‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල

‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල


‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල

(07.12.2022 – 03:14 +0530 – lankacnews.com)

‘විදේශ විනිමය අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මස 26. ආණ්ඩුව ඒ ගැන කිසිදු හැඟීමක් නැතුව කටයුතු කරද්දී තමයි 2021 ජූනි 12 මාධ්‍ය හමුවක් තියලා මම මේ ගැන රටට කිව්වේ. නමුත් ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු මොකද්ද කිව්වේ. අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා. ඕනෑ තරම් ඩොලර් තියනවා. ගම්මන්පිල බොරු බිල්ලන් මවා රට බය කරනවා කිව්වා. ඒක අමාත්‍යවරයෙක් කිව්වා ඩොලර් නැව් 3 ක් මග එනවා කියලා. ඩොලර් එන්නේ නැව් වලින් නෙමෙයි කියලා දන්නේ නැති කැබිනට් අමාත්‍යවරු ඉන්නා රටක මේ තත්ත්වය රටට උදා වීම පුදුම වෙන්න කාරණයක් නොවෙයි’ යයි පිවිතුරු හෙල උරුම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙල උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා පහත අදහස් පල කරන ලදී :

‘ලක්ෂ්මන් – කබ්රාල් – නන්දලාල් කියන මහ බැංකු අධිපති ත්‍රිත්වයෙන් වැඩිපුරම මුදල් අච්චු ගහලා තිබෙන්නේ, ඊට පෙර අධිපතිවරුන් මුදල් අච්චු ගැසීම පිලිබඳ කර්කශ විවේචන ඉදිරිපත් කළ නන්දලාල් අධිපතිතුමා’ කියන එක නොවැම්බර් 17 දා මම පාර්ලිමේන්තුවේ දී හෙලි කලා. අද වන විට ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් අතර මේ පිලිබඳ විවාදයක් ඇති වෙලා තිබෙනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ ලක්ෂ්මන් – කබ්රාල් යුග වල දී වඩා නන්දලාල් යුගයේ දී සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා කියා. මුදල් රාජ්‍ය ඇමතිතුමා ඒ හා සමාන ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේත් කලා. සේවා නූලට ගිනි තබපු පුද්ගලයා වශයෙන් මේ විවාදයට යලි එකතු වීම මගේ යුතුකමක්.

ඒ කතාව ඇත්ත. සංචිත මුදල් අඩු වෙලා තිබෙනවා. සංචිත මුදල් කියන්නේ ජනතාව අතේ බැංකු අතේ වගේම මහ බැංකුවේ තැන්පතු විධියට තිබෙන සමස්ත මුදල් ප්‍රවාහය කියලා අපි ආර්ථික විද්‍යාවට ඉගෙන ගෙන තිබෙනවා. එම්1, එම්2, එම්2බී යනාදි වශයෙන් සංචිත මුදල් ගණන් හදන විවිධ ක්‍රම තිබෙනවා. සංචිත මුදල් අඩු වීමට මහ බැංකුව දායක වෙන්න පුළුවන්. පොලී අනුපාතය වැඩි කරලා මහ බැංකුවේ පවත්වා ගෙන යා යුතු තැන්පතු අනුපාතය වැඩි කරලා ණය ප්‍රසාරණය පාලනය කරන්න මහ බැංකුවට යම් දායකත්වයක් දක්වන්න පුළුවන්. නමුත් සංචිත මුදල් කියන එක මහ බැංකුවේ පාලනය යටතේ තිබෙන එකක් නොවේ. ආර්ථිකයේ ක්‍රියාකාරකම් මත තීරණය වන දෙයක්. අපි කතා කලේ සෘජුවම මහ බැංකුව යටතේ පාලනය වන මුදල් අච්චු ගැසීම ගැනයි. නැතිනම් නව මුදල් නෝට්ටු මුදල් ප්‍රවාහයට නිකුත් කිරීම ගැනයි.

මුදල් අච්චු ගැසීම උද්ධමනයට බලපාන්නේ කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්නයක්. මහ බැංකුව මුදල් නෝට්ටු අච්චු ගහලා සේප්පු තුල තබාගෙන ඉන්න තුරු උද්ධමනයට බලපෑමක් නෑ. ආණ්ඩුව ණය ගන්නේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා. මේවා මිල දී ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුනොත් මහ බැංකුව විසින් අර අළුතින් අච්චු ගහපු මුදල් නෝට්ටු භාවිතා කරලා මිල දී ගන්නවා. ඒ හරහා මහ බැංකුවේ සේප්පු වල තිබුණු මුදල් නෝට්ටු මුදල් සංසරණයට එකතු වෙනවා. ජනතාව අතේ ගැවසෙන මුදල් වැඩි වුණාම භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වී උද්ධමනය ඉහල යනවා.

අපි නගපු නිශ්චිත චෝදනාව වුණේ ලක්ෂ්මන් – කබ්රාල් යුග වලට වඩා නන්දලාල් යුගයේ දී මුදල් අච්චු ගැසීම ඉහල ගොස් ඇති බවයි. සංචිත මුදල් ගැන අප කතා කළේ නැහැ. එක්කෝ ‘එහෙම කලා. එහෙම නොකර බෑ. එදා මගේ විවේචනය වැරදියි’ කියා උත්තර දෙන්න ඕනෑ. නැතිනම් ‘මගේ යුගයේ මුදල් අච්චු ගැසීම වැඩියි කියන එක වැරදියි’ කියලා සංඛ්‍යාලේඛන සහිතව ඔප්පු කරන්න ඕනෑ. ඒ වෙනුවට මුදල් අච්චු ගැසීම ගැන ප්‍රශ්න කරාම සංචිත මුදල් ගැන උත්තර දීම ‘කොහෙද යන්නේ – මල්ලේ පොල්’ උත්තර දීම ප්‍රශ්නයෙන් පලා යෑමක්.

වැටුප් ගෙවීම, සහනාධාර ගෙවීම, ණය ගෙවීම වගේ අත්‍යාවශ්‍ය දේවල් සඳහා ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් නැති නම් මුදල් අච්චු ගහලා හරි මේ වියදම් පියවා ගන්න ආණ්ඩුවටත් මහා බැංකුවටත් සිද්ධ වෙනවා. නමුත් මෙවර අයවැයෙන් රුපියල් ට්‍රිලියන පහකින් (5) ණය කන්ද වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා. පහ (5) පුංචි වුණාට ට්‍රිලියනයට බිංදු 12 ක්. මේ දක්වා ගත්ත සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 25 යි. ඒක 2023 දී විතරක් 20%කින් ඉහල නංවන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මොනවා කරන්න ද? අළුතින් ආයතන 11ක් හදන්න. මේ අනවශ්‍ය වියදම් කපා හැරීම මහ බැංකුවේ වගකීමක් නොවේද ? එහෙම නැතිනම් ආණ්ඩුව ඉල්ලන ඉල්ලන ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා ලබාදීමද මහ බැංකුවේ වගකීම.

ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා මහ බැංකුවේ මුදල් මණ්ඩලයි. මුදල් නීති පනතේ 114 වගන්තියේ ඉතා පැහැදිලිවම කියා තිබෙනවා මුදල් මණ්ඩලයේ උපදෙස් නොලබා කිසිම ණයක් ලබා ගන්න බෑ කියලා. ඒ උපදෙස් ලබාදීමේ වගකීම මහ බැංකුව දිගින් දිගටම පැහැරහරිනවා කියන චෝදනාවයි අප එල්ල කරන්නේ. ඒ චෝදනාවට පිළිතුරු නොදී ‘කොහෙද යන්නෙ යැව්වහම මල්ලේ පොල්’ උත්තර දෙන්න එපා කියලා අපි මහ බැංකු අධිපතිතුමා ගෙනුත් අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහ බැංකුවේ ‘ලෙඩා මලත් බඩ සුද්දයි’ ක්‍රමය

ඒ වගේම උද්ධමනය පාලනය කිරීම සඳහා 30% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් දක්වා පොලි අනුපාත වැඩි කර තිබෙනවා. පොලී අනුපාත ඉහළ දැමීමෙන් ණය ප්‍රසාරණය නතර වෙනවා. ඒ නිසා භාණ්ඩ වලට ඇති ඉල්ලුම අඩු වෙනවා. උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙනවා. මේවා න්‍යයන්. දැන් මේකෙන් උද්ධමනය පාලනය කලත් 30% පොලියට අරගෙන ව්‍යාපාරයක් කරනවා නම් ඒ කරන්න පුලුවන් මත්කුඩු ව්‍යාපාරය විතරයි. මොකද 30% ක පොලියට අරගෙන ලාභයක් ලබන්න ඇත්නම් ඊට වඩා වැඩි ලාභ අනුපාතයක් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනෑ. එහෙම ව්‍යාපාරයකට තියෙන්නේ මත්කුඩු ව්‍යාපාරය පමණයි. ව්‍යාපාර සියල්ලම මින් බිඳවැටෙනවා. කුඩා කර්මාන්ත වැසි ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රස්සා නැතිව යනවා මේ ඉහළ පොළිය ව්‍යාපාරික අංශයට දරාගන්න බැරි හන්දා. ඒ නිසා මහ බැංකුව කල යුත්තේ ‘ලෙඩා මලත් බඩ සුද්දයි’ කියලා ආර්ථිකය කඩාවැටෙන ආකාරයෙන් උද්ධමනය පාලනය කිරීම නොවේ. පොලී අනුපාතය ඉහල දැමීම වෙනුවට මුදල් අච්චු ගැසීම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට කටයුතු කළහොත් ව්‍යාපාරික ක්ෂේත්‍රයටද හානියක් නොකර උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට හැකි වෙනවා කියලා අප පෙන්වා දෙන්න කැමතියි.

= ප්‍රශ්න සහ පිළිතුරු =

ප්‍රශ්නය :

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දමලා යළි සුළු ප්‍රමාණයකින් පහත හෙළනවා; මොකක්ද මේ සිදු කරන්නේ ?

පිළිතුර :

‘මිල ස්ථායිකරණ අරමුදලක් සමඟ මිල සූත්‍රයක් ගෙන ආ යුතුයි’ කියන එක මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ 2021 පෙබරවාරි මස 15 වැනිදා. නමුත් ඒකට කමිටු දදා අනුමත නොකර ඇද ඇද ගියා. පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ මිල ක්‍රමය පාරදෘශ්‍ය වෙන්න ඕනේ. තෙල් මිල වැඩි වෙද්දී පිම්මේ ඉහල ගියත් අඩු වෙද්දී එහෙම වෙන්නේ නැහැ. පළමු දේ මිල සූත්‍රය ප්‍රසිද්ධ වෙන්න ඕන. ඒ වගේම ලංකාවට ගැළපෙන්නේ බටහිර රටවල තියෙන මිල සූත්‍රය ද නොවෙයි. මිල සූත්‍රය හා බැඳුණු මිල ස්ථායිකරණ අරමුදලක්. මොකද 120 ට තියෙන ඩීසල් ලීටරයක් එකවරම රුපියල් හාරසිය විස්සට (420) මිල වැඩි වෙනවා නම් මේ රටේ පාරිභෝගිකයාට එක දරාගන්න බෑ. නිෂ්පාදකයාට භාණ්ඩයක නිෂ්පාදන මිල තීරණය කරන්න බැහැ. මිල ස්ථායිකරණ අරමුදලකින් කරන්නේ, මිල අඩු වන කාලයක එම මිළ අඩුවීමේ සම්පුර්ණ වාසිය ජනතාවට දෙන්නේ නැතුව ඉන් කොටසක් අරමුදලකට අරගෙන ඒ අරමුදල පාවිච්චි කරනවා මිල වැඩිවීම සිදුවන කාල වලදී මිල වැඩි කිරීමක් සිදු නොකර යම් මිල සමනය කර ගැනීමක් සිදු කරන්න. මේක තුන්වන ලෝකයේ රටවල ක්‍රියාත්මක වන ක්‍රම වේදයක්. අපි මීට වසර 2 කට කලින් තමයි මේක යෝජනා කළේ. අවාසනාවකට මෙවැනි නිර්මාණශීලී අදහස් ආණ්ඩුව ක්‍රියාත්මක නොකළ නිසා තමයි ආණ්ඩුව අමාරුවෙ වැටුනෙ.

ඒ වගේම විදේශ විනිමය අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මස 26. ආණ්ඩුව ඒ ගැන කිසිදු හැඟීමක් නැතුව කටයුතු කරද්දී තමයි 2021 ජූනි 12 මාධ්‍ය හමුවක් තියලා මම මේ ගැන රටට කිව්වේ. නමුත් ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු මොකද්ද කිව්වේ. ‘අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා. ඕනෑ තරම් ඩොලර් තියනවා. ගම්මන්පිල බොරු බිල්ලන් මවා රට බය කරනවා’ කිව්වා. එක අමාත්‍යවරයෙක් කිව්වා ‘ඩොලර් නැව් 3 ක් මග එනවා’ කියලා. ඩොලර් එන්නේ නැව් වලින් නෙමෙයි කියලා දන්නේ නැති කැබිනට් අමාත්‍යවරු ඉන්නා රටක මේ තත්ත්වය රටට උදා වීම පුදුම වෙන්න කාරණයක් නොවෙයි.

වෙන්න යන දේ හැමදාමත් අපි කලින් කියලා තියෙනවා. අවාසනාවට ඒක බීරි අලින්ට වීණා ගායනා කරනවා වගේ එදා සිද්ද වුණේ. අදත් එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

ප්‍රශ්නය :

යලි අරගලයක් ඇති වේයැයි කනින් කොනින් කියවෙනවා. ඔබතුමන්ලා මොකද කරන්නේ ?

පිළිතුර :

ආණ්ඩුව එළවා දැමීමට නම් ළඟ එන පළාත් පාලන ඡන්දය පාවිච්චි කළ යුතුයි. මහ පාරේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ජනතාව ජනතාවගේ අයිතියක්. නමුත් එය ප්‍රචණ්ඩ ආකාරයෙන් සිදු කරලා රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්න එපා. අපේ රටට එන ආයෝජකයක් සංචාරකයා බියට පත් කරලා වෙන රටවලට පලවා හරින්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. අරගලයේ අවසන් ප්‍රතිඵලය රට තිබුණු තැනින් ද පහළට ඇද වැටීම නම් ඒක දේශප්‍රේමී අරගලයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි අරගල කරන, ආණ්ඩුව එලවන්න, හදන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා ආණ්ඩුව එළවලා විතරක් මදි ආණ්ඩුව එළවලා බලයට එන්නෙ කවුද කියලත් කියන්න ඕන. ගියපාර අරගලයට එවැනි දෙයක් තිබුනේ නැහැ. ඔවුන් අරගල කරන්න කලින් කිව්වේ නැහැ ‘අපේ අරගලයෙහි අරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමයි’ කියලා. සමහරවිට අරගලය සිදු නොවන්නට ඉඩ තිබුණා එක කිව්වා නම්. ඒ වාගේම අරගලයක් කරලා ආණ්ඩුව පලවා හැරලා බලයට පත්වන පිරිස රට පාලනය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා රට හමුවේ කියන්න ඕන.

ප්‍රශ්නය :

ඔබතුමන්ලාගේ ඉදිරි දේශපාලන සැලසුම් මොනවාද ?

පිළිතුර :

ආණ්ඩුවට එරෙහිව බිහි කළ හැකි ප්‍රබලම සන්ධානයක් බිහිකරන්න මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. වැදගත් වෙන්නේ ආණ්ඩුව පරාජය කිරීම නොවේ. ආණ්ඩුව පරාජය කළාට පසුව මොකද කරන්නේ කියන එකයි. හැමෝම එකතු වෙන්නේ සන්ධාන හදන්නේ ආණ්ඩු පෙරළන්න මිසක් පෙරළුවා ට පස්සේ කොහොමද කරන්නේ කියන එක ගැන කතා වෙන්නේ නැහැ. ඒ නිසා පොදු වැඩපිළිවෙළක් සඳහා අප එකතු වෙන්න ඕන. ඒ සඳහා වන සාකච්ඡාවක් අපි ආරම්භ කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතා සහ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරල මහතාද සහභාගී විය.


බොරැල්ල රෝහලේ වකුගඩු 52 ක් ගලවලා – රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රටින් පලා යෑමේ උත්සාහයක්

(07.12.2022 – 06:31 +0530 – aruna.lk)

වකුගඩු ජාවාරමේ මූලස්ථානය වූ බොරැල්ලේ වෙස්ටන් පුද්ගලික රෝහලේ දී 2022 වසරේ දී පමණක් වකුගඩු බද්ධ කිරීම් 52 ක් සිදු කර ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (06) දැනුම් දුන්නේය.

මෙම සංවිධානාත්මක වකුගඩු ජාවාරමේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ පිරිසක්ද සිටින බවත්, එම සියලු දෙනා පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත දන්වා සිටියේය.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන රෝහලේ ප්‍රධානී සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය හොර රහසේ රටින් පලා යෑමේ උත්සාහයක් ඇතැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ඔවුන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, බොරැල්ල වෙස්ටන් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වන මොහොමඩ් හුසේන් රිස්වි සරීෆ්, අමීනා රිස්වි සරීෆ්, මොහොමඩ් රිකාස් සරීෆ්, ෆාතිමා ගබ්බා සරීෆ්, ඔමාර් සරීෆ්, අමිතා කමලනි කස්තුරි ආරච්චි යන හය දෙනාගේ (6) විදෙස් ගමන් වහාම තහනම් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු බව කියන 41 හැවිරිදි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඊයේ (06) ඉදිරිපත් කර තිබිණි.

එම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණ සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකරු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

දිළිඳු පවුල්වල පුද්ගලයන් මුළාකර, මුදල් ලබා දෙන බව පවසා දේශීය සහ විදේශීය පුද්ගලයන්ට වකුගඩු විකිණීමේ මහා පරිමාණ ජාවාරමට අදාළ නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් සමග පැමිණිල්ල නියෝජනය කරමින්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවැසීය.

නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිටින්නේ මෙය අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් වන නිසයි. ආර්ථික වශයෙන් විවිධ දුෂ්කරතාවලින් පෙළෙන කොළඹ නගරයේ ජීවත්වන පිරිස් විශේෂයෙන් ඉලක්ක කරගෙන වකුගඩු මුදලට එම පුද්ගලයන් ලබාගෙන දේශීය හා විදේශීය පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් සම්බන්ධයෙන් ‘දෙරණ’ රූපවාහිනී නාළිකාවේ ‘උකුස්සා’ මගින් මුල් වරට අනාවරණය කළා. ඉන් පසුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම වකුගඩු ජාවාරම පිළිබඳව විමර්ශන සිදු කළා.

එම විමර්ශනයේ දී රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 120 දක්වා මුදල් ලබාදෙන බව පවසා වයස අවුරුදු තිහත්, හතළිස් දෙකත් (30-42) අතර වයසේ පසුවන පුද්ගලයන් 04 දෙනකුගේ සහ කාන්තාවකගේ වකුගඩු ගලවාගෙන තිබෙන බව අනාවරණය වුණා. මෙහි අලියදාස් නමැති කම්කරුවෙක් ඉන්නවා. ඔහුට රුපියල් ලක්ෂ 95 ක් ලබාදීමේ පොරොන්දුව මත ඔහුගේ වකුගඩු ගලවාගෙන තිබෙනවා. ඔහු එම වකුගඩුව දී ඇත්තේ බොරැල්ලේ වෙස්ටන් රෝහලේ හිමිකරු වන මහාචාර්යවරයකු කියන වෛද්‍යවරයකුටයි.

මෙම වකුගඩු බද්ධ කිරීම් තුළින් දැනට අනාවරණය වී ඇත්තේ 06 ක් පමණයි. මෙම ජාවාරමට ආධාර අනුබල දුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා. ලංකාවේ සිදු වූ වකුගඩු ජාවාරම, ජාලගතව ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ඖෂධ ජාවාරම, ආයුධ ජාවාරම, මිනිස් ජවාරම වගේ සිදුව තිබෙනවා. එම නිසා මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක්.

‘නිවාස ගන්න පුළුවන්, රට යන්න පුළුවන්’ කියා සිහින මවලා තමයි මෙම ජාවාරම කර ඇත්තේ. මෙලෙස වකුගඩු දීපු පුද්ගලයන් ඒවා දුන්නේ කාටද? කියා දන්නේ නෑ. මෙම වකුගඩු ජාවාරමේ තැරැව්කරුවන් සහ වෙස්ටන් රෝහලේ පාලනාධිකාරිය විසින් වකුගඩු මිලදී ගත් පුද්ගලයන් ලක්ෂ ගණනින් දුන් මුදල්, වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට නොදී යටි මඩි ගසාගෙන තිබෙනවා.

වෙස්ටන් රෝහලේ දී වකුගඩු ලබා දුන් පුද්ගලයන් කිහිප දෙනකුට රුපියල් ලක්ෂ 02 බැගින් මුදල් දී තිබෙනවා. එලෙස මුදල් දී ඇත්තේ අත් බෝම්බයක් තිබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් කාලයේ දී විමර්ශන පැවැත් වූ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ වාහන අංගනය තුළදීයි.

එලෙස මුදල් ලබා දී ඉතිරි මුදල් ඉල්ලා වෙස්ටන් රෝහල වෙත ගොස් කරදර නොකරන ලෙසට වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට තර්ජනය කර තිබෙනවා. එම සිද්ධියට උසස් පොලිස් නිලධාරියකුත් සම්බන්ධ වී තිබෙන බව අනාවරණය වුණා.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය :

“අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කරනවා.”

ඉෂාර රත්නකාර


විදෙස්ගත ව සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොරෝනා නීති ඉවත් කෙරෙයි

(07.12.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් ඇතුළු විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා නීති ඉවත් කර තිබෙනවා.

අද (07) සිට එය වලංගු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව එන්නත්කරණය නොකළ පුද්ගලයෙකු මෙරටට පැමිණිමේ දී පැය 72 කට පෙර කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමේ රෙගුලාසිය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ හරහා වැඩි විදේශ සංචාරකයින් පිරිසක් ඉදිරියේ දී මෙරටට පැමිණෙනු ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ජයසූරිය කියා සිටියේ.


ගෝඨා ආණ්ඩුවේ ඒකපාර්ශවික තීරණයක් නිසා රුපියල් මිලියන 5,978 ක මුදලක් අපතේ ගිගිං!

(07.12.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එවක පැවති ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ඒක පාර්ශ්වික තීරණයක් මත අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978 ක මුදලක් අපතේ ගොස් ඇතැයි නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

එසේ ම අදාල විගනන වාර්තාව තුළ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම ව්‍යාපෘතියට අදාල ජපාන උපදේශන සමාගම බේරුම්කරණ ක්‍රියාවලියක් සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් ඊට අදාළවත් අධික පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකාවට සිදු ව ඇති බවයි.

කොළඹ හා ඒ ආශ්‍රිත මාර්ග තදබදය අවම කිරීම සහ මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව 2016 වසරේ ජපන් ණය ආධාර යටතේ ආරම්භ කිරීමට යෙදුණ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, 2020 වසරේ සැප්තැම්බර් 24 දිනැති ගැසට් පත්‍රය මගින් එවක පැවති ශ්‍රී ලංකා ආණ්ඩුව ඒකපාර්ශවික තීරණයක් මත අවලංගු කොට තිබෙන බවයි අදාල විගණන වාර්තාව සඳහන් වන්නේ.

මේ අතර අදාල විගණන වාර්තාව තුළ වැඩිදුරටත් සඳහන් වන්නේ, අදාළ ව්‍යාපෘතියේ ජපාන උපදේශක සමාගම, ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 5,169 ක වන්දි මුදලක්ද ඉල්ලා ඇති බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

එසේ ම එම සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත්, සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ද ඇතුළුව තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි මෙම විගණන වාර්තාව පෙන්වා දෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ දී, පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස රුපියල් කෝටි 10.4 ක මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති අතර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ පසු එම මුදලින් සියයට පනහක් (50%) ආපසු ගෙවිය යුතු වුවත් අතරමඟ නැවතීම නිසා එම පෙර ගෙවුම් ගාස්තුව ද අපතේ ගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

‘ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය’ හෙවත් ‘ජයිකා’ ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා වසර 12 සහන කාලයක් සහිතව වසර 40 ගෙවීමට හැකි වන පරිදි සියයට 0.1 ක සහන පොලී පදනමක් යටතේ ණය ලබා දී තිබියදීත් ව්‍යාපෘතිය අවලංගු කිරීම, කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර අදාල ව්‍යාපෘතියේ ණය ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීම ‘ජයිකා’ ආයතනය ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන්, ඉදිරියේ දී බේරුම්කරණ කාර්යයකට මුහුණ පෑමට ඉඩ ඇතැයි ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ෴


විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවත්වයි

(07.12.2022 – 16:05 +0530 – sinhala.adaderana.lk)

විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම්දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේදී ආරම්භ කළේය.

අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

එසේම ලබන ජනවාරි මාසයේ සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික, මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබාදීමට තීරණය කර තිබේ.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම පවතින ගැටළු පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවය.

මේ අතර වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට ද එහිදී තීරණය කර ඇත.

එසේම දැනට පෞද්ගලික අංශයෙන් සිදුකරන ඇතැම් සේවාවන් විදුලිබල මණ්ඩලයේ සේවකයින් යොදවා සිදු කිරීමට සහ එසේ නොහැකි සේවාවන් අඩු පිරිවැයකට පළාත් පාලන ආයතන මගින් සිදුකිරීමේ වැඩපිළිවෙලක් ඇතුළු වියදම් කළමනාකරණය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ සාකච්ඡාවේදී අවධානයට යොමුවූ බවද කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *