Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

*********************************************

Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

(07.09.2021 – 00:02 +0530 – lankacnews.com)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය =

හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි (02) දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු.

  1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වයිරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 ට වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත.
  2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන (3) මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ Sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව Sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, Moderna හෝ Astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක (2) මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ Sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, Astra Zeneca හෝ Moderna එන්නත් තෙවන (3) මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු.
  3. අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් (20-30) අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30 ත් 60 ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

++++++++++++++++++

පාසල් දරුවන්ට එන්නත් ලබාදීම විදිමත් අධ්‍යයනයකින් පසුව කරන්න – ළමාරෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

(07.09.2021 – 08:52 +0530 – lankaleadnews.com)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මගින් ඔහු අවධාරණය කරමින් කියා සිටින්නේ පාසල් දරුවන් සඳහා වන කොරෝනා එන්නත ලබාදීමට හදිසි තීරණයක් නොගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයාට මෙම ලිපිය මගින් දන්වා සිටි.

තවද ඒ මහතා ලිපිය මගින් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාසල් ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට ගත් තීරණය ඉතාමත් භාරදූර තීරණයක් බවත් එය පුළුල් ලෙස කරුණු සලකා බලමින් ගතයුතු තීරණයක් බවත් හෙතෙම පවසා සිටී. එමෙන්ම මහා බ්‍රිතාන්‍ය පවා මේ වන විට පාසල් ළමුන් සදහා වන එන්නත්කරනය පිළිබඳව පුළුල් ලෙස කරුණු විමර්ශනය කරමින් අනාවරණය කර ඇත්තේ විශේෂයෙන් හඳුනාගත් විවිධ නිදන්ගත රෝග සහ වෙනත් විශේෂිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පමණක් මෙම කොරෝනා එන්නත උචිත වන බවත්ය.

මෙහිදී පාසල් දරුවන් සඳහා කොරෝනා එන්නත නිර්දේශය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව එතුමා එම ලිපිය මගින් පෙන්වා දෙයි.

එම නිර්දේශයන් වන්නේ,

  1. දරුවන් සම්බන්ධයෙන් කොරෝනා එන්නතේ සාර්ථකත්වය පිළිබඳව මේ වන විට කවර හෝ විද්‍යාත්මක සාක්ෂියකින් සනාථවී නොමැති අතර, එය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.
  2. කොරොනා එන්නත දරුවන්ට ලබා දීමෙන් ඇතිවිය හැකි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඵලවිපාක පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක් පවතී.
  3. විවිධ ආකාර වලින් නිපදවූ කොරෝනා එන්නත් වලින් සිදුවිය හැකි ජානමය විකෘති සහ පසුකාලීනව ඇති විය හැකි බරපතළ රෝගාබාධ පිළිබඳව ද මේ වන විට ලෝ පුරා විද්‍යාඥයින් කරුණු ඉදිරිපත් කොට ඇත.
  4. ඉතා සීඝ්‍රයෙන් ජාන විකෘති ඇති වෙමින් කොරෝනා වයිරස් ප්‍රභේද ගණනාවක් මේ වන විටත් බිහි වී ඇති අතර, කොරෝනා සඳහා ලබාදෙන එන්නත් වල සාර්ථකත්වය පිළිබඳව නැවත විමර්ශනය කිරීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇත.
  5. ඉදිරියේ දී මේ තත්ත්වය තවදුරටත් බරපතළ ලෙස වර්ධනය විය හැකි අතර, දරුවන් සම්බන්ධයෙන් සහ ගර්භනී මව්වරුන්ට එන්නත් ලබාදීම ඒ නිසා බිහිවන දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව පුළුල් ලෙස අධ්‍යයනය කොට තීරණ ගත යුතුය.
  6. මේ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයින්, විද්‍යාඥයන් ඇතුළු අදාල පාර්ශව නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කල යුතු වේ.

++++++

කොවිඩ් මාරයා ඉදිරියේ බටහිර වෛද්‍ය ක්‍රමය අසරණයි; ප්‍රතිකර්ම තියෙන්නේ දේශීය වෙදකමේ – විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ (20.05.2021)

+++++++++++++

කොරෝනා වයිරසය විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

(06.09.2021 – colombotoday.com)

අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් (2) පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත.

පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙක නිර්මාණය කර තිබේ.

වාතයට මුසුවන වයිරස සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන (virus air burnable automatic machine) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස සහ බැක්ටීරියා විනාශ කරන විශබීජහරණ ස්වයංක්‍රීය උපකරණයක් ඔහු විසින් නිර්මාණය කර ඇත.

යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර ඇත්නම් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියවිට එය හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී එහි වාතය සහිත වයිරස විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කිරීමේ හැකියාව මෙම උපකරණයට තිබෙන බව ඔහු පවසයි.

මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බවද ඔහු කියයි.

අඩි හතළිහක පනහක (40-50) පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.

මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජහරණය කර නැවත පැළඳීමට හැකි තත්වයට ගෙන ඒමේ හැකියාව තිබෙන අතර ඊට ගතවන්නේ තත්පර හයක් (6) වැනි ඉතා සුළු වේලාවක් බව ඔහු පවසයි.

අනෙක් යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත මුදල් සහ ලිපි ලේඛන තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් (8) වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස විනාශ කිරීමේ හැකියාව තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බදු වංචාවට අමතරව සීනි හැංගීමේ සෙල්ලම මගින් ‘වියත් මග’ ගජ මිතුරන්ගේ ලාභය දෙගුණ වේ! – ජාතික සංවිධාන එකමුතුව

(07.09.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 29,000 ක බදු සහන හෙවත් බදු වංචාවට පසුව සීනි තොග සැඟවීම මගින් කරණ ලද කූට උපක්‍රමය හරහා පාලන මිලට වඩා සීනි කිලෝ ග්‍රෑම් 1 කට රුපියල් 31 ක් වැඩිපුර මුදලක් ලබා ගැනීමට සීනි ආනයන ජාවාරම්කරුවන් සමත් වී ඇත.

‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙළෙඳ පොලේ පවතින සීනි මිල සම්බන්ධයෙන් ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මතය විමසූ විට ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බංඩාර මහතා ඉහත අදහස දැක්වීය.

වෛද්‍ය වසන්ත බංඩාර මහතාට අනුව ආණ්ඩුව විසින් ලබා දුන් බදු සහනය බදු වංචාවක් වන්නේ එම සහනයට අනුව සීනි මිල රුපියල් 49.75 කින් අඩු කළ යුතු වුවත් ජාවාරම්කරුවන් විසින් ඒ වන විට රුපියල් 135 ට තිබූ සීනි කිලෝවක මිල රුපියල් 205 දක්වා ඉහළ දැමීම හේතුවෙනි. එහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බදු සහනය අනුව රජය සීනි කිලෝ ග්‍රෑම් 1 කට නියම කළ මිල රුපියල් 85 ක් වන බැවින් එම මිල තුළ සීනි ආනයනයකරුවන්ගේ සියලු වියදම් සහ සාමාන්‍යය ලාභයද ඇතුලත් වන බැවින් අත් අඩංගුවට ගනු ලැබූ සීනි වලට ගෙවිය යුත්තේ රුපියල් 85 ක් හෝ ඊට වඩා අඩු මිලක් බවයි.

ඒ වෙනුවට එම සීනි තොග වලට කිලෝ ග්‍රෑම් 1 කට රුපියල් 116 ක් ගෙවීම මගින් ජාවාරම්කරුවන්ට රුපියල් 31 ක අමතර ලාභයක් ලැබෙන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් සීනි තොග සහ රටතුල තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්නේ නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20,000 ක ලාභයක් ලැබෙන බවයි.

බැඳුම්කර වංචාවෙන් කළ හානියට වඩා සීනි බදු වංචාවෙන් කළ හානිය බරපතල බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙවැනි ‘ගොං වැඩ’ හෝ මෙවැනි අමුම අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොතැනක හෝ ඇත්තේනම් පෙන්වා දෙන ලෙස ඕනෑම කෙනෙකුට අභියෝග කරණ බවද අවධාරණය කළේය.

මෙම සීනි ජාවාරම්කරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමට පෙර සිටම ‘වියත් මගේ’ කිට්ටුවන්තයන් ලෙස පෙනී සිටියේ මෙම වංචාවන් සඳහා වට පිටාව සකසා ගැනීමට බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේය. අයුතු ලාභ ලැබීම වෙනුවෙන් මෙම පිරිස් ජනාධිපතිවරයාගේ ගෞරවයටද විශාල හානියක් කරණ බවද පෙන්වා දෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ජාතික සංවිධාන දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය තහවුරු කිරීමට පෙනී සිටි බලපෑම් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාගේ කීර්තියට මෙවැනි ජාවාරම්කරුවන් කරණු ලබන හානිය සුළු කොට නොතකන බවද අවධාරණය කළේය ෴

******************************************

කොවිඩ් ඇතුළු ඖෂධ 250 ක් හදන්න පුළුවන්, අවසර දෙන්නේ නැහැ – දේශීය සමාගමක් ගතු කියයි

(07.09.2021 – 14:30 +0530 – truenews.lk)

කොවිඩ් ප්‍රතිසංස්කරණ එන්නත් ඇතුලු බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති අප සමාගමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දෙන්නේ නැතැයි දේශීය ඖෂධ සමාගමක් වන පන්නල ‘නිව්ජෙන් ලංකා සමාගම’ කියයි.

රට ඩොලර් අර්බුදයකට මුහුණ පා ඇති මෙම අවස්ථාවේ දී ඖෂධ ආනයනය සදහා වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන ඖෂධ අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි අවස්ථවක් රජයට මගහැරී ඇතැයිද එම සමාගමේ සාමාන්‍යාධිකාරි රොහන්ත දිසානායක මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සීයට දෙකක් (2%) පමණක් බවද දිසානායක මහතා කීය. අපි 2017 වර්ෂය වෙනකොට යටිතල පහසුකම් ඇතුලු සියලු ඉදිකිරීම් අවසන් කළා. මෙහිදී අපි නිෂ්පාදන ඒකක තුනක් ඉදිකලා. සාමාන්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ සහ ජෛව සමාන නිෂ්පාදන මෙම ඒකක තුන තුල නිපදවීමට සැලසුම් කළා. ඒත් එක්කම අපි මෙම අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පරීක්ෂා කිරීම් කටයුතු සදහා අති නවීන තාක්ෂණික උපාංග වලින් යුතු පරීක්ෂණාගාර කීපයකුත් ඉදිකරලා තියෙනවා.

අපි 2017 වර්ෂයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියට කිව්වා අපිට බටහිර ඖෂධ 250 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ සදහා අපි නියැදි සහිතව අවශ්‍ය ලිපිගොනු එම ආයතනයට බාරදුන්නා. මේ ආකාරයෙන් අපි නිෂ්පාදන කටයුතු සිදුකළානම් ඖෂධ ආනයනය සදහා වසරකට වැයවන මුදලින් රුපියල් බිලියන 5 ක් මේ රට තුල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා. ඒ සමගම අපේ නිෂ්පාදන අපනයනය කිරීම තුලින් වසර දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 50 බැගින් විදේශ විනිමයක් උපයාගැනීමට හැකියාවක් තිබුණා.

අප නිෂ්පාදනය කරන ඖෂධ ම්ළදී ගැනීම සදහා අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ගිවිසුමකට එළැඹියා නමුත් ඒ කටයුතු ක්‍රියාත්මක වුනේ නැහැ. ඒත් එක්කම ජෛව සමාන නිෂ්පාදන නිපදවීම ආරම්භ කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට කර්මාන්තශාලාවේ යම් යම් අවශ්‍යතා සපුරාගන්නා ලෙස දන්වා සිටියා. ඒ අනුව කටයුතු කරමින් අපි ඒ කටයුතු සිදුකළා. ඉන්පසු අපි අමුද්‍රව්‍ය ආනයනය කරලා අදාල ඖෂධ වල නියැදි නිෂ්පාදනය කළා. අපට ඒ සදහා රුපියල් මිලියන 500 ක් වැයවුනා. මේ ඔක්කොම පිළිකා සදහා ලබාදෙන ඖෂධ. දැන් අපි ඒ නියැදි වසර දෙකකට ආසන්නව ළග තබාගෙන ඉන්නවා. නමුත් අපට තවමත් අනුමැතිය ලැබී නැහැ. අපි ඒ නියැදි අදාල තත්ව යටතේ තබාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපිට තමා සම්පූර්ණ ජීවානුහරණ පද්ධතියක් සහිත කර්මාන්තශාලාවක් තියෙන්නේ මේ රටේ.

මේ දිනවල විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සදහා ඒ අදාළ අමුද්‍රව්‍ය ගෙනල්ලා කෙළින්ම නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. අපි ඒ ගැන රජයට කියලා තියෙනවා නමුත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. ඒ වගේම අපි රුසියාවේ සහ වියට්නාමයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් සමග තාක්ෂණය හුවමාරු කරගැනීමට ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ අනුව එම සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන රටවල් වලට අපේ නිෂ්පාදනත් අලෙවි කිරීමේ හැකියාවක් අපට තියෙනවා.

මෙම කර්මාන්තශාලාවේ ධාරිතාවයෙන් සීයට එකක් දෙකක් පමණ නිෂ්පාදනයක් කරලා අපට මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීන විදේශික සේවක සංඛ්‍යාවක් බදවාගෙන තිබෙනවා. ඒත් එක්කම මෙරට තරුණ උපාධිධාරින් පිරිසක් අපි සේවය සදහා එක්කරගෙන තියෙනවා. ඔවුන්ට නිසිලෙස වැටුප් ලබාදීම සහ කර්මාන්තශාලාව නඩත්තු කරගෙනයාමට විශාල මුදලක් වැයවෙනවා. අපේ ධාරිතාවය අඩුම වශයෙන් සීයට අසූවකටවත් (80%) පැමිණෙන්නේ නම් අනිවාර්යයෙන්ම අපට තවත් රැකියා 400 ක් පමණ ලබාදීමට හැකියාව තිබෙනවා ෴

******************************************

සතොස සහල් ටෙන්ඩරයට ප‍්‍රධාන මෝල් හිමියන් කිසිවෙකු නෑ.. පොලොන්නරු ප‍්‍රධාන සහල් මෝල්වලින් දිනකට ලොරි දෙකක් පමණයි..

(07.09.2021 – 15:50 +0530 – lankacnews.com)

සතොස වෙළෙඳසල් 400 මගින් ඉදිරි සතියක කාලයේ අලෙවි කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000 ක් මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරයකට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිසිවකුත් මිල ගණන් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වෙයි. ටෙන්ඩර විවෘත කිරීම වෙළෙඳ අමාත්‍යාංයේදී ඊයේ (06 වැනිදා) පස්වරුවේ සිදු විය.

ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් පස් දෙනකු (5) පමණකි. එම සහල් මෝල් හිමියන්ට ඉදිරිපත් කළ හැක්කේ සහල් මෙට්‍රික් ටොන් 1500 කටත් අඩු ප්‍රමාණයක් බව මෙහිදී අනාවරණ විය.

සුදු කැකුළු, නාඩු, සම්බා හා කීරි සම්බා වර්ගවලින් සහල් මෙට්‍රික් ටොන් 1000 බැගින් මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය කැඳවා තිබුණි. ඊයේ (06 වැනිදා) දිනයේදී සතොස වෙළෙඳසල්වල සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි. ඒ අවශ්‍ය තරම් සහල් තොග නොලැබීම හේතුවෙනි. රතු හා සුදු කැකුළු මෙන්ම නාඩු සහල් පාලන මිලට කිලෝග්‍රෑම් පහ (5) බැගින් එක් පාරිභෝගිකයකුට අලෙවි කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබුණි. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයේද සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිල පැනවීමෙන් පසු සහල් සැපයුම අඩාළ කිරීමට සහල් මෝල් හිමියන් සූදානම්වන බව වාර්තා කළේය.

පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් දෙදෙනාට සහල් ලොරි 30-40 ක් වෙළෙඳපොළට නිකුත් කරද එහෙත් පෙරේදා (05 වැනිදා) දිනයේදී එම මෝල්වලින් ලොරි රථ දෙක (2) බැගින් පමණක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද අනාවරණය වේ.

– aruna

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *