යුගදනවි ගිවිසුමට තක්සේරු වාර්තාවත් දිනකින් ලබාදුන් බවට හෙළිදරව්වක්

යුගදනවි ගිවිසුමට තක්සේරු වාර්තාවත් දිනකින් ලබාදුන් බවට හෙළිදරව්වක්

*********************************************

යුගදනවි ගිවිසුමට තක්සේරු වාර්තාවත් දිනකින් ලබාදුන් බවට හෙළිදරව්වක්

(11.12.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදිමට ගිවිසුම් ගතවීම ප්‍රකාරව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව දිනක් තුල තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වන ගිවිසුම ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්.

ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම වෙනුවෙන් එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් එල්.එල්.සී සමාගම මෙම ගිවිසුමට එළඹ ඇත්තේ පසුගිය සැප්තැම්බර් 14 වනදායි.

ගිවිසුම් ගත වීමට පෙර මුදල් අමාත්‍යාංශය, ජූලි 09 වනදා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ තක්සේරු වටිනාකමේ වාර්තාවක් ඉල්ලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව, යුගදනවි බලාගාරයේ වටිනාකම තක්සේරු කරමින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරු ඩී.එස් මුතුකුමාරණගේ අත්සනින් යුතුව දිනක් තුල මෙම තක්සේරු වාර්තාව ලබාදී තිබෙනවා.

ඒ බලාගාරයේ කොටසක වටිනාකම රුපියල් 1155 ත් 1252 ත් අතර බව දන්වමින්.

******************************************

එළවළු අර්බුදය තවත් උග්‍ර වන ලකුණු – කිරිපිටි හිඟයටත් විසඳුම් නැහැ

(11.12.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට වෙළඳපොල තුළ පවතින එළවළු හිඟය එළඹෙන උත්සව සමයේදී තවත් තීව්‍ර වනු ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

එසේම, ලබන අප්‍රේල් මාසය වනවිට රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවනවා.

මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග පහත වැටීමත් සමඟ යළිත් වරක් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඒවායේ කළමනාකරණ භාරයන් ප්‍රකාශ කළේ.

ඒ අනුව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු 60% කින් පමණ පහත වැටී ඇති අතර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබී ඇත්තේ 20% ක පමණ එළවළු තොගයක් පමණයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග 15% කට පමණක් සීමා වද්දී, මැනිං වෙළඳපොලට ලැබී ඇත්තේ 25% ක පමණ එළවළු තොගයක්.

රසායනික පොහොර සහ පලිබෝධ නාශක නොමැති වීම හේතුවෙන් ගොවීන්ගේ අස්වනු ආර්ථික මධ්‍යස්ථානවලට නොලැබීම යාම නිසා උත්සව සමයේදී එළවළු හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව කියා සිටියේ.

එළවළු වෙළඳුන් කියා සිටියේ තොග ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මිල ඉහළ යෑමත් සමඟ තම ව්‍යාපාරයද අර්බුදයකට ලක්ව ඇති බවයි.

******************************************

ප්‍රියන්ත කුමාරගේ නඩුව දිනපතා විභාග කිරීමට පාකිස්ථානයේ ප්‍රාන්ත රජය තීරණය කරයි

(11.12.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් හි ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතා සම්බන්ධ නඩුව දිනපතා විභාග කිරීමට පංජාබ් ප්‍රාන්ත රජය තීරණය කර ඇති අතර එරට නීතිය සම්බන්ධ අමාත්‍යවරයෙකුවන මොහොමඩ් බසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති
නීතිය හා සාමය පිළිබදව පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂ කමිටුවක් හරහා ප්‍රියන්ත කුමාර මහතාගේ නඩුව දින 14 ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

******************************************

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාවක් – විදුලි සැපයුම සීමා කෙරේ

(11.12.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාවක් නිසා එය පද්ධතියෙන් ඉවත් කර ගැනීමත් සමඟ අද (11) සිට ප:ව: 06:00 – 09:30 අතර මිනිත්තු 30 ක් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම සීමා කෙරෙන බව විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා ෴

******************************************

ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදයක් ගැන රතු එළියක්

(11.12.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදයක් පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයන්ට කලක් තිස්සේ අනතුරු ඇඟවීම් සිදුකළත් කිසිවෙකුත් ඊට අවධානය යොමු නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ පවතින අර්බුදකාරී තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ පොහොර ගැටලුව බවයි.

******************************************

‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවූ සහල් ජාවාරම

(11.12.2021 – 23:04 +0530 – hirunews.lk/sinhala)

සහල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව මේ වනවිට පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදකාරී පසුබිමකයි.

එවන් තත්ත්වයක් යටතේ, ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් දේශීය සහල් යනුවෙන් සඳහන්වන උරවලට බහා මෙරට සහල් ලෙස හුවා දක්වමින් ජනතාවට විකිණීමේ කූට ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ හෙළි කරගත්තා.

ඉන්දියාවෙන් ආනයනය කරන පොන්නි සහල් මෙරට දේශීය සහල් ලෙස හුවා දක්වමින් ඇසුරුම් කරන්නේ මෙම සහල් උරවලටයි.

‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවුයේ කුරුණෑගල – නිකවැරටිය ප්‍රදේශයේ සහල් මෝලක් තුල පාරිභෝගික ජනතාව නොමග යවන මෙම කූට ක්‍රියාදාමය සිදුකරන බවයි.

දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 140 ක පමණ මිලක පවතින අතර ආයනයනික නාඩු සහල් වල මිල පවතින්නේ කිලෝවක් රුපියල් 115 ක පමණ මිලකටයි.

ඒ අනුව පාරිභෝගික ජනතාව නොමග යවමින් වැඩි ලාභයක් ඉපැයීමේ අරමුනින් ආනයනික සහල් දේශීය සහල් උරවල බහා ජනතාව නොමග යවා අයථා ලාභයක් ඉපැයීම මෙම කූට ජාවාරම්කරුවන්ගේ අරමුණ වී තිබෙනවා.

පාරිභෝගික ජනතාව නොමග යවමින් සිදුකරන මෙම වංචනික ක්‍රියාව පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කළා.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් වැටලීම් නිලධාරීන් ඊයේ (10) පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශයේ සහල් ඇසුරුම් කරන ස්ථානය වටලනු ලැබුවා.

එහි සිටි පිරිස් පැවසුවේ නිකවැරටිය ප්‍රදේශයේ තොග සහල් අලෙවිකරුවෙකුගේ ඉල්ලීම මත මෙලෙස ආනයනික සහල් දේශීය උරවල ඇසුරුම් කරනා බවයි.

******************************************

IMF යනවා ද ? තීරණය සඳුදා (13)

(11.12.2021 – 23:32 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් හිඟයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද කැඳවා තිබෙනවා.

නොවැම්බර් 30 වැනිදා වනවිට මෙරට විදෙස් මුදල් සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1009.5 ක් ලෙසයි.

එම පසුබිම තුළ ආනයන වියදම් පියවා ගැනීම සහ ණය ගෙවීම පත්ව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටයි.

ඒ අනුව විදෙස් මුදල් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහය ලබාගැනීම පිළිබඳව මේවන විට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරිමටද නියමිතයි.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද කැඳවා තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැය පිළිතුරු කතාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

******************************************

ජර්මනියේ ලයිකා මොබයිල් සමාගම බංකොලොත්! රජයට යුරෝ මිලියන 70 ක බදු පොල්ලක්!

(12.12.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියේ ‘ලයිකා මොබයිල්’ සමාගම බිඳ වැටී ඇති බව එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘එක්ස්පාටර්ම්’ සඟරාව පවසනවා.

එහෙත් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ආයතනය කඩා වැටීමේ පසුබිම කුතුහලය දනවන සුළු කරුණක් බවයි .

ලයිකාමොබයිල් සමාගම ජර්මන් රජයට ගෙවිය යුතු යුරෝ මිලියන 70 ට අධික බදු ගෙවා හැරීමත් පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ‘අල්ලිරාජා සුභාෂ්කරන්’ට අයත් මෙම ලයිකා මොබයිල් දුරකථන ජාලය ජර්මනියේ බොහෝ විදේශිකයන් සහ සංචාරකයින් පෙරගෙවුම් කාඩ්පත් හරහා භාවිතා කරන්නක්.

මෙම ව්‍යාපාරික සඟරාව විමසන්නේ ඔබ ඒවා භාවිතා කළහොත් ඔබගේ දුරකථන අංකයට දැන් කුමක් සිදුවේද යන්නයි.

මේ වන විටත් ජර්මනියේ සුපිරි වෙළඳසැල්වල ලයිකා මොබයිල් පෙරගෙවුම් ජංගම දුරකථන කාඩ්පත් සොයා ගත නොහැකි බව අදාළ ව්‍යාපාරික සඟරාව පෙන්වා දෙනවා.

ලයිකා මොබයිල් ජාලයේ බිඳවැටී ම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මූලස්ථානයට ඇත්තේ අදාළ ජර්මානු ලයිකාමොබයිල් ජාලය බිඳ වැටී ඇති හෙයින් එය බංකොලොත් සමාගමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 2021 මැයි 18 දින අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් බංකොලොත්භාවයට පත්වන විට සමාගම් නම් වෙනස් කිරීමේ චිර ප්‍රසිද්ධියක් උසුලන මෙම ලයිකාමොබයිල් සමාගම එලෙසින්ම ජර්මානු ලයිකාමොබයිල් සමාගමේ නම වෙනස් කරන්නේ පසුගිය මැයි 07 වැනිදා යි.

ඒ ‘අමලසන්දන් දිනේෂ් ටෙලිස්තුන්ගන්’ යන නමින්.

අනෙක් අතට ජර්මනියේ ක්‍රියාත්මක වන මෙම කූඨ ජංගම දුරකථන ජාලයේ හාස්‍යජනක කරුණ වන්නේ ජර්මනිය තුළ මෙම ව්‍යාපාරය සිදුකර සිදුකරගෙන යෑම සඳහා පත්කර ඇත්තේ එකම එක පුද්ගලයකු පමණක් වීමයි.

එහි එකම සේවකයා ලෙස සේවය කරනු කළමනාකාර අධ්‍යක්ෂවරයා පමණි.

කෙසේ වෙතත්, ලයිකාමොබයිල් ඈවර කරන්නාට මෙතෙක් කිසිදු ලියවිල්ලකට ප්‍රවේශ වීම ඔහු මුණ ගැසෙන්නට හැකියාවක් ලැබී නැහැ.

මෙම කාර්‍යය පැවරුණු ‘නීතීඥ ජැන් රොත්’ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වල ලයිකාමොබයිල් කාර්‍යාලයට ගිය ද එහි කිසිවෙකුත් සිට නැහැ.

කෙසේ වෙතත් ලයිකාමොබයිල් ආයතනයේ පැරණි නම, Lycamobile, ලෙසින් තවමත් දොර සීනුව මත කියවිය හැකි වූව ද එහි ඈවර නිලධාරීයාට ලයිකාමොබයිල් ආයතනයේ දත්ත පද්ධතිය වෙත ප්‍රවේශ විය නොහැකි බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ලයිකාමොබයිල් ජාලයේ බිඳවැටීම සිදු වූ එකම රට ජර්මනිය නොවේ.

ප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ ද, මුදල් විශුද්ධිකරණය සහ විකුණුම් බදු පැහැර හැරීමේ චෝදනා හරහා මෙම කුප්‍රකට දුරකථන සමාගම දැනටමත් අමාරුවේ වැටී තිබෙනවා .

ජර්මනියේ සියලු විකුණුම් සඳහා ලයිකාමොබයිල් ජර්මානු ආයතනය විසින් විකුණුම් බද්ද ගෙවා නොමැති බව දැනටමත් 2016 දී සිදු කළ බාහිර විගණනයකින් පෙන්වා දී අවසන්.

සමාගම ජර්මනියට මෙම බදු වංචාව සිදුකර ඇත්තේය ජර්මනිය හරහා ඔවුන් ලබන ලාභාංශ සුළු බදු ගෙවිය යුතු රටවලට විව්ධ වංචනික ක්‍රම හරහා මාරු කිරීම හරහායි.

මේ සඳහා ඔවුන් ව්‍යාජ ගිණුම් වාර්තා පවත්වාගෙන ගොස් ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම ලයිකාමොබයිල් සමාගම දුරකථන සමාගමක් විසින් පවත්වාගෙන යා යුතු මූලික වගකීම් බොහොමයක් පැහැර හැර ඇති බවත් දුරකථන ජාල සම්බන්ධතා ලබාදීමේ දී සිදු කළ යුතු මූලික පරික්ෂා කිරීම් සහ දත්ත තහවුරු කර ගැනීම් සිදුකර නොමැති බවටත් වාර්තා වනවා.

මේ හේතුවෙන් ජර්මනිය තුළ ලයිකාමොබයිල් දුරකථන ජාලය පාතාල ක්‍රියාකාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

මෙම ව්‍යාපාරික සඟරාවේ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කරන්නේ මේ වන විටත් ජර්මනිය තුළ භාවිත කරන lycamobile පෙර ගෙවුම් පත් කාඩ්පත්වලට නවශ්‍ය ලෙස ණය කිරීම් නොකරන ලෙසයි ඒ හරහා අදාළ දුරකථන සමාගම බංකොලොත් වීමෙන් තමන්ට සිදු වන හානිය අවම කරගත හැකි බවත් එම වාර්තාවේ පෙන්වා දෙනවා.

******************************************

පාඨමාලා අතහැර දැමූ සරසවි ඇදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

(12.12.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙන්ම පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් අනුමත කරගෙන තිබුණ ද, ඇතැම් පාඨමාලා අතහැර දැමීම සහ ඒවා භාවිතයට නොගෙන සිටී නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

කෝප් කමිටුව විසින් ඒ පිළිබඳව අවධානයට ලක් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමිනුයි එම සංගමය මෙම අදහස් පළ කළේ.

කෝප් කමිටුව විසින් ප්‍රකාශ කර සිටියේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට රුපියල් මිලියන 25 ක් ලබා දී තිබුණත්, ඔවුන් මේ වනවිට එම පාඨමාලා අතහැර දමා ඇති බවයි.

එසේම, 2017 වසරේදී කථිකාචාර්යවරුන් 12 දෙනෙකු රුපියල් මිලියන 34.3 ක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණත් එය භාවිතයට ගෙන නොමැති බව ද කෝප් කමිටුව අවධාරණය කළා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ යම් ආචාර්යවරයෙකු හෝ කථිකාචාර්යවරයෙකු එලෙස කටයුතු කර ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

එසේම, අදාළ ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් එම මුදල් භාවිතයට නොගැනීම සහ ඇතැම් පාඨමාලා අතරමඟ නතර කර දැමීමට හේතුව නිසි පරිදි සොයා බැලිය යුතු බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මීට අමතරව ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්වවිද්‍යාලවලින් ඉවත්ව ඇති බව ද කෝප් කමිටුව අවධාරණය කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ ඕනෑම ආචාර්ය උපාධියක් හැදෑරීමෙන් අනතුරුව එම ආචාර්යවරුන් විශ්වවිද්‍යාලවල සේවය කිරීමට අදාළව ගිවිසුමකට එළැඹෙන බවයි.

මේ අතර, ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා පිරිසට බාහිරව සරසවි ප්‍රවේශය සඳහා අභියෝගතා පරීක්ෂණ මගින් ඇතුළත් කර ගැනීම අනවශ්‍ය බව තීරණය කරන්නේ නම්, එය අහෝසි හෝ අවම කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

2012 වසරේදී විශේෂ කැබිනට් අනුමැතියකට අනුව විශ්වවිද්‍යාල 13 ක පාඨමාලා 38 ක් සඳහා සිසුන් බඳවා ගැනීමට මෙම පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නා.

කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා ඇත්තේ මෙම පාඨමාලා අවශ්‍ය පරිදි අඩු කිරීම හෝ අහෝසි කිරීම සිදුකළ යුතු බවයි.

මෙම පරීක්ෂණ ක්‍රමය නිසා ඉසෙඩ් අගය මත සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තියට යම් හානියක් සිදුවන බව පෙනී යන්නේ යැයි කෝප් කමිටුව ද ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *