පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්

*********************************************

පෞද්ගලික බස් රථවලටත් ලංගමයෙන් තෙල්

(01.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ.

ඒ අනුව සිපෙට්කෝ මිලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර, ඊට අදාළ ගණනය කිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බවයි බස් රථ සේවකයින් ඊයේ (28) සඳහන් කළේ.

බස්රථ සදහා අවශ්‍ය ඩීසල් නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බව පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කියා සිටියා.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ඊයේත් (28) දිගු පෝලිම් පැවතුණා.

ඩීසල් නොමැතිවීමෙන් නුවරඑළියේ එළවළු වෙළදාම සියයට 60 කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියා.

මේ අතර, අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (28) සිදුකෙරුණා.

ඒ, ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නෝර්වේජියානු සමාගමක් අතරයි.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවන හයිඩ්‍රජන් වායුව ‘හරිත හයිඩ්‍රජන්’ ලෙස හැදින්වෙනවා.

එමෙන්ම අද (01) දිනයේත් සියලු කාණ්ඩ සඳහා පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

කෙසේ නමුත් රාත්‍රී කාලයේ ඉල්ලුම අධික වුව හොත් තවත් පැය භාගයක (½) කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුකළ හැකි බවයි ඔවුන් දැනුම් දුන්නේ.

අද (01) පැය 3 ක විදුලි කප්පාදුව පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

++++++++

නොවිසඳෙන තෙල් අවුල හා නොනවතින විදුලි කප්පාදුව

(01.03.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ඉන්ධන අර්බුදය මේ වනවිට පොදු ප්‍රවාහන සේවාවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

බස් රථ ධාවනය ද සීමා කර ඇති පසුබිමක දුම්රිය එන්ජින් රියදුරුවරුන් පවසන්නේ, දුම්රිය ධාවනය සඳහා පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින තුනකට (3) පමණක් බවයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම් පවතින ආකාරයත් දැකගත හැකිවුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

තවමත් බොහෝ පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින ආකාරය ද දක්නට ලැබුණා.

සංචාරකයින් ප්‍රවාහනය කරන රියදුරන් පිරිසක් දිගු වේලාවක් ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදු වූ නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී සිය රථ වාහන පෝලීමේ නවතා රැය පහන් කර තිබූ ආකාරය ද වාර්තා වුණා.

ඉන්ධන හිඟයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද උද්ගතව ඇති ආකාරය දැකගත හැකිවුණා.

මේ අතර ඩීසල් අවසන්ව පැවති තංගල්ල මහවෙල ප්‍රදේශයේ පිරවුම්හලකට ඉන්ධන ලැබීමත් සමඟ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතියට පත්වුණා.

පවතින ඉන්ධන හිඟය වැඩි වශයෙන් බලපෑමක් එල්ල කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවලටයි.

ඉන්ධන අර්බුදයත් සමඟ දුම්රිය ධාවනයටත් බලපෑමක් එල්ල වී ඇති අතර දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමය සඳහන් කළේ, පවතින තත්ත්වය මත දුම්රිය ධාවනය සීමා කරන ලෙස එම දෙපාර්තමේන්තුවට යෝජනාවක් ද සිදුකළ බවයි.

මේ අතර ඩීසල් හිඟය බස් රථ ධාවනයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ලංගම මඟින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වී ඇති බලපෑම මත ඇරඹුණු විදුලි කප්පාදුව අද (01) ක්‍රියාත්මක වන්නේ දිවා කාලයේ පමණයි.

ඒ අනුව A, P, Q, R කලාපවලට පෙරවරු 08:30 සිට පෙරවරු 11:30 දක්වාත්, B, S, T කලාපවලට පෙරවරු 11:30 සිට දහවල් 02:30 දක්වා සහ C, U, V, W කලාපවලට දහවල් 02:30 සිට සවස 05:30 දක්වා පැය තුන (3) බැඟින් විදුලිය කප්පාදු කෙරෙනවා.

කෙසේ වෙතත් රාත්‍රීයේදී විදුලි ඉල්ලුම අධික වුවහොත් තවත් පැය භාගයක (½) කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නා.

++++++++

මාස අටක් (8) සඳහා පෙට්‍රල් බැරල් ආනයනය කිරීමට රජයේ අවධානය

(01.03.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ පෙබරවාරි මස 15 වැනි දින සිට ඔක්තෝබර් 14 වැනි දින තෙක් මාස අටක (8) කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8 ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කර ගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා ෴

++++++++

දුම්රියට ඉන්ධන දින තුනකට (3) පමණ යි

(01.03.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බස් ධාවනය සඳහා ඩීසල් සැපයීම අර්බුදයක් පවතින පසුබිමක දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3ක් සඳහා පමණක් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

බස් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබා නො දුන හොත් ඉදිරි දින 3 තුළ දී සියලු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවන් වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

පෞද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරි දින කිහිපයේ ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව තම බස් රථයට රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝව මගින් අද (01) දිනයේ ඉන්ධන සපයා ගැනීමට හැකි වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය සීමා කරන ලෙස බලධාරීන්ට යෝජනා කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියා.

ඉන්ධන හිගය හේතුවෙන් ධීවර සහ ගොවිජනතාව ද අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ සිය වගා කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

මේ අතර, ඉන්ධන හිගය නිසා ප්‍රදේශ රැසක ධීවර ජනතාව ද අපහසුතාවකට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන වැඩි මිලට මිල දී ගෙන හෝ ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අද (01) දිනයේත් දිගු පෝලිම් පවතිනවා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි ඉල්ලා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන සංචිත ප්‍රමාණය අවම මට්ටමකට පැමිණ ඇති බැවින් ඉන්ධන පරිහරණයේ දී සැලකිලිමත් වන ලෙසයි.

++++++++

විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල දී ගැනීමට සැරසෙයි

(01.03.2022 – 13:50 +0530 – hirunews.lk/sinhala)

බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් විදුලිබල මණ්ඩලය මඟින් ඍජුව ම මිල දී ගෙන ලබන 05 වැනි දා වන විට කප්පාදුවකින් තොර ව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන මිල දී ගන්නා ලෙස රජය විදුලිබල මණ්ඩලයට පසුගිය දා දැනුම් දුන් බවයි.

++++++++

පොලිස්පතිගෙන් නිවේදනයක්

(01.03.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිස්පති විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පිරවුම්හල අසල යම් කලහාකාරී සිදුවීමක් ඇතිවීම වැළැක්වීම වීම සඳහා සියලු ස්ථානාධිපතිවරුන් විසින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අදාළ නිවේදනයේ දන්වා තිබෙනවා.

එමෙන්ම ගිලන්රථ, ගිනි නිවීමේ රථ ආදියට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දීමට සුදුසු පියවර ගත යුතු බවත් තදබදය අවම වන තෙක් රථවාහන පාලනය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

++++++++

හෙට (02) විදුලිය කැපෙන කාල කාල සීමාව දිගුවෙයි

(01.03.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) දිනයේ දී පැය 7½ කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ජාතික විදුලිබල මණ්ඩලය මහහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

මේ අනුව හෙට (02) දහවල් කාලය තුළ දී පැය 5 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර රාත්‍රී කාලයේදී තවත් පැය 2½ ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙන්නේ ද පැරණි කාලසටහන සහ කලාප අනුව බවත් විදුලි විසන්ධි කෙරෙන කාල සීමාව පමණක් දීර්ඝ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසනවා.

++++++++

පිරවුම්හල් අසළ පෝලිම් එන්න එන්නම දිගුවෙයි

(01.03.2022 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් හෙට (02) පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ මූල්‍යමය කටයුතු මේ වනවිට සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් රැගත් නෞකාවක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර, එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුකරන බවයි බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (01) දිනයේත් දිවයින පුරා ඉන්ධනහල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා. අදාළ පෝලිම් තුළ බස් රථද වැඩි වශයෙන් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

බස් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබා නොදුනහොත් ඉදිරි දින 3 තුළදී සියළු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවන් වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද (01) දිනය වනවිට පෞද්ගලික බස් සියයට 70 ක් පමණ ධාවනය නොවූ බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ සියයට 70 ක් පෞද්ගලික බස් ධාවනය නොවූ බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

එසේම පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමක්ද ඉදිරියේදී සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 3,100 ක් අද (01) දිනය තුළ ධාවනය වූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව සඳහන් කළා.

බස් ධාවනය සඳහා ඩීසල් සැපයීම අර්බුදයක් පවතින පසුබිමක දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3 ක් සඳහා පමණක් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

මේ අතර ත්‍රිරෝද රථ ගාස්තුවල ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළා.

කෙසේ වෙතත් ඔන්ලයින් හරහා වෙන් කිරීම් සිදුකරන තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන සේවාවලද මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් අසළ පවතින තදබදය අවම කරගැනීම සඳහා එම ස්ථානවල පොලිස් නිලධාරියෙකු යොදවන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කළහකාරී සිදුවීම් මෙන්ම රථවාහන පාලනයද ඔවුන් විසින් සිදුකළ යුතු බවයි එමඟින් දන්වා ඇත්තේ.

ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා උපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන කෑන් හෝ බූලි මගින් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සළසා දෙන ලෙසද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකළ ලිපියේ සඳහන්.

සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ රථ, ගිලන් රථ, ගිනි නිවීමේ රථ මෙන්ම වෙනත් රෝගී ප්‍රවාහන රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ ෴

++++++++

ඉන්ධන ප්‍රශ්නය යට සැඟවුණු දැවැන්ත අර්බුදය ගැන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

(01.03.2022 – 19:38 +0530 – sinhala.adaderana.lk)

ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමුඛතාව නිසි ලෙස හඳුනා නොගැනීම වත්මන් අර්බුදයට හේතුවී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පවතින අර්බූදය කොටි ත්‍රස්තවාදයටත් වඩා භයානක බවය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා :

“දැන් මම කොහොමද තෙල් ගේන්නේ ? එහෙනම් ආණ්ඩුව ඉදිරිපත්වෙලා කියන්න ඕනේ, එක්කෝ අපි බදු අයින් කරන්නම්.. නැත්තම් අපි සහනාධාරයක් දෙන්නම් කියලා. මේ දෙකෙන් එකක්වත් දෙන්නේ නැත්තම්, බැංකුවලින් ණය ගන්නත් බැරිනම් කොහොමද මම තෙල් ගේන්නේ ?. මට කියලා දෙන්න ක්‍රමයක්. මම ලෑස්තියි ඒ ක්‍රමයට කරන්න.”

ප්‍රශ්නය – “ඇත්තටම.. අපිට හිතෙන්නේ තෙල් සංස්ථාව ආණ්ඩුවෙ නෙවෙයි කියලා වගේ ?

අමාත්‍ය උදය ගම්මන්පිල – “එහෙමද දන්නෙත් නැහැ.”

ප්‍රශ්නය – “ඩීසල් සහ පෙට්‍රල් කොච්චර ලංකාවේ තියෙනවද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “විශාල වශයෙන් අඩුවීමකට ලක්වෙලා තිබෙනවා. දැනට අපි ගාව ඩීසල් මෙට්‍රික් ටොන් 22,000 ක් තිබෙනවා. දවස් 04 කට විතර ප්‍රමාණවත්. හෙට (02) හවස තවත් නැවක් පැමිණීමට නියමිතයි.”

ප්‍රශ්නය – “දින 04 ක තිබෙනවා නම් පෝලිම් ඇතිවෙන්නේ කොහොම ද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “වෙනදා රුපියල් 1,000 ක නම් ඉන්ධන ගත්තේ.. අද රුපියල් හත්අටදාහක මිලදී ගන්නවා. මන් කිව්වේ.. අපේ මන්ත්‍රීතුමියක් කිව්වා කියලා.. ගෙදර ගිහිල්ලා බැරල් එකකත් පුරව ගන්නවා කියලා. මේ ප්‍රශ්නය නිසා අපි දැන් තීරණය කරලා තිබෙනවා දවසකට මෙට්‍රික්ටොන් උපරිමය 5,000 යි නිකුත් කරන්නේ කියලා. ඊළඟට මං හිතන්නේ හෙට (02) ඉඳන් 3,000 යි.. යනාදී වශයෙන් අපි සීමා කරලා තමයි නිකුත් කරන්නේ.”

ප්‍රශ්නය – “හෙට තවත් නැවක් එනවා නම් බෙදාහැරීම තවත් අඩු කරන්නේ ඇයි?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “මේ එන නැවට අපි ගෙවීම් කරලා නැහැ. ණයවර ලිපි විවෘත කරලා නැහැ. එතකොට සාමාන්‍යයෙන් වෙනදා නම් තත්ත්වය.. ණයවර ලිපි විවෘත කළේ නැත්තම් තෙල් නැවට පටවන්නෙවත් නැහැ. දැන් හෙට (02) දවස ඇතුළත අපි ණයවර ලිපිය විවෘත කරගත්තේ නැත්තම් අනිද්දා ඉඳන් තෙල් ලැබෙන්නේ නැහැ.”

“මහ බැංකුව තෙල් සංස්ථාවට තවදුරටත් ණය දෙන්න එපා කියපු එක ගැන.. මහ බැංකු අධිපතිතුමා ගත්තු තීන්දුවට මම එකඟයි. මොකද මේක මෙහෙම කරන්න බැහැ. මොකද මේ බැංකු දෙක අස්ථාවර වුණොත් ඒක මේ රටේ තෙල් හිඟය ඇතිවෙනවට වඩා භයානකයි.”

ප්‍රශ්නය – “ඒ කියන්නේ ඉස්සරහට මීට වඩා අමාරු තත්ත්වයක්ද තියෙන්නේ ?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “මාර්තු මාසයේ අග සිට අප්‍රේල් අග දක්වා කාලයේ යම් සහන කාලයක් වෙයි. ‘අපායේ ඉන්ටර්වල්’ වගේ යම් සහාන කාලයක් එයි. අපිට තෙල් ගේන ප්‍රශ්නයනේ ලොකුම ප්‍රශ්නය ආණ්ඩුවට තිබෙන. මොකද ඩොලර් මිලියන 400 ක් වගේ වැයවෙන කාරණය තියෙන්නේ තෙල්.”

අමාත්‍ය උදය ගම්මන්පිල – “ඒ සඳහා ඉන්දියානු ණය පහසුකමේ සති 05 කට, මාර්තු අන්තිම සතියේ සිට අප්‍රේල් අග දක්වා සති 05 ට ඉන්දියානු ණය පහසුකමෙන් ඒ ටික ගන්න පුළුවන්. ඊළඟට ආහාර, ඖෂධ මිලදී ගන්න ඩොලර් බිලියනයක් හම්බෙනවා. එතකොට මේ අප්‍රේල් අග වෙනකන් කාලය යම් සහන කාලයක් වේවි.

“ඊට පස්සේ මේ මුකුත් නිශ්චිත වැඩපිළිවෙලක් නැතුව, ආනයන කළමනාකරණය ගැන, අපනයන ආදායම වැඩි කරගන්න, මේ නිසි කළමනාකරණයක් නැතුව අපි දැන් ණය විතරක් ගත්තොත් වසරක් ඇතුළත වගේ ගෙවන්න ඕනේ.”

“අපි දැන් මේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ගන්න ණය පහසුකමත් ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අපි ගෙවන්න ඕනේ. එතකොට මේ අවුරුද්දේ ණය විතරක් අපි ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 07 ක්.”

ප්‍රශ්නය – “අපිට වේලාසන ළඟපාත විසඳුමක් නැද්ද?”

අමාත්‍ය උදය ගම්මන්පිල – “ඩොලර් හිඟය නැතිවුණොත් තෙල් හිඟයක් නැතිවෙනවා. අපි කතාකරනවනේ තෙල් හිඟය, විදුලි කප්පාදුව, ගෑස් හිඟය, ඖෂධ හිඟය, සිමෙන්ති හිඟය, යකඩ හිඟය මේ එකක්වත් නෙවෙයි හිඟය. ‘ඩොලර් හිඟය’ තමයි හිඟය. එතකොට ඩොලර් හිඟය විසඳන්න ක්‍රම දෙකක් (2) තිබෙනවා.”

“පළවෙනි එක තමයි – කොහෙන්හරි දැවැන්ත ණය පහසුකම් ගන්න එක – එක ක්‍රමයක්. හැබැයි තව එකක් තිබෙනවා. ඔබ දන්නවද ගිය අවුරුද්දේ අපේ ආනයන වියදම ඉතිහාසයේ ලොකුම ආනයන වියදම්වලින් එකක්.”

“ඩොලර් බිලියන 21 ක්. එතකොට ඩොලර් බිලියන 21 න් තෙල්වලට ගිහින් තියෙන්නේ ඩොලර් බිලියන 2.8 යි. එතකොට මහ බැංකුවේ විශ්ලේෂණය අනුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වියදම් කරලා තිබෙනවා ඩොලර් බිලියන 06 ක්. ඒක ඇතුළේ පානීය ජලය; මේ වතුර උතුරන රටේ පානීය ජලය ගෙනල්ලා තිබෙනවා. කවුදෝ මට කිව්වා කුරක්කනුත් තිබෙනවා කියලා. එතකොට ඇපල්, මිදි, දොඩම්. ඇහුවම කියන්නේ සංචාරකයන් ඇපල්, මිදි ඉල්ලනවා කියලා. හැබැයි සංචාරකයා ඇවිල්ලා රෑ පැය 04 ක් කළුවරේ නම් ඉන්නේ, එයාට රට බලන්න යන්න ඉන්ධන නැතුව හෝටලයට වෙලා තමන්ගේ නිවාඩුව ගතකරන්න වෙනවා නම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නැහැ.”

“එහෙනම් අපි ප්‍රමුඛතා හඳුනාගන්න ඕනේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් හඳුනගෙන මේවයේ ආනයනය අධෛර්යමත් කරන්න. හැබැයි තාම ඒ පියවර අරගෙන නැහැ. ඒ නිසා තමයි මම ප්‍රශ්න කරන්නේ ‘ඇපල් කාලා කරුවලේ ඉන්නවද?, පිටරටින් ගෙනාපු වතුර බීලා තෙල් නැතුව ගමන් යන්න බැරුව හිරවී ඉන්නවද? මේ රටේ ජනතාවට තීන්දුවක් ගන්න වෙයි ’කියලා.”

“අපි මහා ව්‍යසනයක් හමුවේ ඉන්නේ. අපි අද මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකයි.”

BIG FOCUS ඩොලර් අර්බුදය සහ ඉන්ධන හිඟයේ සැබෑ තත්ත්වය (01.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *