IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ

IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ

*********************************************

IMF වාර්තාව එළියට – රටේ ආර්ථික වියවුල ගැන හේතු රැසක් හෙළි වේ

(26.03.2022 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය ද ඊට ඇතුළත්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යය මණ්ඩල වාර්තාව නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බවයි එහි සඳහන් වන්නේ.

එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ද අයි.එම්.එෆ්. වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්.

අදාළ අයි.එම්.එෆ්. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබෙනවා.

එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි.

කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු බවයි වාර්තාව හෙළි කරන්නේ.

විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණා.

ආනයනික උද්ධමනය පිළිබිඹු කරමින් උද්ධමනය 2021 දෙසැම්බරයේ ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි එම නිවේදනයේ සාරාංශය වන්නේ.

මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට ද පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්‍යොන්ග් රී (Changyong Rhee) ද දිවයිනට පැමිණියා.

එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කළා.

එම සංචාරයේ දී යි, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ වාර්තාවක් සැකසීමට තීරණය කෙරුණේ.

ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද (26) දිනයේ දී නිකුත් කෙරුණු අතර, නුදුරු දිනක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපෂ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කෙරෙන යෝජනාවලිය ද රැගෙන අමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි අයි.එම්.එෆ්. මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතයි.

කෙසේවෙතත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙරට යෝජනාවලිය ඇතුළත් වාර්තාව ද රැගෙන අයි.එම්.එෆ්. වෙත යාම කිසිසේත් ම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සිදු කෙරෙන නිල සංචාරයක් නොවන අතර, එය හුදෙක් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුද සඳහා ලබාගත යුතු තාක්ෂණික උපදෙස් ලබා ගැනීම පිණිස සිදු කෙරෙන්නක් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු, සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ද අයි.එම්.එෆ්. වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රටේ පවතින සැබෑ ආර්ථික වියවුල්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කළා.

+

+++++

++++++++

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ‘ආටිකල් ෆෝ’ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාව නිකුත් වුණා.

එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය ද ඊට ඇතුළත්.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිළි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බවයි එහි සඳහන් වන්නේ.

එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

මූල්‍ය අරමුදලේ ‘ආටිකල් ෆෝ’ විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති අතර, සංචාරක කර්මාන්තයේ ආදායම් අහිමිවීම ඒ අතුරින් ප්‍රධානයි.

වසංගතයට පෙර සිදුකළ බදු කපාහැරීම් සහ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මෙරට මූල්‍ය හිඟය, 2020 සහ 2021 වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවූවා.

පසුගිය වසරේදී රජයේ ණය, දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 119 දක්වා ඉහළ ගිය අතර, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ප්‍රවේශය ද අහිමිවුණා.

විදේශ ණය පියවීම් සහ ජංගම ගිණුමේ ශේෂය පුළුල්වීම තුළින් විදේශ විනිමය හිඟයක් ඇති වී තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට එහිදී නිල විනිමය අනුපාතික සැබෑ තත්වය පිළිබිඹු නොකළ අතර, එය, පසුගිය දෙසැම්බරය වනවිට උද්ධමනය දෙගුණයකින් ඉහළ යාමට හේතු වුණා.

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ සහ ස්වෛරීත්ව ණය අර්බුදයක් අත්දැකීම ආරම්භ වූ අතර, රජයේ ණය තිරසාර බවකින් තොරවූයේ විදේශ සංචිත ණය සේවාකරණය සඳහා ප්‍රමාණවත් නොවන ලෙස හීනවෙමින්.

විනිමය සංචිත ගොඩනැංවීමට බලධාරීන් මගින් කෙටිකාලීන පියවර ගනු ලැබුවද මේ වසරෙන් ඔබ්බට ශ්‍රී ලංකාව දැවැන්ත ණය සේවාකරණයක් පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න අපහැදිලියි.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන තුළින් සංචාරක කර්මාන්තයේ අවස්ථා වැඩිදියුණු කිරීමට හැකිවී තිබෙනවා.

එහෙත් මැදිකාලීන වර්ධන දැක්ම, සාර්ව ආර්ථික අසමබරතාවන්, විදේශ විනිමය හිඟය සහ ප්‍රමුඛතාවක් නොමැති භාණ්ඩ ආනයන අත්හිටුවීම ආදියෙන් සමන්විත වනු ඇති.

මෙම වාතාවරණය තුළ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැංවීම ආදායම් ඉහළ නැංවීම මත පදනම් විය යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. වැට් හා ආදායම් බදු අනුපාත ඉහළ නැංවීම සහ පුළුල් කිරීමේ පියවර තුළින් ඒ සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි.

මූල්‍ය අවදානම අවම කරන අයුරින් බලශක්ති මිලකරණය සැකසිය යුතු අතර, පාඩු ලබන රජයේ ව්‍යවසායන් ප්‍රතිසංස්කරණයට පියවර ගත යුතුයි.

ක්‍රමෝපායෙහි විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා මූල්‍ය නීතිය සකස් කළ යුතු වනවා.

ණය තිරසරභාවය පවත්වාගෙන යෑම සඳහා පරිපූර්ණ ක්‍රමෝපායක් සංවර්ධනය කළ යුතු බවයි මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

වෙළඳපොල මගින් තීරණය කරනු ලබන නම්‍යශීලි විනිමය අනුපාතික ස්ථාපිත කළ යුතු වන අතර, එහි අසාමාන්‍ය තත්වයන් වැළැක්වීම සඳහා පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් ලෙස එය, පරීක්ෂාකාරීව ක්‍රියාවට නැංවිය යුතුයි.

විශේෂයෙන් මෙම ප්‍රතිසංස්කරණ මගින් අවදානම් කාණ්ඩවලට සිදුවන බලපෑම අවම කරලීම සඳහා සමාජ ආරක්ෂණ ජාලයන් ශක්තිමත් කළ යුතු බවද මූල්‍ය අරමුදල අවධාරණය කළා.

+++++++

අයි.එම්.එෆ්. වාර්තාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිචාර

(26.03.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මෙරට ආර්ථික තත්වය පිළිබඳ ‘ආටිකල් ෆෝ’ විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල පසුගිය වසරේ දෙසැම්බරයේ සිට ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක් රජයේ අනුමැතිය ලබාදුන් බව ද එමඟින් සඳහන් කළා.

එමෙන්ම අයි.එම්.එෆ්. වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටිනවා.

නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල වෙළඳපොල පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්.

එමෙන්ම පොදු ජනතාව ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි මහ බැංකුව අවධාරණය කළේ ෴

++++++++

IMF ලංකා වාර්තාව, සුරංගනා කතාවෙන් රටක් ඇන්දවීම නිරුවත් කිරීමකි … වාර්තාවේ නිර්දේශ මෙන්න …

(26.03.2022 – 12:00 +0530 – lankacnews.com)

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවනු ලැබූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස ‘හය මසක මාර්ග සිතියමක්’ මැයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ තර්කයන්ගේ හා කරුණුවල හරසුන් හා නිරර්ථක බව, IMF ලංකා වාර්තාව මගින් නිරාවරණය වී ඇත.

IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.

වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.

රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් (2) තුල අච්චු ගැසූ රටක උද්ධමනය ඉහළ යාම අරුමයක් නොවන බව මම පසුගිය සතියේ ද පෙන්වා දුනිමි. එදා එයට මහ බැංකු අධිපති ප්‍රතිචාර දැක්වූවේ මුදල් අච්චු ගැසීම අලුත්දෙයෙක් නොවන බවය.

ආදායමට වඩා වියදම වැඩි රටක වියදම් කැපීමත්, ආදායම් වැඩි කර ගැනීමත් හැර වෙනත් විකල්පයකට ඇත්තේ ණය ගැනීමය. සීනි බදු වංචාව, සුදුළුණු වංචා, පොල්තෙල් ගැන වාර්තාව කියන්නේ නැත. නමුත්, චීන අශුචි, නැනෝ පොහොර වැනි හොරකම් රටට කන්න නැතිකළ බව, ආහාර හිඟයක් ඇතිකළ බව පෝලිම්වල ඉන්න ජනතාවට රහසක් නොවේ.

වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි. මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය. රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9% ක් වැඩිවී ඇති බව දක්වයි.

අප අමතක නොකළ යුත්තේ ‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක් (2), වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය’ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී ඇත.

  1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (එනම් ගජමිතුරන්ට බදු සහන ලබාදීම වෙනුවට 2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)
  2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම
  3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම
  4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)
  5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම
  6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි. ලංකාව පිළිබඳ වාර්තාව පුරාම මතුවන්නේ ‘ගෙවී ගිය වසර දෙක (2) තුල ආර්ථික කළමනාකරණයේ දී රජය දක්වා ඇති නොහැකියාව හා දුබලතාව’ යි.

බදු ප්‍රතිපත්ති වෙනස් නෙකර, වියදම් පාලනය නොකර, පාඩු ලබන ආයතන බර දිගින් දිගටම දරමින්, පොලී අනුපාතය කෘතීම ලෙස පහත දමමින්, හිටි හැටියේ පසුගිය සතියේ රුපියල පා කර දැමීම වැරදි මුල්‍ය තීරණයක් බව මාර්තාවේ පේලී අතර ලියැවි ඇති, එළිපිට ලියා නොමැති කතාවයි. මුල්‍ය අරමුදල හැමදාම ලංකාවට උපදෙස් දුන්නේ ආදායම් වැඩි කර, වියදම් පාලනය කර විදේශ මුදල් අර්බුදයට පිළියම් යෙදීමයි. නමුත්, රජය රුපියල බාල්දු කළේ, කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරවය. දැන් ඩොලරය අහස උසට ඉගිලෙන්නේ ඒ නිසාය. අවසනාවකට අද (26) මේ වාර්තාව නිකුත් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර තීරණ ගැනීම පිළිබඳ එකඟතාවයක් හෝ නොමැති අවස්ථාවකය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට එකඟතාව ලබාදී ඇතත්, එය යථාර්ථයක් බවට පත්වීමට නම් රජය ක්ෂණික පියවර ගත යුතුය. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ හරය නම්, අර්බුදය තවදුරටත් කල් දැමීමට ලංකාවට හැකියාවක් නැති බව ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

***************************************

ඩොලර් අර්බුදය සහ ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර වටලෑමේ තරම – සභ්‍යත්ව සංකථන 38

(26.03.2022 – 16:32 +0530 – lankaleadnews.com)

‘පනස් හයේ දරුවෝ’ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 38 වන දිග හැරුම අද (26) සවස 07:30 ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

එහිදි මූලාසන දෙසුම ‘පනස්හයේ දරුවෝ’ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.

එහිදී ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ආචාර්ය ටියුඩර් වීරසිංහ, වෛද්‍ය ජී. විරසිංහ සහ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ යන මහත්වරු අනෙකුත් දෙසුම් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට පහත සබැඳියාව ඔස්සේ සම්බන්ධ විය හැකි බව මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81444431791
Meeting ID: 814 4443 1791
Passcode: 1956

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *