21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17)

21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17)

*********************************************

21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන තීරණය හෙට (17)

(16.09.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වනදා රට විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (17) පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තවදුරටත් කොරෝනා අධිඅවදානම් එනම්, රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය විය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

හෙට (17) පැවැත්වෙන රැස්වීමේදී පාසල් යළි විවෘත කිරීම සහ ළමයින් එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත අතර, එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් පිළිබඳව අවසන් එකඟතාවකට ද එහිදී එළඹෙනු ඇති.

දරුවන් එන්නත්කරණය සහ පාසල් විවෘත කිරීම පිළිබඳව වර්තමාන සමාජයේ පවතින්නේ දැඩි කතාබහක්.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණ අවසන්.

ඒ දරුවන් 200 ට අඩු පාසල් 5000 ක් පමණ විවෘත කිරීම සම්බන්ධයෙන්.

මෙරට වයස අවුරුදු 12 ට වැඩි දරුවන් නිශ්චිත වශයෙන් එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට තීරණයට පැමිණ තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සඳහා අවසන් නිර්දේශ ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්වත් සංසදයෙන් අප වැඩිදුර තොරතුරු විමසුවා.

මේ අතර හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 6 ක දැරියක් මියගොස් තිබෙනවා. පසුව කළ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ දැරියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවයි.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ විවාහ උත්සවයක් පැවැත්වීමේ පුවතක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන් වාර්තාවනවා. අදාළ ස්ථානයට පොලිසිය යන අවස්ථාව වනවිට විවාහ උත්සවය සඳහා පැමිණ සිටි බොහෝදෙනෙකු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද (16) දිනයේත් මේ දක්වා ආසාදිතයන් 1,382 ක් අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 118 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 11,817 දක්වා ඉහළ ගියා.

මේ අතර පසුගිය 06 වැනිදා සිට 14 වැනිදා දක්වා තහවුරු කිරීම් ප්‍රමාද වූ ආසාදිතයින් 3,152 ක් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ඊයේ (15) දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට එකතු කර තිබෙනවා.

එම ආසාදිතයින් 3152 එම දින 8 අතර සමාන පරිදි බෙදී ගියේ නම් දෛනිකව වාර්තා වූ ආසාදිතයින්ගේ ගණනට නව ආසාදිතයින් ලෙස 394 දෙනෙකු එක්විය යුතුයි.

ඒ අනුව ගත් කළ සැප්තැම්බර් 06 සිට සැප්තැම්බර් 14 දක්වා කාලය තුළ දින දෙකක් (2) හැර අන් සියලුම දිනයන්හි වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව පැවසිය හැකිද ?

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු සෞඛ්‍ය අංශ නියාමනයකින් තොරව සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා චෝදනාවක් එල්ල කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම චෝදනා පදනම් විරහිත බවයි.

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ අනුවම ක්‍රියාත්මක වන බවයි සංචාරක අමාත්‍යවරයා පවසන්නේ.

මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් පිළිබඳ විශේෂ පරීක්ෂාවක් සහ අධීක්ෂණයක් සිදුකරන බවත් කොවිඩ් පරීක්ෂණ මඟින් ආසාදිතද නැද්ද යන්න තහවුරු කිරීමෙන් පසුව පමණක් ඔවුන් මෙරටට ඇතුල්කර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොවිඩ් මළ සිරුරු ආදාහන කටයුතු සඳහා වැය වන මුදල් පළාත් පාලන ආයතන මගින් වියදම් කරන ලෙස රජය දැනුම් දී තිබුණත් ඇතැම් මල්ශාලාකරුවන් විසින් විවිධ පුද්ගලයින් සමග එක්ව අයුතු ලෙස ජනතාවගෙන් මුදල් ගසා කන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර කොවිඩ් පිළිබඳ රාජකාරී කටයුත්තක නිරත වෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පහරදීමට තැත්කර තිබෙනවා.

එම 49 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිසි අවසරයක් ලබා නොගෙන තිස්සමහාරාම නගරය ආසන්නයේ හෝටලයක පැවති විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ හෝටලයේ හිමිකරුගෙන් සහ උත්සවය පැවැත්වූ අයගෙන් ප්‍රශ්න කළා.

+++++++++++++++++

(16.09.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 889 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (16) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2271 ක්.

ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 4,98,694 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 57,398 ක් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,28,590 ක්.

මෙරටින් කොරෝනා මරණ 11,817 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තා වූ මරණ 118 ත් සමගින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(16.09.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

වී සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර සහතික මිලක් ලබාදෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ගොවීන් චෝදනා කරන්නේ රජය විසින් වී සඳහා ලබා දී ඇති මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි.

නාඩු වී කිලෝවක් සඳහා රජයේ අනුමත මිල රුපියල් 50 දක්වාත් පසුව එම මිල රුපියල් 55 ක් දක්වාත් ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළා.

සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52 ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55 ක් ලෙස රජය මිල නියම කර තිබෙන්නේ ඊට අමතරවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පැනවූ හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව මහා පරිමාණ මෝල් හිමියන් රඳවා ගෙන සිටි සහල් තොග රජය භාරයට ගැනීමට කටයුතු කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීම අත්හිටුවීමටයි කටයුතු කළේ.

ඇතැම් ගොවීන් ද සිය වී අස්වනු වෙළඳපොලට නොයවා රඳවා‍ගෙන ඇත්තේ රජයේ පාලන මිල ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

මේ අතර වී සඳහා රජය පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීම හරහා ගොවි ජනතාව පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (16) සිය විරෝධය පළ කළා.

ගොවීන් ලෙස සැරසුණු ඔවුන් ප්‍රාදේශීය සභා මාසික සභාවාරයට වී ගෝනි ද රැගෙන පැමිණියේ පාගමනින්.

මේ අතර මින්නේරිය සහ පොළොන්නරුව ප්‍රදේශයේ ලොකු ලූනු ගොවීන් පවසන්නේ මෙවර කන්නයේ ලොකු ලූනු අස්වැන්නෙන් තමන්ට ආදායම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

දේශීය ලොකු ලූනු ගොවීන්ට සහනයක් සැලසීම වෙනුවෙන් ආනයන බදු පැනවීමට රජය කටයුතු කළත් මේ වන විට විශාල ලොකු ලූනු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවයි ඔවුන් පවසන්නේ.

******************************************

(16.09.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

අද (16) සිට වී වගාවට අමතරව තේ, පොල්, රබර් ඇතුළු සියලු භෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට (2) අවසර ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔක්තෝබර් මාසය වන විට හිඟයකින් තොරව වෙළඳපොළෙන් පොහොර මිලදී ගත හැකි පරිදි පෞද්ගලික අංශයටද කාබනික පොහොර ආනයනයට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර වී සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කර සහතික මිලක් ලබාදෙන තෙක් සිය අස්වනු අලෙවි නොකරන බව ගොවීන් පවසනවා.

වී සඳහා පවතින පාලන මිලට අමතරව නාඩු වී සඳහා රුපියල් 55 ක මිලක් ලබාදීමට පසුගියදා රජය තීරණය කළා.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ එම මිලද ප්‍රමාණවත් නොවන බවයි.

සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලැබෙන තෙක් ඒවා වෙළඳපොලට නොයවා රඳවා‍ගෙන සිටින බවයි ගොවීන් පවසන්නේ.

මේ අතර වී සඳහා රජය පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීම හරහා ගොවි ජනතාව පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (16) මෙලෙස සිය විරෝධය පළ කළා.

ගොවීන් ලෙස සැරසුණු ඔවුන් ප්‍රාදේශීය සභා මාසික සභාවාරයට වී ගෝනි ද රැගෙන පැමිණියේ පාගමනින්.

මේ අතර මින්නේරිය සහ පොළොන්නරුව ප්‍රදේශයේ ලොකු ලූනු ගොවීන් පවසන්නේ මෙවර කන්නයේ ලොකු ලූනු අස්වැන්නෙන් තමන්ට ආදායම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

දේශීය ලොකු ලූනු ගොවීන්ට සහනයක් සැලසීම වෙනුවෙන් ආනයන බදු පැනවීමට රජය කටයුතු කළත් මේ වන විට විශාල ලොකු ලූනු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවයි ඔවුන් පවසන්නේ.

******************************************

(16.09.2021 – 21:55 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ ලොහාන් රත්වත්තේ වෙත එල්ල වන අපරාධමය චර්යා චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි අවධානය යොමු කර තිබෙන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඔහුට චෝදනා එල්ල වන අපරාධකාරී චර්යා සම්බන්ධ චෝදනා හේතුවෙන් තවදුරටත් එම තනතුර දැරීමට ඇති යෝග්‍යතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස ප්‍රශ්න කරන බවයි.

හිටපු බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා තවත් පිරිසක් සමඟ වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවටත්, අනුරාධපුර බන්ධනාගාරය වෙත හෙලිකොප්ටරයකින් ගොස් එයට බලහත්කාරයෙන් ඇතුලු වූ බවටත්, සිරකරුවන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා අතිශය සාපරාධී වන අතර එම ක්‍රියා නීතියේ ආධිපත්‍යය බරපතළ තර්ජනයක් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

******************************************

පාස්කු ඉරිදා ක්‍රියාදාමයට සම්බන්ධ තඹ කම්හල මෙරට කර්මාන්ත සංවර්ධනයට

(16.09.2021 – 22:27 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රාජසන්තක කර ඇති ‘පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට’ සම්බන්ධ වූ ‘ඉබ්‍රාහිම් පවුල’ට අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ‘ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය’ යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා එලෙස අදහස් දැක්වූයේ වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි අද (16) සවස නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ :
“පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය දැනට පවතින්නේ රහස් පොලිසිය භාරයේයි. මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍රසූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතු බවයි. එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ.”

[ සේයාරූ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *