ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට

ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට

*********************************************

ඖෂධ මිල 40% කින් ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට

(30.04.2022 – 05:56 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්.

නව ගැසට් නිවේදනය ප්‍රකාරව 2019 ඖෂධ නියෝග යටතේ ගැනෙන පරිදි මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය වනු ඇති.

මෙම නියෝග පළ කර ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට සංශෝධිත පරිදි 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝගවල උපලේඛනයේ පස්වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලක් වන යම් ප්‍රතිශෝධිත සිල්ලර මිලකට 2021 අගෝස්තු මස 19 වැනි දින අංක 2241/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලින් සංශෝධිත 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝග යටතේ යම් උපල්ඛනගත ඖෂධයක් විකුණනු ලබන යම් නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු විසින් එම ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක අගයක් යටතේ වැඩි කිරීමට නව ගැසට්ටුව මගින් අවසර හිමිව තිබෙනවා.

එමෙන්ම විකිණීමේ කාර් යය සඳහා උපලේඛනගත ඖෂධ සන්තකයේ තබාගෙන සිටින සෑම වෙලෙන්ඳෙකු, බෙදාහරින්නෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍ය වෘත්තිකයෙකු, දන්ත වෛද්‍යවරයෙකු, පශු වෛද්‍යවරයෙකු, පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ඇතුළු වෛද්‍ය ආයතනයක්, ඔසුසලක් හෝ තැනැත්තකු විසින් උපලේඛනගත ඖෂධවල මිල, උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩාත් අඩු මිලෙහි පවත්වාගෙන යා යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම ඖෂධ කාණ්ඩයට ගැනෙන ඇල්බෙන්ඩසෝල් හෙවත් පණු රෝගයට ලබාදෙන ඖෂධ, ඇමොක්සිලීන්, ක්ලැරිත්‍රෝමයිසීන්, ඇසිත්‍රෝමයිසීන්, සෙෆියුරොක්සිම් ආදී ප්‍රතිජීවක ඖෂධ ද, අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් ඩොක්සිසයික්ලීන් හෙවත් ‘ලෙප්ටොස්ෆයිරෝසියාස්’ (මී උණ රෝගය), චිකන්පොක්ස් (පැපොල) රෝගය සඳහා ලබාදෙන ඇසික්ලොවීර් යන ඖෂධ ආදිය ඇතුළු තවත් ඖෂධ රැසක මිල ගණන් සංශෝධනයට ලක් වනු ඇති.

මෙම නව ඖෂධ මිල සංශෝධනය යටතේ ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ යනු ඇති.

නව ඖෂධ මිල සංශෝධනයට අනුව ඇස්ප්‍රින් මිලිග්‍රෑම් සියයේ (100) පෙත්තක මිල රුපියල් 12.53 දක්වා ඉහළ යන අතර, මෙට්පෝමින් මිලිග්‍රෑම් 850 හේ පෙත්තක මිල රුපියල් 17.50 දක්වා ඉහළ යනවා.

එමෙන්ම නව සංශෝධනයට අනුව දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඉන්සියුලින් සොලියුබල් හියුමන් මිලිලීටර දහයේ (10) කුප්පියක මිල රුපියල් 2702.41 ක් වනු ඇති.

එමෙන්ම නව ඖෂධ මිල සංශෝධනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් 4.16 දක්වා ඉහළ යනවා.

මේ අතර, තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පෙර කළ සංශොධිත සහිතව 1925 අගෝස්තු 28 වැනි දින අංක 7481 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වූ නව ගැස නිවේදනයක්.

ඒ අනුව ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නියෝග හා අන්චිලෝස්ටෝමියාස් සම්බන්ධයෙන් වන නියෝග එහි 101 වැනි නියෝගය ඉවත් කිරීමෙන් තවදුරටත් සංශෝධනය කර බලාත්මක කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

***************************************

ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 46.6 ක්

(30.04.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මනිනු ලබන මෙරට උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 18.7 සිට අදින් අවසන් වන අප්‍රේල් මාසය තුළ සියයට 29.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ පැවති සියයට 30.2 සිට අප්‍රේල් මාසයේදී සියයට 46.06 දක්වා ඉහළ යාම කැපී පෙනෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද මාර්තු මාසයේ පැවති සියයට 13.4 සිට අප්‍රේල් මාසයේදී සියයට 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල් මාසයේදී ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් පෙට්‍රල් සහ ඩීසල් මිල, නිවාස, ගෑස්, ආපණ ශාලා ආදී උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, ආහාර කාණ්ඩයේ කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

***************************************

වැට් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් ඇමති බී.බී.සී. යට කියයි

(30.04.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන අගය එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු ප්‍රතිශතය නියත වශයෙන්ම තිරසර නොවන අතර, එය, ඉහළ නැංවීම හැර විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බී බී සී ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ මුදල් අමාත්‍යවරයා 2019 වසරේදී වත්මන් රජය විසින් වැට් බදු සියයට 8 දක්වා පහත හෙළීම වැරදිසහගත තීරණයක් බව පිළිගත්තා.

එමෙන්ම වැට් බදු අනුපාතය සියයට 13 ක් හෝ 14 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

වර්තමාන දේශපාලන අර්බුදයට මුල් වී ඇත්තේ ආර්ථික අර්බුදයයි.

ඒ සඳහා විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම ප්‍රමාද වූ බවද මුදල් අමාත්‍ය අලි සබ්රි බී බී සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කළා.

“අපට බදු වැඩි කිරීමට සිදුවනවා. එමඟින් ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමට මගක් සෙවිය යුතුයි.

විශාල තෙල් සංචිත වැනි සම්පත් නොමැති ඕනෑම රටකට තිරසර භාවය පවත්වාගැනීම සඳහා බදු ආදායම් සියයට 13 ක්, 14 ක් හෝ සියයට 15 ක මට්ටමේ තබාගත යුතු වනවා.

ඒ අවම අවශ්‍යතාවක්. ඉතින් සියයට 8.6 ක් වන අපේ බදු ප්‍රතිශතය නියත වශයෙන්ම ප්‍රමාණවත් වන්නේ නැහැ.”

ආර්ථික අර්බුදය තුළින් ජනතාව පීඩාවට ලක්වීම පිළිබඳවද බී බී සී වාර්තාකාරිනිය මුදල් අමාත්‍ය අලි සබ්රිගෙන් විමසා සිටියා.

මේ ඊට පිළිතුරු ලබාදුන් මුදල් අමාත්‍යවරයා :

“ජනතාව පීඩාවට පත්ව සිටීම සැබවින්ම කණගාටුදායක කරුණක්. එහෙත් අපට පවතින විකල්පයන් මොනවාදැයි සිතා බැලිය යුතුයි. ඒකට සමස්ත පද්ධතියම කඩාවැටෙන්න දෙන්න බැහැ. බැංකුවලට ණය අයිරා නිකුත් කළ නොහැකි, ආනයන සිදුකළ නොහැකි වාතාවරණයක් තුළ කුමක්ද ඉතිරිවන්නේ. ඉතින් ඒ අතර සමබරතාවක් ඇති කරන්න යම් වේදනාවක් විඳ දරාගැනීමට සිදුවනවා. එමඟින් තමයි අපට නැවත ගොඩනැගිය හැකිවන්නේ. මෙය ඇත්ත වශයෙන්ම ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදය තුළින් තමයි දේශපාලන අර්බුදයක් ඇතිවී තිබෙන්නේ. නැතිනම් එය දේශපාලන අර්බුදයක් නිසා ඇතිවූ ආර්ථික අර්බුදයක් නොවෙයි.”

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට ව්‍යාපෘතිවලට රජයෙන් පූර්ණ සහාය

(30.04.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නව ව්‍යාපෘති සඳහා මෙරටට මුදල් යොමු කිරීමේදී ඔවුන්ට පළාත් සභා හා පළාත්පාලන ආයතනවලින් පූර්ණ සහයෝගය ලබාදෙන බව පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ප්‍රකාශ කළා.

මේ මොහොතේ රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ඩොලර් එවීම දිරිගැන්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ෴

***************************************

ගෑස් බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් මාසයක්

(30.04.2022 – 16:41 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසය අවසානය වන විට ගෑස් බෙදා හැරීම සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ජනතාවට අඛණ්ඩව ගෑස් සැපයීම වෙනුවෙන් දීර්ඝ කාලීන ගිවිසුම්වලට එළඹෙන ලෙසට ද ලිට්‍රෝ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

ඇනවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් 7500 ක් රැගත් නෞකාවක් ද දිවයිනට පැමිණ ඇති අතර ඊට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් මහබැංකුව සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

රජයක් ලෙසට උපරිම උත්සාහ කරනු ලබන්නේ හිගයකින් තොරව ගෑස් ලබාදීමට බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ලෝක බැංකු මුල්‍යාධාර සහ ඉන්දියානු ණය පහසුකම් ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම්වලට ගෑස් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට ද අවශ්‍ය අවසර ලැබී ඇති බව වෙළඳ අමාත්‍යවරයා කියාසිටියා.

මේ අතර, මෙරට පාරිභෝගිකයන්ට අඩු මිලට ගෑස් ලබාදීම සඳහා නව සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙලෙස තෝරාගෙන ඇති අතරල ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ පසුගිය වසර දෙක තුළ ගෑස් ආනයනය කළ සමාගමෙන් ගෑස් ලබාගත් මිලට වඩා සියාම් සමාගමෙන් මෙටි‍්‍රක් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 9 ක් අඩුවෙන් ලබාගත හැකි බව ඔහු සඳහන් කළා.

ගතවූ දෙවසර තුළ මෙරටට ගෑස් ආනයන ඕමාන සමාගමේ ගිවිසුම් කාලය මේ මස තුළදී අවසන් වීමට නියමිතයි.

ඕමාන සමාගම සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම අනුව එම සමාගම මගින් මෙරටට එවන ලද මෙට්‍රික් ටොන් 3,500 ක අවසන් ගෑස් නෞකාව ඊයේ (29) මෙරටට ළඟා වුණා.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ බහුලව ගෑස් භාවිතයට ගැනෙන සියයට 28 ක්වූ නාගරික පාරිභෝගික ප්‍රජාවට සහ කර්මාන්ත ශාලාවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

එවන් පසුබිමක ලිට්‍රෝ සමාගමේ සේවකයින් සඳහා සති අන්ත නිවාඩු දින ඇතුළුව දින 3 ක නිවාඩු ලබා දී ඇති බවට වාර්තා වීමත් සමඟ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකළා.

ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතාගෙන් ද ඒ පිළිබඳව කළ විමසීමෙන් පසුව ඔවුන් සේවයට වාර්තා කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුවයි ගෘහස්ථ ගෑස් තොගයක් වෙ‍ළෙඳපොලට නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

***************************************

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

(30.04.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සම ලේකම් ඩී. බී ශාන්ත සිල්වා සඳහන් කළේ, ගෙවීම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

ඉන්ධන මිල වැඩිවීමත් සමග ප්‍රවාහන ගාස්තු පිලිබඳව ඇති මිල සූත්‍රයට අනුව, එම ගාස්තු ද සංශෝධනය විය යුතු බැවින් ඒ පිලිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ ද සාධණීය පිලිතුරක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා ෴

+++++++++++

බවුසර් හිමියන්ගේ වර්ජන සූදානම ගැන විෂය භාර ඇමතිගෙන් නිවේදනයක්

(30.04.2022 – 17:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් ඉවත්වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම සූදානම් බව බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3 ක් මගින් සිදු කරන බවයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර් එම පාර්ශව තුනයි.

මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සඳහා, පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5 කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84% ක වර්ධනයක් වනවා.

එමෙන්ම තවදුරටත් සංශෝධන කිහිපයක් කිරීමට එකඟත්වය පළ කර තිබුනත් ඒම සංශෝධන ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉන්ධන බෙදා හැරීමෙන් එම පෞද්ගලික අංශයේ බවුසර් ඉවත් වුවහොත් එම කාර්යට පැමිණෙන බවුසර් සහ වෙනත් විකල්ප ක්‍රම භාවිතා කිරීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනයන් සිදු කළ යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සිදු කරන බව ඔහු සඳහන් කළා.

ඊයේ (29) රාත්‍රියේ ද ඩීසල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, පෙට්‍රල් සහ බොර තෙල් නෞකා දෙකක (2) ගොඩ බෑමේ කටයුතු ද ඉදිරි දින දෙක (2) තුළ සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

++++++++++

ඉන්ධන ප්‍රවාහනයට නව සැපයුම්කරුවන් වහාම ලියාපදිංචි කරන්න – විෂය භාර ඇමතිගෙන් උපදෙස්

(30.04.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසටයි ඔහු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් ලබාදී ඇත්තේ.

දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙනවා.

අද (30) පස්වරු 4 ට බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද මුළු බවුසර් ගණන 381 ක්.

රජයට අයත් බවුසර් 84 ක්, ඉන්ධන පිරවුම්හල් බවුසර් 103 ක් සහ කුලියට ගත් බවුසර් 194 ක් වර්ජනයේ නිරත නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන්-92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති අතර 95 පෙට්‍රල් සීමා කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් ඉවත්වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම සූදානම් බවයි.

ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3 ක් මගින් සිදු කරන බවයි බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර් එම පාර්ශව තුනයි (3).

මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සඳහා, පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5 කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84% ක වර්ධනයක් වනවා.

එමෙන්ම තවදුරටත් සංශෝධන කිහිපයක් කිරීමට එකඟත්වය පළ කර තිබුනත් ඒම සංශෝධන ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඉන්ධන බෙදා හැරීමෙන් එම පෞද්ගලික අංශයේ බවුසර් ඉවත් වුවහොත් එම කාර්යට පැමිණෙන බවුසර් සහ වෙනත් විකල්ප ක්‍රම භාවිතා කිරීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනයන් සිදු කළ යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සිදු කරන බව ඔහු සඳහන් කළා.

ඊයේ (29) රාත්‍රියේ ද ඩීසල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, පෙට්‍රල් සහ බොර තෙල් නෞකා දෙකක (2) ගොඩ බෑමේ කටයුතු ද ඉදිරි දින දෙක (2) තුළ සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *