යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක්

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක්

*********************************************

යුක්‍රේන ජනපති සහ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීමට 400 ක කුලී හමුදාවක්

(28.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි.

ඔහු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ තරම් පහසු වී නැහැ.

මේ හේතුවෙන් යුක්‍රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය (400) දෙනෙකු ගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්‍රේනය වෙත යැවීමට ක්‍රෙම්ලිනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.

වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට ‘සති පහකට (5) පෙර’ අප්‍රිකාවෙන් රුසියාව බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රුසියානු ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්.

මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකු (23) ගෙන් සමන් සමන්විත ඝාතන ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි.

යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝාතකයින් වෙත මේ සඳහා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ.

මීට සති පහකට (5) පමණ පෙර යුක්‍රේනය බලා ගොස් ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වනවා.

ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා (2) ද ඇතුළත්.

කෙසේ වෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේනය තොරතුරු සොයා ගැනීමත් සමඟයි.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්‍රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමින් පැය 36 ක දැඩි ඇඳිරි නීති කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා.

මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය කරන පුද්ගලයින් සලකනු ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි.

මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම ‘වැග්නර්’ කුලී හේවායන් 2,000 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාසයේදී යුක්රේනයට පැමිණ විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අතර, සෙලෙන්ස්කිව රැගෙන යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස් සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.

මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අතර ඔහු ජාතිය ඇමතීමකදී කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි.

එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්‍රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචාරයත් සමඟ ඔහුගේ නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා.

එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙහිව නැගී සිටින සතුරා සමඟ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.

මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රීමත් රිචඩ් බැරන්ස් පැවසුවේ මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි.

එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැනුම් දී ඔවුන්ගේ ඉලක්ක කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.

යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව ඝාතනය කිරීමටත් මෙම කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

++++++

සාම සාකච්ඡාවට සියල්ල සූදානම්

(28.02.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්රේන අර්බුදයේ නිමාව වෙනුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

බෙලරූස් – යුක්රේන දේශසීමාව ආසන්නයේ මෙම සාකච්ඡා පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර, රුසියාවේ මහබැංකුව විසින් ප්‍රධාන පොලී අනුපාතිකය ද සියයට 9.5 සිට සියයට 20 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම, ඩොලරයට සාපේක්ෂව රුසියාවේ මුදල් ඒකකය වන රූබලය ද සියයට 30 කින් පහත වැටෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා ෴

+++++++

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි

(28.02.2022 – 16:15 +0530 – hirunews.lk/sinhala)

නව විශේෂ ක්‍රියාදාමයක් යටතේ යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ලබාදෙන ලෙස එරට ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කළා.

එය සිදුකිරීමට හැකියාවක් පවතින බවයි ඔහු අවධාරණය කළේ. මේ අතර, සාම සාකච්ඡා සඳහා යුක්රේන සහ රුසියානු නියෝජිතයන් මේ වන විට බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයක් වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

සාකච්ඡා සඳහා යුක්රේන නියෝජිතයන් හෙලිකොප්ටරයකින් පැමිණෙන අයුරු රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

රුසියාව, යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර පැවැත්වෙන ප්‍රථම ඍජු සාකච්ඡා වටය මෙයයි.

යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා කරන බවයි.

කෙසේ නමුත් යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල සටන් ඇවිලෙද්දී, සාකච්ඡාවලින් කඩිනම් ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීම දුෂ්කර බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ ෴

+++++++

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි විවාදය රටවල් 29 ක කැමැත්ත

(28.02.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි විවාදයක් සඳහා එයට එක්ව සිටින රටවල් 47 න් රටවල් 29 ක් ම කැමැත්ත පළකර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව සමග සිට ගනිමින් චීනය ඇතුළු තවත් රටවල් පහක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.

කියුබාව,වෙනිසුවේලාව සහ එරිත්‍රියාව යන රටවල්ද එම යෝජනාවට එරෙහිවයි සිය චන්දය භාවිත කර ඇත්තේ.

ඉන්දියාව, පාකිස්තානය, ඇතුළු තවත් රටවල් 13 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබෙනවා

මෙ වන විට ජිනීවා නුවර රැස්ව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව සැසිවාරයේ පළමු (1) දිනය තුළ දී රුසියාව විසින් යුක්රේනය ක්‍රමණය කිරීමට එරෙහිව විවාදයක් පැවැත්වීමට සම්බන්ධයෙන් මෙම අදහස් විමසීම සිදු කෙරුනා.

මෙහිදී මෙම සැසිවාරයට එක්ව සිටින ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් 29 මෙම යෝජනාවට කැමැත්තත පළ කර තිබෙනවා ෴

+++++++

යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ඇරඹේ

(28.02.2022 – 16:50 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා ඇරැඹුනු බව යුක්රේන ජනාධිපති උපදේශක මිහාය්ලො පොදොල්යැක් (Mykhailo Podolyak) සනාත කළා.

ඒ අනුව දෙරට අතර මෙම සාකච්චා පැවැත්වෙන්නේ බෙලරුසියානු දේශසීමාවේ ගොමෙල් හීදීයි.

වර්ෂ 1777 දි බෙලරුසියාවේ සූෂ් නදියේ දකුණු ඉවුරේ ඉදිකෙරුණු ඓතිහාසික ගොඩනැගිල්ලක මෙම සාකච්චා පවැත්වෙනවා.

සාකච්ඡා සඳහා එක්ව සිටින යුක්රේන ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඉක්මන් සටන් විරාමයක් ඇති කරගැනීම සහ මේ වන විට යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හා හමුදා එම ප්‍රදේශ වලින් ඉවත් කර ගැනීම බවයි.

මෙම සාකච්ඡාව සඳහා එක්වන යුක්රේන් දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සහ ජනාධිපති උපදේශක මිහාය්ලො පොදොල්යැක් දෙදෙනා (2) යි.

සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ව්ලැඩිමීර් මෙඩින්ස්කි පැවසුවේ “ගැටුම් ඇතිවන සෑම පැයකදීම යුක්රේන හෝ රුසියානු සොල්දාදුවන්ගේ ජීවිත වලට හානි සිදුවන බැවින්, හැකි ඉක්මනින් ඕනෑම ගිවිසුමකට එළඹීමට අපි නිසැකවම උනන්දු වෙමු” යනුවෙන්.

“නමුත් එම ගිවිසුම් දෙපාර්ශවයේම යහපත සඳහා විය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් කියා සිටියේ “අපගේ ඉලක්කය වන්නේ සියලුම යුරෝපීයයන් සමඟ එක්ව සිටීමයි, එය සාධාරණ බව මට විශ්වාස අතරම අපි එයට සුදුසු බව මට විශ්වාසයි” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුනු ප්‍රකාශයක සඳහන් කළා.

මේ අතර යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි අද (28) යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ යුක්රේනයට රුසියානු හමුදා ආක්‍රමණයෙන් ආරක්ෂා වීමට වහාම විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ දෙන ලෙසයි.

කෙසේ වෙතත් දෙපාර්ශවයම සාකච්ඡා මේසයකට පැමිණනෙන්නට එකගතාව පළ කළේ රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව යුධ ප්‍රකාශ කර යුක්රේන දේශ සීමා ආක්‍රමණය කර දින පහකට පසුවයි.

+++++++

යුක්රේනයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 6 ක් පෝලන්තයට

(28.02.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය නිසා යුක්රේනයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඊයේ (27) සහ අද (28) දිනයේ පෝලන්තයට පැමිණි බව එරට ශ්‍රී ලංකා තානාපතිනී ධම්මිකා කුමාරි සේමසිංහ ප්‍රකාශ කළා.

පෝලන්තයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පළ කළ ඒ අතර සිටින සිසුවියක් (1) හෙට (01) දිනයේදී මෙරටට පිටත් කර එවීමට කටයුතු කරන බවයි.

තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් යුක්රේනයේ තත්ත්වය නිරීක්ෂණය කරන අතර එරට සිටින ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු දේශසීමාව හරහා පෝලන්තයට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත යුක්රේන ජාතිකයින් ඇතුළු විදේශිකයින් විශාල සංඛ්‍යාවක් පෝලන්තයට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින නිසා දේශසීමා මුරපොළ අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී ධම්මිකා කුමාරි සේමසිංහ කියා සිටියේ ෴

+++++++

යුක්රේන යුද්ධය නිමා කිරීමේ සාම සාකච්ඡා ඇරඹේ

(28.02.2022 – 20:23 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය 5 වන දිනට එළඹෙද්දී, දෙපාර්ශවය අතර ප්‍රථම සාම සාකච්ඡා වටය බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයකදී දැන් ආරම්භ වී තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ උපදේශකයෙකු සඳහන් කළේ කඩිනම් සටන් විරාමයක් සහ රුසියානු හමුදා ඉවත් කර ගැනීම එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ බවයි.

සාකච්ඡාවලදී කිසියම් ගිවිසුමකට එළඹීම අවශ්‍ය බව රුසියාව අවධාරණය කරනවා.

කෙසේ නමුත් සාකච්ඡාවලින් කඩිනම් ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීම දුෂ්කර බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේනය මෙලෙස සාකච්ඡාවලට කැමැත්ත පළ කරද්දී, සිය න්‍යෂ්ටික අවි බලකාය සීරුවෙන් තැබීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් නියෝග කළා.

ඒ, රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක බටහිර රටවල් විසින් දැඩි කරද්දියි.

එමෙන්ම, යුක්රේනය වෙත අවි සැපයීම වේගවත් කිරීමට යුරෝපීය රටවල් රැසක් පියවර ගෙන තිබෙනවා.

යුක්රේනය වෙත ඩොලර් මිලියන 100 ක ආධාර පැකේජයක් ලබාදීමට ජපානය ද තීරණය කළා.

මේ අතර, රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලට ඇතුළුවීම මන්දගාමී වී ඇති බව යුක්රේන පාර්ශවයෙන් ප්‍රකාශ වුණා.

රුසියානු හමුදා සමග සටන් වැදීමට සූදානම් ආයුධ පුහුණුව ලද සිරකරුවන් මුදා හැරීමට ද යුක්රේන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ජීවිත හානි රැසක් සිදුව ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

යුක්රේන පාර්ශවය ප්‍රකාශ කරන පරිදි රුසියානු ආක්‍රමණයේදී මේ දක්වා සිවිල් වැසියන් 352 නෙකු මිය ගොස් ඇති අතර, ළමයින් 14 දෙනෙකු ද ඊට ඇතුළත්.

ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මිය ගිය බවට වාර්තා වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 102 ක් බවයි.

මේ අතර, නව විශේෂ ක්‍රියාදාමයක් යටතේ යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ලබාදෙන ලෙස එරට ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කළා. එය සිදුකිරීමට හැකියාවක් පවතින බවයි ඔහු අවධාරණය කළේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාව තවදුරටත් හුදෙකලා කරමින් ජාත්‍යන්තර පාපන්දු තරඟවලදී රුසියානු ධජය ප්‍රදර්ශනය කිරීම හෝ ජාතික ගීය වැයීම නතර කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

එහිදී ඔවුන් පෙනී සිටිය යුත්තේ රුසියානු පාපන්දු සම්මේලනයේ නමින්.

මේ අතර, රුසියානු ටාස් නිළ ප්‍රවෘත්ති සේවය සයිබර් ප්‍රහාරයකට ගොදුරු වී ඇති අතර, එහි ජනපති පුටින්ගේ යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමේ පණිවුඩයක් ද පළ කර තිබූ බව සදහන්.

ජිනිවා නුවර දී අද ආරම්භ වූ ජගත් මානව හිමිකම් කොමිසමේ 49 වන සැසි වාරයේදී ද රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබදව හදිසි විවාදයක් පැවැත්වීමට තීරණය වුණා.

ඒ, යුක්රේනයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුවයි.

එහිදී මානව හිමිකම් මණ්ඩලයේ රටවල් 47 ක් අතරින් 29 ක් විවාදය පැවැත්වීමට එකඟත්වය පළ කළ අතර ඊට විරුද්ධ වූයේ රුසියාව, චීනය ඇතුළු රටවල් 5ක් පමණයි.

අප්‍රිකානු රටවල් ප්‍රමුඛ රටවල් 13 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

එමෙන්ම, රුසියානු ආක්‍රමණයත් සමග පන්ලක්ෂයකට (5,00,000) ආසන්න පිරිසක් නික්මී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සඳහන් කළා. ඉන් ලක්ෂයක් (1,00,000) පමණ දේශසීමාව හරහා පැමිණ ඇත්තේ පෝලන්තයටයි.

යුක්රේනයේ සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් කටයුතු කරමින් සිටි අතර ඉන්දියාව මේ වන විට සිසුන් 1396 දෙනෙකු ගුවන් ගමන් 6 කින් රැගෙන විත් තිබෙනවා ෴

+++++++

රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා අවසන්

(28.02.2022 – 22:42 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.

නියෝජිත කණ්ඩායම් මේ වන විට සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.

නුදුරේදීම දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් සාකච්ඡාව පිළිබඳ නිල තොරතුරු කිසිවක් මේ වන තුරු මාධ්‍යයට අනාවරණ කර නැහැ ෴

***************************************

27-02-2022

***************************************

27-02-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *