ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට


ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

(30.12.2022 – 21:00 +0530 – sinhala.adaderana.lk)

ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා කැස්බෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත් පරීක්ෂාකර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බව පොලීසිය කියයි.

ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4,000 ක මුදලක් ලබාදෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව ව්‍යාපාරිකයා පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් (500) ලබාදෙන ලෙස සැකකරු ව්‍යාපාරිකයා ට පවසා තිබූ බව පොලීසිය පැවසීය.

ඒ අනුව ව්‍යාපාරිකයා රුපියල් පන්සීයක් (500) එම පුද්ගලයාට ලබාදී ඇති අතර ඔහු එම මුදල ගත් සැණින් එම ස්ථානයෙන් පිටවීම පිළිබඳ සැක සිතූ ව්‍යාපාරිකයා ජල සම්පාදන මණ්ඩලයට දුරකථන ඇමතුමක් ගෙන තම ගිණුම් අංකය පවසා ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරියකු යොමුකළේ දැයි විමසා ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

එලෙස නිලධාරීයෙකු යොමු නොකළ බවත් විසන්ධි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා ඔහු හමුවට පැමිණ පිටවී ගිය පුද්ගලයා ගැන සොයාබැලීමේදී සැකකරු තවත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඒ අයුරින්ම එම ව්‍යාපාරිකයා සමග කතාබස් කරමින් සිටියදී ඔහු සමඟ එක්ව සැකකරු අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු මහරගම පන්නිපිටිය පදිංචිකරුවෙකි.

පාරිභෝගිකයකු ගේ ජල සැපයුම විසන්ධි කිරීමට නම් අනිවාර්යෙන්ම ඉංජිනේරු සහකාරවරයෙක් පැමිණිය යුතු යැයි ජල ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසීය.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුරංග රණවීර, පොලිස් කොස්තාපල් (75769) ජයතුංග මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරයි ෴


විදුලිබලය අඩුවෙන් පාවිච්චි කළොත් වැඩි ‘ලයිට් බිලක්’

(31.12.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

2023 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ ‘අඩු විදුලි පරිභෝජනයක්’ සහිත ජනතාවට බව වාර්තා වනවා.

එම සංශෝධනය හෙට (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිත බව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

නව සං‍ශෝධනය යටතේ ඒකක 0 සිට 60 දක්වා කාණ්ඩය යටතේ ඒකකයක් සඳහා වන ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා.

• ඒ අනුව ඒකක 0-30 දක්වා රුපියල් 8 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද රුපියල් 120 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දැමීමට යෝජිතයි.

• ඒකක 31 – 60 දක්වා රුපියල් 10 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වා ද රුපියල් 240 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.

• ඒකක 60 න් ඉහළ කාණ්ඩය යටතේවන ඒකකයක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ද නව සංශෝධනයෙන් ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1 – 60 දක්වා පැවති රුපියල් 16 ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දමා ඇති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 650 ක් ලෙස අලුතින් එක්කර තිබෙනවා.

• ඒකක 61 – 90 දක්වා රුපියල් 16 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද රුපියල් 360 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

• ඒකක 91 – 120 දක්වා රුපියල් 50 ක්ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනය නොවූ අතර රුපියල් 960 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

• ඒකක 121 සිට 180 දක්වා රුපියල් 75 ක්ව පැවති ඒකකයක ගාස්තුව සංශෝධනයට කර නොමැති නොමැති අතර රුපියල් 960 ක්ව පැවති ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

• ඒකක 181 ඉක්මවා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට රුපියල් 75 ක්ව පැවති ඒකකයක ගාස්තුව වෙනස් නොවන අතර රුපියල් 1500 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.

• පරිභෝජනය කරන වේලාවන් අනුව සංශෝධනය කර ඇත්තේ රාත්‍රී 10:30 ත් පෙ.ව. 05:30 ත් අතර රුපියල් 30 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 40 ක් වන ලෙසට සහ 1500 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2000 ක්වන ලෙසින්.

• ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා ඒකක 0-30 දක්වා රුපියල් 8 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාද රුපියල් 90 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

• ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වාද රුපියල් 120 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජිතයි.

• ඒකක 91-120 දක්වා රුපියල් 20 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද රුපියල් 120 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

• ඒකක 180 න් ඉහළ පරිභෝජනය කරන ආගමික ස්ථාන සහ පුණ්‍යායතනවලට රුපියල් 32 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර රුපියල් 1500 ක්ව පැවති ස්ථාවර ගාස්තුව 2000 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

+


කංසා ගේන්න හදන ‘ත්‍රෛලෝක විජයපත්‍ර සෝබනිය’

(31.12.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කංසා කර්මාන්තය ප්‍රවර්ධනයට යම් යම් පුද්ගලයින් ඉදිරිපත්වීම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි විශ්වනාත් පවසනවා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් සංවිධාන කළ ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් සංවිධානය කළ දුම්කොළවලින් තොර කලාප ඇකි කිරීම සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයීමේ උළෙල පසුගියදා පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න පැවසුවේ රටේ අනාගතය විනාශ කරන ප්‍රධාන
සාධකය බවට දුම්කොළ හා මධ්‍යසාර පත්ව ඇති බවයි.

මෙහිදී අදහස් දක්වමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි විශ්වනාත් පැවසුවේ කංසා කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ පුද්ගලයින් කටයුතු කිරීම මේ වන විට රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගය බවයි.

+


දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

(31.12.2022 – 16:08 +0530 – sinhala.adaderana.lk)

රටේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශයේ කිහිපදෙනෙකු නම් එහි ගැටලුවක් පවතින බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පවසයි.

ඊයේ (30) පැවති උත්සවක් අමතමින් ඒ මහතා කියා සිටියේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කිරීමේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එහි ප්‍රමුඛත්වය ගත යුතු බවය.

දුම්කොළවලින් තොර කලාපයක් ඇති කිරීම සඳහා දායකවු මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් ඇගයීමේ උළෙල ඊයේ (30) පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා වුයේ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල කරුණාරත්න මහතා,

“මේ රටේ ආනාගතය බිලිගන්න ප්‍රධානතම සාධකය දුම්කොළ සහ මධ්‍යසාර. රටේ සිගරට් එකේ මිල තීරණය කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. රටේ මධ්‍යසාරවල මිල නියම කරන්න ඕනේ එතන ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ආධිකාරිය එතන ඉන්න ඕනේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ආධිකාරිය තමයි දන්නේ කොච්චරක් අපේ රටේ තියනවාද?, පරිභෝජනයට කොච්චරක් ඉදිරිපත්වෙලා තියෙනවා ද?, අවශ්‍යතාවය කියලා කියන ප්‍රමාණය කොච්චරක්ද?, රටේ තියන ප්‍රමාණය කොච්චරක්ද?, ප්‍රතිපත්තිය මොකක්ද?, මේක යම් ආකාරයකට සීමා කරන්නනේ කොහොමද? කියලා.”

“ඉතාමත් පැහැදිලි… අවුරුදු 21 කට අඩු කෙනෙකුට මේක විකුණන්න බැහැ. පැහැදිලිව තිබෙනවා. මගේ ප්‍රශ්නය ඕක නෙමේ. කඩේ කවුන්ටරයේ ඉන්නවා 18 ට වැඩි 21 ට අඩු ළමයෙක්. මේ ළමයා දුම්කොළ නිෂ්පාදන විකුණනවා. දැන් මොකද කරන්නේ.. පනත නිහඬයි. ඒ නිසා මේක සම්බන්ධයෙන් දැනට නඩු ගන්න එපා. මොකද හේතුව මේක පැහැදිලි නෑ. මහෙස්ත්‍රාත්වරයෙක් විදියට පැහැදිලි නැති කරුණක් සම්බධයෙන් ඔයාලට කියන්න බෑ නඩු ගන්න කියලා. පනතේ 30 වැනි වගන්නතිය යටතේ ප්‍රකාර සාදන ලද නියෝග මගින් ප්‍රකාශිත දුම්කොළ නිෂ්පාදන කිසිවක් සෑදීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීමට ඉදිරිපත් කරලීම තහනම්.”

“එකේ පළමු එකේ මොකක්ද කියන්නේ.. දුම්කොළ අඩංගු දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක්. හොඳම උදාහරණය දුම්කොළත් සමග දෙන බුලත් විට. බලන්න නීතිය පැහැදිලිව තියෙනවා, දුම්කොළ කැබැල්ල අන්තර්ගත කරාට පස්සේ ඔන්න වරද නිර්මාණය කළා. ඔයාලට මම මේ උසාවිවල වෙන්න පුළුවන් දෙයක් ගැනයි කියන්නේ. ඇවිල්ලා කියනවා.. වරද වුණා.. අපි කැමති මේක ඉල්ලා අස් කරන්න. අපි කැමති නැහැ මේක ඉදිරියට අරගෙන යන්න.”

“රටේ නීතිය අනුව වරදක් වුණාට පස්සේ තියෙන්න ඕනේ මොකක් ද?.. දඬුවම. වරදක් කරාට පස්සේ කොහොමද වරද කරපු කාරණය ඉල්ලා අස්කර ගන්නේ. එකට හේතුව අපරාධයක් කියන්නේ රජයට එරෙහිව කරපු වැරැද්දක්. එහෙම නම් රජය තමයි අපරාධ වැරැද්ද මෙහෙය වන්නේ. රජය වෙනුවෙන් තමා ඔබතුමන්ලා පෙනී සිටින්නේ. ඒ නිසා කවුරුහරි කියනවා නම් අපරාධය වුණාට පස්සේ දැන් ඒක ඉවරයි කියලා, එහෙනම් කියන්න තියෙන්නනේ දඬුවම භාරගෙන ඒ අනුව කටයුතු කරන්න කියලයි.”

+


සරණාගතයින් 209 ක් සමග යාත්‍රාවක් මුහුදේ ගිලී සිදුවූ ඛේදවාචකය

(31.12.2022 – 14:23 +0530 – sinhala.adaderana.lk)

ඉන්දුනීසියාව බලා ගමන් කළ මියන්මාරයේ රෝහින්‍යා සරණාගතයන් 209 දෙනෙකු රැගත් විශාල ප්‍රමාණයේ යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වී දියේ ගිලී ඇති බව මෙරටට පැමිණ සිටින සරණාගතයින් පිරිසක් පවසයි.

ගැඹුරු මුහුදේ අනතුරට ලක්වී, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මුදාගත් රෝහින්‍යා සරණාගතයින් පිරිසක් එම සිදුවීම පිළිබඳව නාවික හමුදාව වෙත ප්‍රකාශකර තිබේ.

2017 වසරේදී මියන්මාරයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයත් සමග රෝහින්‍යා සරණාගතයන් පිරිසක් බංගලාදේශයේ සරණාගත කඳවුරකට පැමිණ තිබුණි.

එහි වසර ගණනාවක් රැඳී සිටි ඔවුන් පිරිස ඉන්දුනීසියාවට යෑම සඳහා බංගලාදේශයේ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් හරහා යාත්‍රා මගින් පසුගිය ඔක්තෝබර් මස 30 වනදා දියඹට ගොස් තිබුණි.

ඉන් එක් යාත්‍රාවක කාන්තාවන් හා දරුවන් ඇතුළු 109 ක් සහා අනෙක් යාත්‍රාවේ කාන්තාවන් හා දරුවන් ඇතුළු 209 ක් සිටි බව සරණාගතයින් පවසා ඇත.

පුද්ගලයන් 209 ක් රැගත් යාත්‍රාව අනෙක් යාත්‍රාවටද මඟපෙන්වමින් ඉදිරියෙන් ගමන් කරමින් සිටින අතරතුරදී නොවැම්බර් මස 15 වනදා පමණ ගැඹුරු මුහුදේදී දැවැන්ත කුණාටුවකට හසුවී ඇති බව ඔවුන් පවසයි.

එහිදී පුද්ගලයන් 209 ක් රැගත් යාත්‍රාව දියේ ගිලී අතුරුදන්වී ඇත.

අනෙක් යාත්‍රාවද එහිදී කාර්මික දෝෂයකට ලක්වී ඇත.

පසුව එම යාත්‍රාවේ සිටි බංග්ලාදේශ ජාතික ස්කිපර්වරයා ඉන්දියාවට ගොස් අමතර කොටස් ගෙන එන බව පවසා කුඩා බෝට්ටුවක් ඔවුන් සිටින ස්ථානයට ගෙන්වා පළාගොස් තිබේ.

ඒ අනුව මාසයකට ආසන්න කාලයක් මෙම සරණාගතයන් රැගත් යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී පසුගිය 17 වනදා ශ්‍රී ලංකාවට උතුරු දිගින් වූ මුහුදේ දී මෙරට නාවික හමුදාව විසින් මුදාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබුණි.

එහිදී ඔවුන් පිරිස කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.

සරණාගතයින් පිරිස ඔවුන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ කරුණු අනාවරණ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. 

ඒ පිළිබඳව ඉදිරියේදී මියන්මාර සහ බංගලාදේශ රජයන් දැනුවත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙරට තුළද යාත්‍රා මගින් පුද්ගලයන් විදෙස් ගත කරන බව පවසා මෙවැනිම ජාවාරම් ක්‍රියාත්මක අතර ඒවාට හසුනොවන ලෙසය.

+


500 දෙනෙකු විශ්‍රාම යෑම නිසා දුම්රිය ගමන්වාර 44 ක් අවලංගු කෙරේ

(31.12.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala)

අද (31) දුම්රිය ගමන්වාර 44 ක් පමණ අවලංගු වී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කෙටි දුර ධාවනය සඳහා එක් කර ඇති දුම්රිය රැසක් එලෙස අවලංගු වී තිබූ බවයි.

අදින් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500 කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන අතර, ඒ අතර දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ විශාල පිරිසක් සිටීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ තවදුරටත් සේවය අවශ්‍ය නම් වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසයි.

එහෙත්, ඒ සඳහා නිසි අනුමැතිය ලැබෙනතුරු අදාළ සේවකයන් සේවයට වාර්තා නොකරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අවශ්‍ය ප්‍රමාණයට සිටියත් ඍජුවම දුම්රිය ධාවන කටයුතුවලට සම්බන්ධ පිරිස් විශ්‍රාම යෑමෙන් ඇතිවන ගැටළු සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ද ඔවුන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, වයස අවුරුදු 60 ඉක්ම වූ රාජ්‍ය සේවකයන් 30,000 කට ආසන්න පිරිසක් අද (31) සිට විශ්‍රාම යන අතර, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ද ඊට ඇතුළත් වුණා.

ඔහුගේ විශ්‍රාම යෑමත් සමඟ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පත් කර ඇති අතර, ඔහු අනිද්දා (02) වැඩ භාර ගැනීමට නියමිතයි.

සෙසු විශ්‍රාම යාම් වලින් ඇතිවන පුරප්පාඩු සඳහා නව පත්කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *