මාණාත්මක සහ තිරසාර ක්‍රමෝපායන් ද හඳුනාගත යුතුය.

එවන් වැඩපිළිවෙලක මූලික අඩිතාලම දැමීමට හැකිවන පරිදි, ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන 2025 අයවැය ලේඛනයට අන්තර්ගත කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගරු ජනාධිපතිතුමන්ට සහ රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.

වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීමට සහ රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට යෝජනා :

  • සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් වෙනුවෙන් සුදුසුකම්, කාර්ය සාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.
  • වෛද්‍යවරුන්ගේ DAT (බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන) දීමනාව යාවත්කාලීන කිරීම.
  • සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්, රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකර දී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර්ග්‍රහණය කිරීම.
  • සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි දීමනාව උපයා ගැනීමේදි මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු නිරාකරණය කරන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
  • පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම.
  • සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහල නැංවීම.
  • සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරදි කිරීම.
  • වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්ට තීරු බදු සහන සහිත බලපත්‍ර යටතේ, මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම.
  • වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත හඳුන්වාදීම.
  • සෞඛ්‍ය සේවා ආයතනවල අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම.
  • සෞඛ්‍ය සේවා ආයතනයන්හි නිල නිවාස ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  • සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම.
  • උපයන විට ගෙවීමේ බදු ව්‍යුහය සංශෝධනය කිරීම.
  • බදු නිදහස් මාසික ආදායම් සීමාව රු. 100,000.00 සිට 200,0000 දක්වා ඉහල නැංවීම.
  • බදු ආදායම් කාණ්ඩ වල ප්‍රතිශතය 6% – 36% සිට 4% – 24% ලෙස සංශෝධනය කිරීම.
  • බදු පැනවීමේ වාර්ෂික ආදායම් කාණ්ඩවල අගය රු. 500,000.00 සිට රු. 600,000.00 දක්වා සංශෝධනය කිරීම.
  • පවතින බදු ව්‍යුහය තුළ, වෘත්තීයවේදීන් සුවිශේෂී කාණ්ඩයක් ලෙස හඳුනා ගැනීම. වෘත්තීයවේදින්ගේ සම්පූර්ණ වැටුපටම බදු පැනවීම වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් හදුන්වා දීම.
  • බදු මුදල් වියදම් කිරීමේදී වගවීමේ යාන්ත්‍රණයක් සහිත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
  • දැනුම ආර්ථික සංකල්පය මත පදනම්ව ආදායම් උත්පාදනය කිරීමේ යෝජනා.
  • ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවන් සපයන රෝහල් (Centers of Excellence) ස්ථාපිත කිරීම හරහා ආදායම් උත්පාදනය කිරීම.
  • සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් සඳහා විශේෂ නිවාඩු ක්‍රමයක් ඔස්සේ විදේශයන්හි වෛද්‍යවරුන් ලෙස සේවාවේ නියුක්ත වීමට අවස්ථාව ලබාදීම හරහා විදේශ විනිමය උපයා ගැනීම.
  • සායනික සංචරණ විද්‍යාව, පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගැනීම සහ ඒ සඳහා අවස්ථාවන් පුලුල් කිරීම.
  • ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම ඕනෑම රජයකට සහ පාලකයෙකුට අත්හල නොහැකි වගකීමකි.

ඉහත යෝජනාවලිය හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ වනුයේ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරමින්, ඔවුන් ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය තහවුරු කිරීමයි.

මෙම යෝජනාවලියෙහි අන්තර්ගත කරුණු, ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් කාලරාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. එහිදී කෙටිකාලීනව ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවන් ද පවතින අතර, ඇතැම් යෝජනා කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක කළ හැකිය.

මෙම යෝජනාවලියේ අන්තර්ගතයත්, එය ක්‍රියාත්මක කිරීමෙහිලා අනුගමනය කළයුතු උපායමාර්ගත් සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු වගකිවයුත්තන් සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, නිදහස් සෞඛ්‍ය සේවාවේ පුනරුදය ඇති කිරීම තුල සුවපත් සහ නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්වකීය උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදීමට සූදානමින් සිටින බව ද සපථ කරමු ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *