ජනපතිගේ කතාවට විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රතිචාරය
(20.04.2023 – 07:23 +0530 – sinhala.adaderana.lk)
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය.
ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ අදහස් පළ කළේය :
“යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා. එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට – එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්. ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ගෙන් ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නියෝගයක්
(20.04.2023 – lankadeepa.lk)
මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10 කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08 ක් මාස හයකට (06) වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂවරයා සඳහන් කළ අන්දමට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මුල්‍ය සමාගමේ ගිණුම් අටක (08) ‘අත්‍යන්ත මුදල්’ (Crypto Currency) වශයෙන් රුපියල් කෝටි 43 කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේ දී හෙළිවූ අතර, ඒ අනුව එම ගිණුම් අටේ (08) ගනුදෙනු ඊයේ (19) සිට මාස හයක (06) කාලයක් අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
ඒ අනුව මෙලෙස අත්හිටුවූ ගිණුම් අට (08) වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස් පී.ටී.වයි.එල්.ටී.ඩී. සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.
මෙම ගිණුම් හිමි අය අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් සිවු (04) දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළත් වන අතර, එම පුද්ගලයන් සිවු (04) දෙනා ඇතුළු එම සමාගමේ අධ්යක්ෂවරුන් හය (06) දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් ඉකුත්දා නිකුත් කෙරිණි.
මෙම ‘ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ’ ගිණුම් දෙකක් (02) සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු (02) ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එම ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා එම පුද්ගලයන් දෙදෙනාගේ (02) ජංගම දුරකතන, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේය.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදා ගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මුල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57 ක් ද අත්හිටුවීමට ඉකුත් 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු කරමින් ‘අතත්‍ය මුදල් වොලට්ටු’වල (Crypto Currency Wallent) ඇමරිකානු ඩොලර් කෝටි 10 කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.
බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් (14719) ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් (31223) අනුරාධ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ ෴
මට කරපු දෙයට දෙරණ සහ හිරු නාලිකා ජාතියෙන් සමාව ගත්තා. රනිල්ගේ සුරතලා ගැන හෙලිකරයි (19.04.2023)
+
IMF සහනයෙන් පසු රට කොතනටද?
(20.04.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යම්තාක් දුරට දියුණු වී ඇත්තේ රටම නොඉවසිල්ලෙන් බලා සිටි, රට තුළ ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම හිමිවීම නිසාවෙන්.
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.9 ක IMF හි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) මාර්තු 20 වැනිදා නිවේදනය කිරීම, එයින් ඩොලර් මිලියන 330 ක් පමණ රටේ මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා වහාම ලබාදීම ශ්‍රී ලංකාවට මහත් සහනයක් වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය, ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවට එහි විශ්වසනීයත්වය යම් ප්‍රමාණයකට ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාර වන අතර වෙනත් බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනවලින් මූල්‍ය ආධාර ලබා ගැනීමට ද සහායක් වනවා.
කෙසේ වෙතත්, IMF පැකේජය පිළිබඳ මෙරට ප්‍රජාවගෙන් සහ විශ්ලේෂකයින් ගෙන් ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයි.
මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති කොන්දේසි රටේ ජනගහනයේ සැලකිය යුතු කොටසට වඩාත්ම දරුණු ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කරන බැවින් තවදුරටත් බංකොලොත් රටක් නොවීම පිළිබඳ සහනය සාමාන්‍ය මිනිසාගේ ඉරණම ගැන පුරෝකථනය කිරීමක් වනවා.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය වැඩසටහනක් අවශ්‍ය වූ 17 වැනි අවස්ථාව මෙයයි.
මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළ මගින් අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ප්රාග්ධනය ලබා දීම සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජයට ප්‍රතිපත්තිමය අවකාශයක් සලසා දෙනු ලබනවා.
තවද, මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත කිරීම තුළින් රජයට අනෙකුත් බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඩොලර් බිලියන 7 කට අධික සමස්ත අරමුදල් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාව කෙරෙහි පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට හැකි වන බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ පර්යේෂක මයිකල් අයිව්සන් පවසන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධානය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැඩි කොන්දේසි සහිත බවයි.
ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකම නිවේදනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ නිල මාධ්‍ය නිවේදනය සඳහන් කළේ ‘මූල්‍ය හා ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවය අවශ්‍ය’ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජය සිය බදු යාන්ත්‍රණ ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අඛණ්ඩ අයවැය හිඟය පියවා ගැනීමට සහ ආදායමට අනුකූලව වියදම් ගෙන ඒම සඳහා වියදම් කළමනාකරණය කරන ලෙසත් ය.
ප්රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස IMF රජයෙන් ඉල්ලා සිටියා.
මාස හයක (6) පළමු IMF සමාලෝචනයට පෙර, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සහ පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් අනුමැතියට පෙර දීර්ඝ ප්‍රමාදයකින් පසු චීනයෙන් ද, ඊට පෙර ඉන්දියාවෙන්, ජපානයෙන් ශ්‍රී ලංකාවට ණය සහන හා ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහතික ලැබී තිබූ අතර, රජය අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය ප්‍රකාශයට පත් කිරීමට ඉලක්ක කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීමේ වැඩසටහනේ කොටසක් ලෙස දූෂණය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්වන පළමු ආසියාතික රට ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දූෂණ සහ පාලන දුර්වලතා තක්සේරු කර නිර්දේශ ලබා දෙන බවයි
“මෙම තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්ෂේත්රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් සහ සිවිල් සමාජ සංවිධාන සමඟ තවදුරටත් සම්බන්ධ වීම සහ සහයෝගීතාවයන් අපි බලාපොරොත්තු වෙමු.” ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා.
විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා අනුමැතිය ලැබීම පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ, විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තුළින් ආර්ථිකය දිගු කාලීනව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා රජය පැහැදිලි කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීම නොතකා ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳව තමන් දැනුවත් බවයි.
කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභ්‍යන්තර දේශපාලන ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂවල මෙන්ම, රටේ දේශපාලන නායකත්වයේ නාටකාකාර වෙනසකට තුඩු දුන් සහ වික්‍රමසිංහ මහතා ඉහළට ගෙන ගිය පසුගිය වසරේ අරගලය ව්‍යාපාරයට නායකත්වය දුන් සිවිල් සමාජ කණ්ඩායම්වල සහ වෘත්තීය සමිතිවල විවේචනවලට ලක්ව සිටිනවා.
සමාජ ක්‍රියාකාරීන් රැසක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම ඇතුළු විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රමවේද භාවිත කරන බව වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එල්ලවන බරපතළ චෝදනාවක්.
බලයෙන් පහකළ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමන්විත වන ඔහුගේ පාර්ශ්වය ගැන ජනාධිපතිවරයාට විශ්වාසයක් නොමැතිකම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමා ඇතැයි විරුද්ධ පක්ෂය දිගින් දිගටම චෝදනා කරනවා.
ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිටින්නේ අවදියෙන්.
එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, “අධික උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවත් ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.”
“ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් නිශ්චිත සහ විශ්වසනීය මූල්‍ය සහතික ලබාගෙන ඇති බැවින්, IMF සහාය දක්වන වැඩසටහනට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම බලධාරීන්ට සහ ණය හිමියන්ට දැන් වැදගත්” බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මූල්‍ය ගැලපීම් සාර්ථක වීමට නම්, බදු පරිපාලනය, රාජ්‍ය මූල්‍ය හා වියදම් කළමනාකරණය සහ බලශක්ති මිලකරණය පිළිබඳ තිරසාර මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් CNBC වෙත පැවසුවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආරවුල් ‘අපි අතීතයේ දුටුවාට වඩා තරමක් වෙනස් අර්බුදයක්’ බවයි.
ඔහුගේ අදහස වූයේ “ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් තිබේ. මේ සඳහා රජයේ පාර්ශවයෙන් රාජ්‍ය මූල්‍ය ඒකාග්රතාවයක් අවශ්‍ය වනු ඇති බවට පුළුල් එකඟතාවක් ඇත. අපි සැලකිය යුතු ප්‍රමාණයක හිමිකාරිත්වයක් දකින අතර, මෙම සම්පූර්ණ වැඩසටහන සඳහා සැලකිය යුතු නායකත්වයක් තිබිය යුතු” බවයි ෴
++++++++++
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලට ජපානයේ සහාය
(20.04.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 13 වනදා ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව, සහ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට පැමිණීමට හැකිවීම ශ්‍රී ලංකාවට වැදගත් සාධකයක් වනු ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴