නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ

නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ


නව ආරක්ෂක ලේකම් සහ මහජන ආරක්ෂක ලේකම් පත්කෙරේ

(23.09.2024 – 14:55 +0530 – hirunews.lk/sinhala)

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ‘සම්පත් තුයියකොන්තා’ පත්කර තිබෙනවා.

1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33 ක කාලයක් ගුවන් හමුදාවේ සේවය කර 2021 වසරේදී විශ්‍රාම ගනු ලැබුවා.

එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘රවී සෙනෙවිරත්න’ පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) දිනයේ එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇත්තේ ‘කේ. ආනන්ද විජේපාල’යි ෴

+

අති දක්ෂ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මෙහෙයුම් නියමුවෙකු වූ නව ආරක්ෂක ලේකම්

(23.09.2024 – 18:14 +0530 – hirunews.lk/sinhala)

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක්.

ඔහු 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව තිබෙනවා.

පසුව 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත්ව ඇති බව බවයි පැවසෙන්නේ.

එම වසරේම ඔහු බෙල් 212 සහ 412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරියේ නිරතව තිබෙනවා.

මේ අතර 2001 අවුරුද්දේදී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත දෙවන අණදෙන නිලධාරියෙකු වශයෙන් පත්වී ඇති බව සඳහන්.

ඒ අනූව ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට ඔහු පත් කර තිබෙන අතර, 2005 වසරේදී අණදෙන නිලධාරි වශයෙන් උසස්වීම් ලබා තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සිය සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සිදුකළ සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා දායකත්වය සපයා තිබෙන නිලධාරියෙක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000 කට අධික කාලයක් වාර්තා කිරීමට ද එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර දෙවසරක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළා.

ඔහු විසින් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම’, ‘රණ ශූර’ ඇතුලු පදක්කම් රැසක් හිමිකරගෙන තිබෙනවා ෴

+


ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදා ගනී

(23.09.2024 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

අද (23) උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව දළදා වහන්සේ වැඳපුදාගනු ලැබුවා ෴

+

++++++++++

මහනුවර පිල්ලේයාර් කෝවිලට ගිය ජනපති අනුරව මිනිස්සු වටකරගනී | කොවිල ඇතුලේ පුදුම පොරයක් (23.09.2024)

++++++++++

ජනපති අනුර කාදිනල් හිමිවත් හමුවෙයි | ජනපතිවත් තියාගෙනම කාදිනල් හිමි මාධ්‍යයට කතාකරයි… (23.09.2024)

+


ජනපති අනුරගෙන් හිස් වූ මන්ත්‍රී පුටුවට ලක්ෂ්මන්ගේ නම ගැසට් කරයි

(23.09.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලෙස තේරී පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් සිදුවුණා.

එලෙස පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ‘ලක්ෂ්මන් නිපුණආරච්චි’ ගේ නම ගැසට් කර තිබෙනවා ෴


වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

(23.09.2024 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි.

කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වේ.

වෙස් ඇඳුම් කට්ටලයට සමානකමක් දැක්වූ දේශීය කාන්තා රංඟවස්ත්‍රාභරණ කට්ටලය කාන්තාවන්ට සුදුසු ලෙස නිර්මාණශීලීව සෝමබන්දු විද්‍යාපතිගේ සහයෝගය සමඟ සකස් කිරීමේ ගෞරවය අදටත් හිමිවන්නේ වජිරා චිත්‍රසේනටයි.

තාණ්ඩව ගතිලක්ෂණ මෙන්ම චලන ද අන්තර්ගත වන උඩරට නර්තනයට ලාස්‍ය ලක්ෂණ සුදුසු පරිදි යොදා ගනිමින් කාන්තාවන්ට උචිත වූ නර්තන විලාසයන් සමඟ ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමට ඇය සමත් වුණා.

1949 දී චිත්‍රසේන මහතා රචනා කළ රාවණා මුද්‍රා නාට්‍යය සඳහා පූජා නර්තනයෙන් මෙන්ම කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍යයන් සඳහා නර්තනයෙන් ද තම දායකත්වය ලබා දෙනු ලැබුවා.

මේ අතරින් කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයත් නල දමයන්තිහි හංස ධේනුවගේ චරිතයත් ඇගේ නර්තන ප්‍රතිභාව මෙන්ම රංගන කෞෂල්‍ය ද විදහා දැක්වීමට සමත් වුණා.


කොළඹ එන්න බස් නැතැයි මගීන්ගෙන් චෝදනා

(23.09.2024 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට සිය ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹ බලා ඒමට බස් රථ ප්‍රමාණවත් නැති බවට මගීන් චෝදනා කරනවා.

හැටන් ඇතුලු‍ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම බස්නැවතුම්පළවල මගීන් දිගු පෝලීම්වල රැදි සිටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංසගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කළේ ඡන්දය භාවිත කිරීමට සේවකයින් ගම්බිම්බලා යාම හේතුවෙන් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට යොදවා ඇති බවයි.

කෙසේ වෙතත් අද (23) පස්වරුව වන විට තවත් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පෞද්ගලික බස් රථ අද (23) සීමිත වුවත් හෙට (24) සිට සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා ෴


ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජයපාල පත් කෙරේ

(23.09.2024 – 18:50 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය ෴


23.09.2024

හැමදේම ගිනිගත්තා, බිත්තියේ එල්ලපු රතන සුත්‍රය විතරක් ඉතිරි වුණා | පුළුවන් නම් අඬන් නැතුව බලන්න!! (23.09.2024)

+


ලංකා වාණිජ මණ්ඩලයෙන් නව ජනපතිට යොමුකළ ලිපිය

(23.09.2024 – 23:27 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ආර්ථිකයේ ක්ෂේත්‍ර 10 ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය පවසනවා.

ලිපියක් යොමුකරමින් ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ නව ජනාධිපතිවරයාගේ පළමු මාස ​හයක (6) කාලය තුළ එම කරුණු විසඳිමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වානිජ මණ්ඩලයේ Vision 2030 ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ධුර කාලයේ පළමු මාස ​​හය (6) තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10 ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව, බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණ කිරීම, සාර්ථක තුන්වැනි (3) සමාලෝචනයක් සහ සිව්වැනි (4) වාරිකය ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන සමග ඉදිරියට යාම වාණිජ මණ්ඩලයේ පළමු ඉල්ලීමයි.

වත්මන් බදු ගෙවන්නාට බරක් නොවන සේ, ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම, RAMIS සහ SVAT වැනි ආදායම් එකතු කිරීම් සම්බන්ධ කරුණු යළි සමාලෝචනය කිරීම දෙවැනි (2) යෝජනාව ලෙසින් වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

On Arrival Visa ගැටලුව වහාම විසඳීම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම, ජාතික තනි දොර වෙළෙඳ කවුළුව (National Single Window for Trade) ක්‍රියාත්මක කිරීමට කැපවී ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ සලසා දීම, ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම වෙනුවෙන් ‘ජාතික ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවක්’ පිහිටුවීම;

ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම;

පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑ හැකි තාවකාලික ගැසට් හෝ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් වැළැකීම සහ කළයුතු වෙනස්කම් පිළිබඳව පෞද්ගලික අංශය සහ අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුව (Governance Diagnostic Assessment) මත පදනම්ව සකස් කරන ලද රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කිරීම; සහ

චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම යන කරුණු ලංකා වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයා වෙත යොමු කළ ඉල්ලීම් ලිපියේ සඳහන්.

+


අදින් පසුව A4 කොලයක්වත් හොරකම් නොකර අනුර සමග රට හදන්න ලෑස්තිවෙමු – නීතිඥයින්ගෙන් ජනතාවට (23.09.2024)

+


මහ රෑ දවටගහ පල්ලියට ආ ජනපතිට කිසිවෙකු නොසිතූ පිළිගැනීමක් (23.09.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *