මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි

*********************************************

මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි

(28.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් මෙම න්‍යෂ්‍ටික අවි යනු ලොව ඇති අතිභයානක අවි විශේෂයක් ලෙසට යි සැලකෙන්නේ.

දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝශිමා නාගසාකිවලට හෙළූ ‘ෆැට් මෑන්’ හා ‘ලිට්ල් බෝයි’ යන පරමානු බෝම්බ දෙකට (2) සපේක්ෂ ව, අද වන විට නිෂ්පාදනය කර ඇති න්‍යෂ්ටික බෝම්බ ඉතා විනාශකාරි බව යුද විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.

ඒවාට සාපේක්ෂ ව හිරෝෂිමා නාගසාකිවලට දැමූ පරමාණු බෝම්බ ඉතා ළදරු මට්ටමේ ඒවා යි.

මේ අතර, රුසියානු ජනපතිවරයා සම්පූර්ණයෙන් ම පිළිගත නො හැකි ආකාරයෙන් යුද්ධය තීව්‍ර කරන බව යි ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරන්නේ.

රුසියාවේ ආක්‍රමණයෙන් පසු යුක්රේනයට අවි ආයුධ යැවීමට යුරෝපා සංගමය ද තීරණයක් ගෙන තිබෙනවා.

එය මෙතෙක් ඉතිහාසයේ සිදු නො වූ පියවරක් බවට යි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය ලෙසට යි සැලකෙන්නේ.

+++++

බ්‍රසීල ජනපති, යුක්රේන ජනාධිපතිවරයාව විවේචනය කරයි

(28.02.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ, යුක්රේන ජනාධිපතිවරයාව විවේචනයට ලක් කර තිබෙනවා.

ඒ, යුක්රේන වැසියන් රටෙහි ඉරණම විකට නළුවෙකු මත තබා ඇති බවට පවසමින්.

එවැනි තත්වයක් තුළ බ්‍රසීලය, රුසියාවට එරෙහිව සම්බාධක නොපනවන බවත්, යුක්රේනය සම්බන්ධයෙන් නිහඬ ස්ථාවරයක් දරණ බවත් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 16 වනදා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ මොස්කව් හි දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡාවක ද නිරත වුණා.

+++++

සාකච්ඡා අත ළඟම ඇතත් පුටින් අවි බිම නො තබයි – න්‍යෂ්ටික බඩු එළියට අදියි ද ?

(28.02.2022 – 11:34 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනය සහ රුසියාව අතර සාකච්ඡා අද (28) පෙරවරුවේ බෙලරුසියානු දේශ සීමා ආසන්නයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව තිබිය දී රුසියානු ආරක්ෂක හමුදාවන් විසින් අඛණ්ඩව කිව් සහ කාර්කිව් යන ප්‍රධාන යුක්‍රේන නගර දෙකට (2) අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව යුක්‍රේන ආරක්ෂක අංශ චෝදනා කරනවා.

මේ අතර රුසියානු සහ යුක්රේන නිලධාරීන් සාකච්ඡා සඳහා බෙලරුස් දේශසීමා ආසන්න ස්ථානයකට රැස්ව සිටින බවට වාර්තා වන අතර ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ බෙලරූස් රාජ්‍ය දේශ සීමාවේ ප්‍රිපියත් ගංගාව ආසන්න ප්‍රදේශයක්.

දෙරට අතර මෙම සාකච්ඡා නිමාවන තුරු බෙලාරූස් රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන්, මිසයිල ප්‍රහාරක යානා සහ අනෙකුත් සියලු ආරක්ෂක අංශ තාවකාලික ව නිෂ්ක්‍රීය ව තැබීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ යුක්‍රේන ජනාධිපතිවරයාට ප්‍රතිඥා දී තිබෙනවා.

මේ අතර තත්ත්වය මෙසේ තිබිය දී නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, යුක්රේනට එරෙහිව සිදු කරන රුසියානු ආක්‍රමණයට සම්බන්ධ වීමට බෙලරුසියාව සූදානම් වන බවයි.

රුසියාවේ ආක්‍රමණයට සහාය දැක්වීම සඳහා යුක්රේනයට සිය සොල්දාදුවන් යැවීමට බෙලරුසය සූදානම් වන අතර එය “තවත් පැය කිහිපයක් ඇතුළත” ආරම්භ වන බවයි නම් නො කළ මූලාශ්‍ර උපුටා දක්වමින් කිව් ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා සේවය පවසන්නේ.

මේ තොරතුරු සනාථ කරමින් එක්සත් ජනපද පරිපාලන නිලධාරියෙක් ද වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, බෙලරුසියාව යුක්රේන හමුදාවන්ට එරෙහි ව සටන් කිරීම සඳහා රුසියාව සමග අත්වැල් බැඳ ගන්නා බවයි.

“දැන් අපට ඉතාමත් පැහැදිලියි ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ සහ මින්ස්ක් කියන්නේ ක්‍රෙම්ලිනයේ දිගුවක් බව”, නම හෙළි නො කළ එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් බෙලරුසියානු මැදිහත්වීමෙන් පැවැත්වෙන රුසියානු යුක්‍රේන සාකච්ඡා සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ යුක්‍රේන ජනාධිපති ලද වොලදමීර් සෙලෙන්ස්කි කියා සිටියේ, මෙම සාකච්ඡා තුළින් යහපත් ප්‍රතිඵල දායි පිළිතුරුක් ලැබෙනු ඇති බවට තමන් තුළ කිසිදු විශ්වාසයක් නො මැති බවයි.

සාකච්ඡා ආරම්භ කරන පසුබිමක් යටතේත් රුසියානු හමුදා විසින් සිය අග නගරයට සහ අනෙක් ප්‍රධාන නගරයට අඛණ්ඩ ව එල්ල කරන ගුවන් ප්‍රහාර අඩු කිරීම්ට පියවර ගෙන නො මැති බවත් කෙසේ වෙතත් එම ප්‍රහාර හරහා සිය භටයින්ගේ සහ රටවැසියන්ගේ චිත්ත ධෛර්යයට ප්‍රහාර එල්ල කළ නො හැකි බවත් ඔහු පවසනවා.

මේ අතර රුසියානු හමුදා සමඟ ප්‍රචණ්ඩ වීදි සටන් මාලාවකින් පසු රටේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් හි පාලනය නැවතත් යුක්‍රේන හමුදා ව අත්පත් කරගෙන ඇති බව කාර්කිව් ආණ්ඩුකාරවරයා පවසා සිටියා.

මේ වීථි සටන්වලදී රුසියානු සෙබළුන් 4500 ට ආසන්න ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සංඛ්‍යා මෙතෙක් රුසියානු හෝ යුක්‍රේන බලධාරීන් විසින් තහවුරු කර නැහැ.

නමුත් ඇති වූ වීථි සටන්වල දී රුසියානු සෙබළුන්ට බරපතළ හානි සිදු වූ බව පමණක් යුක්‍රේන බලධාරීන් පවසනවා.

මේ අතර යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා ළමුන් 14 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 352 දෙනෙකු මියගොස් ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් තබා ඇති පසුබිමක් යටතේ උපායමාර්ගික භාණ්ඩ අපනයනය තහනම් කිරීම මගින් රුසියාවට එරෙහිව අපනයන පාලනය දැඩි කිරීමට දකුණු කොරියාව තීරණය කළා.

එමෙන්ම ඔවුන් රුසියාව සමග SWIFT ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් ඉවත් වීමටත් තීරනය කර ඇති බවයි සෝල් විදේශ අමාත්‍යාංශ කර්‍යාලය පැවසුවේ.

මෙම සියලු බාධක සහ වාරණ හමුවේ රුසියානු නිල මුදල් ඒකක වන රූබලය ඉතිහාසයේ මින් පෙර නො වූ විරූ පරිදි බරපතළ ඇද වැටීමකට ලක් වී තිබෙනවා.

ඒ අනුව රූබලය අද වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 41% කින් අවප්‍රමාණ වී තිබුණා.

+++++

ඇමරිකානු පුරවැසියන්ට බරපතළ නිවේදනයක්

(28.02.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

හැකි වහා ම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විට රුසියානු ගුවන් සේවාවන්ට ලොව බොහෝ රටවල් සිය ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් ඉදිරියේ දී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර කරුණක් විය හැකියි බවයි.

ඒ හේතුවෙන් මේ වන විටත් ක්‍රියාත්මක වන වාණිජ ගුවන් සේවාවන් භාවිත කරමින් වහා ම ඒ රටින් පිටවීමට අවකාශ සලසා ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ රැඳී සිටින එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

“පවතින වාණිජ විකල්ප ගුවන් සේවාවන් හරහා වහා ම රුසියාවෙන් පිටවීම ගැන සලකා බැලිය යුතුය,” යනුවෙන් මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවියේ පෙබරවාරි 27 දින ආරක්ෂක අනතුරු ඇඟවීමේ සටහන් කර තිබුණා.

එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, “එක්සත් ජනපද රජයේ ආධාර මත රඳා නො පවතින හදිසි සැලැස්මක්” ලෙස සලකා රටින් පිට ව යෑමට සැලසුම් කළ යුතු බව යි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාව සඳහා එහි සංචාරක උපදේශනය තබා ඇත්තේ, “4 වැනි මට්ටමේ සංචාරය නො කරන්න” යන දැඩි අවවාදාත්මක තත්ත්වයේ යි.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල කරන ලද විශාලතම ප්‍රහාරය වන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ම එක්සත් ජනපද හා යුරෝපීය රජයන් රුසියානු බැංකු සහ මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවීමට කටයුතු කළා.

මේ සමඟ ම මෙම ආක්‍රමණය මේ වන විට බටහිර ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු වාර්තා වනවා.

+++++

ඉදිරි පැය විසි හතර (24) දරුණු විය හැකියි – යුක්රේන ජනපති

(28.02.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය විසි හතර (24) දරුණු විය හැකි බව යුක්රේන ජනපති වොලඩමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

මේ අතර යුද ගැටුම් හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රූබලයේ අගය සියයට 41 කින් පහත වැටී තිබෙනවා.

රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගය ඩොලරයට සාපේක්ෂව මෙලෙස පහත වැටුණේ බටහිර සහ යුරෝපා රටවල් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමත් සමඟයි.

මේ අතර රුසියාවේ රාජ්‍ය මාධ්‍යවලට ලබාදෙන දැන්වීම් නතර කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.

ගූගල් සමාගම එම තීරණයට එළඹ ඇත්තේ යූ ටියුබ් සමාගම ඒ හා සමාන තීරණයකට එළඹ දිනකට පසුවයි.

යුක්රේනයට එරෙහි ව සිදු කරන ආක්‍රමණ නතර කරන ලෙස රුසියාව තුළ විරෝධතාවල නිරත වූ 2000 ක් ඊයේ දිනය තුළ පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්වාධීන නිරීක්ෂකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, ආක්‍රමණය ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ දක්වා රුසියාවේ යුද විරෝධීන් 5,250 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර යුක්රේනයේ කීව් අගනුවර තවමත් දරුණු ගැටුම් පවතින අතර, යුක්රේනයේ නාවික කඳවුරක් ආසන්නයේ පිහිටි ලක්ෂයක පමණ ජනතාවක් වෙසෙන කුඩා නගරයක් රුසියාව සිය පාලනයට ගැනීමට සමත්වුණා.

පවතින තත්වය හමුවේ යුක්රේන වැසියන් ලක්ෂ හතරක පමණ පිරිසක් පෝලන්තය ඇතුලු අසල්වැසි රටවල් වෙත පලාගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කළේ.

යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා බෙලරුස් දේශසීමාවේදී අද පැවැත්වීමට නියමිත අතර, පවතින යුදමය තත්වය සම්බන්ධයෙන් අද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක්ද පැවැත්වෙනු ඇති.

++++++

++++++

රුසියානු හමුදා යුක්රේනයේ කුඩා නගර දෙකක් අල්ලයි – සිංගප්පූරුවෙනුත් රුසියාවට සම්බාධක

(28.02.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණික හමුදා ගිනිකොන දිග යුක්රේනයේ කුඩා නගර දෙකක් (2) සහ න්‍යෂ්ටික බලාගාරයක් අවට ප්‍රදේශය තම පාලනයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එරෙහිව දැවැන්ත ම ප්‍රහාරය සිදු කළ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, යුක්‍රේනයට එරෙහි මෙහෙයුම් සඳහා ඊයේ (27) රුසියාවේ න්‍යෂ්ටික ඒකක ද දැඩි සීරුවෙන් තැබීමටයි පියවර ගත්තේ.

අද (28) අලුයම වන විට කියෙව් අගනුවර සහ ප්‍රධාන නගරයක් වන කාර්කිව්හි පිපිරීම් ඇසුණු බව යුක්රේන බලධාරීන් පවසනවා.

එහෙත්, ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන අල්ලා ගැනීමට රුසියානු ගොඩබිම් හමුදා දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේනයේ ගිනිකොනදිග Zaporizhzhya කලාපයේ Berdyansk සහ Enerhodar නගර මෙන්ම Zaporizhzhya න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශය තම හමුදාවන් අත්පත් කරගෙන ඇති බවයි.

එහෙත් බලාගාරයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදු වන බව එහි සඳහන් වනවා.

නමුත් අදාළ වාර්තාවන්ට අනුව න්‍යෂ්ටික බලාගාරය රුසියාව අතට පත් වූ බව යුක්රේනය ප්‍රතික්ෂේප කරනවා.

බටහිර රටවල් රුසියාවට එරෙහි සම්බාධක පැනවීම සඳහා පියවර ගෙන ඇති පසුබිමක රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට ඉදිරිපත් වී ගැටුම් අවසන් කිරීමට වතිකානුව ද සම්බන්ධ වී තිබෙනවා.

යුක්රේනය ඊයේ (27) පැවසුවේ රුසියාව සමඟ පූර්ව කොන්දේසි නොමැතිව සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

බෙලරුසියානු-යුක්රේන දේශසීමාවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ වේලාවෙන් සඳුදා (28) උදෑසන සාකච්ඡා ආරම්භ වන බවයි.

මේ අතර යුක්රේනයේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳුදා (28) මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කරනු ඇති බව ධවල මන්දිරය පවසනවා.

මිලියන 44 ක පමණ ජනතාවක් වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදී යුක්රේනයේ ප්‍රධාන නගර වැටලීමට රුසියානු හමුදා සූදානම් වීම මෙන්ම, රුසියාවේ න්‍යෂ්ටික අවි සීරුවෙන් තැබීම හමුවේ පුටින් යුද්ධය තීව්‍ර කරන බවටයි එක්සත් ජනපදය පවසන්නේ.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් ප්‍රකාශ කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි.

මේ අතර රුසියානු හමුදා විසින් යුක්රේනයට එල්ල කරන මිසයිල ප්‍රහාර සමඟ ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ ළමයින් ඇතුලු සිවිල් වැසියන් 400,000 කට ආසන්න ප්‍රමාණයක්, අසල්වැසි රටවලට පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන ඒජන්සියක් පෙන්වා දෙනවා.

අමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ රුසියාව පසුගිය සතියේ යුක්රේනය ආක්‍රමණය සිදු කළ දින සිට යුක්රේන ඉලක්ක වෙත මිසයිල 350 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.

ඇතැම් මිසයිල සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy ඊයේ (27) බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඉදිරි පැය 24 යුක්‍රේනයට තීරණාත්මක වනු ඇති බවට කරුණු හුවමාරු වූ බවටයි අග්‍රාමාත්‍ය කාර්‍යාලය ප්‍රකාශකයෙකු කියා සිටියේ.

රුසියානු හමුදා යුක්රේනයේ ආක්‍රමණය කළ ද ඔවුන්ට මෙතෙක් කිසිදු ප්‍රධාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවී නැහැ.

රුසියාව කිසිදු යුක්රේන නගරයක් අත්පත් කර ගෙන නොමැති අතර, යුක්රේනයේ ගුවන් සීමාව පාලනය කරන්නේ ද නැහැ.

රුසියානු හමුදා දෙවන දිනටත් Kyiv නගර මධ්‍යයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 30 ක් පමණ දුරින් රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

රුසියාව යුක්රේනයේ තම ක්‍රියාකාරකම් ‘විශේෂ මෙහෙයුමක්’ ලෙස හඳුන්වනු ලබනවා.

එය සැලසුම් කර ඇත්තේ භූමිය අත්පත් කර ගැනීමට නොව තම අසල්වැසියාගේ මිලිටරි හැකියාවන් විනාශ කිරීමට මෙන්ම භයානක ලෙස සැලකෙන දේ අල්ලා ගැනීමට බවයි රුසියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ අතර රුසියාවට ‘සුදුසු සම්බාධක සහ සීමාවන්’ පැනවීමට සිංගප්පූරුව සූදානම් බව එරට එහි විදේශ ඇමති පවසනවා.

එම සම්බාධක අතර යුක්රේනයේ ජනතාවට එරෙහිව රුසියාව භාවිතා කරන සියලු භාණ්ඩ සඳහා බැංකු සහ මූල්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම අපනයන පාලනයන් ද අයත් බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිංගප්පූරුව ආසියානු කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථානයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට අනුකූල වන ආකාරයෙන් කටයුතු කරනවා.

නමුත් කලාතුරකින් අවස්ථාවක ඇතැම් රටවලට එරෙහිව ඔවුන් සම්බාධක නිකුත් කරනු ලබනවා.

රුසියාවට එරෙහිව සුදුසු සම්බාධක සහ සීමා පැනවීමට සිංගප්පූරුව තවත් එවැනි සම්බාධක පනවන රටවල් සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීමට අදහස් කරන බවයි විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවට පැවසුවේ.

රුසියාවේ ආක්‍රමණය පිළිගත නොහැකි සහ ජාත්‍යන්තර සම්මතයන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර යුක්රේනයේ සටන් ආරම්භ වී පළමු දින හතර (4) තුළ රුසියානු සොල්දාදුවන් 5,000 කට වැඩි පිරිසක් මිය ගිය බව කිව් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් යුධ ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් යානා 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.

මේ අතර සාම සාකච්ඡා සඳහා එක්වන නිලධාරීන් මේ වන විට බෙලරුස් වෙත පැමිණෙමින් සිටිනවා.

කෙසේවෙතත් සාකච්ඡා පිලිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර සති අන්තයේ පැනවූ ඇඳිරිනීතියෙන් පසු යුක්රේනයේ කියෙව් අගනුවර ජනතාව තම නිවෙස්වලින් එළියට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා ෴

++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *