ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව)

ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව)


ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව)

(14.12.2022 – 22:02 +0530 – lankacnews.com)

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට මිස ‘විදුලිබල මණ්ඩලය 8 ට කඩා විකිණීමට’ නොවන බවත් ඒ ජනවරම අනුව, පත් කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට කිසිසේත්ම වරමක් ලැබී නැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, එවැන්නකට සූදානම් නොවන ලෙස අවධාරණය කළේය.

පසුගියදා රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘කෑගල්ල සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“දැන් දවස් කිහිපයක ඉඳලා අපේ රට සීතල ටිකක් වැඩි, ඒ වගේම දුමාරය සහිත අපිරිසිදු වායුගෝලයකට හිමිකම් කියන, රටක් බවට පත්වෙලා. ඉන්දියාවේ ඇති කරන ලැව්ගිනි අපේ වායුගෝලය දූෂණය වෙන්න බලපානවා. ඒ වගේම තමයි ලෝකයේ වෙන රටක, වෙන තැනක සිද්ධ වෙන දේ මේ රටේ ඉරණම් කතාවත් එක්ක ගැටගැහිලා තියෙනවා. ලෝක සිතියමේ වෙනම ස්වෛරී රාජ්‍යයක් හැටියට දේශපාලන වශයෙන් හඳුන්වා ගත්තාට මේ පෘථිවි තලය මත භෞතිකව සිදුවෙන සෑම කාරණයකම අඩු වැඩි බලපෑම් අපි කාටකාටත් එල්ල වෙනවා. අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය දෙසත් එවැනි ප්‍රවේශයකින් බැලිය යුතුයි. ශ්‍රී ලංකාව අද ‘ණය ගෙවා ගන්න බැහැ’ කියලා ප්‍රකාශ කරපු රටක්; තෙල් නැතුව, ගෑස් නැතුව පාරේ, පෝලිම්වල දවස් තුන, හතරේ ඉඳගෙන මිනිස්සුන්ට මැරෙන්න වුණු රටක්. එතැනට මේ රට වැටුණේ කොහොමද? මේකට තිබෙන්නේ දේශීය වශයෙන් බලපාන හේතු පමණද?

හොරකම, දූෂණය ආපු හැටි

මේකට තියෙන ජනප්‍රිය උත්තරය තමයි ‘මුන් හොරා කෑවා. ඒ හින්දා මෙහෙම වුණා.’ කියන එක. හැබැයි හොරා කන දේශපාලනඥයෝ ඉන්න, මෙහෙම හොම්බෙන් නොගිය තව රටවල් තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන්න බැහැ, ‘හොරා කෑම පමණයි එකම සහ අවසන් හේතුව’ කියලා. ඇමරිකානු එක්සත් ජනපද ආධාර ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ආවාම එතුමියත් කිව්වේ, ‘දූෂිත දේශපාලනඥයන් විසින් සොරා කෑම් සිදුකරන ලද නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැටිලා.’ කියලයි. විපක්ෂයේ දේශපාලනඥයෝ කියන්නෙත් ඔය කතාවම තමයි. සමන්තා පවර් ඇයි එහෙම කියන්නේ? සමන්තා පවර්ලාට ඕනෙ මේ අර්බුදයේ ඇත්ත හේතුව හඳුනාගන්න එක නතර කරන්න. හොරකම, දූෂණය ආවේ 1977 විවෘත වෙළඳපොළ ආර්ථිකයත් එක්ක අත්වැල් බැඳගෙන නිවුන් දරුවෙක් විදිහට. 1977 ට කලින් මේ රට මෙහෙම පිරිහුණු දේශපාලන සංස්කෘතියක් තිබුණු රටක් නොවෙයි, තමන්ගේ දේපළ, මහජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් යොදවපු දේශපාලන නායකයෝ හිටිය රටක්; ආදර්ශවත් දේශපාලන චරිත බිහිවුණු පොළොවක්.

යූ. බී. වන්නිනායක මුදල් ඇමතිතුමා

1965-70 පාලන සමයේ අපේ රටේ හිටියා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආපු මුදල් ඇමතිතුමෙක්. ඒ තමයි යූ. බී. වන්නිනායක මුදල් ඇමතිතුමා. එතුමා ජාත්‍යන්තර සමුළුවකට ගියාම එතුමාගේ නමට කාර් එකක් තෑගි දුන්නා. අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා, ‘මේක සර් ගෙනියන්න. මේක සර්ගේ නමට දුන්නේ.’ කියලා. එතකොට යූ. බී. වන්නිනායක මුදල් ඇමතිතුමා කියනවා, ‘වන්නිනායකට ඕක දෙන්නේ නැහැ. වන්නිනායක ඇමති කෙනෙක් වෙලා ගිය හින්දයි ඕක දුන්නේ. ඇමති හැටියට මට ලැබුණු දේ අයිති රජයට. ඒක රජයට දෙන්න’ කියලා. එහෙම දේශපාලනඥයෝ 1977 ට කලින් මේ පොළොවේ හිටියා. ආදර්ශ වපුරපු දේශපාලනඥයෝ හිටියා.

ඉක්මනින්ම බස් එක හැප්පෙනවා

1977 සිට අනුගමනය කරපු සංවර්ධන මොඩලයේ නිවුන් දරුවෙක් තමයි හොරකම කියන්නේ. ඒ අනුව පාලකයන් ඕන දේටයි, එපා දේටයි ණය අරගෙන වැඩියෙන් වියදම් කරන්න පෙළඹුණා. ණයක් ගත්තොත් තමයි ඔවුන්ට ‘මාටියා පාර’ ගහන්න පුළුවන්. ඒ නිසා අපි ඕන එකටයි, එපා එකටයි ණය ගන්න රටක් බවට පත්වුණා. අපේ ජාත්‍යන්තර ණය වර්ග දෙකක් (2) තියෙනවා. එකක් අපි රටවල් සහ ජාත්‍යන්තර ආයතනවලින් ගත්තු ණය. අනෙක් ණය වර්ගය තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින්(ISB) අධික පොලියට ගත්තු ණය. ඒ අධික පොලියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ගත්තු ණය නිසා තමයි මේ ආර්ථික හිරවීම, මේ තරම් ඉක්මනට වෙන්න පටන් ගත්තේ. මුලින්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගන්න පටන් ගත්තේ 2007 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව. ඒ පාලනය 2007 – 2014 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 6%-7% අධික පොලියට ඩොලර් බිලියන 3.5 ක් ගත්තා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ගත්තු සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17 ක්. ඉහත කී ඩොලර් බිලියන 3.5 හැරුණාම ඉතුරු මුළු මුදලම අරගත්තේ යහපාලන අවුරුදු හතරහමාරේ (4½). අවුරුදු හතරහමාරකින් (4½) ඩොලර් බිලියන 3.5 ට තිබුණු ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17 දක්වා වැඩි කළාම උකුණු හිසක් තරම් හෝ මොළයක් තිබෙන කෙනෙකුටත් තේරෙනවා, ‘ඉක්මනින්ම බස් එක හැප්පෙනවා, වළක්වන්න බැහැ’ කියලා.

ලොකුම වැරැද්ද

අපි මේ ආපු ගමනේ කරලා තියෙන ලොකුම වැරැද්ද තමයි අපට ඔරොත්තු දෙන්නේ නැති වෙළඳ පරතරයක් පවත්වාගෙන යාම. වෙළඳ පරතරය කියන්නේ අපි අපේ පරිභෝජනයට පිටරටින් දේවල් ගේන්න වියදම් කරන ඩොලර් ප්‍රමාණය සහ අපි අපේ නිෂ්පාදන පිටරටට විකුණලා උපයන ඩොලර් ප්‍රමාණය අතර තියෙන පරතරය. 1977 ට කලින් අපේ රටේ වෙළඳ පරතරයක් නොවෙයි, ඩොලර් බිලියනයක අතිරික්තයක් තිබුණේ. 1977 න් පස්සේ ඩොලර් බිලියනයකට වැඩි වෙළඳ පරතරයක් හදා ගත්තා.

මේකේ ලස්සනම වැඩේ තමයි, 2000 දී ඉන්දියාව සමගත් 2005 දී පකිස්ථානය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් වෙන වෙනම අත්සන් කරනවා. මේ නිදහස් වෙළඳ ගිවිසුම් ගැහුවාට පස්සේ අපේ වෙළඳ පරතරය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ගිවිසුම ගහනකොට කිව්වේ ‘ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුමක් ගැහුවාම, අපි මෙහෙ නිපදවන දේවල් ඉන්දියාවට ගියාම බදු ගහන්නේ නැති වෙනවා. වෙනත් ආයෝජකයෝ ලංකාවට ඇවිල්ලා කර්මාන්ත දානවා. ඒ කර්මාන්තවල කරන නිෂ්පාදන ඉන්දියාවට යවන්න ලේසියි. ඉන්දියාව විශාල වෙළඳපොළක්. ඒ නිසා මේකේ වක්‍ර වාසිය තමයි මහා කර්මාන්තකරණයකට පාර කැපෙන එක’ කියා. මොන කර්මාන්තෙ ද ආවේ? ඉන්දියාවේ ඉන්න කට්ටියක් නම් ඇවිල්ලා මෙහේ පරණ යකඩ ටික එකතු කරලා ඒක පොඩියට ඝන කරලා ඉන්දියාවට යවනවා. ඒ වගේ කර්මාන්ත දෙක තුනක් තියෙනවා. වෙන නැහැ. විදේශ ආයෝජකයෝ ආවෙත් නැහැ.

නිදහස් වෙළඳ ගිවිසුම් සහ වෙළඳ පරතරය

නිදහස් වෙළඳ ගිවිසුම් දෙක (2) ගැහුවාට පස්සේ ලංකාවේ වෙළඳ පරතරය තව වැඩි වෙන්න මොකක්ද හේතුව? ඒ කියන්නේ අපි පරිභෝජනය වැඩි කළා ද? එහෙම විශාල පරිභෝජනය වැඩිවීමක් වෙන්න බැහැ. එහෙනම් එක හේතුවයි තියෙන්නේ. එතෙක් අපි පරිභෝජනය කරපු, මේ රටේ නිෂ්පාදන, වෙළඳපොළේ තරග කරන්න බැරිව පලා ගියා. ඒ වෙනුවට මේ නිදහස් වෙළඳ ගිවිසුම් ගහපු රටවලින් ආපු නිෂ්පාදන රට ඇතුළෙදී පරිභෝජනය කරන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා තමයි නිදහස් වෙළඳ ගිවිසුම් දෙකක් අත්සන් කළාට පස්සේ ඩොලර් බිලියන එකක තිබුණු වෙළඳ පරතරය ඊට වඩා වැඩි වුණේ. වෙළඳ පරතරය ඩොලර් බිලියන එකකට වඩා තියාගෙන, හැම අවුරුද්දෙම ඒ ඩොලර් බිලියන එක ණයට අරගෙන රටේ සාමාන්‍ය මිනිහාගේ පරිභෝජනයට ඕනෙ හැමදේම පරිභෝජනය කරන්න ඉඩ හදලා දීලා, ණයට අරන් කාලා, බීලා ජොලියේ ආ ගමනේ ප්‍රතිඵලයක් තමයි මේ.

කුමාරස්වාමි භූමිකාව

දැන් බලන්න, මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න යන ආර්ථික විශේෂඥයන් අතර ඉන්නවා යහපාලන කාලයේ හිටපු මහ බැංකු අධිපතිතුමා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. කවුරුත් පිළිගන්නේ එතුමා හොඳ ආර්ථික ඥානයක් තියෙන කෙනෙක් හැටියට. නමුත් එතුමාගේ කාලයේ තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වැඩිපුරම ගත්තේ. එතුමාට ආර්ථික විද්‍යාඥයෙක් හැටියට තේරුනේ නැද්ද, ‘මෙපමණ ණය තොගයක්, මෙපමණ කෙටි කාලයකදී, මෙපමණ පොලියකට ගත්තාම රටකට වැඩිදුර යන්න වෙන්නේ නැහැ’ කියලා. නොතේරෙනවා නොවෙයි, මේ තමයි ‘වලට’ වට්ටන විදිහ. කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන දාහත (17) දක්වා වැඩි කළාම ඒ ණය ගෙවන එක අමාරු වෙනවා. අමාරු වෙනකොට හිරවෙනවා. හිර වෙනකොට බෙල්ලෙන් අල්ලලා IMF එකට ගැට ගහලා තියාගන්න පුළුවන් වෙනවා. ආන්න දැන් ඒ මහත්තයාත් යනවා IMF එකත් එක්ක සාකච්ඡා කරන ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට. ඒ විදිහට මේවා පිටිපස්සේ තියෙන්නේ මොන විදිහේ කතාවක් ද, කියන එක අපි තේරුම් ගන්න ඕනේ.

ආර්ථිකය ඝාතනය

ආර්ථිකයේ අනාගතය දිහා බලලා පුරෝකථනය කරමින් ආපු ගමනක් මෑතකාලීන පාලකයන්ට තිබුණේ නැහැ. පුරෝකථනයක් නැතුව ආර්ථිකයක් මෙහෙයවන්න බැහැ. සැලැස්මක් තියෙන්න ඕනේ, වෙළඳ පරතරය අඩු කිරීමට. අපිට හැමදාම ඩොලර් බිලියන එකකට වඩා ණයට අරන් කකා, බිබී යන්න බැහැනේ. බොහෝ කාලයකට කලින් පී. බී. ජයසුන්දරලා, ආර්ථික ඝාතකයෝ කියලා අපි හැඳින්වූවේ, ඔවුන් පුරෝකථනයක් නැතුව ආර්ථිකය මෙහෙයවමින්, පාලකයන් නොමඟ යැවූ නිසයි. පී. බී. ජයසුන්දර, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වුණාමත් ආර්ථිකය ගැන සුබ සිහින තමයි එතුමාට හැමවෙලේම පෙන්වූයේ. එයා ‘Under Control Sir, Everything is ok Sir’ කියනවා, ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කකුල් දෙක වනමින් සැපට ඉන්නවා. අන්තිමට මන්දිරේ දාලා පලායන්න වුණාම, පුංචි බණ්ඩත් නැහැ – සුදු බණ්ඩත් නැහැ.

වෙළඳ පරතරය අඩු කිරීම

වෙළඳ පරතරය කොහොමද අඩු කරන්නේ? ඒකට දේශීය නිෂ්පාදන සංස්කෘතිය බලගන්වන මෙහෙයුමක් පටන් ගන්න ඕනේ. මේක විශිෂ්ට මානව සම්පතක් ඉන්න රටක්. වාද්දුව පැත්තේ තරුණයෙක් දේශීය උපාංග යොදා ගනිමින් ‘ස්නයිපර් ගන් එකක්’ හැදුවාම පොලීසියෙන් ආවා, අත්අඩංගුවට ගත්තා. හිරේ දැම්මා. පරගැති මනසකින් බැලුවොත් ඒ වගේ ‘මීටර්’ අහුවුණාම හිරේ දාන්න ඕනේ. සුද්දගේ කාලයේ කළෙත් ඕකමයි. එහෙම ‘වැඩකාරයෝ’ දැක්කොත් ගමන අවසන් කරනවා. මේ රටේ තරුණ පරම්පරාව අවශෝෂණය කරගනිමින් නිෂ්පාදන සංස්කෘතිය බලගන්වන ප්‍රතිපත්තියක් මේ රටේ නැහැ.

වෙනස් විය යුතු බැංකු සංස්කෘතිය

බලන්න, ජපානය දියුණු වුණේ කොහොමද? තරුණයෙක්ගේ ඔළුවට එනවා අදහසක්. ඔහු ඒ අදහස සංකල්පගත කරලා කොලයකට අරන්, යනවා බැංකුවට. බැංකුවේ මහත්තුරු බලනවා, ‘මේක පැල කරන්න පුළුවන් අදහසක්ද?’ කියලා. පැල කරන්න පුළුවන් නම් බැංකුව ගන්නවා අවදානම. ඉල්ලපු මුදල දෙනවා තරුණයාට. දීලා නිසි පසු විපරමක් කරනවා. අර තරුණයාගේ ඔළුවේ තිබුණු අදහස ප්‍රායෝගිකව මහපොළොවේ පැලවෙනවා. ඉන් පසුව බැංකුව තමන්ගේ ණය අය කර ගැනීමත් නිසි පරිදි කරනවා. මේ විදිහට අපේ තරුණයකු ගියොත් අපේ බැංකුවකට මුළු සේසතම ඇපයට තිබ්බත් ණය ලැබෙන්නේ නැහැ. මේ බැංකු සංස්කෘතිය වෙනස් කරන්නේ නැතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සංස්කෘතියක් බලගන්වන්න බැහැ. ඒ නිසා මේ රට බලගන්වන්න පුළුවන් විදියට සියල්ල වෙනස් විය යුතුයි.

පාර්ලිමේන්තුව සමතලා කරන වෛරයක්!

මේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන සමාජ අසහනය දඩමීමා කරගෙන අද මේ රටේ පිළිගත් ආයතන, පිළිගත් සංස්ථා, පිළිගත් මත, පිළිගත් සංස්කෘතිය ආදී සියල්ලටම සැලසුම් සහගතව ගහනවා. මුලින්ම ගහනවා, ‘පාර්ලිමේන්තුවේ 225 ම හොරු’ කියලා. පාර්ලිමේන්තුව කුඩුපට්ටම් කරලා, සමතලා කරන්න හිතෙන විදියට පාර්ලිමේන්තුව ගැන වෛරය හදනවා. මේ රටේ මහජනයා තමන්ගේ ඡන්දෙන් තීරණය කරපු නියෝජිතයා ඉන්න තැන ඒකයි. අපි එක එක්කෙනාගේ අදහස් අනුව සමහර ඉන්න චරිත අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි කියලා මුළුමහත් පාර්ලිමේන්තුවම සමතලා කරන විදිහේ වෛරයක් වපුරන්නේ ඇයි? ඒවා ව්‍යවස්ථාපිත බලවත් ආයතන නිසයි. ඒවා ගැන විරෝධය වෛරය ඇති කරනවා.

භික්ෂූන් වහන්සේ ගැනත් වෛරයෙන්…

ඊළඟට, භික්ෂූන් වහන්සේ ගැන වෛරය වඩවනවා. දැන් එක භික්ෂූන් වහන්සේ නමක් යොදා ගෙන මහනායක හාමුදුරුවරුන්ට තර්ජනය කරනවා. ඒ වගේම මම දැක්කා භික්ෂූන් වහන්සේ නමකට, ඩිජිටල් මාධ්‍ය ලෝකයේ ඉන්න යූ-ටියුබර්ස්ලා දෙන්නෙක්, කුණුහරුපෙන් සහ ඊට ආසන්න විදියට එළිපිට බහිනවා. භික්ෂූන් වහන්සේ නමක් ගැන අපිට යම්කිසි විවේචනයක්, හිත ඇතුළේ තියෙන්න පුළුවන්. නමුත් කවදාවත් මුළුමහත් සමාජයටම ඇහෙන්න, ඒ භික්ෂූන් වහන්සේට ගරහන, සංස්කෘතියක් අපේ තිබිලා නැහැ. ඒ සංස්කෘතික උරුමයන් අපි රැක්කා. උමන්දාවේ වගා කටයුතු කරවන ‘සමන්තභද්‍ර’ හාමුදුරුවන් (?) ගේ භාවිතාව ගැන කෙනෙක් එකඟ වෙන්න පුළුවන්, තවත් කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. නමුත් අපට භික්ෂූත්වයට ගරහන්න බැහැ. මහා වංශයටත් ගහනවා. බුද්ධ උත්පත්තිය ගැනත් ප්‍රශ්න කරනවා. මේ ඕනෑම දෙයක් ශාස්ත්‍රීයව සාකච්ඡා කිරීම ගැන නොවෙයි මම කියන්නේ.

හිපාටු ප්‍රවණතාවට එරෙහිව…

මේ කරන්නේ, පිළිගත් විශ්වාසයන්, පිළිගත් ආයතන සියල්ලට ගහන එක. ඕනෑම ‘කුප්ප වැඩක්’ කරන්න පුළුවන් වෙන විදියට සමාජ ප්‍රවණතාවක් හදන්න යනවා. මේක ඉතා භයානක ප්‍රවණතාවක්. සබුද්ධික මිනිස්සු මීට එරෙහිව නැගිටින්න ඕනේ. ඒ හිපාටු ප්‍රවණතාවට මේ පොළොවේ ජයගන්න ඉඩදීලා බලන් ඉන්නවා නම්, ඒ සබුද්ධික මිනිස්සු තමන්ගේ වගකීම හා යුතුකම පැහැර හැරියා වෙනවා. මේ රට රැකුණේ, බුද්ධ චීවරයත් එක්ක. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් සහෝදරයන් වගේ ඉන්න පුළුවන් වුණේ බුදුදහම කියන සහනශීලී ධර්මය මේ පොළොවේ තිබුණු හින්දා; අන්‍ය ආගම් බැහැර නොකරන, අන්‍ය විශ්වාසයන්ට පහර නොදෙන, ඒවා ඉවසන, ඒවා දරාගන්න මානව ගුණාංගවලින් සමන්විත, සංස්කෘතියක් මේ පොළොවේ තිබුණු හින්දා.

අහිමි කරවන මහා මානව ගුණාංග

දැන් අපේ දරුවෝ කියනවා, ‘බලන්න එංගලන්තේ සුද්දා කොච්චර දියුණුද? ඉන්දියානු සම්භවයක් තියෙන කෙනාටනේ අගමැතිකම ගියේ’ කියලා. නමුත් ඒ දරුවෝ දන්නේ නැහැ, සුද්දා එපමණ දියුණු වෙන්න කලින් 17 වන සියවසේ සිට අපේ මිනිස්සු ඒක කරලා තියෙනවා. ඔවුන් එදා නායක්කාර වංශික, වඩුග රජවරුන් පිළිගත්තා. හැබැයි දළදා හාමුදුරුවෝ සහ බුදුදහම රැකගන්න ඕනේ. ඒ ඓතිහාසික උරුමය රකිනවාද, නැද්ද? කියන එකයි බැලුවේ. එහෙම නැතුව රජු වඩුග ද, සිංහල ද, කියන එක නොවෙයි. මේ රට එවැනි මහා ගුණාංග සහිත ඉතිහාස කතාවක් තියෙන රටක්. අද මේ සියලු විශ්වාසයන්, සියලු පිළිගත් මතයන් ගැන සැකකරන, කිසිවක් කෙරෙහි තදින් නොබැඳ්‍රණු, සියලු දේ විවේචනය කරන නරුම මානසිකත්වයක් ගොඩනගන්න හදනවා. මේ ආර්ථික අර්බුදය ඇතුළේ එහෙම මිනිස්සු බිහිවෙන්න තියෙන හැකියාව වැඩියි. අද නැති වෙන්නේ රෝහලේ බෙහෙත් ටික, කඩේ බඩු ටික පමණක් නොවෙයි, චිරාත් කාලයක් තිස්සේ රැකගත් අපේ ශිෂ්ඨාචාරගත මහා මානව ගුණාංගත් නැති වෙනවා. නැති වෙනවා නොවෙයි නැති කරන්න බලනවා.

පාසල් ඇතුළට ගිය ‘අයිස් පෙත්ත’

අද පාසල් ඇතුළට අයිස් පෙත්ත යවන්නේ නිකන් නොවෙයි. මේ මත්ද්‍රව්‍ය ජාවාරම පුද්ගලයෝ 10 දෙනෙකුගේ විතර අතේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරමක්. ‘ඒ දහදෙනා (10) ගැන ලංකාවේ පොලිසිය දන්නේ නැහැ’ කියලා මම නම් හිතන්නේ නැහැ. අපේ පොලිසිය ඊට වඩා ඒවා දන්නවා. නමුත් ඒ දහය ගැන නොසොයා වටේ ගිහින් අතගානවා. ඒ නිසා මේ මත් උවදුර කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඊළඟ තරුණ පරම්පරාවට (එක පාසලක දූදරුවෝ විසි ගාණක් ඒ ‘අයිස්’ ගැහුවොත්) ඒ පීඩනය අවුරුදු හතරකට (4) වඩා අල්ලන් ඉන්න බැහැ. මේ කරන්නේ සිහි බුද්ධියක්, සමාජ සංවේදීභාවයක් නැති, මේ පොළොවේ ආරක්ෂාව ගැන හිතන්නේ නැති, නරුම අනාගත පරපුරක් හැදීම. එතකොට තමයි බටහිර තානාපතිලාට පුළුවන් අපේ රටේ ‘තොරණේ බල්බ් ටික’ කොයි විදියට ද පත්තු වෙන්නේ, ‘තොරණේ වයර් ටික’ කොයි විදියට ද අමුණන්නේ, කියලා තීරණය කරන්න.

‘ජුලියාගේ’ කීම අහපු හැටි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කරගත්තු ඊළඟ බලවත් වරද තමයි කොළඹ ඉන්න ඇමරිකානු තානාපතිනිය (Julie J. Chung) ‘ජුලියාගේ’ කීම අහලා ඔහේ වැනි වැනි හිටපු එක. ඒ ‘ජුලියා නෝනා’ මාස ගාණක් තිස්සේ ගෝඨාභය මහත්තයාව දිනපතා හමු වුණා.(මේවා කට්ටිය කියන්නේ නැහැ. කියන්න බයයි.) ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මිරිහානේ ගෙදරට වට කරලා ගහපු දවසේ රෑ ඒ ගෙදරට එනවා ‘ජුලියා නෝනා’. ඇවිල්ලා කියනවා, ‘මට හරි කනගාටුයි ඔබට මේ සිදු වූ දේ ගැන. ඔබ බෞද්ධයෙක්. මම කතෝලිකයෙක්. මගේ විශ්වාසය අනුව ඔබ වෙනුවෙන් යාඥා කරන්න මට ඉඩ දෙන්න’ කියලා. එහෙම කියලා ඒ නෝනා පොළොවේ දණ ගහගෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් යාඥා කරලා ඉල්ලනවා, ‘ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහනය සලසන්න, ආමේන්’ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පසු දිනයේ හිටපු ඇමති කෙනෙකුට කියනවා, ‘බලන්න ඇමරිකන් තානාපතිතුමිය හරි හොඳයිනේ. ඊයේ ඇවිල්ලා මං වෙනුවෙන් යාඥා කළානේ. කවුද අප්පා එහෙම කරන්නේ?’ කියලා. ටොපිය නියමෙට කාලා. මේක මහන්සි වෙලා දිනාගත්තු ගේමක් නොවෙයි, පොඩි පොඩි ටොපි දීලා දිනාගත්තු ගේමක්. වෙන රටවල ඊට වඩා දේවල් දෙන්න වෙනවා මේ වගේ මැච් එකක් ගහන්න.

ජුලියා නෝනාගේ ගමන ඔන්න එදායින් පටන් ගත්තා. හෙටත් එනවා. අනිද්දත් එනවා. ඉන් අනිද්දාත් එනවා. මොකක් හරි තීරණයක් ගත්තා කියලා ආරංචි වෙනකොට ‘මෙහෙම කරන්න යනවා ද?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා ‘ඔව්’ කියනවා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි.එම්.එෆ්. එකේ ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ඒ නිසා ඒක නොකර ඉන්නවා. ‘අර ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ ගේට්ටුව වහගෙන ඉන්න කට්ටිය යවන්නද හදන්නේ?’ කියලා අහනවා. ගෝඨාභය මහත්තයා කියනවා, ‘ඔව්’ කියලා. ‘ඒක කරන්න එපා. ඒක කළොත් අයි.එම්.එෆ්. ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙයි’ කියනවා. ආයේ ‘එහෙනම් කමක් නැහැ. නොකර ඉන්නම්’ කියනවා. ‘ජුලියා නෝනා’ එදා එක පැත්තකින් රටේ ජනාධිපතිව පාලනය කළා. අනිත් පැත්තෙන් අරගලය පාලනය කළා.

‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි

ඊයේ පෙරේදා චීන තානාපති කාර්යාලය ඉස්සරහා තිබුණා චීනයට සහයෝගය පළකරන උද්ඝෝෂණයක්. මෙන්න බොලේ ‘ගෝඨා ගෝ ගමේ’ ලැගගෙන හිටපු නෝනා කෙනෙක් ඇවිල්ලා කෑගහනවා,’උඹලා චීනාට මේ රට විකුණන්න යන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නැහැ’ කියලා. එතකොට තේරුම්ගත හැකියිනේ, ‘අරගලය චීන විරෝධියි. එහෙම නම් පක්ෂ කවරකුට ද?’ කියලා. අපි දන්නවා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි. ‘මංජු නිශ්ශංක’ කියලා කෙනෙක් තමයි පළමු සතියේ වියදම් කළේ. එයාට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් දෙකක් තිබෙනවා. නමුත් ලංකාවේ රටවැසිභාවය නැහැ. ඒගොල්ලො තමයි තානාපති අංශ මගින් මෙහෙයවනු ලැබුවේ. ‘අරගල සැලසුම’ 100% ක් සාර්ථක නොවුණාට බොහෝ දුරට සාර්ථක වුණා. අදත් මේ රටවල් බලන්නේ අපේ රටේ ඉරණම නැත්තටම නැති කරන්න.

ආර්ථිකමය වශයෙන් ඉන්දීය ප්‍රාන්තයක්…

එක රටක් බලනවා ඒගොල්ලන්ගේ මුදල් ඒකකය අපට දෙන්න. අපේ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ තුන්සිය ගාණක්. ඒගොල්ලොන්ගෙ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ අසූ ගාණක්. අපේ ලංකා රුපියල පාවිච්චි කරන විදියටම ලංකාව ඇතුළේ ඉන්දියන් රුපියල පාවිච්චි කරන්න දෙන්නයි යන්නේ. ඒකේ පළමු පියවර විදිහට ඉරිදා පත්තරේක දාලා තිබුණා ඒ ගැන සුබවාදී විග්‍රහයක්. ඉන්දියන් රුපියල ලංකාව තුළ සංසරණය වීමට සලස්වා දෙවනුව එහෙ රේගුවයි, මෙහෙ රේගුවයි, ඒකාබද්ධ කරනවා. එතකොට අපි ආර්ථිකමය වශයෙන්, ඒ අයගේ ප්‍රාන්තයක්. දේශපාලන වශයෙන් අපි ඡන්ද තියයි, පාර්ලිමේන්තුවට එක එක්කෙනා යවයි. ඒ යවන අයත් අහුවෙනවා ඊට පස්සේ ඒ බලවත් රටවල න්‍යාය පත්‍රයට.

අභියෝග කන්දක් පාමුල…

අපි ඉන්නේ, විශාල අභියෝග කන්දක් පාමුල; බඩේ ප්‍රශ්නෙ හින්දා, රටේ ප්‍රශ්නෙ අමතක වෙන වෙලාවක. බඩේ ප්‍රශ්නෙ අපි හිරවෙලා ඉන්න වෙලාවෙම තමයි, රටේ ප්‍රශ්න ටික උග්‍ර කරවන තීන්දු තීරණ ටික මේගොල්ලෝ ගන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ අතේ තියෙනවා ‘ෂොපින් ලිස්ට්’ එකක් ඉන්දියාව වෙනුවෙන් කරන්න තියෙන. තව එකක් තියෙනවා, ඇමරිකාව වෙනුවෙන් කරන්න තියෙන. මේ එක එක්කෙනා වෙනුවෙන් කරන්න තියෙන ලිස්ටි අතේ තියාගෙන ඉඳලා මේ පොළොව හදන්න බැහැ. අපි කියන්නේ නැහැ, ජාත්‍යන්තර වශයෙන් රටවල් අමනාප කරගත යුතුයි, ඒ අය සමඟ සුහද සම්බන්ධයක් පවත්වා නොගත යුතුයි, කියලා. අපි ඒකට සීයට දාහක් එකඟයි. හැබැයි එසේ කීම වනාහි, ඒ රටවල වහලෙකු විය යුතුයි කියන බලපත්‍රය දීම නොවෙයි.

ජවිපෙ, කබරගොයයි තලගොයයි මාරු කරගන්න දේශපාලනයට…

අපි ඉන්නේ ඉතාමත් දුෂ්කර සහ භයානක ඉරණමක. මේ අනතුරුදායක වාතාවරණය වටහාගෙන එය පරාජයට පත් කරන්න සටන් වදින එකම බලවේගය ‘උත්තර ලංකා සභාගය’යි. මේ කතාව, සජිත් මහත්තයා ආවාට කියන්නේ නැහැ. අනුර දිසානායක මහත්තයා ආවාට කියන්නේ නැහැ. ජවිපෙ දැන් හරි දියුණුයි. එයාලා කියනවා, ‘රජයේ නියාමනය ඇතිව අපි කැමතියි පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න’ කියලා. ඕක ඉතින් අවුරුදු විස්සකට (20) විතර කලින් කිව්වානම් ඉවරයිනේ. ඒ කියන්නේ ‘ආණ්ඩුවක් ගත්තොත් අපි එහෙම කරනවා. වෙන එකෙකුටවත් එහෙම කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ’ කියන එකයි. ඒ නිසා ‘කන්න ඕනේ වුණාම කබරගොයයි තලගොයයි මාරු කරගන්න’ දේශපාලනයට මේ තත්ත්වය විනිවිද දකින්න බැහැ.

ආණ්ඩුවට උත්තර නැත්නම්…

අපි මේ මහා පින්තූරය දකිමු. මේකට උත්තරය රට අරාජික, අස්ථාවර කිරීම නොවෙයි. අපි ආණ්ඩුවට කියනවා, ‘මේකට උත්තරය තමන්ට දෙන්න බැරිනම්, උත්තරය දෙන්න පුළුවන් පාලනතන්ත්‍රයක් පිහිටුවීම සඳහා ලබන වසරේ ජනාධිපතිවරණයකට යන්න’ කියලා. වික්‍රමසිංහ මහත්තයාට ලොකු ලොකු වැඩ කරන්න වරමක් නැහැ. එතුමා ඡන්දෙන් ආපු ජනාධිපති නොවෙයි. අඩුම තරමින් ඡන්දෙන් ආපු මන්ත්‍රීවත් නොවෙයි. එතුමා පත්කළ මන්ත්‍රී. පත්කළ මන්ත්‍රී, පත්කළ ජනාධිපති වුණාම, පත්කළ අරමුණට සරිලන දේ මිස ඊට වඩා ලොකු ලොකු දේවල් කරන්න යන්න බැහැ. ජනවරම තිබුණේ ‘සෞභාග්‍යයේ දැක්මට’නේ. ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ‘සෞභාග්‍යයේ දෑක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කරලා. ඒකේ ලියලා නැහැනේ, ‘විදුලිබල මණ්ඩලය 8 ට කඩලා විකුණනවා’ කියලා. දැන් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොරොච්චෝලේ වෙනම විකුණන්න, ලක්ෂපාන වෙනම විකුණන්න, අනිත් ජල විදුලි බලාගාර වෙන වෙනම විකුණන්න හදනවා. ජනවරමේ නැති දේවල් කරන්න පත්කළ ජනපතිට කිසිදු වරමක් නැහැ. ඒ නිසා අපි කියනවා, ‘මේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථානවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා වික්‍රමසිංහ මහත්තයෝ’ කියලා. මිනිස්සු බඩගින්නේ තමයි ඉන්නේ. නමුත් ඔවුන් බඩගින්නෙ ඉඳගෙන හරි රට ගැන හිතනවා.
ඒ මිනිස්සු ඉන්නකම් ඒ අපරාධය කරන්න බැහැ.

සියල්ල අත මත රැඳෙන ප්‍රතිසංස්කරණ

සැබෑ ප්‍රතිසංස්කරණවලට අපි කැමතියි. මම පාර්ලිමේන්තුවෙත් මේ කතාව කිව්වා. අපි චීනයේ ගිය වෙලාවක චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකුගෙන් මම ඇහුවා ‘සෝවියට් සංගමය වැටෙන්නයි, චීනය රැකෙන්නයි හේතුව මොකක්ද?’ කියලා. මං අහපු ප්‍රශ්නයකට ලෝකයෙන් මට ලැබුණු හොඳම උත්තරය එතැනදී මට ලැබුණා. ඔහු ගත්තා අත්දෙක මෙහෙම ඉස්සරහට, අත්ල දෙක ගුලි කර ගත්තා, ඉන් පසුව පැවසුවා ‘මේ චීනය. මේ සෝවියට් සංගමය.(ගුලි කර ගත් අත්ල දෙක පෙන්වමින්) දෙගොල්ලොම හිටියේ සමාජය මෙහෙම හිරකරගෙන. මේක ලිහිල් කළ යුතුව තිබුණා. අපි මෙහෙම ලිහිල් කළා.(ගුලි කර ගත් අත්ල උඩු අතට නිදහස් කරමින්) සෝවියට් සංගමය මෙහෙම ලිහිල් කළා.(ගුලි කර ගත් අත්ල යටි අතට නිදහස් කරමින්)’ යනුවෙන්. ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ සියල්ල අත මත රැඳෙන විදියට මිස අතෙන් ගිලිහෙන විදිහට නොවෙයි.(සියල්ල රාජ්‍යයෙන් ගිලිහෙන විදිහට නොවෙයි)

විදේශ විනිමය හිඟය තව තවත් වැඩි වෙන ප්‍රතිසංස්කරණ

ප්‍රතිසංස්කරණ හෝ ප්‍රතිව්‍යුහගත හෝ කරනවා කියමින් රාජ්‍ය සමාගම් විදේශ සමාගම්වලට පවරා දුන්නාම ඒවායේ රුපියල්වලින් උපයන ලාභය ඩොලර් කරලයි අදාළ විදේශ රටට ගෙනියන්නේ. ඒ රුපියල් ඩොලර් කරන්නේ මේ රටේ තියෙන ඩොලර්වලින්. එතකොට විදේශ විනිමයට එන පීඩාව තව තවත් වැඩි වෙනවා. විදේශ විනිමය හිඟය තව තවත් වැඩි වෙනවා. ලෙඩාට බෙහෙත හැටියට දෙන්නේ ලෙඩේ තව තවත් බරපතල තත්වයට ගෙන යන බෙහෙත්. නිදසුනක් ලෙස දැනටත් තමුන්නාන්සේලා ‘ඩයලොග්’ දුරකථනයෙන් ‘හලෝ’ කියනකොට රුපියල්වලින් ලැබෙන ලාභය, මැලේසියාවට යන්නේ ඩොලර් කරලා. ඒ වගේම අපි IOC සමාගමේ ඉන්ධන ගහනකොට, ඒ සමාගම රුපියල්වලින් ලාභ හොයනවා. රුපියල්වලින් හොයපු ඒ ලාභය ඉන්දියාවට යන්නේ ඩොලර් කරලා.

ප්‍රඥාවන්තයින්ගේ දේශපාලන සංස්කෘතියක්!

ඒ නිසා මේ සියල්ල පිළිබඳ දෑ හිතකාමී සාකච්ඡාවක් ඕනේ, කතිකාවතක් ඕනේ. උත්තර ලංකා සභාගය කරන්නේ අන්න ඒ ධනාත්මක මැදිහත්වීම; ප්‍රඥාවන්ත මිනිසුන්ගේ ප්‍රඥාව වඩවාලීම; ප්‍රඥාවන්තයින්ගේ දේශපාලන සංස්කෘතියක් ලංකාවට හඳුන්වාදීම. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා, ‘ගමින් ගමට මේ මතය අරගෙන ගිහිල්ලා නව දෑ හිතකාමී දේශපාලන බලවේගයක්, බඩේ ප්‍රශ්නෙට උත්තර හොයන, රටේ ප්‍රශ්න ගැනත් සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ඉන්න සබුද්ධික ජනතා බලවේගයක් ගොඩනගන්න පෙළ ගැහෙමු!’ කියලා.”

මෙම ‘උත්තර ලංකා සභාගයේ’ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති – පිවිතුරු හෙළ උරුමයේ නායක – හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති – ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් – හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් – යුතුකම සංවාද කවයේ සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක – විජය ධරණී ජාතික සභාවේ නායක – පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා මෙම ජනතා සමුළුව ඇමතූ අතර ලංකා සම සමාජ පක්ෂයේ, ලංකා වතු කම්කරු වෘත්තීය සංගමයේ නියෝජ්‍ය ලේකම් ඩී. මාරිමුත්තු මහතා දමිළ බසින් සමුළුව ඇමතීය. පැමිණි පිරිස පිළිගැනීම ලංකා සම සමාජ පක්ෂයේ රුවන්වැල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ කාංචන හර්ෂ කුමාර මහතා විසින් සිදු කරන ලද අතර ස්තුති කතාව ජාතික නිදහස් පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක සුරංග සිරිවර්ධන මහතා සිදු කළේය.

‘උත්තර ලංකා සභාගයේ’ සමාජික දේශපාලන පක්ෂවලට අයත් කෑගල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ
(2022-12-11 උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තිය)

+++++++++

15-12-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *